පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම ක්‍රියාවක් ම සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝමයි. පින්වත, ලෝකය හටගත්ත දවසේ පටන් ම, මේ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන තිබුණා. පින්වත, කල්ප විනාශයකින් අනතුරුව ලෝකය යළි නැවුම්ව හටගන්න මොහොතේ, ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සඤ්ඤාවෙන් පැමිණි බ්‍රහ්මයෝ, යෝගට් එකක් සේ මිදුණ, මී පැණි සේ සුවඳැති, රසැති මහ පොළොව තෘෂ්ණාවෙන් තොල ගාලා, දිව ගාලා අවසානයේ රස පොළොව කෑලි කඩාගෙන අනුභව කරලා, නැවුම් රස පොළොව අතුරුදහන් කළා. පින්වත, ආලෝක සංඥාවෙන් පැමිණි ආභස්සර බ්‍රහ්මයෝ අවසානයේ ගොරහැඬි වූ තෘෂ්ණාව හේතුවෙන් කය ඝන වී, මනුෂ්‍ය ස්වරූපයට පත් වුණාය කියලා සූත්රගත ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ආභස්සර බ්‍රහ්මයෝ, මනුෂ්‍ය ස්වරූපයට පත්වීමත්, සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයන්ගේ හේතුඵල ධර්මයෝමයි. පින්වත, ආභස්සර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝත් තෘෂ්ණාවට වහවැටී විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ පෙන්වූවා නම්, කාම ලෝකයේ මනුෂ්‍ය අපි ගැන කිනම් කතාවක් ද? පින්වත, සමාජයේ සිදු වන හොරා සහ පොලිස් සන්දර්ශන දෙස බලා, ඒවාට නොඇලී, නොගැටී සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න.
පින්වත, සංචාරක භික්ෂු ජීවිතයේ දී, අලුත්, අලුත් නවාතැන් ලැබෙනවා. පින්වත, නවාතැන අලුත් වුවත්, නවාතැන හේතුවෙන් සකස් වන ඵස්සයේ තෘෂ්ණාව අක්‍රිය කළොත්, අලුත් නවාතැන, අලුත් හෝ පරණ බවක් නැති, ප්රත්යවේක්ෂාවෙන් පරිහරණය කරන කුටියක් බවටයි පත් වෙන්නේ. පින්වත, කුටි ප්රත්යවේක්ෂාව කුටිය කෙරෙහි තෘෂ්ණාව බැහැර කොට, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි ඡන්දයයි ඇති කොට දෙන්නේ. පින්වත, පන්සල වේවා, ආරණ්‍යය වේවා, කුටිය වේවා, අපි තෘෂ්ණාවෙන් උපාදානය කොට ගත්තොත්, පෙරළා පටිච්චසමුප්පන්නව අපිට හිමි වෙන්නේ, ගර්භාෂ කුටියක යළි නවාතැනක්මයි. පින්වත, ඔබේ පින්වන්ත ජීවිතයත්, ඔබ වැඩ සිටින කුටියත් ධාතු මනසිකාරය තුළ විසිරුවා දකින්න. මෙම සටහන කියවන පින්වත් ඔබේ නිවසත්, ඔබේ ගිහි ජීවිතයත් ධාතු මනසිකාරය තුළින් විනිවිද දකින්න. පින්වත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව, ආධ්‍යාත්මික ඔබේ රූපයේ වේවා, බාහිර කුටියේ හෝ නිවසේ වේවා, එක ම ස්වාභාවයේ සතර මහා ධාතුවක් නේද? පින්වත් ඔබේ ශරීරයේ තද ස්වාභාවයත්, ඔබ පරිහරණය කරන කුටියේ හෝ නිවසේ තද ස්වාභාවයත්, එක ම ස්වාභාවයේ පඨවි ධාතුවක් නේද? මෙය සටහන් තබන භික්ෂුව, මෙම ආසනය මත වාඩිවෙලා නුවණින් දකිනවා, භික්ෂුව වැඩ සිටින කුටියත්, රටේ රජ ගෙදරත් එක ම ස්වාභාවයේ සතර මහා ධාතුවක් නේද කියලා. පින්වත, කුටියත්, රජ ගෙදරත් අතර සංස්කාරයන්ගේ පරතරයක් තිබෙනවා, එම සංස්කාරයන්ගේ පරතරය හෝ විවිධත්වය, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවටමයි අයිති කොටදිය යුත්තේ. පින්වත, තෘෂ්ණාව අවම ඔබේ ඵස්සයමයි, විමුක්තිය වැඩෙන ඔබේ සැබෑ ම කුටිය බවට පත් වෙන්නේ.
පින්වත, මහා ජල රක්ෂිතයක් මායිමේ පිහිටි භික්ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය අපූරු පාරිසරික චිත්‍රයක්. ජලයෙන් පිරී ගිය ආපෝ ධාතුව, පරිසරයේ පඨවි ධාතුවට වඩා, ඇසට අරමුණු වෙනවා වැඩියි. ජල රක්ෂිතයේ කුඹුක් ගස්වල ලැගුම් ගත්ත ජලජ පක්ෂීන්ගේ කෑ කෝ ගැසීම් භික්ෂුවට ඇසෙන්නේ ස්වභාව ධර්මය තවමත් ජීවත් වෙනවා වගේමයි. මෙම ජලජ පක්ෂීන් විවිධ නාද කරමින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ, ආදරය, රාගය, විරහව, කේන්තිය, ආරක්ෂාව, සතුට, දුක, නිදහස, බිය, මේ ජලජ පක්ෂි නාදයන් තුළින් කියවෙනවා වෙන්න පුළුවන්. පින්වත, මනුෂ්‍ය අපි වගේ ම, මේ කුරුලු වර්ගයාත් අයිති වෙන්නේ කාම ලෝකයට. මනුෂ්‍ය අපි වචනවලින් අදහස් ප්‍රකාශ කළත්, කුරුලු වර්ගයාට වචනවලින් අදහස් ප්‍රකාශ කරන්න බැහැ. පින්වත, සත්ත්ව ලෝකය යම් සේ සංකීර්ණ ද, සංස්කාර ලෝකයත් ඒ වගේ ම සංකීර්ණයි. පින්වත, පටිච්චසමුප්පන්නව පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා, මිච්ඡා වාචාවන් ම කතා කරලා, පිසුණු වචන, සම්පප්‍රලාප සහ කට ඇරියොත් බොරුම කියලා, අතීත මිච්ඡා වාචාවන්ගේ කෙටි ආස්වාදයේ අතිදීර්ඝ ආදීනවයයි, සුගතිය අහිමි කොටගත්, සතර අපායට අදාළව ලබන, වචනවලින් අදහස් ප්‍රකාශ කරන්න බැරි, කුරුලු ජීවිතයක්ය කියන්නේ. පින්වත, මේ භවාත්රයේ කිනම් සත්ත්වයෙක් වේවා පටිච්චසමුප්පාද දහමේ අවිද්‍යා පච්චයා සංඛාරා ධර්මතාවයේ හේතුඵල ධර්මයෝමයි. පින්වත, මේ සවස් යාමයේ කුඹුක් ගස් සෙවණේ මිහිරි සහ අමිහිරි හඬින් නාද කරන ජලජ පක්ෂීන්ගේ කෑකෝ ගැසීම් භික්ෂුවට ඇසෙන්නේ, මිච්ඡා වාචාවන් හෙවත් බොරුව, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්රලාපයන්ගේ දීර්ඝ ආදීනවයන් ගැන කියන ධර්මයේ පාඩමක් වගේමයි. පින්වත, වර්තමාන පුංචි මැතිවරණයක ඝෝෂාව මැද්දේ, මිච්ඡා වාචාවන් ගැන පරිස්සම් වෙන්න. බලයේ කෙටි ආස්වාදය උදෙසා, පටිච්චසමුප්පන්න මතු භවයක කතා කරන්න බැරි කුරුල්ලෙක් නම් වෙන්න එපා.
පින්වත, මෙහෙම කිව්වට භික්ෂුව සමග තරහ වෙන්න එපා. අපි හැමෝම කරන තරමක් කරන්නේ බොරු නේද? අපි හැමෝම තෘෂ්ණාවෙන් සැප සොයනවා. පින්වත, අපි රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ට ඇලිලා සැප සොයනවා. ඒවාට ගැටිලා සැප සොයනවා. පින්වත, අර ඈත පෙනෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය, ඒ ඈතින් අපි තව තවත් දුරස් වෙනවා. පින්වත, ලෝකය අද විතරක් නොවේ, ලෝකය කවදත් මෙහෙමයි. ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ කාලසටහනයි. එම කාලසටහනේ කාමයේ සහ රූපයේ ආස්වාදයේ කෙටි විවේක කාලයකුත් තිබෙනවා. ඒකත් හරියට ම අපායේ විවේක කාලය වගේමයි. පින්වත, ලෝකය වෙනස් වෙනකම් පුල, පුලා බලාපොරොත්තු සහගතව බලා සිටින්න එපා. පින්වත, පූර්වාදර්ශයන් තෘෂ්ණාව විසින් සොරා ගන්න පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ඔබ නිවැරදි වෙන්න. අනාගතයේ ලෝකය නිවැරදි වෙනවා යැයි බලාපොරොත්තු සහගත වීම තුළ ම, තෘෂ්ණාවයි අපි තුළ සක්‍රීය වෙන්නේ. තෘෂ්ණාව යම් තැනක ද, එතැන දුකේ බීජයන්මයි රෝපණය වෙන්නේ. පින්වත, දුක ගැන ඔබට ලියන මෙම මොහොතේ කුටිය අසල කුඹුක් ගස් සෙවණේ කොවුලන් දෙදෙනෙක් තරගයට නාද කරනවා. පින්වත, අපිට අමතකව ගියත්, කොවුලන් දෙදෙනා අපිට මතක් කොට දෙනවා, සිංහල අලුත් අවුරුද්දත් ළඟ ළඟ ම එනවා, කිරිබත්, කොණ්ඩ කැවුම්, කොකිස්, අතිරස හදන්න සූදානම් වෙන්නය කියලා. කොවුලන්ටත් දැනෙනවා ඇති, අපි අතීතය අමතක කොට දමා අනාගතයට යන්න උත්සාහ කරන ජාතියක්ය කියලා. ඒ නිසාමයි, කොවුලන් මතක් කොට දෙන්නේ, සිංහල අලුත් අවුරුද්දේ නැවුම් මුට්ටියක කිරිබතක්වත් පිසලා, අලුත් වෙන්නය කියලා. ඔබේ ලෝකයට තෘෂ්ණාවේ බර නොදෙන අලුත් අදහස් ඇති කොට ගන්නය කියලා. පින්වත, අපේ වර්තමාන අදහස්වල තෘෂ්ණාවේ මකුළු දැල් බැඳිලා. අපි අනාගතය යැයි කියමින් මේ පියවර තබන්නේ, වසර දෙදහස් හයසියයකට පෙර තිබූ අතීතයටයි. පින්වත, අපිට නොතේරුණාට ස්වභාව ධර්මයේ ම කොටසක් වූ කොවුලාට දැනෙනවා, අපි මේ යන තෘෂ්ණාවේ ගමන ස්වභාව ධර්මයේ වටිනාකම් විනාශ කොට ගෙන යන ගමනක්ය කියලා. පින්වත, අපිට අනාගතයක් තිබෙනවා, හැබැයි එම අනාගතයේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ නම් හිඟයි. එහි තිබෙන්නේ ඩොලර් සහ රුපියල්වල ආදරණීය බැඳීම පමණක්මයි.
පින්වත, ලෝකයේ ගොඩාක් දේවල් නැහැ. ලෝකය යැයි කියන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන කාරණා පහටයි. පින්වත, තෘෂ්ණාවයි මේ කාරණා පහ සංකීර්ණභාවයට පත් කොට දෙන්නේ. ලෝකයට අදාළ ඉහත සියලු ධර්මයෝ වෙනස් වෙලා යනවා. මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවී ගියා. පින්වත, ජීවමාන බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ප්‍රණීත වූ, සම්බුදු රූපය සිහියට නඟා ගෙන, එම සම්බුදු රූපය පිරිනිවන් මංචකයේ දී පූජනීය ධාතූන් වහන්සේලා බවට පත් වූ හැටි සිහියට නඟා ගන්න. පින්වත, අවිද්‍යාවෙන් උපදින සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනස් වීමට අයිති මේ ලෝකය දැකලා කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේලා තම ඵස්සය අසලින් ලෝකයට ඇතුළු වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ උපාදානයන්ගෙන් තොර ඵස්සය, බැඳී යෑම් නිරෝධය කරලයි වැඩ සිටින්නේ. උන්වහන්සේලා මාර ධර්මයන්ට ඉහළින් හෝ පහළින් නොවේ වැඩ සිටින්නේ. උන්වහන්සේලාගේ නිවී ගිය මාර ධර්මයෝ ආර්ය ධර්මයන්ගේ මුදුන් මල්කඩ වන ආර්ය විමුක්තියේ ආලෝකයට පාර කියනවා. පින්වත, භව නිරෝධය කෙරෙහි ඔබගේ කැමැත්ත තෘෂ්ණාවෙන් ගන්න එපා, එවිට උපාදානයෝ භවයට බඩ පිනුම් ගසාවි. පින්වත, භව නිරෝධය, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ යැයි, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය තුළින් ම දකින්න. පින්වත, ලෝකය ලස්සන, ලෝකය විඳින්නාට නොවේ, ලෝකය උපේක්ෂාවෙන් භුක්ති විඳින්නාටයි.
පින්වත, අප්‍රේල් සහ මැයි මාස දෙක පිනට සහ පවට අදාළ සංස්කාරයෝ වේගවත් වෙන මාස දෙකක්. පින්වත, සිංහල අලුත් අවුරුද්ද, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සහ වෙසක් සතිය පිනට අදාළ සංස්කාරයෝත්, පුංචි මැතිවරණය සහ මැයි දිනය හේතුවෙන් පවට අදාළ සංස්කාරයෝත් සක්‍රීය වෙන්න පුළුවන්. පින්වත, පින සහ පව වගේ ම, ඉහත අර්ථයන් දෙක තුළ දී ම, අකුසල් මූලයන් වන ලෝභ, ද්වේශ, මෝහයෝ ගැන සිහිනුවණින් පසු වෙන්න ඕනේ. පින්වත, සංස්කාරයන්ට අදාළවයි සත්ත්වයාගේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ සකස් වෙන්නේ. සංස්කාරයන් තුළ අවිද්‍යාවේ බර වැඩි නම්, විඤ්ඤාණයේ හැසිරීම මැජික්කරුවෙක් ම වෙනවා. පින්වත, අපේ මව්බිම මැජික්කරුවන්ගේ පාරාදීසයක්. මේ මැජික් පාරාදීසයේ මෛත්‍රිය, සීලය, ත්‍යාගය සමාජයට විවෘත නොකර, ආත්මීය දෘෂ්ටියයි විවෘත කොට පෙන්වන්නේ. පින්වත, “මම” මුල්කොටගත් මානසික උන්මාදය, කෙසේ නම් කර්මය කර්ම ඵල විශ්වාසය, පින සහ පව, සීලයේ සහ දානයේ ආනිශංස ධර්මයෝ තේරුම් කොට ගන්න ද? පින්වත, විනයගරුක සමාජයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ රජයකට හෝ පින්වත් නායකයකුට නොවේ. එම රජය සහ නායකත්වය පූර්වාදර්ශීව පිළිගන්නා මෛත්‍රියේ, සීලයේ සහ ත්‍යාගයේ ආනිශංස ධර්මයන්ටයි. පින්වත, පින්වත් ජනතාවගේ සීලයේ, මෛත්‍රියේ, ත්‍යාගයේ, විදර්ශනාවේ ශක්තියෙන් බිහි වෙන විනයගරුක සමාජයකට “මම” මුල්කොටගත් ආත්මීය දෘෂ්ටියේ උප්පැන්න හදන්න යන්න එපා. එසේ වුණොත්, බිහි කළා යැයි උදම් ඇනූ විනයගරුක සමාජය, කෙටි ආස්වාදයේ මායාවට ලකුණු ලබාදුන් තවත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක් ම වෙන්න පුළුවන්.