සතුට ඇත්තේ කොතැනද

පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තුවක් ද? එසේත් නැති නම් ප්‍රශ්නාර්ථයක් ද? පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් නම්, පින්වත් ඔබගේ එම සුන්දර බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක් නම්, එම ප්‍රශ්නාර්ථය ඉටු වන බලාපොරොත්තුවක් බවටම පත් වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, 2025 නව වසර කෙරෙහි ඔබ ඇති කොට ගන්නා නැවුම් බලාපොරොත්තුවක් වේවා, එසේත් නැති නම් ප්‍රශ්නාර්ථයක් වේවා, මේ කාරණා දෙක ම අයිති උදා වන 2025 නව වසරට නොවේ. ඉහත කාරණා දෙකම අයිති, උදාවන 2025 නව වසර හේතුවෙන්, පින්වත් ඔබේ ඵස්සය මුල්කොට ගෙන සකස් වන ඇලීම් සහ ගැටීම්වලටයි. පින්වත, උදාවන 2025 නව වසර තවත් අහිංසක තුන්සිය හැටපස් දවසක් පමණක්මයි. මේ අහිංසක තුන්සිය හැටපස් දවස හොඳ හෝ නරක හැටියට බෙදා වෙන් කරන්නේ, ඔබේම තෘෂ්ණාව හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීමේ ධර්මතාවයෝමයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, උදාවන අහිංසක 2025 නව වසර පිළිගන්නේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වූ ධර්මයේ උපේක්‍ෂාවෙන් නිසාම, භික්ෂුවට සක්සුදක් සේ විශ්වාසයි, මේ උදාවන 2025 නව වසර භික්ෂුවගේ හැට තුන් වසරක ජීවිතය තුළ උදාවන සුන්දරම දින තුන්සිය හැට පහය කියලා. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතයෙන් ඇලීම් සහ ගැටීම් බැහැර කොට, සමාජයට ධර්මයේ උපේක්‍ෂාව බෙදලා දෙන අලුත් අවුරුදු කෑම මේසයක් බවට, ඔබේ ජීවිතය පත්කොට ගන්න.

පින්වත, සමාජගත හාල් සහ පොල් අර්බුදය ඉවරයක් නැහැ නේද? අපේ ම අතීත අකුසල්වලට, අපිව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව, මෙත් සිතින් කිරි ආහාරයකින් අලුත් අවුරුද්ද පටන් ගන්න. දුකට අයිති ලෝකය තුළ, අපි තුළින්මයි, අපි සතුට මතුකොටගත යුත්තේ. රජයකට අපිව සතුටු කරන්න බැහැ. රජයක් තුළින් සතුට ලබන්නත්, සතුට ලැබීමට අදාළ අතීත කුසල් අපිට තිබෙන්නට ඕනේ. අපේ කුසල් සංස්කාරයෝ දුර්වල නම්, හැමෝටම වඩා අපේ ඇස් පෙනෙනවා යැයි කියූ ආණ්ඩු යන්නේත් සුදු සැරයටියෙන්මයි. පින්වත, අද දවසේ භික්ෂුව දැක්කේ එකම එක මනුෂ්‍යයෙක් පමණක්මයි. ඔහුවත් දැක්කේ දානය රැගෙන කුටියට පැමිණි නිසා. භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළ දී එකම පුද්ගලයෙක් පමණක් දැක්ක පළමුවැනි දවස. පින්වත, රටේ, ලෝකයේ තිබෙන ප්‍රශ්න දානය තුළින් භික්ෂු අපිටත් දැනෙනවා, හැබැයි ඉතින් තවමත් භික්ෂුවට හාල් සහ පොල් ප්‍රශ්නයක් නම් දැනුණේ නැහැ. අද උදෑසනත් බත් සමග කිරට උයපු ව්‍යංජන තුනක් ලැබුණා. ඒ මදිවාට පොල් සම්බෝලයකුත් තිබුණා. දානය ගෙනාපු මහත්මයා භික්ෂුවට කියනවා, මගේ ඉඩමේ පොල් ගස් තිබෙන නිසා ම, කවදාකවත් වෙළෙඳපොළෙන් පොල් මිල දී ගන්නේ නැහැලු. පින්වත, මේ දායක මහත්මයාට පොල් මිල නිසා සකස් වන අකුසල් මූලයෝ අවම වෙලා. පින්වත, අනුනට චෝදනා කරමින්, තම ජීවිතය තුළම අකුසල් වපුරමින් නොසිට, පොල් ප්‍රශ්නයට තමා තුළින්ම සතුට සොයාගත් මහත්මයෙක්. පින්වත, උදාවන 2025 නව වසරේ දී ඔබේ ජීවිතයට, අනුන් සතුට දෙනකම් බලාගෙන සිටින්න එපා. ඔබට සතුටක් දෙන්න අනුන් තුළ සතුටක් තිබෙන්නට ඕනේ නේද? නොසෑහීම සතුට හැමෝගෙන්ම දුරස් කරලා. ඔබේ සතුට ඔබ තුළින්ම මතුකොට ගන්න. පින්වත, සමස්ත ජාතියේ ම ලෝභ, ද්වේශ, මෝහයෝ වැඩි නිසා, බොරුව ජය ගන්නා සමාජයකයි අපි ජීවත් වන්නේ. සමාජයක අකුසල් වැඩි වෙන කොට එම අකුසල් විපාක දීම උදෙසා සත්‍යය අතුරුදන් වී, බොරුව ජය ගන්නවා. මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පින්වත, බොරුවේත් ආශ්වාදයක් තිබෙනවා. ගෙවී ගිය දශක කිහිපය මුළුල්ලේ ම බොරුවේ කෙටි ආශ්වාදයත්, ඉන් ඉක්බිති බොරුවේ දීර්ඝ ආදීනවයත් ජාතිය මාර ධර්මයන්ගේ රූකඩයක් බවට ම පත්කොට තිබෙනවා. පින්වත, 2025 නව වසර යළි සත්‍යය මතුකොට ගන්නා කුසල් ධර්මයන්ගේ වසරක් බවට, ඔබ තුළින් ඔබ පත්කොට ගන්න. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින පරම සත්‍යය, ඔබේ අලුත් අවුරුදු පණිවිඩය බවට පත්කොට ගන්න.

පින්වත, ලෝකයේ පැවැත්මත්, ලෝකයේ නිරෝධයත් ඔබේම පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය තුළයි තිබෙන්නේ. පින්වත, ලෝකය යැයි කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ට. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ගෙන් තොරව, යමෙක් ලෝකය දකී ද, ඔහුට ලෝකය ප්‍රශ්නයක්. පින්වත, රූපය කියන්නේ ප්‍රශ්නයක්, ජරා, ව්‍යාධි, මරණ ප්‍රශ්න ගොඩක්. පින්වත, විඳීම කියන්නේ ප්‍රශ්නයක්. ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂා තුන් නිවුන් දරුවෝ ප්‍රශ්නයකට වඩා ප්‍රශ්නාවලියක්. පින්වත, විඳීමේ දාසභාවයෙන් උපදින හඳුනා ගැනීම්, එකිනෙකට වෙනස් වන මායාවක්. පින්වත, සංස්කාරයෝ, විඤ්ඤාණ ධර්මයෝ ඉහත සියලුම ප්‍රශ්න යළි යළිත් දුක පැටව් ගස්සන ප්‍රශ්නවල මව් දෙමව්පියෝමයි. අවිද්‍යාව ජීවමානව තිබෙන තාක් කල් ජීවත් වීම කියන ප්‍රශ්නයට විසඳුමක් නැහැ. අපි සොයන විසඳුම් වෙනස් වෙලා යන්නේ, ලෝකය තව තවත් දුකෙන් ශක්තිමත් කරලා. පින්වත, මේ ලෝකය අවබෝධ කොට ගන්න, එසේත් නැතිනම් ඔබ මේ ලෝකයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. පින්වත, කුසල් හෝ අකුසල් සංස්කාරයෝ ඔබේ ජීවිතය තුළින් විපාකයට පැමිණෙද්දී, ඇලීම් හෝ ගැටීම්වලට නොයා, ඔබ ඇතිකොට ගන්නා උපේක්‍ෂා සහගත සිතයි, ඔබව ලෝකයට ඔරොත්තු දෙන්නෙක් බවට පත් කරන්නේ. අද දවසේ භික්ෂුව ලෝකයට ඔරොත්තු දෙන්නෙක් බවට පත් වුණා. රූපය ඇසුරෙන් සකස් වුණ ඵස්සයට ඇලීම්, ගැටීම් කරා යන්න ඉඩ දුන්නේ නැහැ. පින්වත, උපේක්‍ෂාව යම් තැනක නම්, එතැන සප්ත බොජ්ඣංගයෝ ම තිබෙනවා. උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සප්ත බොජ්ඣංගයෝ යම් තැනක ද, එතැන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ ම වැඩෙන්න ඕනේ. පින්වත, මේ උතුම් ධර්මයෝ ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි. අපේ ගැඹුරු කෙලෙස් ධර්මයෝ කෙසේ නම් මේ උතුම් ස්වාක්ඛාත ධර්මයෝ නිකෙලෙස්ව මතුකොට දෙන්න ද?

පින්වත, අපි සියල්ලෝ ම තොග සහ සිල්ලර සංස්කාර වෙළෙන්දෝ. කෙනෙක් පොඩි පින්කම් සිදු කරලා, පොඩි සංස්කාර ලාභ සොයනවා. තවත් කෙනෙක් මහා පරිමාණයේ පින්කම් සිදු කරලා, ලොකු සංස්කාර සොයනවා. පින්වත, අනුවණ කෙනෙක් පොඩි අකුසල් සිදු කරලා, තවත් කෙනෙක් ලොකු අකුසල් සිදු කරලා සොයන්නේත් තොග සහ සිල්ලර අකුසල් සංස්කාර ලාභයෝමයි. පින්වත, අපි කවදා ද තේරුම් ගන්නේ, මේ සෑම සංස්කාර ලාභයක්ම අපිට අවසානයේ උරුම කොට දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයෝමයි කියලා. පින්වත, උදාවන 2025 නව වසර භික්ෂුවට නම් අලුත් අත්දැකීමක් වන්නේ නැහැ. මේ වගේ නව වසරවල් කෝටි කීයක් නම් පටිච්චසමුප්පන්නව භික්ෂුව අත්විඳින්න ඇති ද? අතීත අලුත් අවුරුදුවල සතුට සහ දුක අපිට මේ දක්වා දීලා තිබෙන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ පමණක්මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අලුත් අවුරුදු සමරන්න තරම් බොළඳ නැහැ. උන්වහන්සේලා අලුත් අවුරුද්දක් තුළින් දකින්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝමයි. පින්වත, දුක, තෘෂ්ණාව, තෘෂ්ණාව නැති කිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත, මෙතැනයි ලෝකය විනිවිද දකින සම්මා සමාධිමත් සිතක ආරම්භය තිබෙන්නේ. සංසිඳුණු සිතක්, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි මනාව සිහිය පිහිට වූ සිතක්. මේ සංසිඳුණු සිතයි ඔබට කියලා දෙන්නේ, අලුත් අවුරුදු කෑමේ නමින්, අපි මේ කන්නේ, අපිම පටිච්චසමුප්පන්නව රැස් කොට ගත්තා වූ අතීත සංස්කාරයෝමයි කියලා. වර්තමාන 2025 නව වසර නමින් අතීත සංස්කාර ආහාරයෝ අනුභව කරමින්, අනාගත 2026 නව වසරට අනාගත සංස්කාර ආහාරයෝ රැස් කොට ගබඩා කරනවා. පින්වත, විඤ්ඤාණයේ මැජික්කරුවා පරණ “සංස්කාරයන්ට” අලුත් අවුරුද්දක් යැයි කියලා අපේ ම සංස්කාරයෝ උපයෝගී කොට ගෙන අපිට මැජික් පෙන්වනවා.

පින්වත, තමන් පැවිදි වෙනවාය කියලා, පැවිදි වෙන්න සුදුසු තැන් සොය සොයා සිටිය පින්වත් තරුණ මහත්මයෙක් පසුගිය දවසක විවාහයක් වෙලා. භික්ෂුව මුණ ගැසුණ අවස්ථාවේ ඔහු කියනවා, “ස්වාමින් වහන්ස, මගේ සිත වෙනස් වුණා” ය කියලා. පින්වත, සංස්කාරයන්ට අදාළව දැනීම් වෙනස් වෙනවා. එය සිතේ ස්වභාවයක්. සිතට වැරදි කියලා තේරුමක් නැහැ. පින්වත, අධර්මයෝ අධර්මයන්මයි අපිට උරුම කොට දෙන්නේ. කාමයේ ආශ්වාදයන් පුහුණු කළොත් පැවිද්ද වෙනුවට විවාහයකටයි සිත වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය මාරයාය කියලා. රූපය ඇසුරින් සකස් වන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ මාර ධර්මයෝය කියලා. පින්වත, මනමාලියගේ රූපය මාරයා යැයි නොදැක්ක නිසා ම, මනමාලියගේ රූපයේ ඵස්සයෙන් තරුණයා තුළ සකස් වූ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මාර ධර්මයෝ පැවිද්ද වෙනුවට වර්ණනා කළේ විවාහයයි. පින්වත, ඔබේ සලායතනයන් සහ සලායතනයන්ට අරමුණු වන බාහිර රූපයන් කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න. මෙය සටහන් තබන භික්ෂුව, මේ රාත්‍රියේ ආසනය මත වාඩි වෙලා, භික්ෂුවගේ මනසට අරමුණු වන සෑම රූපයක්ම කායානුපස්සනාවෙන් දකිනවා. පින්වත් ඔබත් ඔය ආසනය මත වාඩි වෙලා, ඔබේ ඇසට පෙනෙන, මනසට අරමුණු වන සෑම බාහිර රූපයක්ම අට්ඨික සංඥාවෙන් දකින්න. අද දවස පුරාවට ඇසෙන් දැක්ක සෑම රූපයක් ම, මනසට අරමුණු වූ සෑම රූපයක් ම සිහිපත් කොට ගෙන, ඒ සෑම රූපයක්ම අට්ඨික සංඥාවෙන් දකින්න. භික්ෂුවට මේ මොහොතේ, මේ සටහන කියවන ඔබව සිහිපත් වෙනවා, ඔබේ රූපය භික්ෂුවට අට්ඨික සංඥාවක් පමණක්මයි. පෙරළා ඔබත් භික්ෂුවගේ රූපය අට්ඨික සංඥාවෙන් ම දකින්න. පින්වත, දසකුසල් ධර්මයන්ගේ ඉඩෝරයෙන්, විඳීමේ මහ පොළොව ඉඩෝරයේ ආශ්වාදයෙන් ඉරි තලා ගිය සමාජයක, විඤ්ඤාණයේ මායාවන්ට තවදුරටත් අකුසලයෙන්ම ජය වේවා හෝ භංග වේවා යැයි කියන්න එපා. මාර ධර්මයෝ වටකොට ගත් ලෝකයක මරණයට පෙරාතුව නිස්සරණයටම පුංචි හෝ ඉඩක් සොයා ගන්න.

පින්වත, සමාජය තුළ දකින කාමයේ සහ රූපයේ ආශ්වාදයෝ මොනතරම් නම් මිරිඟුවක් ද? කාත් කවුරුවත් නැති සංස්කාර ලෝකයක නේද අපි මේ ජීවත් වන්නේ? අපි හැමෝම චතුරාර්ය සත්‍යය නොදත් අවිද්‍යාවේ දරුවෝ. සතර දිශාවේම අපිව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡා කියන නෑදෑයෝ, යාළුවෝ වටකොට ගෙන, පුතේ, දුවේ, වස්තුවේ, පැටියෝ යැයි ආදර බස් තෙපලමින්, අපිව මේ අරගෙන යන්නේ පවුලේ ම සුසාන භූමියට නේද? කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි අපි හැමෝටම තිබෙන්නේ. මොන ආශ්වාදයන්ගෙන් මත් වුණත් අපේ දෑස් පියවුණාට පස්සේ, ඔය ආශ්වාදයෝ කිසිවක් අපිට අයිති නැහැ. තවත් මිනිස් ජීවිතයක සංස්කාර බදු ගිවිසුම අපි අවසන් කළා වෙනවා. ඊට පස්සේ පටිච්චසමුප්පන්න භවාත්‍රයේ තවත් අලුත් බදු ගිවිසුමක්. එදාටත් අවිද්‍යාවේ අම්මා, අලුත් පංච නීවරණ නෑදෑයෝ, යාළුවෝ අපි ළඟම සිටිනවා. එදාටත් අපි ඔවුනට ආදරය කරනවා. මගේ ම යැයි දකිනවා. සංස්කාරයෝ විනිවිද දකින්න අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. අවිද්‍යාව විනිවිද දකින්න සංස්කාරයෝ ඉඩ දෙන්නේ නැහැ. මේ දෙධර්මයෝ ම කැමති තෘෂ්ණාවේ උපාදානයන්ට. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ පිහිට කොට ගෙන, පංච නීවරණයන්ගෙන් විලි වසා ගෙන සිටින අවිද්‍යාව නිරුවත් කරන්න. එවිට ඔබට නිරාවණය වන්නේ සැපයට එකම හේතුව තෘෂ්ණාව කියන විකෘතිය නොව, දුකට එකම හේතුව තෘෂ්ණාවයි කියන පරම සත්‍යයයි. පින්වත, අවිද්‍යාවේ නිරුවත තුළින් ඔබ දකින්නේ තෘෂ්ණාවේ ආහාර අහිමි වූ උපාදානයන්ගේ මළගමයි. පින්වත, මේ මළගම මයි අපි හැමෝට ම කවදාහරි උදාවන සුභ සහ අසුභ දෙකෙන් තොර, සෑබෑ අලුත් අවුරුද්ද වෙන්නේ.