පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලයක පිරිසිදු වෙන්න ඕනේ. අංක තුන රටේ මන්ත්‍රී මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ. අංක හතර රටේ මහණ බමුණන් පිරිසිදු වෙන්න ඕනේ. පින්වත, ඉහත සියලු දෙනාගේ පිරිසිදු පූර්වාදර්ශයෝ පහළට ගලාගෙන ඒමෙන් පසුවයි, පස්වැනි පියවර හැටියට රටේ ජනතාව ස්වයංක්‍රීයව පිරිසිදු වන්නේ. ඉහත කාරණා පහම පිරිසිදු වීමෙන් අනතුරුවයි ක්ලීන් ශ්‍රී ලංකාවක් බිහි වන්නේ. පින්වත, අපි වර්තමානයේ මොකක් ද මේ කරන්නේ? අංක එකේ සිට අංක හතර දක්වා අමතක කොට, අංක පහ වන ජනතාව ක්ලීන් කරන්න යනවා. පින්වත, රටක රජතුමාගේ පටන් ජනතාව දක්වා අපිරිසිදු වන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, සැකය, විචිකිච්ඡාව කියන පංච නීවරණ අධර්මයෝ නිසා මයි. පින්වත් මහජනතාව මාර්ග නීති කඩ කරන්නේ, මහ පාරට කුණු දමන්නේ, බොරු කියන්නේ, සොරකම, වංචා, දූෂණ සිද්ධ කරන්නේ, පංච නීවරණ ධර්මයන්ගේ තීව්රභාවය නිසා මයි. පින්වත, ඔබලාට රට පිරිසිදු කරන්න අවශ්‍ය නම්, කරුණාකර රටේ රජතුමාගේ පටන් ජනතාව දක්වා පංච නීවරණ ධර්මයෝ තුනී කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කරන්න. ඊට මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් පින්වතෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොපිළිගන්නේ නම්, සීලයෙන්, මෛත්‍රියෙන්, පරිත්‍යාගයෙන් රජතුමාගේ පටන් ජනතාව දක්වා අවදි කරන්න, එයයි ක්ලීන් ශ්‍රී ලංකාවකට තබන පැළ නොවන මුල් ගල වන්නේ.
පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ක්ලීන් වචනයට ගොඩාක් කැමතියි. පිරිසිදු වීම යැයි සිතෙද්දී ම, ඇලීම් සහ ගැටීම් බැහැර වූ උපේක්ෂා සහගත සිත තාවකාලිකව අපිරිසිදු ධර්මයන්ගෙන් නිදහස්වයි තිබෙන්නේ. එහෙම සිතකට තමන් පරිහරණය කරන කුටිය, වැසිකිළිය, වටාපිටාව අපිරිසිදුව තබා ගන්න කොහෙත් ම බැහැ. රටේ පවතින නීතිරීති සහ බුදුරජාණන් වහන්සේ පැනවූ විනය කාරණා නොතකා කටයුතු කරන්න කොහෙත්ම බැහැ. පින්වත, එවැනි උපේක්ෂා සහගත සිතක දුශ්ශීලභාවය ද්වේශය, පළිගැනීම, කාමච්ඡන්දයෝ, විසිරුණු සිතුවිලි නැහැ. පින්වත, සුපිරිසිදු දහමකින් උපන් සුපිරිසිදු ජීවිතයක්. මේ සටහන කියවන පින්වත් ඔබ කැමති ද පුංචි මොහොතක් අපිරිසිදු පංච නීවරණයන්ගෙන් බැහැරව පිරිසිදු මනුෂ්‍යයෙක් වන්න. පින්වත් ඔබ මේ සටහන කියවීම මොහොතක් නතර කොට, ඔබේ කය ඍජුව තබා ගෙන, ආයාසයකින් තොරව නිදහසේ මොහොතක් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න. බාහිර සිතුවිලි ඇති වුණොත්, එම සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දැකලා, ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි සිත ඍජුව පිහිටා ගන්න. ඔබේ ආශ්වාස ප්රශ්වාසයේ ඇති වීම සහ නැති වීම නුවණින් දකිමින් හුස්ම ගන්න. පින්වත, මේ මොහොතේ ඔබ තුළ පංච නීවරණ අපිරිසිදු ධර්මයෝ යටපත් වෙලා නේද? පින්වත, දැන් කරුණාකර දෑස් විවෘත කරන්න. පින්වත, දැන් ඔබට වැටහෙනවා ද, අනුනට බරක් සහ බියක් නැති, ක්ලීන් ගිහි ජීවිතයක් කියන්නේ කුමක් ද කියලා. මෙවන් ක්ලීන් ගිහි ජීවිතයක් ඔබ පුහුණු කළොත්, ඇලීම් සහ ගැටීම්වලින් තොර උපේක්ෂාව ඔබේ ජීවිතයේ කොටසක් වෙනවා. එවිට කර්මය කර්මඵල විශ්වාසය ඔබේ ජීවිත දහම වෙනවා. පින්වත, පංච නීවරණයෝ ජීවිතයෙන් පිරිසිදු නොකර කවදාකවත් අපිට කළ යුත්ත සහ නොකළ යුත්ත කුමක් ද කියලා සතිය සහ සිහිය ඇති කොට ගන්න බැහැ. ඒ නිසාම, අපි නැවත, නැවත වැරදි කරනවා.
පින්වත, ආදරය යැයි කියන්නේ දෙහදක් තුළ ඇති වන පුදුමාකාර බැඳීමක්. ආදරය නොකළ හිතකට එම බැඳීම ගැන සිතා ගන්නවත් බැහැ. කොටින්ම ආදරයේ මුල් අවදිය කියන්නේ අහිංසක පිස්සුවක්. ඒ අහිංසක පිස්සුව මුළු ලෝකයම දෙදෙනකුට සීමා කොට දමනවා. සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා ආදරය සෑම සිතුවිලිවල ම තැවරිලා තිබෙනවා. කොහේ බැලුවත්, ඔබට මැවිලා පෙනෙන්නේ ඔහු හෝ ඇයයි. කුමක් ඇසුවත්, ඔබට අසෙන්නේ ඔහුගේ හෝ ඇයගේ කටහඬයි. කුමක් සිතුවත්, එම සිතුවිල්ල අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ මතකය සමගින් මයි. පින්වත, ඒත් ඔබට පුංචි හෝ වෙහෙසක් නම් දැනෙන්නේ නැහැ. පින්වත, ආදරය ඉදිරියේ දුකත් තිබෙනවා. ආදරය ඉදිරියේ සැපත් තිබෙනවා. ඒත් ආදරය ඉදිරියේ දුක විවෘත කොට දකින්න අපි කැමති නැහැ. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ ආදරයේ කෙටි ආස්වාදයයි. පින්වත, ආදරය අයිති අතීත සංස්කාරයන් තුළ පටිච්චසමුප්පන්නව බැස ගත්ත විඤ්ඤාණයේ මායාවටයි. පින්වත, ආදරයේ නාමයෙන් ඔබ මේ රඟන්නේ, විඤ්ඤාණයේ මායාවට පණ පොවන, තෘෂ්ණාවේ සෙවණැල්ලෙන් පටිච්චසමුප්පන්නව යළි උපදින, උපාදානයන්ගේ භව රඟ මඬල තුළයි. පින්වත, කැලයට ගොම්මන් අඳුර වැටෙන මේ වයෝවෘද්ධ දිනයේ ලා අඳුර මැද තනි වූ සෙබඩක්, තම රාත්‍රී නවාතැන සොයා ගෙන වේගයෙන් පියවර තබමින් යන හැටි භික්ෂුවට පෙනෙනවා. පින්වත, සඳ එළියත්, පිනි කැටත් වැටෙන නිරහංකාර අහස් කුස යට රූස්ස දිරා ගිය ගසක අත්තක්, අද රාත්‍රී ඇයගේ නවාතැන වේවි. පින්වත, ආදරය නමැති අර්ථයට ප්‍රණීත ආහාරයෝ නොහිඟ මේ යෞවන රාත්‍රියේ, තනි වූ සෙබඩ ගත කරන මේ හුදෙකලා තනි යහනේ රාත්‍රිය, ඇලීම් සහ ගැටීම් බහුල අතීත පටිච්චසමුප්පන්න ආදරයක කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයක් නේද? පින්වත, ආදරයේ කෙටි ආස්වාදය තුළ අවිද්‍යාවේ විෂබීජ තැවරී තිබෙන නිසා ම, ආදරය කැමති එක්කෝ ඇලෙන්න, එක්කෝ ගැටෙන්න. එයා උපේක්ෂාවට කැමති නැහැ.
පින්වත, ආදරයේ උපේක්ෂාව කියන්නේ කාරණා හයක ඵලයක්. ආදරයේ උපේක්ෂාව ඔබ තුළ ඇති වන්න නම්, සති, ධම්ම විචය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි කියන ධර්මතාවයන් හය ම ඔබ තුළ වැඩෙන්න ඕනේ. ඉහත කාරණා හයෙන් ඔබේ ආදරය විනිවිද දැක්කොත් තමයි, ඔබේ ආදරය තුළින් ධර්මයේ උපේක්ෂාව මතුකොට ගත්තා වෙන්නේ. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව සහ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ හිරිකඩ ගසන අශ්‍රද්ධාවේ බිඳුණු උළු සෙවිලි කළ අවිද්‍යාවේ පියස යට, ආදරයට නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන අරුත් සොයන අපි, ආදරයේ උපේක්ෂාව ඉදිරියේ අන්ධ, ගොළු, බිහිරි චරිත මයි. පින්වත, ආදරයේ උපේක්ෂාව මයි, ආදරයෙන් ආදරයේ නිරෝධය මතුකොට දෙන්නේ. ආදරයේ නිරෝධය මතුකොට ගත් පින්වතා, පින්වතිය ආදරය කියන ආර්ථය ලෝකය තුළ තියලා, ආදරයෙනුත්, ලෝකයෙනුත් නිදහස් වනවා. තරුණ විවාහක කාන්තාවක් තම දෙමාපියන් සමග ඇවිත් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මගේ සැමියා සමග තවත් ජීවත් වෙන්න බැහැ” ය කියලා. ඔහු හරිම ලෝභී පුද්ගලයෙක්. විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. ඔහු තවම තමන්ට ඇඳුමක් අරගෙන දීලා නැහැය කියලා. ඇඳුමක් අරගෙන දීලා නැතිනම්, රත්තරන් බඩුවක් ගැන මොන කතාවක් ද? භික්ෂුව එම තරුණ බිරිඳට දැනුම් දුන්නේ, ඔබ ඔය කියන කතාව ධර්මානුකූලව නිවැරදි නැහැය කියලා. පින්වත, ඔබ ඉහත කතාව ධර්මානුකූලව මෙසේ නිවැරදි කර ගත යුතුයි. “ස්වාමීන් වහන්ස, මම විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. මගේ පටිච්චසමුප්පන්න අතීත භව ලෝභී අකුසල් නිසාම, මගේ සැමියාට අද දක්වා මට ඇඳුමක් අරගෙන දෙන්න දැනීම් සකස් වුණේ නැහැ” ය කියලා. පින්වත, ආදරයේ නාමයෙන් ඇලෙන සහ ගැටෙන ලෝකය තුළ ආදරයේ උපේක්ෂාව ඔබේ අතීත පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාරයන් ඔබට විවෘත කොට පෙන්වනවා. තම සැමියා වැරදියි, තමන් නිවැරදියි කියලා ඇලෙන්න හෝ ගැටෙන්න තැනක් එතන නැහැ. එතැන තිබෙන්නේ විඤ්ඤාණයට අදහස් දෙන සංස්කාර මායාවේ සත්‍ය වියරුවයි. පින්වත, ඔබට මේ සංස්කාර වියරුවට මුහුණ දෙන්න අවශ්‍ය නම්, වර්තමානයේ මෛත්‍රියට, සීලයට, ත්‍යාගයට අදාළ පිනැති සංස්කාරයෝ ජීවිතයට එකතු කොට ගෙන ප්‍රශ්නයට තාවකාලිකව පැලැස්තර දමන්න. එසේත් නැතිනම් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ආදරයේ නිරෝධයට මාර්ගය මතුකොට ගන්න.
පින්වත, සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. අධර්මයෝ අධර්මයන් ම මතුකොට දෙන අපූරුව ඔබට සක්සුදක් සේ පෙනෙනවා නේද? පින්වත, සත්‍යය නිදිගත් සමාජයක, අසත්‍යයට පාළු ගෙවල්වල වළං බිඳීම හේතුඵල ධර්මයක් ම වනවා. පින්වත, අසත්‍යයට චෝදනා කරලා තේරුමක් නැහැ. සමාජය තුළින් සත්‍යයයි අවදි කොට ගත යුත්තේ. පින්වත, සත්‍යය අවදි කොට දෙන එකම ශක්තිය සීලයේ ශක්තියයි. හැබැයි ඉතින් යම් පින්වතෙකුගේ ජීවිතයේ සීලයේ ශක්තියට ඉහළින් සම්මා දිට්ඨියේ අර්ථයන් නොතිබුණොත්, ඔහුගේ සීලය කෙටි ආස්වාදයේ ගොදුරක් ම වෙනවා. අවසානයේ එම සීලය අයිති වන්නේ ලෝභ, ද්වේශ, මෝහයන්ට වත්සුණු තවරන මිච්ඡා සීලයට මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත් වීමෙන් ලැබෙන ආනිශංසයන් මොනවා ද?” කියලා. උතුම් සම්මා දිට්ඨියේ පටන් මෛත්‍රිය, සීලය, සමාධිය, ඥාන දර්ශන, විමුක්තිය දක්වාම උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ආනිශංස ධර්මයෝයි. පින්වත, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ යැයි කියන්නේත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ආනිශංස ධර්මයෝයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි ඇති කොට ගන්නා සති සම්බොජ්ඣංගය මයි ධම්ම විචය බොජ්ඣංගය ඔස්සේ, දුකෙන් මිදීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි අපිට සිහිනුවණ ලබා දෙන්නේ. පින්වත, පාසල් වයසේදීම අවිද්‍යාව මල්වර වෙන, අශ්‍රද්ධාවේ හෝමෝන වැඩි සමාජයක, අපි ධර්මය කතා කරන්නේත් සම්මා දිට්ඨිය සඟවලයි. භික්ෂුව මෙම සටහන ලියන්නේ යම් පින්වතෙකුට චෝදනා කරමින් නම්, මේ සටහන තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් නැහැ. මෙම සටහන භික්ෂුව ලියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් නම්, මේ සටහන තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් නැහැ. අපි මොන තරම් දේශනා කළත්, මොන තරම් සටහන් තැබුවත්, අපිම උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් සඟවනවා නම්, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන පරම අසත්‍යයෙන් සමාජය අයාලයේ යෑම නවත්වන්න බැහැ.
පින්වත, හරිම උෂ්ණාධික රාත්‍රියක්, කැලේ ගස්කොළන් සීරුවෙන් සිටගෙන ඉන්නවා වගෙයි. පුංචි හෝ සුළඟක්, සෙලවීමක් නැහැ. සුළං වලාහක දෙවියෝ කාමයේ ආස්වාදයට ආහාර නොමැතිව, මේ රාත්‍රියේ ආදීනවයේ ගැටෙන සිත් අනුභව කරනවා ඇති. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය තුළ, කාම ලෝකයේ ජීවත් වන සෑම සත්ත්වයෙක්ම, ආස්වාදය සතුටින් පිළිගත්තත්, ආදීනවයන් ඉදිරියේ අකුසලයට මයි ගොදුරු සොයන්නේ. පින්වත, පංච නීවරණයන් තුළ අයාලේ ගොස්, සප්ත බොජ්ඣංගයන්ගේ බඹසර කෙලෙසා ගත්ත අවිද්‍යාව, කෙසේ නම් අපිට කාමයේ සහ රූපයේ ආදීනවයන් ගැන කියලා දෙන්න ද? අපි හැමදාමත් ඇලෙනවා, අපි හැමදාමත් ගැටෙනවා. පින්වත, ජය වේවා යැයි කියපු කටින් ම, භංග වේවා යැයි කියනවා ඔබට ඇසෙනවා ද? මේ ඔබ දකින්නේ කෙටි ආස්වාදයේ සහ දීර්ඝ ආදීනවයේ ලෝක දහම නේද? කවදා ද ඔබ මේ දෙපිටකාට්ටු ලෝක දහමෙන් නිදහස් වන්නේ? කුසල් සහ අකුසල් සංස්කාර මැජික් යෂ්ටිය තිබෙන තාක් කල්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය පෙන්වන මේ ආස්වාදයේ සහ ආදීනවයේ මැජික්, නිස්සරණයේ පෙරහන් කඩින් පෙරා, ඵස්සයේ තෘෂ්ණාව, විඳීමේ මණ්ඩි රහිත පිරිසිදු දියෙන් කවදා ද ඔබ සෝදා හරින්නේ? පින්වත, හේතුඵල ධර්මයෝ මොනතරම් නම් සාධාරණ ද? තෘෂ්ණාව අධික තැන බිය සහ සැකය වැඩි වනවා. තෘෂ්ණාවත්, බියත්, සැකයත් වැඩි වුණ තැන, තම ආත්මාරක්ෂාව උදෙසා නොමනා තීන්දු තීරණ ගන්නවා. පින්වත, තෘෂ්ණාව හරිම බයයි, අයිති කොට ගත්ත දේවල් අහිමි වෙලා යයි කියලා. ඒ නිසාම, තෘෂ්ණාව, සාකච්ඡා කළ යුතු තැන දී තර්ජනය කරනවා; පහර දෙනවා; චෝදනා කරනවා. පින්වත, හැමෝට ම විවෘත සංස්කාර සන්දර්ශන වේදිකාවේ ප්‍රධාන සංවිධායකයා වන තෘෂ්ණාව හැමදාමත් සැඟවුණ අමුත්තා ම වනවා. අපි ඇලෙනවා, අපි ගැටෙනවා. සංස්කාරයෝ අතු, කොළ, මල්, ඵලවලින් ඵලබර වෙමින් හැමදාමත් අවුරුදු කනවා. සංස්කාරයන්ගේ මට සිලුටු පහස ලබමින් අලුත්, අලුත් අවුරුදු කුමාරයන් සහ කුමාරියන් යළි, යළිත් සංස්කාර සංදර්ශන වේදිකාවට එනවා සහ පෙරළා යනවා. ජය වේවා යැයි නැගෙන කොවුල් නාදයත්, භංග වේවා යැයි නැගෙන කවුඩු නාදයත් කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ නොනවතින තේමා ගීතය වනවා.