සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න

පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී වුව ද, සම්මා සමාධියකින් ඔබ ඇති කොට ගන්නා සම්මා ඥානයෝමයි, ඔබේ ජීවිතය විමුක්තියේ ආලෝකයට අවදි කරන්නේ. පිංවත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි ලබන විමුක්තියත්, සමාජගත මිච්ඡා විමුක්තියත් අතර මොනතරම් නම් සැප සහ දුකේ පරතරයක් තිබෙනවා ද? යුද්ධ කරමින්, මිනී මරමින්, මිච්ඡා ආජීවයේ යෙදෙමින්, අන්‍යශීලවෘත ප්‍රවර්ධනය කරමින් සමාජය සොයන මිච්ඡා විමුක්තිය සිත් සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තැවරුණ මිච්ඡා විමුක්තියක් නේද? පිංවත ඔබ මේ දවස්වල ඔබේ නායකයා ජයග්‍රහණය කිරීම හේතුවෙන් සතුටින් ද සිටින්නේ? එසේත් නැතිනම් ඔබේ නායකයා පරාජය වීම හේතුවෙන් දුකෙන් ද පසු වෙන්නේ? පිංවත දුක සහ සතුට අයිති අනිත්‍ය වූ සංස්කාරයන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් හෙවත් විඤ්ඤාණය මායාවක් ය, මැජික්කරුවෙක් ය කියලා. එම නිසා උතුම් අනාගාමීඵල අවබෝධය ලබන තෙක්, අපි කාටවත් ම කියන්න බැහැ, අපි මැජික්කරුවන් නොවේ ය කියලා. පිංවත බලය අයිති මාරයාට නිසා ම, බලය, බලය උදෙසා ම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නත් පුළුවන්. පිංවත බලය, බලය උදෙසා ම නික්ලේශීව හැසිරෙන්නත් පුළුවන්. පිංවත ‘විඤ්ඤාණයේ මායාව’ අපි, අපි ව රවටා ගැනීම උදෙසා නොවේ, අපි අපගේ නිවැරදි වීම උදෙසා සහ අවබෝධය උදෙසා ම විය යුතුයි.

පිංවත බොහෝ ම සමගියෙන් ජීවත් වෙන පවුලක පිංවත් තරුණ බිරිඳක් තම ස්වාමි පුරුෂයාගෙන් ඇසුවා ලු, “ඇයි ඔයා මට ගොඩාක් ආදරේ” කියලා. එම ස්වාමි පුරුෂයා කියනව ලු, “මම ඔයාට ගොඩාක් ආදරය කරන්නේ, ඔයාව හොඳින් රැක බලා ගන්නේ, ඔයාගේ පින නිසාමයි” කියලා. එම ස්වාමි පුරුෂයා තම ආදරණීය බිරිඳට කියනව ලු, “ඔයා තව තවත් උතුම් තෙරුවන්ට ගරු කරන්න; තව තවත් මෛත්‍රියය, සීලය තුළ ශක්තිමත් වෙන්න; තව තවත් ඔයා යහපත් බිරිඳක් වෙන්න. එවිට ඔයාගේ පින තව තවත් ශක්තිමත් වේවි. මගේ ආදරය තව තවත් වැඩි වේවි” කියලා. “ඔයාගේ ජීවිතයෙන් පින වැඩි වෙලා, ඔයාගේ වර්ණය, සැපය, බලය වැඩි වෙන කොට, ඔයාට ආදරය කරන, ඔයාව පෝෂණය කරන ස්වාමි පුරුෂයා වන මටත්, ගොඩාක් පිං සිද්ධ වෙනවා” ය කියලා. “එවිට අපි දෙදෙනාගේ ආදරණීය ජීවිත විතරක් නොවේ, අපේ දරුවන්ගේ, දෙමාපියන්ගේ ජීවිතත් පිනෙන් ආලෝකමත් වේවි” කියලා. “එවිට අපිට බාහිර ලෝකයෙන් සතුට, සැනසීම සොයන්න අවශ්‍ය නැහැ. අපි, අපිට ම සතුට බෙදා දේවි” කියලා. පිංවත වර්තමානයේ අපි හැමෝම බාහිර ලෝකයෙන් සතුට සොයන්නේ, බාහිර ලෝකයෙන් අපේ විමුක්තිය සොයන්නේ අපි තුළ සතුට, සැනසිල්ලට, විමුක්තියට හේතු වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියයේ, සීලයේ, ත්‍යාගයේ ශක්තිය නොමැති නිසාමයි. පිංවත විවාහ ජීවිතයේ සතුට, සැනසීම නැති ඔබේ ජීවිත තුළින් සතුට, සැනසීම මතු කොට ගන්න. සතුට ඔබ ළඟමයි තිබෙන්නේ, එය අනුනට දෙන්න බැහැ. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය ඔබට කියලා දෙනවා, ඔබේ වර්ණය, සැපය, බලයට අදාළවයි ඔබ කෙරෙහි ඔබේ සහකරුට හෝ සහකාරියට ආදරණීය දැනීම් සකස් වෙන්නේ කියලා. පිංවත් ඔබ, ඔබේ ස්වාමි පුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් අඩු ආදරයක් ලබනවා නම්, දික්කසාදය ගැන සිතීමට පෙරාතුව, අනියම් සබඳතාවයකට යොමු වීමට පෙරාතුව, ඔබලාගේ ආදරණීය හැඟීම් ශක්තිමත් කොට දෙන සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කොට ගෙන, විවාහ දිවියේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න දක්‍ෂ වෙන්න. පිංවත අධර්මයෙන් සතුට සොයන්න එපා. එය මිච්ඡා සතුටක්. කරුණාකර ධර්මයෙන් සතුට සොයන්න. එය මෙලොව සහ පරලොව කල් පවතින සතුටක් වේවි. පිංවත ඔබ මේ කියවන්නේ පත්තර පිටුවක් නොවේ, ඔබේ පිංවන්ත ජීවිතයයි. මේ පත්තර පිටුවට ඉඩ දෙන්න, ඔබේ පිංවන්ත ජීවිතයේ ම කොටසක් වෙන්න.

සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න
පිංවත සමාජයේ ජීවත් වන අවංක මනුෂ්‍යයෝ තමන්ගේ අවංකභාවයන් ගැන උදම් අනනවා වගේ ම, තම අවංකභාවය ධර්මානුකූලව කළමනාකරණය කොට ගෙන, සමාජය එක මිටකට ගන්න දක්‍ෂ වෙන්න ඕනේ. පිංවත අවංක පිංවතා දක්‍ෂ විය යුතුයි, ඔබලායි සොරු, අපි අවංකයි කියන කඳවුරු දෙකකට නො බෙදී, උපක්‍රමශීලීව සොරකම් කළ අය වෙතොත්, එම අයත් නිවැරදි කොට ගෙන යළි සොරකමට ඉඩක් නැති විනයගරුක සමාජයක් බිහි කොට ගන්න. අපි වෛර කළ යුත්තේ සොරකම්, වංචා, දූෂණය කළ අයට නොවේ. අපි වෙනස් කළ යුත්තේ නිදහසේ සොරකම, වංචාව, දූෂණයට ඉඩ ලබා දුන් මේ සමාජ ක්‍රමයයි. එවිට සොරුන් බිහි වීම නවතීවි. එසේ නොවී තවදුරටත් අතීතයේ වගේ ම සොරකම සහ සොරු ඇල්ලීම කියන වචන දෙක දේශපාලන සටන් පාඨයක් බවට පමණක් පත් කොට ගන්නේ නම්, ඔබලා සොරු, අපි අවංකයි කියන අන්ත දෙක තුළින්, අනාගත දේශපාලන අසමගියමයි, වෛරයමයි ඉදිරියේ දී සමාජගත වෙන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේ පිංවත් ජනතාවගේ මානසික නිරෝගීභාවය උදෙසා මොනතරම් නම් තිත්ත කසාය කෙලෙස් රෝගීන් උදෙසා ලබා දී තිබෙනවා ද? මේ සෑම තිත්ත කසායක් ම බුදුරජාණන් වහන්සේ කෙලෙස් රෝගීන්ට ලබා දුන්නේ මහා කරුණා ගුණය නමැති ප්‍රණීතභාවය තවරලාමයි. මේ මහා කරුණා ගුණය තුළ ආර්ය ඥාන දර්ශනයන්ගේ, ආර්ය විමුක්තියේ නික්ලේශී රසයන් මොනවාට තවරලයි තිබුණේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී පිරිවර සහිත මහා සොරදෙටුවන් පවා සොරකම්, මංකොල්ලකෑම් අතහැර පැවිදි උපසම්පදාවන් ලබා සදහට ම දුකෙන් නිදහස් වුණේ. පිංවත ලෝකයට අයිති සොරකම, ලෝකය ම විනාශ කොට දමන නිසාමයි, සොරකම පාරාජික ධර්මතාවයක් යැයි බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂු ප්‍රාතිමෝක්‍ෂ සීලයට පනවන්නේ. පිංවත බලය අයිති මාරයාට, බලය අයිති තණ්හා, රතී, රඟා මාර දූතියන්ට. පිංවත බලය තුළට නිරතුරුව ම වර්ණය සහ සැපය කාන්දු වෙනවා. එවිට අපේ කාමයේ සහ රූපයේ ආස්වාදයෝ ඉහවහා යන්න පුළුවන්. මෙතෙක් පැවති ජාති භේද, ආගම් භේද මදිවාට අනාගතයේ වෛරී දේශපාලන භේදයන් යළි හිස ඔසවන්න පුළුවන්. පෙනෙන සතුරන්ට වඩා නොපෙනෙන සතුරන් බලවත් වෙන්න පුළුවන්. පිංවත ජාත්‍යන්තර අසත්පුරුෂ ධර්මයෝ මාතෘභූමිය නමැති සරුසාර ගොදුරට ඉව අල්ලන නිසා ම, දිනාගත් ජයග්‍රහණයන් පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන අසමගියන් අවම කොට ගෙන, දැඩි මතධාරී නොවී, උපක්‍රමශීලීව මෙහෙය වීමට හැමෝම දක්‍ෂ විය යුතුයි.

පිංවත වර්ණය, සැපය, බලය කියන්නේ බෞද්ධ ජනතාවට පමණක් අයිති දෙයක් නොවේ. වර්ණය, සැපය, බලය බෞද්ධ සහ අබෞද්ධ හැමෝට ම අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේට සහ අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලාට වැඩියෙන් ම පීඩා කරපු වසවර්ති දිව්‍ය පුත්‍රයා තමයි මේ ලෝක ධාතුවේ වර්ණය, සැපය සහ බලයෙන් අග්‍ර ම පුද්ගලයා යැයි ධර්මයේ සඳහන් වෙන්නේ. පිංවත අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ සංකීර්ණ නිසා ම, අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නො ලැබූ පිංවතෙකුට, ලෝකය හරිම පරස්පරයක්. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ “කර්මය විපාක දෙන හැටි සිතන්න එපා” ය කියලා. පිංවත, පිංවත් මහත්මයෙක් බුදුරජාණන් වහන්සේ සිතන්න එපා යැයි කියලා පනවපු ප්‍රශ්නයක් ඊයේ භික්ෂුවගෙන් විමසුවා. එම මහත්මයාගේ ප්‍රශ්නය වුණේ, “පන්සල් යනවා, දන් පූජා කරනවා, සිල් සමාදන් වෙනවා අපි දැකලා නැති, පිංවත් අනුර කුමාර දිසානායක මහත්මයා හැමෝම පරාජය කරලා, රටේ බලවතා වුණේ කෙසේ ද?” කියලා. පිංවත සංස්කාර අධිකරණයට කවදාකවත් දශමයකින්වත් වරදින්නේ නැහැ. පිංවත සංස්කාර අධිකරණයේ තීන්දු හරියට ම කිරි ගහට ඇන්නා වගේමයි. පිංවත ඔබ දන් දුන්නොත් වර්ණය, සැපය, බලය කියන ආනිශංස ධර්මයෝ තුනක් ඔබට ලැබෙනවා. ඔබ සීලයක් ආරක්‍ෂා කළොත් ඔබට ජනප්‍රියභාවය, අභියෝගයන් ජය ගැනීම, බවභෝග සම්පත් ආරක්‍ෂා වීම, සිහිමුළා නොවී මියයාම, සුගතියේ ඉපදීම කියන ආනිශංස ධර්මයෝ පහක් ඔබට ලැබෙනවා. පිංවත දානයටත්, සීලයටත් වඩා අග්‍ර වූ පුණ්‍ය ශක්තියක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එය තමයි මෛත්‍රියය. පිංවත මෛත්‍රියයට ආනිශංස ධර්මයෝ එකොළහක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත දෙවියන්ට, මනුෂ්‍යයන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම මෛත්‍රියයේ මුල් ම ආනිශංස ධර්මයෝයි. පිංවත භික්ෂුව ධර්මානුකූලව සටහන් තබන්නේ ජනාධිපතිවරණයට තරග කළ සියලුම පිංවත් අපේක්‍ෂකයන් අතුරෙන් බහුතරයක් ජනතාවට ප්‍රිය අපේක්‍ෂකයා බවට පිංවත් අනුර කුමාර දිසානායක මහතා පත් වුණේ, මෛත්‍රියයේ හේතුඵල ධර්මයන් නිසාමයි කියලා. පිංවත එම පිංවත් මහත්මයා එරමිණියා ගොතා ගෙන මෛත්‍රියය පුහුණු කරලා නොවේ, ඉහත මෛත්‍රියයට අදාළ ආනිශංසයෝ ජීවිතගත කොට ගන්න ඇත්තේ.

ගෙවී ගිය වසර විසි පහක් වැනි තම දේශපාලන ජීවිතයේ දී අහිංසක, දුප්පත්, දුක් විඳින, අසරණ මනුෂ්‍යයන් කෙරෙහි ඇති කොට ගත්තා වූ, මේ ජනතාවට යහපතක් කරනවා ය කියන මෛත්‍රී සිතුවිලිමයි ඔහුගේ ජයග්‍රහණය උදෙසා විපාකයට එන්න ඇත්තේ කියලා භික්ෂුව විශ්වාස කරනවා. පිංවත පෙනෙනවා නේද, මෛත්‍රියයේ ආනිශංසයන්ට පුළුවන් කෙනෙක්ව රාජ්‍ය නායකත්වයට පත් කරන්න, නමුත් නව පිංවත් ජනාධිපතිතුමා ලැබුව ජයග්‍රහණයේ දිග සහ පළල දෙස බලද්දී, අතීතයේ දුප්පත්, අසරණ ජනතාව කෙරෙහි මෛත්‍රී සිතුවිලි වගේ ම, ජයග්‍රහණයන් කරා හඹාගෙන යෑමේ දී ද්වේශය, පළිගැනීමුත් මොනවාට වැඩිලා තිබෙනවා. ඒ වගේමයි දානයේ දුර්වලභාවයකුත් තිබෙනවා. ඒ නිසා ම, සියල්ලෝ ම අභිබවා ජයග්‍රහණය කළත්, එම ජයග්‍රහණය පළමුවැනි වටයේ ජයග්‍රාහී ජයග්‍රහණයක් බවට පත් කොට දෙන්නේ නැහැ. පිංවත මෛත්‍රියය, සීලය සහ දානය කියන කාරණා තුනෙන් ම ඉහත ජයග්‍රහණය පෝෂණය නොවී තිබීම නිසා ම, ලැබූ ජයග්‍රහණයන් ඉදිරියේ අභියෝගයන් මතු වීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. පිංවත ඔබ උපන් මාතෘභූමියට ශක්තිමත්, කල් පවතින නායකත්වයක් ලබා දීම උදෙසා පක්‍ෂ සහ විපක්‍ෂ සෑම පිංවත් නායකයෙක් ම මෛත්‍රියය, සීලය සහ දානය කියන අර්ථයන් තුන ම ජීවිතවලට නො මසුරුව එකතු කොට ගන්න දක්‍ෂ වෙන්න. මේ ලෞකික වර්ණය, සැපය, බලයට අයිති ධර්මයෝ අඩු සහ වැඩි වශයෙන් ජීවිතවලට එකතු කොට ගතහොත්, ඔබ පෙරළා ලබන බලය අභියෝගයන් වැඩි බලයක් වෙන්න පුළුවන්. පිංවත ඔබගේ ජීවිතවලට එකතු කොට ගන්නා මෛත්‍රියය, සීලය සහ දානය කියන අර්ථයන් කල් පවතින, ශක්තිමත්, හැමෝම යටත් වෙන බලයක් බවට පත් කොට දෙන්නේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ගේ පෝෂණය විසින් ය කියන කාරණය සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පිංවත උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ‘වක්කඩේ හැංගූ හකුරු වගේ’ දිය වෙලා යන, දෙස් සහ විදෙස් දේශපාලන ලෝකය තුළ ශක්තිමත් දිගුකල් බලය හොබවන රාජ්‍ය නායකයන්ගේ ඉඩෝරයන්මයි අනාගත ලොකයේ දී ඔබට දකින්නට වෙන්නේ. පිංවත මේවා සුන්දර හේතුඵල ධර්මයන්.

පිංවත යම් පිංවතෙක් තමන් ලබන බලය ධර්මානුකූලව කළමනාකරණය කොට ගන්න නම්, ඔහු තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් පිළිගැනීමේ ශක්තිය තිබෙන්නට ම ඕනේ. පිංවත සම්මා දිට්ඨියේ අර්ථයන් ඔබේ ජීවිතයට එකතු කොට ගන්න දැනීම් සකස් වෙන්න නම්, ඔබ පෙර ජීවිතයේ ධර්ම දානය පූජා කොටගත් කෙනෙක් වෙන්න ඕනේ. පිංවත මෛත්‍රියයට, සීලයට, දානයට අදාළ සියලුම ආනිශංස පුණ්‍ය ධර්මයෝ තම ජීවිතය තුළින් සිහිනුවණින් භුක්ති විඳීමට අදාළව උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ, අතීත උතුම් ධර්ම දානයන්ට අදාළ ආනිශංස ධර්මයෝමයි. පිංවත උතුම් ධර්ම දානයන්ගේ ආනිශංස ධර්මයෝමයි වර්ණය, සැපය, බලය සහිත ඔබට, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය ඔස්සේ, කර්මය කර්මඵල විශ්වාසය තුළින් ලෝකය දකින්න පුහුණු කරන්නේ. උතුම් ධර්ම දානය නො කළ පිංවතෙකුට වර්ණය, සැපය, බලය ලැබුණොත්, ඔහු එම වර්ණය, සැපය, බලය ඇලීම් සහ ගැටීම්වල සිරකරුවෙක් බවට ම පත් කොට ගන්නවා. පිංවත බලය ලැබූ ඔබ සහ බලය ප්‍රාර්ථනා කරන ඔබ, කරුණාකර සමාජයට ශ්‍රද්ධාවේ, මෛත්‍රියයේ, සීලයේ, දානයේ වටිනාකම කියලා දෙන්න. එය ම ඔබට උතුම් ධර්ම දානමය පිංකමක් වෙනවා. පිංවත මෛත්‍රියය, සීලය, ත්‍යාගය උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ කල්හි, එහි ආනිශංසයෝ ශක්තිමත්, කල් පවතින, අභියෝගයන් අවම, වර්ණය, සැපය, බලයක් ම වෙනවා.