අපවිත්‍රම ධර්මතාවය ආත්මීය දෘෂ්ටියයි

පින්වත, උදා වූ 2025 නව වසරේ දී ලෝභ, ද්වේශ, මෝහ සංස්කාර අධිවේගී මාර්ගයේ සම්මත වේග සීමාවන් ඉක්මවා, ජීවිතය නමැති ඔබේ වාහනය පදවනවා නම්, කරුණාකර අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය කියන ආරක්‍ෂිත ආසන බඳ පටියවත් හොඳින් පැළඳ ගන්න. පින්වත, ආරක්‍ෂිත ආසන බඳ පටියවත් නොපැළඳගෙන සංස්කාර අධිවේගී මාර්ගයේ ජීවිත නමැති වාහන එළවීම් ගොඩාක් වැඩි වෙලා. පින්වත, ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගයේ ආරක්‍ෂාව වෙනුවට ආචාර්ය, මහාචාර්ය, පදවි, තනතුරු, ගැසට්, පනත්, ව්‍යවස්ථා දුකෙන් පිරි ලෝකයේ අපි සිරකරුවන් වෙලා. පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සිතුවිලි දෙකක් අතර පුංචි කාල පරාසයකින්, ලස්සන සිනහවක් කඳුළු කතාවක් බවට පත් වෙන්න පුළුවන්. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ ගැන නො දන්නා පින්වතාගේ ජීවිතය පැටලුණ නූල් බෝලයක් වගේ යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, පැටලුණ නූල් බෝලයක මුල, මැද, අග සොයා ගන්න බැහැ. නූල් බෝලයේ කොතනින් ඇල්ලුවත් අපි අල්ලන්නේ පැටලුමක් මයි. පින්වත, තමාගේ ඇතුළාන්තය දෙස බැලුවත්, බාහිර ජීවිත දෙස බැලුවත් පෙනෙන්නේ ඇලීම් සහ ගැටීම්මයි. පින්වත, ඇතුළෙත් ගැටුම්, පින්වත, පිටතත් ගැටුම් පිරි සංස්කාර ලෝකයකයි අපි ජීවත් වන්නේ. පින්වත, ලෝකය උපන් ඇඳුමෙන්ම සක්සුදක්සේ අපිට පෙනෙනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් ලෝකයේ ඇලීම් සහ ගැටීම් විළි වැසෙන සේ, උපේක්‍ෂාවේ ජංගි පොඩ්ඩක්වත් අපිට අන්දවන්න, අපි කෘතවේදී වෙන්න ඕනේ.

පින්වත, මේ ලෝක ධාතුවේ ඉතාමත් ම අපවිත්‍ර ම ධර්මතාවය තමයි ආත්මීය දෘෂ්ටිය කියන්නේ. මමත්වයේ දැඩි භාවය සහ සක්කාය දිට්ඨිය යැයි කියන්නේ ආත්ම දෘෂ්ටියේ ලේ නෑයෝ කිව්වාට වැරදි නැහැ. මේ ලේ නෑයෝ “මම”, “මගේ”, “මගේ ආත්මය” යැයි මම ම ඔසවා තැබීමට හරිම රුසියෝ. මේ ලේ නෑයෝ “මම” බෙදාගෙන කන්න කැමති නැහැ. “මම” බදාගෙන කන්නමයි කැමැත්ත දක්වන්නේ. මේ ලේ නෑයෝ “මම” විවෘත කොට දකින්න දක්‍ෂ නැහැ. “මම” අවිද්‍යාවෙන් වසාගෙන සිටින්නමයි කැමැත්ත දක්වන්නේ. පින්වත, කායානුපස්සනාවෙන් “මම” විවෘත කොට බැලුවා නම්, “මම” කවුද කියලා සක්සුදක් සේ දැක ගන්න පුළුවන්. ඒත් අපිට කොහේ ද ඊට සම්මා සමාධිමත් සිතක්. පින්වත, අපිට සම්මා සමාධිමත් සිතක් තිබුණොත් පමණක් මයි අපි දකින්නේ, තමන් තම නමට ඉදිරියෙන් දමා ගන්නා සියලුම තෘෂ්ණාවේ රසකැවිලි හෙවත් පදවි සහ තනතුරු අයිති අනිත්‍ය වී යන සංස්කාරයන්ටය කියලා. පින්වත,

“මම” අවිද්‍යාව තුළට තව තවත් ඔසවා තබන සෑම පදවි සහ තනතුරක්ම තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයමයි යළි යළිත් උස් මහත් කරන්නේ. පින්වත, අපි මේ ලෝභ, ද්වේශ, මෝහයෝ වඩමින් කරන්නේ මොන විහිළුවක් ද? මේ විහිළු සියල්ල ම අයිති සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයන්ට බව ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පින්වත, වර්තමානයේ සංගීත සන්දර්ශන, නාට්‍ය සන්දර්ශන පවත්වනවා වගේ, ප්‍රසිද්ධ මැජික් සන්දර්ශන පවත්වන්නේ නැහැ නේද? පින්වත, අපි සියල්ලෝ ම අල්ලේ පැළ වෙන මැජික් මායාවන් පෙන්වද්දී, අපට තවත් කුමට නම් ප්‍රසිද්ධ මැජික් සන්දර්ශන ද?

පින්වත, ගිහි පින්වතුන්ලාට දිනා ගන්න ලෝකයක් තිබෙනවා. ගිහි පින්වතුන්ලාගේ සිවුපසයෙන් යැපෙන ආර්ය ශ්‍රාවකයාට නිවා දමන්න ලෝකයක් තිබෙනවා. පින්වත, ගිහි පින්වතුන්ලා දිනා ගන්න යන ලෝකයටත්, ආර්ය ශ්‍රාවකයා නිවා දමන්න යන ලෝකයටත් එකම මාර්ගය වන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, අරමුණු දෙකක් එක් ශ්‍රේෂ්ඨ දහමක්. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ පැවිදි අපි විතරක් නොවේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසේ එකතුවයි, සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ. සංඝ සමාජයේ ප්‍රතිපදාවෙන් පමණක් ශාසනයක් රැකෙන්නේ නැහැ. සංඝ සමාජය ආරක්‍ෂා වෙන්න නම්, ශ්‍රද්ධාවන්ත උපාසක, උපාසිකාවන්ගේ සිවුපසය ශාසනයට අත්‍යවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට ආදායමේ සීමාවන් පනවලා නැහැ. ගිහි පින්වතුන්ලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපාය කියලා නැහැ. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහන ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. බුදුරජාණන් වහන්සේ පින්වත් ගිහි ඔබලාට අවවාද කරන්නේ, කාමයේ කෙටි ආස්වාදයන් පසුපස සැඟවී තිබෙන දීර්ඝ ආදීනවයන් දකිමින්, ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින් ඉහත කෙටි ආස්වාදයෝ බුක්ති විඳින්නය කියලා. පින්වත, බුදු දහම ගිහි පින්වතුන්ලාගේ ලෞකික සැපය උදුරා ගන්න දහමක් නොවේ. ඔබලාට මෙලොව සහ පරලොව අරක්‍ෂිතව, ලෞකික සැපයන් ලැබීමේ මඟ කියලා දෙන දහමක්.

පින්වත් ගිහි පින්වතුන්ලා විශ්වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළට එන්න. මාර ධර්මයෝ සුලබ ලෝකය තුළ ආර්ය ධර්මයෝ දුර්ලභයි. භව සැපය වනසාගෙන සමාජගත වන මාර ධර්මයන්ගේ රැල්ලට ගසාගෙන යන්න එපා. උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගත් අනේපිඬු සිටුතුමා, විශාඛා උපාසිකාව මහා ධනවත් ජීවිත ගත කළ, අඹුදරුවන් පෝෂණය කළ පින්වතුන්. බිම්බිසාර රජතුමා උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ රාජ්‍ය නායකයෙක්. ගිහි පින්වතුන්ලාට මෙලොව සහ පරලොව යන දෙක ම දිනා දෙන එකම දහම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ගිහි පින්වත් ඔබලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රැකවරණය තුළ හිඳිමින් ලෝකය දිනන්න. එවිටයි පැවිදි අපට ඔබලාගේ සිවුපසයේ ශක්තියෙන් ලෝකය නිවා දමන්න හැකියාව ලැබෙන්නේ. ගිහි පින්වතුන්ලා අධ්‍යාපනය අතින් දුර්වල වුණොත්, රැකීරක්‍ෂා, ව්‍යාපාර අතින් දුර්වල වුණොත්, ගිහි පින්වතුන්ලාගේ ආර්ථිකය දුර්වල වුණොත් කෙසේ නම් ශාසනය පවතින්න ද? කවුරුන් සංඝ සමාජයට සිවුපසය පූජා කරන්න ද? පින්වත් ගිහි පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඈත් වුණොත්, පව කෙරෙහි ලජ්ජාව සහ බිය පහව යනවා. ගිහි පින්වතුන්ලා මෛත්‍රියෙන් බැහැර වුණොත් සමාජයෙන් මනුෂ්‍යකම් මැරී යනවා. ගිහි පින්වතුන්ලා සීලයෙන් දුර්වල වුණොත් අභියෝගයන්ට මුහුණ දීමට ශක්තියක් නැති නිවට බෙලහීනයන් බවට පත්වෙනවා. ගිහි පින්වතුන්ලා ත්‍යාගයෙන් දුර්වල වුණොත් වර්ණය, සැපය, බලය දුර්වල වී බලවතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා. පින්වත, ඉහත විපාකයෝ උවමනාවටත් වඩා සමාජය ගොදුරු කොට ගෙන තිබෙනවා නේද? පින්වත, ගෙවී ගිය 2024 වසරේ රජයේ මත් වතුර ආදායම බිලියන කීයක් ද? පින්වත, බුදු දහමේ ලේබලය ගසාගෙන, අපි මේ යන්නේ අසම්මතයේ ගමනක්. අනාගතයේ අපිව යටපත් කොට ගන්න යම් බලවත් රටකට යුද්ධ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. පින්වත, අපි බේබදුකමින් ම, දුරාචාරයෙන් ම, සූදුවෙන් ම, දුප්පත්කමින් ම ලෝකයාට යටත් වෙනවා.

පින්වත, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට ගරු නොකරන, අශ්‍රද්ධාවේ රාජ්‍ය යාන්ත්‍රණයන් රටේ තිබෙන තාක් කල් සමාජගත වන මත් වසංගතයන්, දුරාචාරයන්, සූදුව, දුප්පත්කම ගැන කතා කරලා තේරුමක් නැහැ. පින්වත, ප්‍රශ්න ඉදිරියේ පින්වත් මනුෂ්‍යයාට විකල්පයක් නැහැ. එකම විකල්පය ප්‍රශ්න තාවකාලිකව අමතක කොට දමන සිහින ලෝකයයි. පින්වත, අලුත් අවුරුද්දේ අඩු ගාණට අරක්කු බෝතලයකුත් නිකුත් කළා නේද? පින්වත, අසරණ මිනිසුන්ට ප්‍රශ්න ඉදිරියේ මරණය සහ රෝගීභාවය දෙන්න එපා. කරුණාකර ජීවිතය දෙන්න. පින්වත, වයස හැත්තෑවක් පමණ වන කම්කරු රැකියාවක් කරන වයෝවෘද්ධ තාත්තා කෙනෙක් කියනවා, මාසයේ වැටුප අරගෙන ගමේ ගෙදරට ගියහම, තමන්ගේ මුනුපුරා තමන්ට ගහලා, වැටුප් සල්ලි ඔක්කොම උදුරාගෙන, අයිස් (මත් ද්‍රව්‍යයක්) ගහනවා කියලා. මැදිවියේ වඩුවැඩ කරන තාත්තා කෙනෙක් කියනවා, තමන්ගේ පුතා අන්තර්ජාලයේ සූදුවලට ඇබ්බැහි වෙලා, සූදුවලින් පරාජය වෙලා, යහළුවන්ට වෙච්ච ණය ගෙවන්න තමන් සතු කෝටියක් වටිනා ඉඩම සහ නිවස විකුණා දැම්මාය කියලා. අන්තර්ජාලයේ සූදුවට ඇබ්බැහි වූ තම දරුවා සූදු කෙළීම උදෙසා නැවත නැවත මුදල් ඉල්ලීම නිසා, මේ අසරණ තාත්තා ගමෙන් පිටවෙලයි ජීවත් වන්නේ. පින්වත, තරුණ දරුවන් සහ ජනතාව අන්තර්ජාලය හරහා සූදුවට සහ ඔට්ටු ඇල්ලීම්වලට යොමු වීම හේතුවෙන් ඇසට නොපෙනෙන විනාශයක් සමාජයේ සිදු වෙමින් පවතිනවා. මේ ප්‍රශ්න අහිංසක දෙමාපියන් කෙසේ නම් දරා ගන්න ද? මේවාට විසඳුම මිල අඩු අරක්කු බෝතලයක් ද? පින්වත, අකුසල් සංස්කාර මාරයා සමාජය පෙළගස්වන්නේ සමාජය තුළ ප්‍රශ්න වැඩි කරලා තරුණ, මධ්‍යම, වැඩිහිටි ජනතාවගේ ආධ්‍යාත්මය දුශ්ශීලභාවයෙන්, මත් වතුරෙන්, මත් ද්‍රව්‍යවලින්, දුරාචාරයෙන්, පාට පාට සන්දර්ශනවලින් විනාශ කොට දමන්නයි. පින්වත, සමාජගත වන සෑම ප්‍රශ්නයක්ම අභියෝග කරන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට මයි.

පින්වත, සමාජගත වන මිථ්‍යා දෘෂ්ටියට ජනතාවගේ ආධ්‍යාත්මික හැදියාව ගැන දැනීමක් නැහැ. මිථ්‍යා දෘෂ්ටියේ උපන් ගෙදර දක්‍ෂතාවය වන්නේ, ආධ්‍යාත්මය ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් කුණු ගඳ ගහද්දී, මතුපිට, බාහිර පෙනුම පාට පාට සුන්දර මායාකාරී ලෝකයක් කිරීමයි. පින්වත, ප්‍රඥාවේ ආලෝකය කුණු කූඩයට වැටෙද්දී, ව්‍යාජ රත්තරනින් සැරසූ මළ මිනී බවටයි අපිව පත්වන්නේ. පින්වත, අධර්මයන්ගෙන් කවදාකවත් ධර්මය බලාපොරොත්තු වෙන්න එපා. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයටවත් අත දීලා, ඇදලා ගන්න බැරි ප්‍රපාතයකට අපිව වැටිලයි තිබෙන්නේ. අරක්කු, මත්ද්‍රව්‍ය, කාමයේ වරදවා හැසිරීම්, සූදුව, ඔට්ටු ඇල්ලීම්, කාමයේ ආස්වාදයෝ නවයොවුන් වෙමින්, මේ සූදානම් වන්නේ බුදු දහමේ බෝඩ් ලෑල්ල ඉතිරි කොට අරටුව මරා දැමීමටයි.

පින්වත, වර්තමානයේ තරුණ පරපුර කායිකව මහන්සි වී වැඩ කිරීමට අකමැති, කෙටි මාර්ග ඔස්සේ ඉක්මනින් මුදල් සෙවීමට යොමු වී තිබීමත්, සමාජගත වන අසම්මත රූපයේ සහ කාමයේ ආස්වාදයන් පසුපස හඹා යෑමත් ධර්මානුකූල හේතුඵල ධර්මයක්මයි. වර්තමානයේ අපි මේ අත්දකින්නේ දීර්ඝ කාලයක පටන් සිල්වත්භාවය නොතකා හැරීමේ හේතුඵල ධර්මයෝමයි. එහි ඵලයෙන් මිථ්‍යා දෘෂ්ටිය විසින් සමාජය ගිල ගැනීමේ ක්‍රියාන්විතයයි, සන්දර්ශන අසිරිය මැදින් මේ කල එළිබහින්නේ. පින්වත, පසුගිය දවසක භික්ෂුව අධිවේගී මාර්ගයේ බස් රථයක වැඩියා. පැය දෙකයි ගමනාත්තයට තිබුණේ. මේ පුංචි කාලය තුළ බස් රථයේ රියැදුරු මහතා හතර වතාවක් දුම්කොළ පමණක් වරින් වර කටේ දමා ගත්තා. දුම්කොළ මතින් මත්වෙලයි බස් රථය එළවන්නේ. පින්වත, පියවි සිහියෙන් ජීවත් වෙන්න මැළි බවක් දක්වන සමාජයක් අපි ඉදිරියේ බිහි වෙමින් පවතිනවා. ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, අනාගතය කෙරෙහි බිය සහ සැකය අපේ පියවි සිහියට අභියෝග කරනවා. මාරයා සමාජයට ප්‍රිය තෙපුලින් ඔවදන් දෙන්නේ, ප්‍රශ්න අමතක කරන්න. දුම්කොළ කැබැල්ලෙන් හරි මත් වෙලා සිහින ලෝකයක් තුළ ජීවත් වෙන්නය කියලා. පින්වත, අපි මේ දකින්නේ තරගකාරීත්වයෙන් පැරදී, ජීවන ප්‍රශ්න අමතක කොට දමන්න, තමා තමාව ම විනාශ කොට ගන්නා සමාජයක්. පින්වත, උදා වූ 2025 නව වසරේ දී අපිට ඇති එකම විකල්පය, ‘ධර්මයේ හැසිරෙන්නා, ධර්මය විසින් ම ආරක්‍ෂා කරනවා’ යැයි කියන උත්තරීතර සම්මා සම්බුදු වචනය පමණක් මයි.