සියලු සංස්කාරයෝ වෙනස් වන්නේය

පින්වත, ලස්සනට තවත් නමක් කියන්න කිව්වොත්, භික්ෂුව කියන්නේ ආදරය කියලා. මොකද දන්නවා ද, ලස්සන හැම දෙයටම අපි ආදරය කරනවා. පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථය තුළ නම් කිසිම ලස්සනක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ආදරය අවලස්සන කරලා. ආදරය අපිට කෙටි ආස්වාදයේ, දීර්ඝ ආදීනවයන්ට පාර කියනවා. පින්වත, ඔහුට හෝ ඇයට නොවේ, ඇලීම් සහ ගැටීම් සංසිඳුණු සමාධිමත් සිතට ළං වෙන්න. පින්වත, ඔහුට හෝ ඇයට ළං වුණොත් ඔබ අසන්නේ පංච නීවරණයන්ගේ කතාවක් මයි. පින්වත, සමාධිමත් සිතට පෙම් බඳින්න. පින්වත, සම්මා ප්‍රේමයේ කාමච්ඡන්දයෝ නැහැ. සම්මා ප්‍රේමය දිගහැරෙන්නේ සප්ත බොජ්ඣංගයන්ගෙන් උපදින උපේක්‍ෂා පාර දිගේ. පින්වත, චංචල සිත සංසිඳෙන, සංසිඳෙන සිත විනිවිද පෙනෙන, විදර්ශනාමය සති, ධම්ම විචය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂාවේ ඒකවිහාරී සැබෑ ප්‍රේමයේ පහස, අනුන් තුළින් නොව, ඔබ තුළින් ඔබ මතු කොට ගන්න. පින්වත, ආදරයේ නාමයෙන් ඇලීම් සහ ගැටීම්වලින් පිස්සු වැටුණු ලෝකයක, මදි නොකියන්න සමාජගත වන කාමයේ වරදවා හැසිරීමේ විපාකයෝ මැඩගෙන, සම්මා සමාධිමත් පොළොවේ සප්ත බොජ්ඣංගයන්ගෙන් නැඟී සිටින්න. පින්වත, පංච නීවරණයෝ කුකුළා අතේ අරගෙන අප්‍රමාදී වෙද්දී, ආදරයේ නාමයෙන් ආශ්වාදයේ කෙටි පියාපත්වලින්, ප්‍රමාදීභාවයේ භව කූඩු සොයා ගෙන පියඹා යන්න එපා. සංසිඳුණු සමාධිමත් සිතට ළං වෙලා, ඇසට නොපෙනෙන ලෝක ධර්මයන් ගැන සිහිනුවණින් සොයා බලන්න.

පින්වත, ඔබේ ඇසෙන් ලෝකය දැකලා ඉවරයක් කරන්න බැහැ. පින්වත, ඔබේ සිතුවිලිවලින් ලෝකය ගැන සිතලා, ලෝකය ඉවරයක් කරන්න බැහැ. පින්වත, මුළු ජීවිත කාලයම ලෝකය වින්දත්, ලෝකය විඳලා ඉවරයක් කරන්න බැහැ. පින්වත, පටිච්චසමුප්පන්න අපේ සළායතනයන්ගෙන්, බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, සතර අපාය යන අතීත භවාත්‍රයන් මදි නොකියන්න වින්දත්, තාමත් අපි තෘප්තිමත් නැහැ. තෘෂ්ණාවේ උපාදානයෝ භවාත්‍රයට ඉව අල්ලන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට, රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයේ අයිසින් තවරලා. පින්වත, ඉවරයක් නැති ලෝකය ඉවරයක් කරන්න නම්, අපේ තෘෂ්ණාවයි අපි ඉවරයක් කළ යුත්තේ. පින්වත, අපි තෘෂ්ණාව ඉවරයක් කරන්න කැමති නැහැ. තෘෂ්ණාව ජීවිතයෙන් ඉවරයක් කළොත්, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ අපේ ජීවිතවලින් අවසන් වෙලා යනවා. එවිට අපිට කොහෙන් ද දුකක්? අපිට කොහෙන් ද සතුටක්? අපිට කොහෙන් ද ප්‍රීතියක්, පස්සද්ධියක්? පින්වත, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර සහ විඤ්ඤාණ ආහාර අපිට අහිමි වුණොත්, භව මන්දපෝෂණය හැදෙයි කියලා අපි බියෙන් පසු වෙන්නේ. අපේ ඵස්සයට අවිද්‍යාවේ ලුණු ඇඹුල් හොඳින් මුසු කරමින්, අපි ඇසෙන් දකින, කනට ඇසෙන, මනසට දැනෙන සියල්ලම සැපයෙන් හෝ දුකෙන් රස බලන්න මයි සැදී පැහැදී සිටින්නේ. පින්වත, ඔබ මේ කියවන සටහන රස බලන්න නම් එපා. යම් තැනක රස තිබෙනවා නම්, එතැන නීරසත් සැඟවී තිබෙනවා. පින්වත, ඵස්සය ළඟදීම, චිත්තානුපස්සනාවෙන් තෘෂ්ණාව ගබ්සා කරන්න. එතැනයි, සම්මා සමාධියෙන් පෝෂණය වූ භව සැලසුමේ ආරම්භය තිබෙන්නේ. පින්වත, ඔබ අකුරට සිදු කරන පවුල් සැලසුම වගේම, භව සැලසුමත් සීමාසහිත කොට ගන්න.

පින්වත, වර්තමානයේ රටේ භාණ්ඩාගාරයට නම් හොරු පනින්නේ නැහැ කියලා ආරංචියි. ඒත් ඉතින් පින්වත් ජනතාවගේ මුහුණුවල තිබිය යුතු සතුට සහ සිනහව නම් හොරු අරගෙන ගිහිල්ලා වගේමයි. පින්වත, මහමඟ ගමන් කරන පින්වත් මනුෂ්‍යයෙක්ගේ මුහුණේ සිනහවක්, සතුටක් දකින්න නැහැ. වෙළෙඳපොළට ගිහින් ගෙදරට අත්‍යවශ්‍ය බඩු අරගෙන එන පින්වත් මනුෂ්‍යයෙක්ගේ, සාප්පුවකට ගොඩ වෙලා ඇඳුමක්, පැළඳුමක් මිලට ගෙන සාප්පුවෙන් එළියට බහින මනුෂ්‍යයෙක්ගේ, බෙහෙතක් ගන්න රෝහලකට, ෆාමසියකට යන පින්වත් මනුෂ්‍යයෙක්ගේ මුහුණේ සිනහවක් හෝ සතුටක් දකින්න නැහැ. මේවා අද, ඊයේ ඇති වුණ හේතුඵල ධර්මයන් නොවේ. පින්වත, සංස්කාර පච්චයා විඤ්ඤාණං. අපේ ම අතීත ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මනෝ කර්මයෝ, අපිට සිනහ වෙන්න සහ සතුටු වෙන්න දැනීම් සකස් කොට දෙන්නේ නැහැ. පින්වත, අපේ ම අකුසල් සංස්කාරයෝ සමග අපි සටන් කළ යුතු නැහැ. අකුසල් අභියෝගයන් ඉදිරියේ අපි ජීවිතයෙන් පලා යා යුතුත් නැහැ. මේ අර්ථයන් දෙකම අයිති අධිමානයට සහ හීනමානයට. මේ අර්ථයන් දෙකෙන්ම මිදුණු තැනයි, මධ්‍යම ප්‍රතිපදාව වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ තුළ උපදින්නේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත්, පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයෝ මදි නොකියන්න අභියෝග කරනවා. භික්ෂුව එම විපාකයට පැමිණෙන අතීත අකුසල් අභියෝගයන්ට මදි නොකියන්න, සිනහවෙන් ම, සතුටෙන් ම පිළිතුරු දෙනවා, හැබැයි එම සිනහව සහ සතුට සමග මාරයාට හුරතල් වෙන්න නම් දෙන්නේ නැහැ. දැන් ඉතින් අපි දක්‍ෂ විය යුතුයි, මාර ධර්මයන්ගේ නැළවිලි ගී ඉදිරියේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ දෙපයින් නැඟීසිටීමට. එසේ නොවුණොත් අකුසල් සංස්කාර විසින් සොරා ගත්ත අපේ සිනහව සහ සතුට නිසා ම, අපි යළි, යළිත් අකුසල් මයි ජීවිතවලට එකතු කොට ගන්නේ.

පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. එම නිසා, ප්‍රශ්න අඩු අතීතය යළි වර්තමානයේ බලාපොරොත්තු වෙන්න එපා. සංස්කාරයන්ට අනිත්‍ය වී යන්න කියලා, ඔබ සතුටින් සිටින්න. සංස්කාරයන්ගේ ජන්ම ගතිය වෙනස් වීමයි. පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේම ඵලයක් වෙච්ච අපි, සංස්කාරයන්ගේ ජන්ම ගති කෙසේ නම් වෙනස් කරන්න ද? පින්වත, සංස්කාරයෝ වංචාවක්, සංස්කාරයෝ ප්‍රෝඩාවක්, සංස්කාරයෝ ඇස් බැන්දුමක්. පින්වත, සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කිරීමෙන් මිස, සංස්කාරයෝ පිනෙන් සහ පවෙන් නැළවීමේ අවිද්‍යාවේ කොටි වලිගය නම් අල්ලා ගන්න එපා. පින්වත, සතුට සහ සිනහව දුර්ලභ පංච උපාදානස්කන්ධ ලෝකයක, සති, ධම්ම විචය, වීර්යය බොජ්ඣංග ධර්මයන්ගෙන් තොරව කෙසේ නම් අපි, සතුට, ප්‍රීතිය, පස්සද්ධිය ඇති කොට ගන්න ද? පින්වත, ඔබ උඩු ගං බලා යන්න. ඇලෙන සහ ගැටෙන සිත් ඉදිරියේ තෘෂ්ණාවයි දුකට මුල යැයි කියන, සති සම්බොජ්ඣංගය ඇති කොට ගන්න. පින්වත, වෙළෙඳපොළට ගිහිල්ලා පොල් ගෙඩියක් රුපියල් දෙසීයකට මිල දී ගනිද්දී, මිල වැඩියි කියලා ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. රුපියල් විසි පහට අතීතයේ තිබුණු පොල් ගෙඩිය, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි, පොල් ගෙඩියේ මිලෙන් ධම්මානුපස්සනාව ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, අකුසල් සංස්කාර මාරයාව උපයෝගී කොට ගෙනම අකුසල් සංස්කාර මාරයාව දමනය කොට ගන්න. පින්වත, වර්තමාන වෙළෙඳපොළ සහ ව්‍යාපාර ලෝකය යැයි කියන්නේ, අකුසල් මාරයාගේ ප්‍රණීත මාර ඇමක්. පින්වත, පොල් ගෙඩියෙන්, හාල් කිලෝවෙන්, ලුණු පැකට් එකෙන් ඔබ මේ මාර ඇම ගිල්ලොත්, පින්වත් වෙළෙඳසලේ මුදලාලි මහත්මයා නොවේ ගොදුර ඩැහැ ගන්නේ. පින්වත, මාර ඇමට හසුවෙන ගොදුර ඩැහැ ගන්නේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා අවිද්‍යා මාෆියාවේ මහ මොළකරුවා මයි. පින්වත් ඔබ රුපියල්වලින් ලාභ සෙව්වත්, අවිද්‍යා මහ මොළකරුවා සොයන්නේ සංස්කාර ලාභයි. පින්වත, වර්තමානයේ බඩු මිල ගිනි ගනන්නේ, මුදලාලි මාෆියාවක් නිසා නොවේ, දුකට හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා, සමාජගත අවිද්‍යා මාෆියාවේ බලවත්භාවය නිසා මයි. පින්වත, කරුණාකර ඔය පාරිභෝගික අධිකාරිය, වැඩි මිලට බඩු විකුණන මුදලාලිට නඩු දැමීමට පෙරාතුව, එම පින්වත් මුදලාලිලාට දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන, චතුරාර්ය සත්‍යය ධර්මයෝ උගන්වන්න කාරුණික වෙන්න. පින්වත, ජාතියේ මුදුන් මුල වන චතුරාර්ය සත්‍යය ධර්මයෝ තෘෂ්ණාවෙන් කෙලෙසෙද්දී, අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට ගන්නේ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ බඹසර මයි.

පින්වත, අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ලාභ සොයමින් අවිද්‍යාව විකුණනවා. පින්වත, ලාභයි, ලාභයි සැප ලබන්න නම්, මෙන්න අඩු මිලට තෘෂ්ණාව යැයි කියලා, අපි අවිද්‍යාව විකුණනවා. පින්වත, අවිද්‍යා කොටස් වෙළෙඳපොළේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, පංච උපාදානස්කන්ධ දුක් කොටස්වල මිල හොඳටෝම ඉහළ නැගලා. අපි වෙළෙඳපොළේ බඩු මිල සමග ගැටෙමින්, තව තවත් අවිද්‍යා කොටස් වෙළෙඳපොළ ශක්තිමත් කරනවා. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං මැදින්, අවිද්‍යා කොටස් වෙළෙඳපොළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංච උපාදානස්කන්ධ දුක් ගොඩ දක්වාම සිතුවිල්ලෙන්, සිතුවිල්ල සීරුවෙන් සිටිනවා. පින්වත, අපි කවදා ද විකුණන සහ විකිණෙන මේ අවිද්‍යා වෙළෙඳ මාෆියාවෙන් මිදෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට, පසු පියවර තබමින්, අපි කවදා ද විද්‍යා විමුක්තිය පසුපසින් වඩින්නේ? පින්වත, අතීත මහ රහතන් වහන්සේලා ළඟ විකුණන්න මුකුත්ම තිබ්බේ නැහැ. එම නිසාම, උන්වහන්සේලා කාටවත්ම විකිණුනේ නැහැ. උන්වහන්සේලා අවිද්‍යාව නිරෝධය කළ තැන, පටිච්චසමුප්පාද වෙළෙඳපොළ ම නිවිලා යනවා. පටිච්චසමුප්පාද වෙළෙඳපොළ ම නිවුණු තැන උන්වහන්සේලා මොනවා නම් විකුණන්න ද? ඵස්සය ළඟින් තෘෂ්ණාව සිඳුණු උන්වහන්සේලාගේ ජීවිත, ලාභ සහ අලාභ යන අර්ථයන් දෙකෙන් ම නිදහස් වෙනවා. පින්වත, අපි තවමත් ලාභ සොයන්නේ අලාභය ගැන දන්නා නිසාමයි. පින්වත, ඇලෙන සහ ගැටෙන ලෝකය පංච නීවරණයන්ගේ පාරාදීසයයි. අවිද්‍යාව සංස්කාර ලාභ සොයන වෙළෙඳ මාෆියාවයි.

පින්වත, ඇලීම් සහ ගැටීම් සහිත පොළොවේ සම්මා සමාධිය පැළ වෙන්නේ නැහැ. සම්මා සමාධිය යැයි කියන්නේ, සම්මා ඥානයන් සොයාගෙන යන මාර්ග සිතියමයි. පින්වත, මාර්ග සිතියම දුර්වල වුණොත්, අපි මිච්ඡා ඥානයන්ට රැවටෙන්න පුළුවන්. මිච්ඡා ඥානයන්ට අපි රැවටුණොත්, අපි මුලින්ම අභියෝග කරන්නේ උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයට. පින්වත, සම්මා සමාධිය නිවැරදිව ඔබ තුළ පැළ කොට ගන්න. සම්මා සමාධිය පැළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තමා තුළින්, තමා නිවැරදිව දකින, සම්මා සතිය නමැති පොළොවේ පමණක් මයි. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ සහ පටිච්චසමුප්පාද ධර්මයන් වගේම, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ස්වාක්ඛාත ගුණය, අපි, අපේ කෙලෙස්වල ගැඹුරුභාවයට ගොදුරු වෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, ස්වාක්ඛාත වූ දහමක, සන්දිට්ඨික ප්‍රතිලාභයෝ, අපි ඒහිපස්සිකව අත්දකින්න ඕනේ. අපි තවම දන්නේ පටිච්චසමුප්පන්නව ඉපදුණා, මැරෙනවා, යළි උපදිනවාය කියන කාරණය පමණක් මයි. මේ සියල්ලට ම හේතුව තෘෂ්ණාව යැයි කියලා අපි තවම ප්‍රායෝගිකව දන්නේ නැහැ. පින්වත, තෘෂ්ණාවට රතු පලස් එළන, ඔබේ ඵස්සය වසා තබන්න. එවිට දුවන ලෝකය තුළ ඔබේ ලෝකය නවතීවි. පින්වත, අපි නොනැවතී, කෙසේ නම් අපිවත් පටලවාගෙන දුවන ලෝකය දෙස බලන්න ද? පින්වත, ලෝකයට වැරදිලා නැහැ. ලෝකය දුකේ ඉලක්කගත පටිච්චසමුප්පන්න ගමනක් යන්නේ. අපි තවම ප්‍රමාදීභාවයෙන් ලෝකයෙහි තැවරිලා. තෘෂ්ණාවේ ලාටු මත අපි තවමත් ඇලවිලා.