පංච උපාදානස්කන්ධ කෞතුකාගාරයේ අවිද්‍යාවේ පුරාවස්තු

පිංවත පිණ්ඩපාත මඩුවට තම පියා විසින් වඩාගෙන පැමිණි පුංචි දියණියක් තම අම්මාට කියනවා, “අම්මේ, ඔයා හරිම නරකයි, ඔයා මාව පොඩ්ඩක්වත් වඩාගෙන පැමිණියේ නැහැ, තාත්තා විතරමයි මාව වඩාගෙන එන්නේ” කියලා. පුංචි දියණියගේ කටකාර කතාව නොතේරුම්කමට තම අම්මාට කරපු අගෞරවයක් කියලයි භික්ෂුවට නම් සිතුණේ. පිංවත අම්මා කෙනෙක් පැයක් හෝ දෙකක් නොවේ, එක දිගටම දස මාසයක්ම පුංචි ඔබව දරාගෙන, ඔසවාගෙන, තම මවු කුසේ ආරක්‍ෂා කොට ගෙන තිබෙනවාය කියලා පිංවත් දරුවන් දන්නවා ද? පිංවත් දරුවෙනි, දස මාසයක් යැයි කියන්නේ පැය කී දාහක් ද? පුංචි ඔබේ ආරක්‍ෂාව, නීරෝගීභාවය, පෝෂණය උදෙසා, ඔබේ පිංවත් අම්මා මහමෙරක් වැනි කැපවීමක්, පරිත්‍යාගයක් සිදු කළා නේද? එදා ඔබේ පිංවත් අම්මාට තම මවු කුසේ දරාගත් පුංචි ඔබ නිසා මොනතරම් නම් ශාරීරික පීඩාවන් දැනෙන්නට ඇති ද? පිංවත් දරුවෙනි, ඔබ වෙනුවෙන් එවන් බරක් සහ බියක් දස මාසයක් මෙත් සිතින් දරා සිටි ඔබේ පිංවත් අම්මාට නැවත කවදාකවත් කියන්න එපා, අම්මා මාව වඩා ගත්තේ නැහැ, අම්මා හරිම නරකයි, අම්මා මට ආදරේ නැහැය කියලා. ඔබේ පිංවත් අම්මා ඔබව එක දිගටම, එක තත්පරයක් නෑර ම, ඔබව දවස් තුන් සියයක්ම තම මවු කුසෙන් ඔසවාගෙන ඉඳලා තිබෙනවා. ඒ නිසාමයි ඔබේ අම්මා මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුක්ත වෙන්නේ. පිංවත් ඔබේ අම්මා දස මාසයක් මෙත් සිතින් දරාගත් ඔබේ බර, පිංවත් දරුවන් අමතක කොට දමා, තම අම්මාගේ ජීවිතය මානසික පීඩාවන්ගෙන් බර කළොත්, එම දරුවන්ට අනාගත භව ගමනේ මුට්ට ගණන් බර කර ගැසීමේ අකුසල් සංස්කාරයෝ අයිති වෙන බව සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

පිංවත මේ ලිපිය පළවෙන කොට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අදාළව අලුත් රාජ්‍ය නායක පිංවතෙක් තේරී පත් වී සිටින්න පුළුවන්. හොර, බොරු, වංචා, කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගෙන් තොරව මැතිවරණය අවසන් වුණා නම්, එය ජාතියේ ම පිනක් හැටියටයි ධර්මානුකූලව සටහන් තබන්න වෙන්නේ. පිංවත ජාතියක් හැටියට අපේ පින තවම පිරිහිලා නැහැ. ජාතියක් හැටියට අපේ පින පිරිහී තිබුණා නම්, මීට වසර දෙකකට ඉහත දී පැවති ගෝල්ෆේස් අරගලයේ දී අපේ රට තවත් බංගලාදේශයක් ම වෙන්න තිබුණා වගේම, මේ අවසන් වූ ජනාධිපතිවරණයත් ප්‍රචණ්ඩකාරී සහ අනපේක්‍ෂිත නොසන්සුන්කාරී මැතිවරණයක් වෙන්න තිබුණා. පිංවත මේ සියලුම යහපත් ධර්මතාවයෝ ජාතියේ පින මිස වෙනත් පුද්ගල ගැලවුම්කාරයන්ගේ හපන්කම් නම් නොවේ. මේ මොහොතේත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, ස්වර්ණමාලී මහා සෑ සමිඳුන්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රී පාද පද්ම වහන්සේගේ පහස ලබමින් ජීවිතගත වෙන ජාතියේ පුණ්‍ය ශක්තිය, පසළෝසවක පොහොය දවසක දහස් සංඛ්‍යාත වෙහෙර විහාරවල උවැසි උවැසියන්ගේ උපෝසථ සීලයන්ගෙන් ජීවිතගත වෙන ජාතියේ සිල්වත්භාවයේ, මෛත්‍රියේ පුණ්‍ය ශක්තිය, මහා සංඝ රත්නයේ ප්‍රාතිමෝක්‍ෂ සීලයන්ගේ, සාමණේර සීලයන්ගෙන් ජීවිතගත වෙන පුණ්‍ය ශක්තිය, සාංඝික දානයන්ගේ පුණ්‍ය ශක්තිය, විසිතුරු පිංකම් තුළින් ජීවිතගත වෙන පුණ්‍ය ශක්තිය වගේම, පිංවත් ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ජනතාවගේ ආගමික වත්පිළිවෙත් තුළින් ජීවිතගත වෙන පුණ්‍ය ශක්තිය තවමත් ජාතියක් හැටියට අපිව වියරු අනතුරුවලින් ආරක්‍ෂා කරනවා. පිංවත ඔබට මතක ද තිස් වසරක් පුරා දිග්ගැසුණු කොටි ත්‍රස්තවාදී යුද්ධය. මේ යුදමය අවස්ථාවන් ජාතියේ පින පිරිහුණ අවස්ථාවන් බවටයි පත් වෙන්නේ. ‘නායකතුමන්ලාගේ ජීවිතවල සහ ජාතියේ ම “පින” හේතුවෙන්මයි විනාශය පරාජය කොට, යහපත අපිට උදා කොට දෙන්නේ. අපි මේ ධර්මතාවයෝ තේරුම් නොගන්නා තාක්කල් අපි ලබන ජයග්‍රහණය මමය, මගේ ය කියලා මමත්වයේ දැඩිභාවයෙන් ගන්නවා. එම ජයග්‍රහණය තුළ මම සිටිනවාය කියලා ආත්මීය දෘෂ්ටියෙන් දකිනවා. මේ වියරු ආත්මීය දෘෂ්ටිය අපිව පිනෙන් බැහැර කොට පවට ම, පරාජයට ම පාර කපා දෙනවා. ශක්තිමත්, ජාතිමාමක, පිනැති නායකයෝ පිනෙන් පිරිහී, සීලයෙන්, මෛත්‍රියයෙන්, ත්‍යාගයෙන් පිරිහී ජාතියම අනාරක්‍ෂිත වෙනවා. වර්තමානයේ අපි ආත්මීය දෘෂ්ටියේ විපාකයෝ ජාතියක් හැටියට සිත් සේ අත්දකිනවා.

පිංවත කරුණාකර ඔබලා ලැබූ ජයග්‍රහණය ඉදිරියේ පිනේ ධර්මානුකූල ඇත්ත තේරුම් ගන්න. ඔබලාගේ ජීවිතවලට විපාකයට පැමිණි ඔබේම පටිච්චසමුප්පන්න පින, පෙරළා අසිහියෙන් පවට පාවඩයක් කොට ගන්න එපා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, ජයග්‍රාහකයා සතුරන් ඇති කොට ගන්නවාය කියලා. පිංවත ජයග්‍රහණය ඉදිරියේ නිහතමානී නොවුණොත්, එතැන සතුරන්ගේ පාරාදීසයක් ම වෙන්න පුළුවන්. පිංවත් ඔබත් ජයග්‍රාහකයෙක් නම්, අසිහියෙන් උදම් අනන්න එපා. බලය අයිති මාරයාටයි, බලය අයිති තණ්හා, රතී, රඟා මාර දූතියන්ටමයි, බලය අයිති තෘෂ්ණාවේ නොසෑහෙන උපාදානයන්ටයි. පිංවත බලය ඉදිරියේ විඳීම් සොයමින් තණ්හා, රතී, රඟා මාර දූතියෝ අපේ ඵස්සය අසල ලජ්ජා සහ බියෙන් තොරවයි හැසිරෙන්නේ. මේ මාර ධර්මයෝ නිවැරදිව හඳුනා ගන්න නම්, සම්මා දිට්ඨිය තිබෙන්නට ම ඕනේ. ඉන්ද්‍රීය සංවර සීලය තිබෙන්නට ම ඕනේ. ඵස්සය ඉදිරියේ නෙක්ඛම්මයේ පෙරහන්කඩ සක්‍රීයව තිබෙන්නට ම ඕනේ. එවිටයි ඥාතීන්ට, ගජ මිතුරන්ට, අවස්ථාවාදීන්ට ලොකු හැඳි පාවිච්චි නොකරන්නේ. පිංවත අපේ අවිද්‍යාව පටිච්චසමුප්පන්නව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් පරණයි. අපි සියල්ලෝ ම පංච උපාදානස්කන්ධ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙන අවිද්‍යාවේ පුරාවස්තු. වසර දෙදහස් පන්සියයක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන මහ පොළොව හාරමින්, කැලෑ පීරමින් සොයන අපි, අපේ ජීවිතවලට අයිති පටිච්චසමුප්පන්න අතීත කල්ප ගාණක ඉතිහාසය ඉදිරියේ අපි අන්ධ, ගොළු, බිහිරිභාවයෙන්මයි හැසිරෙන්නේ. පිංවත බලය ඉදිරියේ විනයගරුක වෙන්න. බලය අපි හැමෝටම ලබන්න බැහැ. ලැබුණු බලය අපි හැමෝටම රැක ගන්නත් බැහැ. ඔබට මතක ද අතීතයේ සියයට හැට නවයේ බලයට වෙච්ච දෙය. පිංවත බලය නිරතුරුවම වර්ණය සහ සැපය සමග අත්වැල් බැඳගෙනයි සිටින්නේ. ඒ නිසා ම, බලය හරිම අහංකාරයි. බලය හරිම අකීකරුයි. පිංවත් ඔබ ලබන බලයේ සැබෑම ආරක්‍ෂකයා කල්‍යාණමිත්‍ර ආශ්‍රයමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, සෑමවිටම තමන්ට වඩා දැනුමෙන්, තේරුමෙන්, අත්දැකීම්වලින් වැඩි කෙනෙක් ඇසුරට තෝරා ගන්නය කියලා. නමුත් වර්ණය, සැපය, බලය ඉදිරියේ ඉහත සම්බුදු අවවාදය බලවතුන් අතින් ගිලිහිලා ම යනවා. බලය තුළ බැසගෙන තිබෙන මමත්වයේ දැඩිභාවය අපිව මෙහෙය වන්නේ “මම යි ලොක්කා” යැයි දකින මිච්ඡා ආස්වාදය දිශාවටමයි. පිංවත ජරා, ව්‍යාධි, මරණ තෝතැන්නක් දරා ගත්ත අපි මොන ලොක්කෝ ද? පිංවත මමත්වයේ දැඩිභාවය අපේම විනාශයේ පෙරගමන්කරුවායි, අපේ පරාජයේ කසකරුවායි.

පිංවත ජනාධිපතිවරණයේ කෙටි ආස්වාදය දැන් අවසන් වුණා. වර්තමානයේ ඔබ අත්විඳින්නේ මැතිවරණ ජයග්‍රහණයේ කෙටි ආස්වාදයයි. පිංවත මේ සෑම ආස්වාදයක් පසුපසම දීර්ඝ ආදීනවයක් තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ආස්වාදයේ මිච්ඡා හැසිරීම්වලට ගොදුරු නොවී, ඔබලා ලැබූ දේශපාලන ජයග්‍රහණයට කෘතවේදී වෙන්න. ඔබලා ලැබූ දේශපාලන ජයග්‍රහණයන්ට කෘතවේදී වෙන්නේ හිතවතුන්ට, නො සුදුස්සන්ට පදවි, තනතුරු දීමෙන් නොවේ. ඔබලා ලැබූ ජයග්‍රහණය ඔබලාගේ ම පෙර පිනයි. ජයග්‍රහණය ඉදිරියේ දස කුසල් ධර්මයන්ට කෘතවේදී වෙන්න. හිතවතා සහ පාක්‍ෂිකයා කියන කාරණාව දෙවැනි තැනට දමා සිල්වත්භාවයට මුල් තැන දෙන්න. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකය, දශමයට නිවැරදිව විග්‍රහ කොට ගත හැකි ධර්ම පර්යේෂණාගාරයයි, උතුම් සූත්‍ර ධර්මයන් යැයි කියන්නේ. අපි හැමෝම මේ ධර්ම පර්යේෂණාගාරයේ හේතුඵල ධර්මයන් නුවණින් දකිමින්, ධර්මයේ සත්‍යය ජීවිතයට එකතු කොට ගන්නා ධර්ම පර්යේෂකයන්. පිංවත මැතිවරණ ජයග්‍රාහකයන් තමන් ලැබූ දේශපාලන ජයග්‍රහණය දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය කොට නොගත්තොත්, අපි විවේකීව, ඉවසීමෙන් බලා සිටිමු, දේශපාලන ජයග්‍රහණයේ කෙටි ආස්වාදය පසුපසින් කලඑළි බහින දේශපාලනයේ දීර්ඝ ආදීනවයන් මොනවා ද කියලා. පිංවත උතුම් සද්ධර්මයේ අර්ථයන් එපා යැයි කියන දේශපාලන ලෝකයේ ආස්වාදයෝ සහ අදින් පසුව සමාජගත වෙන ආදීනවයෝ දැකලා පිංවත් සද්ධර්මයට ගරුකරන ඔබ, ඔබේ නිස්සරණය උදෙසා ම මාර්ගය මතුකොට ගන්න, අද පටන්ම පුහුණු වෙන්න. පිංවත දේශපාලනය අයිති ලෝකයට, දුකට, අවිද්‍යාවට. පිංවත ජය සහ පරාජය, ආස්වාදය සහ ආදීනවය අයිති ලෝකයට, අවිද්‍යාවට, දුකට. පිංවත ලෝකයට අයිති දේවල්, අවිද්‍යාවට, තෘෂ්ණාවට, දුකට අයිති දේවල් ඔබ ගන්න යන්න එපා. පිංවත ලෝකයට අයිති අවිද්‍යාව, ලෝකය තුළම තිබෙන්නට හැර පිංවත් ඔබ අවිද්‍යාවේ නිස්සරණය දිශාවටම යන්න. අවිද්‍යාවේ නිස්සරණයට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෞකික සහ ලෝකෝත්තර දෙවර්ගයේ ම සැපයට එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළයි ස්ථානගත වෙලා තිබෙන්නේ. පිංවත අවිද්‍යා සිහින ලෝකයෙන් මිදී සම්මා දිට්ඨියෙන් අවදි වෙන්න. සද්ධර්මයේ හිරු පායපු නැවුම් උදෑසනක් අපේ ජීවිත ඉදිරියේ තවමත් තිබෙනවා. මේ සද්ධර්මයේ නැවුම් උදෑසන ලෞකික සහ විදර්ශනාත්මක ප්‍රීතිය සහ ඵස්සද්ධිය සිත් සේ ජීවිතවලට මුහු කොට ගන්න. තෘෂ්ණාවෙන් හරි හරියට දුවන ලෝකය සමග නො දුවා, දුවන සිතුවිලි දෙස චිත්තානුපස්සනාවෙන් බලන්න.

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, රූපය යැයි කියන්නේ මාරයාටයි කියලා. රූපය විශ්වාස කරන්න එපා. රූපය යැයි කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන, ජරා, ව්‍යාධි, මරණයක්මයි. පිංවත වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ විශ්වාස කරන්න එපා. මේ සියල්ලම තෘෂ්ණාවේ නිමි භාණ්ඩමයි. පිංවත අවිශ්වාසය ඔඩු දුවපු පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ අවිද්‍යාව විසින් පටලවපු බොරුවක්. පිංවත ඵස්සය තුළ තෘෂ්ණාව තැවරෙද්දී, අපි කියන තරමක් බොරු කියන්නේ, අපි කරන තරමක් බොරු කරන්නේ. පිංවත රූප, වේදනාවෝ, සංඥාවෝ කැඩී, බිඳී, විසිරී යද්දී, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී, නිත්‍යයි, සැපයි, සුභයි කියලා ගන්න පුළුවන් ඇත්තක් ලෝකය තුළ තිබෙයි ද? පිංවත අනාගත සැපය යැයි අපි මේ අත වනන්නේ මායාවකට නේද? පිංවත ඔබ අතීතයේ අත්වින්ද සෑම සැප, දුක්, උපේක්‍ෂා විඳීමක් ම මායාවක්, මිරිඟුවක්, ඇස්බැන්දුමක් නේද? පිංවත ලෝකය, ලෝකයේ ස්වභාවයෙන් පවතිද්දී, අපි ලෝකයට විරුද්ධ වෙලා, නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන ලෝකයක් සොයනවා. ගලේ ගැසුවත් නොබිඳෙන විඳිම් සොයනවා. ජාති ජාතිත් නොබිඳෙන බැඳීම් සොයනවා. ගලේ කෙටූ අකුරු වැනි සංස්කාරයෝ සොයනවා. පිංවත අපි හැමෝම හුඟාක් කඩිසර මාරයාගේ අතවැසියෝ. අපි මහා වීර්යයකින් මේ සොයන්නේ අතීත රහතන් වහන්සේලා අවබෝධයෙන් ම නිදහස් වූ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, පින වැඩිම අපේක්‍ෂකතුමා ද ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ කියලා. පිංවත ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් ලබා යම් අපේක්‍ෂකයෙක් ජනාධිපතිවරණයෙන් පළමු වටයේ දී ම ජයග්‍රහණය කළොත්,සැබවින් ම එය පිනේ ඵලයක්මයි. නමුත් සියයට පනහකට අඩු ප්‍රතිශතයක් ලබා, දෙවැනි මනාපය තුළින් ජයග්‍රාහකයෙක් තේරී පත් වුණොත්, එම ජයග්‍රාහකයා දුර්වල පිනේ අභියෝගාත්මක ඵලයක් වෙනවා. පිංවත අපි පිංකම් සිදු කරද්දී, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය සහ සියතින් සකසා ප්‍රණීතභාවයෙන් පිංකම් සිදු නොකළොත්, පෙරළා අපිට ලැබෙන වර්ණය, සැපය, බලය අඩුපාඩු සහිතවයි අපිට ලැබෙන්නේ. ජනාධිපතිවරණයට තරග කළ කිසිම අපේක්‍ෂකතුමෙකුට සියයට පනහේ සීමාව ඉක්මවා යන්න නොහැකි වුණොත්, තරගයට ඉදිරිපත් වූ හැමෝගේ ම වර්ණය, සැපය, බලයේ දුර්වලභාවයයි ධර්මානුකූලව පැහැදිලි වෙන්නේ. පිංවත වර්ණය, සැපය, බලය දුර්වල ජයග්‍රහණයන් ඉදිරියේ අභියෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. අභියෝගයන් පැමිණීමේ වේගයත් වැඩි වෙන්න පුළුවන්. සිහිනුවණින් අඩුපාඩු තේරුම් ගෙන සීලයෙන්, මෛත්‍රියයෙන්, මනුෂ්‍ය ධර්මයන්ගෙන් නැගී සිටින්න.