අවිද්‍යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාවය

පින්වත, විමුක්තියේ නාමයෙන් සත්ත්ව යාග, ගිනි යාග, යුදමය යාග, දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී යාග සිදු කරන ලෝකයක, තුනෙන් දෙකේ බලයක් යැයි කියන්නේ විමුක්තියක් යැයි දකින ලෝකයක, ධර්මානුකූලව සැබෑ විමුක්තිය යැයි කියන්නේ, සියලු ලෝක ධර්මයන්ගෙන් නිදහස් වූ ධර්මතාවයක්. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට, සම්මා ඥාන තුළින් අටෙන් එකට පෙරා ලබන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ උපාදානයෝ අවසන් කළ නික්ලේශී ඵලයයි විමුක්තිය යැයි කියන්නේ. පින්වත, විමුක්තියට තිබෙන්නේ විදර්ශනාවේ ආර්ය හැඩරුවයි. එම ආර්ය හැඩරුව තුළ විඳීම් නැහැ. එම නිසා ම, විමුක්තිය තමා දෙස බලන්නේ “මම“ මුල්කොට ගෙන නොවේ. ආර්ය විමුක්තිය තමා දෙස බලන්නේ අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ යැයි දකින උතුම් ධම්මානුපස්සනාව තුළින් මයි. පින්වත, ආර්ය විමුක්තිය නිදහස කියන වචනයෙන් හඳුන්වන්න බැහැ. පින්වත, ආර්ය විමුක්තිය නිදහස කියන අර්ථයෙනුත් “නිදහස් වුණා” වෙනවා. පින්වත, ආර්ය විමුක්තිය තුළ ලෝකයට අයිති අබ මල් රේණුවක තරම් වත් දෙයක් ඉතිරි වෙලා නැහැ. ආර්ය විමුක්තිය තුළ හිස් දෙයකුත් නැහැ. ආර්ය විමුක්තිය තුළ පිරුණු දෙයකුත් නැහැ. ආර්ය විමුක්තිය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවේ සුපිරිසිදු ඥාන දර්ශන විශුද්ධියයි. පින්වත, වැලි මිරිකලා වතුර ගන්න අපිට බැරි වුණත්, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මිරිකලා, ආර්ය විමුක්තිය ලබන්න අපිට පුළුවන් වෙන්නේ, උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය නිසා මයි.

පින්වත, අවිද්‍යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාව තිබෙනවා. උතුම් අනාගාමීඵල අවබෝධයේදීත් කාම, රූපී, අරූපී තෘෂ්ණාවන් නිරෝධය වූ, අනුශය තෘෂ්ණාවක් ඉතිරිව තිබෙනවා. එම අනුශය තෘෂ්ණාවත් ඔහු නිරෝධය කරන්නේ, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්ම තුළින් මයි. ඉන් අදහස් වෙන්නේ කාම, රූපී, අරූපී තෘෂ්ණාවන් නිරෝධය කළ අනාගාමීඵල අවබෝධය ලැබූ පින්වතා තුළත්, කාමයන්ට නොඇලුණ අනුශය පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක් තිබෙනවාය කියන කාරණයයි. පින්වත, ඔබ දැකලා තිබෙනවා ද, කියතකින් ගසක් ඉරද්දී, ගසේ අරටුවත් කැපිලා, ගසේ එළයත් කැපිලා අවසානයේ දී ගසේ කුඩා පොත්තෙන් පමණක් ගස, ගසේ මුලට සම්බන්ධව තිබෙන අවස්ථාව. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධයේ දී කාම භව, රූපී භව, අරූපී භව අරටු සහ භව එළයන් කැපී අවසන් වුවත්, අනුශය පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නමැති පොත්තෙන්, අදාළ ජීවිතය අවිද්‍යාවේ මුල සමග සියුම්ව බැඳී තිබෙනවා. එම සියුම් බැඳීමත් කැපී යන්නේ, යළි යළිත් පුහුණු කරන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම තුළින් මයි. පින්වත, කාම, රූපී, අරූපී උපාදානයෝ සිඳ දැමුවත්, උපරිම එක ආත්මභාවයකට සීමා වූ අනුශය තෘෂ්ණාව, අවිද්‍යාව සමග තිබෙන බැඳීම පේනවා නේද? පින්වත, ඔබ ඉදිරියේ සිටින පින්වත් මනුෂ්‍යයා ගැන ඔබ කලබල වෙන්න එපා. ඔහුගේ තෘෂ්ණාව ගැනයි ඔබ අවදියෙන් සිටිය යුත්තේ. පින්වත, ඔබ, ඔබ ගැන සිහිනුවණින් සිටියා යැයි කියන්නේ, ඔබ තුළ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් ගැන අවදියෙන් සිටියොත් පමණක් මයි. පින්වත, එකම එක ආත්මභාවයකින් මරණීය දණ්ඩනයට නියම වූ අනුශය තෘෂ්ණාව, අනාගාමීඵල අවබෝධය තුළදීත් සුදු ඇඳුමෙන් නිසලව හැසිරෙනවා.

පින්වත, තෘෂ්ණාව යැයි කියන්නේ අයිසින් තැවරූ හක්කපටස් රතිඤ්ඤා එකක් වගේ දෙයක්. එම නිසා, ලස්සනට රැවටිලා, සුවඳට රැවටිලා, රසයට රැවටිලා තෘෂ්ණාවේ අයිසින් තැවරූ හක්කපටස් රතිඤ්ඤා ගිල දමන්න නම් එපා. කැලයේ ඌරෝ දඩයම් කරන පුද්ගලයා කරවල කැබැල්ලක් හක්කපටස් රතිඤ්ඤාවක තියලා, නූලකින් හොඳින් බැඳලා, සවසට ඌරු මංකඩක තබනවා. කරවල කැබැල්ලේ කරවල සුවඳට, හක්කපටස් රතිඤ්ඤාවේ වෙඩි බෙහෙත් සුවඳ ඌරාට දැනෙන්නේ නැහැ. හක්කපටස් එකට බැඳුණු කරවල කැබැල්ල කටට දමා ගෙන හපන කොට ම වල් ඌරාගේ වේදනාත්මක මරණය සිද්ධ වෙනවා. පින්වත, ඌරාගේ වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව, අතීත පටිච්චසමුප්පන්න මරණීය අකුසල් විපාක දීමට උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා වගේ ම, අනාගත පංච උපාදානස්කන්ධ දුකට අදාළ සංස්කාරයෝ ද තිරිහන් කොට දෙනවා. පසුගිය දිනවල රටේ පැතිරී ගිය ඌරු වසංගතය හේතුවෙන්, කැලේ වල් ඌරොත් යම් ප්‍රමාණයක් මැරිලා වගේ, හුඟ දවසකින් කැලයේ වල් ඌරෙක්ව දැක්කේ නැහැ. මෙම අසරණ සතුන් මදුවලට පැටලිලා, පොරෝ පහරවල් කාගෙන, හක්කපටස්වලට කටවල් පුපුරුවා ගෙන, අතිශය මරණීය දුක් විඳ මැරෙනවාට වඩා, වසංගතයක් හැදිලා මැරෙන එක හොඳයි කියලා කෙසේ නම් කියන්න ද? කෙසේ මැරුණත්, මැරෙන මොහොතේ ම පටිච්චසමුප්පන්නව නැවත සතර අපායේ දුක්ඛිත උපතක්. පින්වත, මේ සටහන් තබන ධර්මය කැලයේ ඌරන්ට වැඩක් නැහැ. භික්ෂුව, භික්ෂුවට ම නැවත සතර අපායට නම් වැටෙන්න එපාය කියන පාඩමයි මේ කියලා දෙන්නේ. පින්වත් ඔබත් කැමති නම් එම පාඩම ඉගෙන ගන්න.

පින්වත, රට හදන්න ඉස්සර වෙලා, ජනතාව හදන්න ඉස්සර වෙලා තමන් හැදිලා ඉන්න ඕනේ. පින්වත, අපේ රටේ ඉතිහාසය, වර්තමානය දෙස සිහිනුවණින් බලද්දී, තමන් නොහැදී රටත්, ජනතාවත් හදන්න ගිය අයට සිද්ධ වෙච්ච දේවල් ඒහිපස්සික ධර්මයක් වගේ මයි භික්ෂුවට නම් පෙනෙන්නේ. පින්වත, තමනුත් හැදී රටත්, ජනතාවත් හදන අංක එකේ උත්තරීතර දහමක් අපිට තිබෙනවා. පින්වත, සැබවින් ම අපි තවමත් හරිම වාසනාවන්තයි, මේ උත්තරීතර දහම ප්‍රායෝගිකව අපි ජීවිතවලට ගලපා නොගත්තත්, මේ උත්තරීතර දහම අපිට වර්තමානයේ අසන්නට ලැබෙනවා; කියවන්නට ලැබෙනවා. පින්වත, තමන් හැදී රටත්, ජනතාවත් හදන උත්තරීතර දහම තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ. පින්වත, දුක විනිවිද දැකලා, දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා දැකලා, තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තම ජීවිත ප්‍රතිපත්ති ප්‍රකාශය හැටියට ඔහු දකිනවා. පින්වත, අපේ රටේ දේශපාලන පක්‍ෂ, මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙද්දී, තම පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ජනතාව ඉදිරියේ තබනවා නේද? පින්වත, මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ම අවසානයේ ජාතියට සහ අදාළ රජයන්ට ලැබුණේ පරාජයන් ම නේද? පින්වත, ඔය ප්‍රාථමික ඇස් බැන්දුම්වලින් මිදිලා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජාතික ප්‍රතිපත්තිය බවට පත් කොට ගන්න. පින්වත, සමාජයේ ජීවත් වන පින්වත් මනුෂ්‍යයෝ වංචා, දූෂණ, සොරමැරකම්, පාතාල ක්‍රියාකාරකම් සිදු කරනවාය කියලා සිර ගෙවල්, බන්ධනාගාර පුරවලා තේරුමක් නැහැ. පින්වත, කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වූ මෛත්‍රිය, සීලය, දානය ගැන සමාජයට පූර්වාදර්ශීව කියලා දෙන්න. පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා තෘෂ්ණාවයි දුකට එකම හේතුව යැයි දකින සිහිනුවණින් තීන්දු තීරණ ගන්න. පින්වත, ලෝභ, ද්වේශ, මෝහයෝ වැඩි වුණ තැනදි, පෙනෙන මෙලොවත්, නොපෙනෙන පරලොවත් යන දෙකම පිරිහිලා යනවා. පින්වත, වර්තමාන සමාජයේ සොරකම, වංචා, දූෂණයන් ගැන මහා ඉහළින් කතා කළත්, මනුෂ්‍ය හිංසනය සහ බොරුකීම පංච සීලයට අදාළ යැයි නොසිතන බවක් පෙනෙනන්ට තිබෙනවා. පින්වත, දුශ්ශීලභාවයේ විපාකයෝ සම්මා සතියට පා පහර දෙන්නේ, පංච නීවරණයන්ගේ ඔඩොක්කුවට වැටෙන්න මයි. එවිට අපි තුළ ඉතිරි වෙන්නේ මිච්ඡා සතියක්. ඔය කියන මිච්ඡා සතිය, මීයෙක් අල්ලන්න කුරුමානම් අල්ලන පූසෙක් තුළත් තිබෙනවා.

පින්වත, තෘෂ්ණාවට අරක්කු බොන්න සිතුනහම, සද්ධර්මයත් විකෘති කරනවා. පසුගිය දවසක කවුරුන් හෝ කියලා තිබුණා, “සතියෙන්” අරක්කු බොන්න පුළුවන්ය කියලා. පින්වත, ගිහි වේවා, පැවිදි වේවා, සිල් පද දුර්වල කොට ගන්නා සෑම මොහොතක ම එම පින්වතා හෝ පින්වතිය පසු වන්නේ මිච්ඡා සතිය තුළයි. යම් පින්වතෙක් තුළ සම්මා සතිය වැඩෙන්න නම්, ඔහු තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතියට ඉහළින් තිබෙන මාර්ග අංග හය ම වැඩෙන්න ඕනේ. පින්වත, මෙතෙක් අපේ රට පාලනය කළ හුඟාක් පින්වත් නායකයන්ට පවා තිබුණේත් මීයෙක් අල්ලන්න කුරුමානම් අල්ලන පූසෙක් තුළ තිබෙන මිච්ඡා සතියයි. පින්වත, සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ සහ සීලයට අදාළ මාර්ග අංගවල ශක්තිය, තමා තුළින් මතු කොට ගැනීමෙන් පමණක් මයි, සම්මා වායාමෝ තුළින් සම්මා සතිය උපදින්නේ. උතුම් සම්මා සතිය අපිව ආපසු හරවන්නේ නැහැ; අපිව වරද්දන්නෙත් නැහැ. පින්වත, උතුම් සම්මා සතියට පුළුවන්, තෘෂ්ණාවට අධිපති මාරයාගේ දෑස් තාවකාලිකව අන්ධ කරන, සම්මා සමාධිය උපද්දවා දෙන්න. පින්වත, අවිද්‍යා බස් රථයේ පාපුවරුවේ හෝ එල්ලී, වර්ණය, සැපය, බලය සොයා ගෙන, තෘෂ්ණා මාරයාගේ දෑස් ප්‍රකෘතිමත් කරන අපේ වර්තමාන කැමැත්ත, අවිද්‍යා බස් රථයේ සුවපහසු ආසනයක වාඩි වෙලා අනාගතයේ කාම භව සිරි විඳින්න මයි. පින්වත, තෘෂ්ණාව ජීවිතයෙන් ගලවා දමන්න, එවිට උපාදානයෝ ගැලවී යාවි. එතෙක් සංස්කාර තුරුල්ලේ නැළවෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා අපිව දක්කන්නේ, කෙටි ආස්වාදයේ රජ මඟුල් මේසය ඔස්සේ, ආදීනවයන්ගේ මුඩු බිම් දිශාවට මයි.

පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, තම ව්‍යාපාරයෙන් රජයේ භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවීමෙන්, තමන්ට පිනක් ලැබෙනවා ද කියලා. පින්වත, සමහරක් රටේ සුපිරි ධනවතුන් භාණ්ඩාගාරයට බදු මුදල් ටිකක් ගෙවලා, පක්‍ෂ අරමුදල්වලට ලොකු ධනයක් බැර කරන වංක සමාජයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, ධනවත්භාවය සහ දුප්පත්භාවය යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයක්. පින්වත, සංස්කාරයෝ වෙනස් වුවත්, ධනවත් සහ දුප්පත්භාවය අයිති අවිද්‍යාවට මයි. පින්වත, සමාජයේ සමගිය උදෙසා, දියුණුව උදෙසා, ධනවත් සහ දුප්පත් දෙපාර්ශ්වයේ ම සම්මා දැක්ම අත්‍යවශ්‍ය වෙනවා. අවංක, ධනවත් පින්වතා බොරු කිරීමකින් තොරව, තම බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීමෙන්, රජය එම බදු මුදල් වැය කරන්නේ පොදු ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු ශුභ සාධනයන් උදෙසායි. පින්වත, රාජ්‍යය තුළ කිනම් දූෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මකව තිබුණ ද, ව්‍යාපාරික ඔබ, අවංකව ම භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවන්නේ නම්, රටේ නිදහස් අධ්‍යාපනයෙන්, නිදහස් සෞඛ්‍ය සේවයෙන් සහ අස්වැසුම ආදි වූ සමාජ ප්‍රතිලාභයන් ලබන ලක්‍ෂ සංඛ්‍යාත පින්වත් ජනතාව සිහිපත් කොට ගෙන, සාධු! සාධු! යැයි කියලා එම පින් ආදායම් බදු ගෙවන ඔබ අනුමෝදන් වෙන්න. පින්වත, ලෝකය නිවැරදි කරන්න අපිට බැහැ. අවංක ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් නිවැරදි වෙන්න. ඔබ රජයට ගෙවන බදු මුදලින් ඔබ පින් සිදු කොට ගන්නවා වගේ ම, බදු මුදලින් යැපෙන දුප්පත් ජනතාව නිරෝගීභාවයෙන්, දැනුමෙන්, ආර්ථික ශක්තියෙන් නැගී සිටිද්දී, එම දුප්පත් ජනතාවගේ පින් කිරීමේ ශක්තියත් වැඩි වෙනවා, එවිටයි රටක් පිනෙන් පිරෙන්නේ. පින්වත් ධනවතා, දුප්පතා තුළිනුත්, දුප්පතා, ධනවතා තුළිනුත් පින උපයනවා. දෙපාර්ශ්වය, දෙපාර්ශ්වයට ම ගරු කරනවා. පින්වත, රටක් හැටියට අපි කොතන ද ඉන්නේ? රාජ්‍ය කළමනාකරණයේ අවිද්‍යාව, පින්වත් ධනවතාත්, පින්වත් දුප්පතාත් පවෙන් ම, සැකයෙන් ම, අසමගියෙන් ම පුරවනවා.