තෘෂ්ණාව යම් තැනක ද දුක ද එතැනය

පිංවත උපාධි දහයක් ගන්නවාට වඩා, මේ පුංචි අර්ථය ජීවිතයට එකතුකොට ගත්තොත්, ජීවිතයට මොනතරම් නම් නිදහසක් ද? ඒ පුංචි අර්ථය තමයි තෘෂ්ණාව යම් තැනක ද, දුක එතැන තිබෙනවාය කියන අර්ථය. පිංවත ඇලීම් සහ ගැටීම්වලින් පංච උපාදානස්කන්ධ ලෝකය නටවන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත ඔබට ඇසෙනවා ද ලෝකය නටන හඬ? පිංවත ඔබට පෙනෙනවා ද ලෝකය නටන රිද්මය? පිංවත ලෝභ, ද්වේශ, මෝහ, අලෝභ, අද්වේශ, අමෝහ. පිංවත මේ ලෝකය නටන හඬයි, මේ ලෝකය නටන රිද්මයයි. මේ ලෝකයේ ජන්ම ගතියයි. පිංවත හේතුඵල ධර්මයන් නොදකින, වරදකරුවෙක් හෝ නිවැරදිකරුවෙක් දකින අපේ ආත්මීය දෘෂ්ටිය, අපේ ලෝකය තව තවත් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, විසිරුණ සිතුවිලි සහ විචිකිච්ඡාවන්ගෙන් හැඩවැඩ කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයාට අම්මා, තාත්තා, බිරිඳ, දරුවන් හේතුවෙන් සකස්වෙන දුකක් නැහැ. ඉඩකඩම්, දේපළ, මිල මුදල් හේතුවෙන් සකස්වෙන දුකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයාට කීර්ති, ප්‍රශංසා, තනතුරු, නම්බුනාම හේතුවෙන් සකස්වෙන දුකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා දුක ගැන කවි, සින්දු, රචනා ලියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දුක, දුක හැටියට ම දකින කෙනෙක්. උන්වහන්සේලා දුකට විකල්ප සොයන්නේ නැහැ. දුකට විකල්ප සෙව්වොත් එතැනත් තෘෂ්ණාවමයි ලකුණු ලබා ගන්නේ. පිංවත දුක ජයගත යුත්තේ, දුකේ නිරෝධය තුළින්මයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට එකම මාර්ගයයි.

පිංවත අතීත පිනේ ඵලයෙන් ම ඉපදුන තවත් වෙසක් මාසයක් ගෙවී ගියා. පිංවත ඔබේ ම පටිච්චසමුප්පන්න අතීත පිනේ ඵලයෙන් ඉපදුන මේ වෙසක් මාසය තුළ ඔබ පිනට පෙරළා කෘතවේදීභාවය දැක්වූවා ද? පිංවත් ඔබ ඔබෙන් ක්‍ෂය වී යන පිනට අදාළව, පෙරළා පිනට අදාළ සංස්කාරයෝ ජීවිතයට එකතුකොට ගත්තා ද? එසේත් නැතිනම් පිංවත් ඔබ පුණ්‍යවන්ත වෙසක් මාසය පුරාවට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි, විචිකිච්ඡා නමැති පරවුණ මල්වලින් දැන හෝ නොදැන ඔබේ ජීවිතය සරසා ගත්තා ද? පිංවත ඔබේ හෘද සාක්‍ෂියෙන් තට්ටු කරලා විවේකීව අහන්නකෝ, ඔබේ ජීවිත කාලය තුළ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන් කීයක් නම් ගෙවී ගියා ද? මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිත කාලය තුළ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන් හැට දෙකක් ගෙවී ගිහින් තිබෙනවා. භික්ෂුව මෙහෙම සටහන් තබද්දි, භික්ෂුවගේ සිහිනුවණ භික්ෂුවගේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා කියනවා, අපි අසිහියෙන් හදන මේ ගණන් හිලව් මොනතරම් නම් ප්‍රාථමික ද කියලා.

පිංවත අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් ගෙවී ගිය පංච උපාදානස්කන්ධ ලෝකයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ අතීතයට එකතු වුණ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ පිංවත් ඔබත්, භික්ෂුවත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන් ලක්‍ෂ ගණනක් ගෙවා දමා තිබෙනවා. අපි හැමෝම පටිච්චසමුප්පන්නව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක් පටිච්චසමුප්පන්නව ගෙවා දැමූ මහා ගොරහැඩි, වයෝවෘද්ධ සත්ත්වයෝ. පිංවත වෙසක් සතියේ අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලට එකතුවෙලා කාමච්ඡන්දයන්ගේ ඔටුණු දරාගෙන වෙසක් සිරි නරඹපු අපි කවදාක නම්, කෙසේ නම් අපේ පටිච්චසමුප්පන්න අතීත වයෝවෘද්ධ, ගොරහැඩි පංච උපාදානස්කන්ධ ලෝකය තේරුම් ගන්න ද? පිංවත ආමිස පූජාවන්ගේ කරවටක් ගිලී, ප්‍රතිපත්ති පූජාවෝ අමතක කරපු අපි, කෙසේ නම් මේ මැජික් සංදර්ශනකාරී, මායාකාරී පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න ද? පිංවත අතොරක් නැතිව කලඑළි බහින පූජනීය ධාතු වන්දනාවෝ තුළින් සිත් පහන්කොට ගන්නා ලක්‍ෂ ගණන් සැදැහැති පිංවත් ජනතාව මොහොතක්වත් සිතුවා ද, අනේ මගේ ශරීරයේ ඇට කැබලි කවදා ද මම පූජනීය ධාතූන් වහන්සේලා බවට පත්කොට ගන්නේ කියලා. සැදැහැති සිතින් පෝලිම් ගැසී ධාතූන් වහන්සේලා වන්දනා කරන ලක්‍ෂ සංඛ්‍යාත පිංවතුනේ, ආමිසය විනිවිද විමංසාව මතුකොට ගන්න. පිංවත් ඔබට පුළුවන් ඔබේ ශරීරය නමැති දෙතිස් කුණපයේ ඇට කැබලි මේ ජීවිතයේදී ම මරණින් පසු පූජනීය ධාතූන් වහන්සේලා බවට පත්කොට ගන්න.

පිංවත ලෝකය ගමන් කරන්නේ දුක දිශාවට. ඒ කියන්නේ තෘෂ්ණාව දිශාවට. තෘෂ්ණාව අපිට කියලා දෙන්නේ විඳින්න මිසක්, විඳීමේ නිරෝධය දිශාවට යන්න නොවේ. උතුම් නිරෝධයෙන් සැනසුණ අතීත රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තුළිනුත්, අපි ජීවිතවලට එකතුකොට ගන්නේ විඳීමමයි. පිංවත පූජනීය ධාතූන් වහන්සේලා වන්දනා කිරීම පින වැඩෙන ආමිසයට අදාළ පිංකමක්. නමුත් පිංවත් ඔබ දක්‍ෂ විය යුතුයි, ආමිස පූජාවෝ විඳීම උදෙසා නොව, විදර්ශනාමය ප්‍රඥාව උදෙසා යොමුකොට ගැනීමට. පිංවත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී පිරිනිවී ගිය රහතන් වහන්සේලාගේ පූජනීය ධාතූන් වහන්සේලා නිධන්කොට චෛත්‍ය ඉදිකොට එම චෛත්‍ය වන්දනා සිදුකළා මිස, පූජනීය ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයේ තැබුවාය කියලා භික්ෂුව නම් අහලා නැහැ. ඉහත කාරණය වැරදි නම් කරුණාකර සමාවෙන්න. අවිද්‍යාව දෝරේ ගලාගෙන යද්දී, තෘෂ්ණාවේ සැඩපහර වේගවත් වෙනවා. තෘෂ්ණාවේ සැඩපහර ඉදිරියේ භවයට නැවුණ දිරාගිය අතු සහිත සල්ලි ගස්වලමයි අපි එල්ලෙන්න බලන්නේ. පිංවත සෑහීමක් නැති තෘෂ්ණාව ඥාන දර්ශනයන්ට, විමුක්තියට පල නොකියා පලා බෙදන තෘෂ්ණාව, භව ගමනට සැප, දුක්, උපේක්‍ෂාවෝ තුළින් මග වියදම දෙන තෘෂ්ණාව, තමා තුළින් තමා අවබෝධ කොටගත්තොත්, ඔබට අතීත රහතන් වහන්සේලාගේ පූජනීය ධාතූන් වහන්සේලා වන්දනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිංවත් ඔබේ ම ශරීරයේ ඇට කැබලි පූජනීය ධාතූන් වහන්සේලා බවට පත්වෙනවා. ස්ථූප බැඳ එම ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට සුදුසු වෙනවා. පිංවත් අපි මේ ජීවිතයේ දී යම් දවසක රහතන් වහන්සේ නමක් බවට පත්වුණොත්, එම රහතන් වහන්සේට ධාතූන් වහන්සේලා කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙලා යනවා. එදාට එම උත්තමයා ධාතූන් වහන්සේලා දකින්නේ වන්දනා කිරීමෙන් ඔබ්බට ගියා වූ, අවබෝධකොට ගතයුතු සතර මහා ධාතූන් හැටියටමයි. එතෙක් අපි ධාතූන් වහන්සේලා දකින්නේ විදර්ශනා නුවණ දුරස් වූ, ආස්වාදයට නැමුණා වූ පිනට අදාළ ධර්මතාවයක් හැටියටමයි.

පිංවත සමාජයේ ජීවත්වෙන අහිංසක අම්මලා, තාත්තලා පවතින ආර්ථික දුර්වලතාවයන් හේතුවෙන් ප්‍රශ්න ගොඩාක් මැද්දෙයි ජීවත් වෙන්නේ. එම අහිංසක පිංවතුන්ලාට පිංකමක් කරන්න, දානයක් පූජා කරගන්න, වන්දනා ගමනක් යන්න, වන්දනා ගමනක් ගියත් බුදුසමිඳුන් වන්දනා කරන්න නෙළුම් මල් ටිකක්, හඳුන්කූරු පැකට් එකක් මිල දී ගන්න බැරි අවස්ථාවනුත් භික්ෂුව දැක තිබෙනවා. පිංවත ආර්ථික ප්‍රශ්න මොනතරම් ඔඩුදිව්වත් කරුණාකර, පිංවත් ඔබලාට මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ලබාදෙන දානමය පිංකම්වලින් බැහැර වෙන්න එපා. තනිවම පින්කම් සිදුකරන්න බැරි නම් හවුලේ පිංකම් සිදුකරන්න. සම්මා දිට්ඨිය දුර්වලවෙන සමාජය තුළ ආර්ථික ප්‍රශ්න මතුවෙනකොට අපි මුලින් ම සිදුකරන්නේ පිනට දහමට යොදන මුදල් කපා හැරීමයි. පිංවත අපි ආර්ථික අගහිඟකම් ඉදිරියේ පිනට දහමට යොදන මුදල කපා හරිනවාය කියලා කියන්නේ, අපි අපේම වර්ණය, සැපය, බලය කපා හරිනවාය කියන කාරණයයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, අපි හැමෝටම ලස්සන හෙටක් අවශ්‍යයි. වර්ණය, සැපය, බලය පිරි හෙටක් අවශ්‍යයි. පිංවත බලාපොරොත්තු කියන්නේ මායාවක්. බලාපොරොත්තු බිඳ වැටුණොත්, දුක ඇතිවෙනවා. බලාපොරොත්තු ඉටු වුණොත් එම ඉටුවෙන බලාපොරොත්තු වෙනස්වෙලා යනවා. කෙටි ආස්වාදයේ මායාව, දීර්ඝ ආදීනවයන්ගේ දොර කවුළු විවරකොට දෙනවා.

පිංවත මෙලොව ගැන පමණක් සිතන්න එපා. කරුණාකර පටිච්චසමුප්පන්න පරලොව ගැනත් සිතන්න. අවිද්‍යාව අපිට අපේ පරලොව අමතකකොට, මෙලොව නිත්‍ය සංඥාවෙන් ම පෝෂණයකොට දෙනවා. අපි, අපි ගැන නොසිතා, දුවා දරුවන් ගැන පමණක් සිතුවොත්, අපේ අනාගත ඉරණම කුමක් වේවි ද? සමහර දෙමාපියන් තම පවුල, දරුවන්, මුනුපුරු, මිනිබිරියන්ගේ ලෝකය තුළ බැසගෙනයි ජීවත් වෙන්නේ. මුළු ජීවිත කාලය ම වැය කරන්නේ මුදල් හම්බ කරන්න, දරුවන් පෝෂණය කරන්න. දරුවන්ගෙන් එහා ලෝකයක් එම දෙමාපියන්ට නැහැ. මෙම උපාදානයන්ට ආර්ථික ප්‍රශ්නත් එකතුවුණහම එම දෙමාපියන්ගේ පටිච්චසමුප්පන්න භව ගමන කැඳ හැළියක් ම වෙනවා. පිංවත ඔබේ පවුල නඩත්තු කරනවා වගේ ම, දරුවන් පෝෂණය කරනවා වගේ ම ඔබේ පරලොව යහපත ගැනත් සිතන්න. යම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් මරණාසන්න මොහොතේ දරුවන් තෘෂ්ණාවෙන් උපාදානය කොටගෙන මියගියොත්, පටිච්චසමුප්පන්නව එම නිවසේ ම ප්‍රේතයෙක්, ප්‍රේතියක් වෙලා උපදින්න පුළුවන්. නමුත් ඔබ මනුෂ්‍ය ජීවිතයේ දී දරුවන් ගැන සිතුවා මිස, ඔබ දන් පැන් පූජාකර නොගත් නිසා ම, ඔබට ප්‍රේත ලෝකයේ දී පරදත්තරූපජීවී ප්‍රේතයෙක්වත් වෙන්න බැහැ. පරදත්තරූපජීවී ප්‍රේතයා, ප්‍රේතිය තමයි ප්‍රේත ලෝකයේ වර්ණය, සැපය, බලය වැඩි ප්‍රේතයින් බවට පත්වෙන්නේ. තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ, අපේ රටේ ජීවත්වෙන මනුෂ්‍ය රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට වඩා රූමත් පරදත්තරූපජීවී ප්‍රේත, ප්‍රේතියන් ප්‍රේත ලෝකයේ ජීවත් වෙනවා. එම වර්ණය, සැපය, බලය වැඩි ප්‍රේත කොටස්, අපුල ප්‍රේත ලෝකයේ පෙර මනුෂ්‍ය ජීවිතවල දානයේ ම, පිංකම්වල ම ඵලය වෙනවා. අපි මේ මනුෂ්‍ය ජීවිතයේ දී තම පවුල වෙනුවෙන් ම කැප වී, තම ව්‍යාපාරය, රැකියාව වෙනුවෙන් ම දිවි හිමියෙන් ම කැප වී දන් පැන් පූජා නොකළොත්, අපේ අනාගත භව ඉරණම වෙන්නේ ප්‍රේත ලෝකයේ දී ආහාර නොලබන, නිර්වස්ත්‍ර, දුක අධික ප්‍රේත ජීවිතයක් වෙන්න පුළුවන්. එදාට අපේ දුකට වගකියන්න කවුරුවත් ම නැහැ. ඔබ තනිවම ඒ ප්‍රේත දුක විඳිය යුතුයි.

පිංවත සමහර දෙමාපියන් අදහස් කරනවා, තමන් තම දරුවන්, බිරිඳ, ස්වාමිපුරුෂයා පෝෂණය කිරිම තුළින් තමන්ට ලොකු පිනක් රැස්වෙනවාය කියලා. පිංවත ඔබ ඔබේ පවුලේ සාමාජිකයින්ට යුතුකම් අකුරට ඉටු කිරීමේ දී එතැනත් පිනක් රැස් වෙනවා. නමුත් එම පින ලෝභී සිත් මුල්කොටගෙනයි සකස් වෙන්නේ. ඔබේ පින යටපත් කොටගෙන එතන දී අකුසල් මූලයන් නැගී සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට නැහැ මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙත ඔබේ දරුවන්, බිරිඳ හෝ ස්වාමිපුරුෂයාය කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙත හැටියට පනවන්නේ මහා සංඝරත්නයයි. පිංවත ඔබලා දෙමාපියන් හැටියට මුළු ජීවිතය ම දරුවන් උදෙසා කැප කරලා, පන්සල, සංඝරත්නය, දානය, පිංකම්, සීලය, මෛත්‍රිය අමතක කරලා ඔබ ජීවත් වුණොත්, ඔබට පටිච්චසමුප්පන්නව පරදත්තරූපජීවී ප්‍රේතයෙක්වත් වෙන්න ලැබෙන්නේ නැහැ. පිංවත ඔබ මේ ජීවිතයේ මහා සංඝරත්නයට දන් පැන් නොදුන්නොත්, ඊළඟ ප්‍රේත ජීවිතයේ දී නිරාහාරව සිටින්න සිදුවේවි. ඔබ ඇඳුම් පැලඳුම් දන් නොදුන්නොත්, ඊළඟ ජීවිතයේ දී නිර්වස්ත්‍ර ප්‍රේත ජීවිත ලබාවි. ඔබ මේ ජීවිතයේ දී ප්‍රණීත, විසිතුරු දෙය දන් නොදුන්නොත්, පරණ විසිකරන දෙය ම අනුනට දුන්නොත්, ඔබට කුණු කාණුවක, වැසිකිළි වළක උපදින්න සිද්ධ වේවි. පිංවත අවිද්‍යාවට ඔබේ භව සැපය උදුරා ගන්න දෙන්න එපා. පිංවත් දෙමාපියනි, ඔබලා දරුවන් කෙරෙහි උපාදානයන් වැඩි නම්, කරුණාකර හැකිතාක් පිංකම් කරන්න, දන් දෙන්න. එතැනමයි උපාදානයේ බියකරු බව මැද, ඔබේ පරලොව වර්ණය, සැපය, බලය වන්නේ.