දෑස් හැර වර්තමාන සමාජය දෙස බලන්න

පින්වත, සම්මා වාචාවෝ හෙවත් සත්‍ය වචන අයිති වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වැනි මාර්ග අංගයට. පින්වත, සම්මා වාචාවන්ගේ විරුද්ධ අර්ථය තමයි මිච්ඡා වාචාවෝ හෙවත් අසත්‍ය වචන. පින්වත, සම්මා වාචාවන්ගේ ඵලය සම්මා කම්මන්තයන් වනවා. ඔබ සම්මා වාචාවන් වන සත්‍ය වචන ම කතා කරන කෙනෙක් නම්, කණ්ඩායමක් නම්, පක්‍ෂයක් නම්, රජයක් නම් ඔබලා තුළින් සම්මා කම්මන්තයෝ අර්ථවත්ව ආරක්‍ෂා වනවා. ඒ කියන්නේ මනුෂ්‍ය හිංසනය, සොරකම, කාමයේ වරදවා හැසිරීම ඔබ තුළින් සිද්ධ වන්නේ නැහැ. මේවා උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ සුන්දර හේතුඵල ධර්මයන් වනවා. පින්වත, අපිට වැරදුණොත් මිස, මේ උතුම් හේතුඵල ධර්මයන්ට නම් කවදාවත් වරදින්නේ නැහැ. පින්වත, යම් පුද්ගලයෙක්, යම් කණ්ඩායමක්, යම් පක්‍ෂයක්, යම් රජයක් මුසාවාදා, පිසුණාවාචා, පරුෂාවාචා, සම්පප්‍රලාපයෝ කතා කරයි ද ඒ කියන්නේ මිච්ඡාවාචාවෝ භාවිත කරයි ද අනිවාර්යයෙන් ම ක්‍රමානුකූලව ඔබලාගේ සම්මාකම්මන්තයෝ දුර්වල වීම හේතුඵල ධර්මයක් ම වනවා. පින්වත, යමෙක්, යම් කණ්ඩායමක්, යම් පක්‍ෂයක්, යම් රජයක් මිච්ඡාවාචාවෝ තුළ සිටී ද එම පින්වතුන්ලා තුළින් ඉදිරියේ දී හේතුඵල ධර්මයන්ට අදාළව නොසිතූ, නොපැතූ පරිදි මනුෂ්‍ය හිංසනය, සොරකම සහ කාමයේ වරදවා හැසිරීමේ වැරදි සිද්ධ වෙන්න පුළුවන්ය කියලා ධර්මානුකූලව සටහන් තබනවා. පින්වත, මේ සටහන විවේචනය උදෙසා නොවේ, හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් නිවැරදි වීම උදෙසා පමණක්මය.

පින්වත, අසීමිත වර්ණය, සැපය, බලයට කෑදර වෙන්න එපා. ඔබ වර්ණය, සැපය, බලයට කෑදර වුණොත්, අනාගතයේ දී අකුසල් සංස්කාරයෝ ඔබට මතක සිටින දඬුවම් කරාවි. පින්වත, දෑස් හැර මේ සටහන දෙස බලනවා වගේම, දෑස් හැර වර්තමාන ලෝකය, සමාජය දෙස බලන්න. අතීතයේ වර්ණය, සැපය, බලයට කෑදර වූවන්ට තමන්ගේම සංස්කාරයෝ මානසික සහ කායික පීඩාවන්ගෙන් දඬුවම් දෙන අපූරුව. මේ දඬුවම් දෙවියෙක්, මනුෂ්‍යයෙක් දුන්න දඬුවම් නොවේ, තමන්ගේම අතීත අකුසල් තමන්ටම පහර දෙනවා. පින්වත, අවිද්‍යාව මොනතරම් දරුණුද? මොනතරම් නම් චපලද? තමාගේ අවිද්‍යාව තමා, තමාවම පටිච්චසමුප්පන්නව දුකට, සතර අපායන්ට ම ඇද දමා ගන්නවා. පින්වත, මේ ජීවිතයේ මහා ධන කුවේරයෙක්, ජනතා නායකයෙක්, ප්‍රභූවරයෙක් තමා විසින් ම තමාව පටිච්චසමුප්පන්නව සතර අපායකට වැටෙනවා යැයි කියන්නේ, මේ ලෝක ධාතුවේ මහා ප්‍රමාදීභාවයක් නේද? අපි මේ නිමේෂයේදීත් ඒ මහා ප්‍රමාදීභාවයේ යාවජීව සාමාජිකයෝනේද? පින්වත, මේ රාත්‍රියේ කුටියේ වටාපිටාව හරිම නිහඬයි. ජනෙල් කවුළුවෙන් දෑස් යොමද්දී, පෙනෙන්නේ තිත්ත කළුවරක් පමණක්මයි. පින්වත, මේ රාත්‍රියේ තිත්ත කළුවරත්, මහ දවාලේ හිරුඑළියත් අයිති අපිට නොවේ. ඒවා අයිති ස්වභාව ධර්මයට, මේවා අයිති වෙනස් වීම උරුම සතර මහා ධාතූන්ට. මේවා අපේ සංස්කාරයන් සමගත් බැඳිලා තිබෙනවා. පින්වත, ලෝකය තිබෙන්නේ සිතුවම් කරන්න නොවේ. ලෝකය තිබෙන්නේ අවබෝධයෙන් ම මකා දමන්න. පින්වත, රූපය කායානුපස්සනාවෙන් මකා දමන්න. පින්වත, විඳීම් වේදනානුපස්සනාවෙන් මකා දමන්න. සංඥාවෝ, සංස්කාරයෝ ධම්මානුපස්සනාවෙන් මකා දමන්න. දැනීම් හෙවත් විඤ්ඤාණයෝ චිත්තානුපස්සනාවෙන් මකා දමන්න. පින්වත, මේ සියලුම ධර්මතාවයෝ පෙරළා ධම්මානුපස්සනාවෙන් ම මකා දමන්න. අවිද්‍යා නිරෝධා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ. ඒ ධර්මතාවයත් ධම්මානුපස්සනාවෙන් ම විනිවිද දකින්න. හිස් ලෝකයක රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, හිස් වළං බිඳිණා ගොන් තඩියා වන තෘෂ්ණාව හඳුනාගන්න.

පින්වත, අද දවස වඳුරන්ගේ දවසක්. සාමාජිකයන් විසිපහකට වැඩි වඳුරු රංචුව උදේ වරුවම කුටියේ වටාපිටාවේ හොඳටෝ ම දඟ කළා. ගස්වල තිබුණ කුරුලු කූඩු දෙකක් බිත්තර සමග බිමට දමලා තිබුණා. අවසානයේ කුටියේ වහලය මතට පැනලා, වහලය සෙල්ලම් පිට්ටනියක් කොටගත්තා. භික්ෂුවට ඉතිරි වෙලා තිබෙන්නේ වඳුරන්ගේ අකීකරුකම් දෙස බලා සිටීම පමණක්මයි. වඳුරන්ගේ අකීකරුකම් දෙස බලා සිටිද්දී, එම සතුන්ගේ හැසිරීම් තවත් ප්‍රවේගකාරී වනවා. භික්ෂුව කුටියේ දොර වහලා ඇතුළට වෙලා සිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “රූපය කියන්නේ මාරයා”ය කියලා. පංචඋපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව තිබෙන තාක් කල්, මේ මාරයා පටිච්චසමුප්පන්නව යළි යළිත් උපදිනවා. පින්වත, අලියා, වඳුරා, රිළවා, දඬුලේනා, ඉත්තෑවා, මොනරා කියන්නේ මාර ධර්මයක්. මේ සතුන්ගේ අකීකරුකම් කියන්නේ, පංචඋපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාවේ අකීකරු හැසිරීම්මයි. පින්වත, මෙම සතුන් අහිංසක බව ඇත්ත. මේ අහිංසක සතුන්ට අවංකව අපි කරුණාවන්තද? පින්වත, සිහිනුවණින් සිතන්න, ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ස්වාමීන් වහන්සේ නමක් කුටියක වැඩ සිටිනවා. උන්වහන්සේ බණක්, භාවනාවක් කරමින් සිටිය දී හෝ උන්වහන්සේ දානය වළඳමින් සිටිය දී, මෙම අහිංසක සතුන් කුටිය අවට කරදර කරනවා නම්, එම සතුන් සිදු කොට ගන්නා අකුසලය මෙපමණයි කියලා කියන්න බැහැ. රෙදි වැලේ වනලා තිබෙන චීවරය, අඳනය ඇදලා බිමට දමද්දී, මේ සතුන් සිදු කොට ගන්නා අකුසල් කෙසේ නම් කියන්න ද? අපේ ගිහි පින්වතුන්ලා තුළ සත්ත්ව කරුණාව ගොඩාක් වැඩියි. සතෙකුට පහර දෙන්න, සතෙකුට ජීවිත හානි කරන්න කොහෙත්ම පෙළඹෙන්නේ නැහැ. පින්වත, තෙරුවන් සරණ පිහිටලා, පංචසීලය ආරක්‍ෂා කොටගෙන, වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරලා, අඹුදරුවන් පෝෂණය කරන ගොවි මහත්මයෙක්ගේ වගා බිමකට පැනලා, යම් සතෙක් ඵලදාව සහිත ගස් පිටින් විනාශ කොට දැම්මොත්, මේ අහිංසක සතුන් සිදු කොට ගන්නා අකුසලය කෙසේ නම් සිතා ගන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී දෙදෙනාට පීඩා කළොත්, එහි විපාකයෝ ලක්‍ෂයකට වැඩිය කියලා. තිරිසන් සතාට කියලා මෙම විපාකයෝ වෙනසක් නැහැ. තිරිසන් සතා දන්නේ නැහැ ගොවි මහත්මයාගේ රූපය කියන්නේ ‘මාරයා’ය කියලා.

පින්වත, ගිහි ජනතාව ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් කරන බෝ මළු, සුදෙන් බබළන චෛත්‍ය සෑ සමිඳුන් මතට මෙම සතුන් පැනලා, තම මුත්‍රා, අශූචිවලින් මේ පූජා වස්තූන් අපවිත්‍ර කරද්දී, මේ අහිංසක සතුන් මොනතරම් නම් අකුසලයක් සිදු කොට ගන්නවාද? පින්වත, බෝධීන් වහන්සේගේ අතු, දලු කඩා විනාශ කොට දමද්දී, මොනතරම් අකුසල් මේ සතුන් සිදුකොට ගන්නවාද? පින්වත, වඳුරාගේ, රිළවාගේ අකීකරු හැසිරීම් නිසාම, පරිසරය ලස්සන කරන, මනුෂ්‍යයාට හිංසාවක් නොකරන, කුරුල්ලන්ගේ ගහනය වේගයෙන් අඩු වෙලා යනවා. රිළා සහ වඳුරු දැඟිලිල්ල නිසාම ගස්වල තිබෙන කුරුලු කූඩු, බිත්තර සියල්ලම විනාශ වෙලා යනවා. පින්වත, තිරිසන් සතුන් අවිහිංසාවාදී මනුෂ්‍යයන්ට සිදු කරන පීඩාවන් නිසාම, තිරිසන් සතුන් තුළ අධර්මයෝ, අධර්මයන්ම වඩත්ය කියන ධර්මතාවය හේතුවෙන් මෙම මනුෂ්‍ය හිංසනයේ යෙදෙන තිරිසන් සතුන්, අදට වඩා හෙට ප්‍රචණ්ඩකාරී වෙනවා. සතුන්ගේ ප්‍රචණ්ඩකාරීභාවය ඉදිරියේ මනුෂ්‍යයා ආවේගශීලී වෙනවා. මෙහි අවසාන ඵලය අනාගතයේ දී දෙපාර්ශ්වයට ම බව බෝග සම්පත් අහිමි, අකුසලයෙන් උපදින කුසගින්නම වෙන්න පුළුවන්. පින්වත, අපේ රට පුරුදු වෙලා තිබෙන්නේ මාධ්‍ය සන්දර්ශනවලින් දුවන්න. ප්‍රශ්නයක් කරළියට ගෙනැත් මාස තුනක් පමණ දුවනවා. අදාළ ප්‍රශ්නයට ලොකු ජාතික ධනයක් අවිදිමත් සැලසුම් ඔස්සේ වියදම් කරනවා. නමුත් ප්‍රශ්නය එතැනමයි. ඊළඟට තවත් ප්‍රශ්නයක් කරළියට ගෙනෙනවා. පිංවත කාවද අපි මේ රවටන්නේ? අපේ ම අනාගතයයි. හැමෝගෙම අවසාන උරුමය මෙලොව, පරලොව පරාජයමයි. පින්වත, දිනපු අයගේ කකුලෙන් අදින්නේ නැතුව, පැරදුණ අයව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, තම තමන්ගේ පක්‍ෂ ප්‍රතිපත්ති පැත්තකින් තියලා, හැමෝම සමගියෙන් ජාතික ප්‍රතිපත්තියක් තුළට එන්න. පින්වත, එම කැපවීම කරන්න දක්ෂ යම් පරාර්ථකාමී ජාතික නායකයෙක්වේ ද මනුෂ්‍යයන් පමණක් නොවේ, සත්පුරුෂ දෙවියන් බ්‍රහ්මයන් පවා ඔහුට ආශීර්වාද කරනවා. අද ජාතියට අවශ්‍ය මමත්වයේ දැඩිභාවයේ කුණුහැව කරේ දමාගත්ත, පක්ෂ නායකයන් නොවේ, පරාර්ථකාමී ජාතික නායකයෝයි.

පින්වත, කෙලෙස් ගැන සිත සිතා, සිටියාය කියලා කෙලෙස්වලින් නිදහස් වන්නේ නැහැ. කෙලෙස් ගැන සිතන සිතුවිල්ලක් පාසා තව තවත් කෙලෙස්වලට හේතු වන සංස්කාරයෝ අපි අවුළුවා ගන්නවා. පින්වත් ඔබ හෙට අනිද්දා ම කෙලෙස්වලින් නිදහස් වෙනවාය කියලා බලාපොරොත්තු ඇති කොට ගත්තාට, කෙලෙස්වලින් නිදහස් වන්නේ නැහැ. එවිට අනාගත බලාපොරොත්තු ඔස්සේ ඔබ, ඔබටත් හොරා කෙලෙස් ජීවත් කරවනවා. පින්වත, කෙලෙස්වලින් නිදහස් වීමට අවශ්‍ය නම්, උතුම් ආර්යඅෂ්ටාංගික මාර්ගයමයි ඔබේ ඉලක්කය වියයුත්තේ. සම්මාසමාධිමත් සිතමයි, කෙලෙස් විනිවිද දකින කැඩපත වියයුත්තේ. පින්වත, පස්සය ඉදිරියේ සිතීම නොවේ ඔබ කළ යුත්තේ, අදාළ සිතුවිල්ල සකස් වීමට හේතු වූ ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් කායානුපස්සනාවෙන් විවෘත කොට දැකීමයි. පින්වත, ඔබ සිතුවිලි අල්ලා ගත්තොත්, ඔබට සිතුවිලි සකස් වීමට මුල් වූ රූපය මඟ හැරෙනවා. පින්වත, විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ පටිච්චසමුප්පන්න නිජ බිම වන රූපය හෙවත් සළායතනයෝ මඟ හැර, විඤ්ඤාණයේ රූකඩයන් වන පස්ස, වේදනා, සංඥා, සංස්කාරයෝ ඉලක්ක කිරීම, සැඟවුණ අමුත්තා තමා විසින් ම සඟවා තබා, තමාම සැඟවුණ අමුත්තා සෙවීමක් වනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ සළායතනයන් හෙවත් ජීවිතය තුළ සැඟවුණ අමුත්තෙක් සිටිනවා. සංස්කාරයන්ගෙන් යැපෙන මේ අරූපී අමුත්තා, තෘෂ්ණාව ඉදිරියේ සැබැවින්ම වධකයෙක්. යම් දවසක අපි තෘෂ්ණාව නිරෝධය කළොත්, මේ පටිච්චසමුප්පන්න සැඟවුණ වධකයා, ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවේ, විඳීමේ අවි බිම තබා විමුක්තිය හෙවත් විද්‍යාවේ දාසයෙක් වෙනවා. පින්වත, ඔබ යම් දිනයක උතුම් රහත්ඵල අවබෝධය ලබන මොහොතේ පටන්, ඔබ තුළ පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වූ විඤ්ඤාණය නමැති වධකයා ඔබේ වධකභාවයෙන් නිදහස්ව, ඔබේ පටිච්චසමුප්පන්න දාසයෙක් බවට පත්වෙනවා. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවී යන තෙක් ම මේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයන්ගේ රූකඩයක් වන විඤ්ඤාණය නමැති දාසයා, පංචස්කන්ධයේ තීරකයා වෙනවා.

පින්වත, පින කියලා කියන්නේ වර්ණය, සැපය, බලයට පියාපත් ලැබීමයි. වර්ණය, සැපය, බලයට පියාපත් ලැබෙද්දී, ඔහු හෝ ඇයට ආස්වාදයේ අනන්තයට ම පියාඹන්නමයි සංස්කාර හේතුවෙන් දැනීම් සකස් වන්නේ. පින්වත, වර්ණය, සැපය, බලය ඉදිරියේ අපේ සීමාවන් අපි තේරුම් ගන්න ඕනේ. පැවිදි අපේ සීමාව උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලයයි. පින්වත් ගිහි ඔබේ සීමාව ආජීව අට්ඨමක සීලයයි. මේ සීමාවන් අපේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වැට කඩුලුවලින් ආරක්‍ෂා වෙන්න ඕනේ. එවිටයි අපේ සීමාවන් ආරක්‍ෂිත වන්නේ. අපේ සීමාවන් අනාරක්‍ෂිත වුණොත්, පංචනීවරණ සතුරෝ අපිව ආක්‍රමණය කරනවා. පින්වත, උදා වුණ 2025 නව වසරේ දී මෙතෙක් ඔබ තුළ ජීවත් වූ ප්‍රමාදී මිනිසාගෙන් නිදහස් වී, අප්‍රමාදී මිනිසා ඔබ තුළින් මතුකොට ගන්න. ප්‍රමාදී ලෝකය තුළ අප්‍රමාදීභාවයෙන් පූර්වාදර්ශී වන්න. ඔබේ ජීවිතය කියවලා බලන්න. ඔබ, ඔබට අවසර දෙන්න. ජීවිත පොතේ ගොඩක් කියවන්න දේවල් නැහැ. ධර්මයේ උතුම් ස්වාක්ඛාත ගුණය ජීවිත පොත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන් පහට සරල කොට තිබෙනවා. පින්වත, ලැබුවා වූ 2025 නව වසරේ දී සද්ධර්මයෙන් උපන් නැවුම් මිනිසෙක් වෙන්න. මේ නිමේෂයේ දී ඔබේ ඔය සංසිදුණ සිත, වසර පුරාවට තෘෂ්ණාවෙන් ආරක්‍ෂා කොට ගන්න.