පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වුණොත්, එය උත්තරීතර සීලයක් ම වෙනවා. පිංවත මේ උත්තරීතර සීලය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වුණොත්, සීලය විනිවිද, අපි ඥාන දර්ශනයෝ මතුකොට ගන්නවා. පිංවත උපසම්පදා භික්ෂුවකගේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අයිති වෙන්නේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයටයි. උපසම්පදා භික්ෂුවක් ප්‍රාතිමෝක්‍ෂ සීලයට ගරු නොකළොත්, එම භික්ෂුව මළ දහමක් බවටයි පත්වෙන්නේ. පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝක ධර්මයන් ඉදිරියේ තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාගේ ගැලවුම්කරුවා වෙන්න ඕනේ. උපසම්පදා භික්ෂුවක් තමන් අත්දකින සෑම කැමති සහ අකමැති දෙයක් ම කුසල් සහ අකුසල් සංස්කාරයන්ටයි භාරදිය යුත්තේ. එවිටයි ඇලීම් සහ ගැටීම් බහුල ලෝකය තුළ භික්ෂුවකගේ ඉන්ද්‍රීය සංවරභාවය ආරක්‍ෂාකොට ගත්තා වෙන්නේ. පිංවත ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තිය ඉදිරියේ භික්ෂුවකගේ බිය, සැක, පාළුව, තනිකම නිෂේධ වෙලා යනවා. පිංවත ප්‍රතිමෝක්‍ෂ සීලයේ ශක්තියෙන් භික්ෂුවක් තුළ උපදින ඥායපටිපන්න ගුණය සහ සාමීචිපටිපන්න ගුණය උපසම්පදා භික්ෂුවකගේ දිට්ඨධම්මවේදනීය ආරක්‍ෂකයා වෙනවා. උතුම් ඥායපටිපන්න ගුණය තුළින් උපදින විදර්ශනාමය දැක්ම උපසම්පදා භික්ෂුවකගේ විමුක්තියට නොවරදින කැඩපතක් ම වෙනවා.
පිංවත උතුම් තෙමඟුල සිදු වූ වෙසක් සතිය ගෙවී ගියා. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යන්නේ අවිද්‍යාවේ වේගයෙන්මයි. වෙසක් පසළොස්වක පොහොය දවසේ නවයොවුන් බවේ ආශ්වාදයෙන් අපිට ආඩම්බරකම් පෙන්වූ තාරුණ්‍යයේ වෙසක් සඳවතිය, දවසින් දවස ජරා, ව්‍යාධි, මරණයන් දෙසටයි ගමන් කරන්නේ. පිංවත හෙට අනිද්දා සඳවතිය මිලින වී ගිය, කළුවර පොහොය උදාවේවි. පිංවත අවිද්‍යාවේ ගැඹුර නොවන්නට ලෝකය හරිම සරලයි. වෙසක් පසළොස්වක සඳවතියට හදවතින් ම ආදරය කරන අපි, කළුවර පොහොය දෙස අනාදරයෙන් බලන්නේ, අපේ අවිද්‍යාවේ ගැඹුර නිසාමයි. පිංවත අධ්‍යාත්මික සහ බාහිර රූපයන් හැදිලා තිබෙන්නේ සතර මහා ධාතුවෙන් නිසා අධ්‍යාත්මික සළායතනයනුත්, ඒවාට අරමුණු වන සෑම බාහිර රූපයක් ම අපිට සතර මහා ධාතුවට, ධාතු මනසිකාරයට අයත් කමටහනක්මයි. පිංවත ලෝකය ඉදිරියේ ඔබ සැඟවෙන්න එපා. ලෝකයට ඔබ විවෘත වෙන්න. ලෝකය ඉදිරියේ ඔබ සැඟවුණොත්, ලෝකය ඔබව ගිලගනීවි. රූපය ඉදිරියේ ඔබ සැඟවුණොත් ඇලීම් හෝ ගැටීම් තුළින් රූපය ඔබව ගිල ගන්නවා. පිංවත රූපය ඉදිරියේ ඔබ සැඟවෙන්න එපා. රූපය කායානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සය හේතුවෙන් සකස්වෙන ඇලීම් සහ ගැටීම් හෙවත් විඳීම් ඉදිරියේ සැඟවෙන්න එපා. විඳීම් වේදනානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සය කියන්නේ හේතුඵල ධර්මයක්, විඳීම් කියන්නේත් හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයන් ඉදිරියේ සැඟවී සිටින්න එපා. මේ හේතුඵල ධර්මයෝ ධම්මානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සයේ මුදුන් මුලෙන් ලෝකයට විතර්ක දෙන සිතුවිලි ඉදිරියේ සැඟවී සිටින්න එපා. සෑම සිතුවිල්ලක් ම චිත්තානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද, ලෝකයේ නිරෝධය විවෘතකොට ගන්න. පිංවත දුකට අධිපති ලෝකය, ලෝකය තුළ ම තබා, නොසමරන සැබෑ ලෝක නිදහසේ ඵල අත්දකින නිවුණ මිනිසෙක් වෙන්න. තෘෂ්ණාවෙන් ඇවිළෙන ලෝකය තුළ, නොඇවිළෙන මිනිසෙක් වෙන්න. පිංවත ඵස්සය අසල දී ලෝකයට විලංගු දමන ධර්මතාවය උතුම් සතර සතිපට්ඨානයෝමයි.
පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වෙනවාය කියලා, උතුම් ධර්ම විනය විවේචනය කරනවාය කියලා, විදේශීය අසත්පුරුෂ කාසි පොදිවලට ලොල් වී උතුම් ධර්ම විනය හාස්‍යයට ලක්කරනවාය කියලා අනුනට බැණලා, අනුනට චෝදනා කරන එකේ තේරුමක් නැහැ. අනුනගේ මිථ්‍යාදෘෂ්ටිකභාවයන් නිසා, නිවැරදි අපිත් අකුසල් සිදුකොට ගන්නවා පමණක්මයි. පිංවත කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයට එල්ලවෙන අභියෝගයන් ඉදිරියේ ගැටෙන සිත් බැහැර කරලා, සම්මා දිට්ඨියට අදාළව හේතුඵල ධර්මයන් නුවණින් දකින්න. පිංවත කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව ඔබ ලෝකය දැක්කොත් ඔබ දකින්නේ ලෝකයේ නිරුවතයි. ලෝකයේ නිරුවත දැක්කොත්, ඔබට අනිවාර්යයෙන් ම ලෝකයට ඇලෙන්න හෝ ගැටෙන්නයි සිද්ධ වෙන්නේ. පිංවත කරුණාකර ලෝකයට කර්මය කර්මඵල විශ්වාසයේ ඇඳුම් අන්දවන්න. එවිට ඔබට පුළුවන් ලෝකයට නොඇලෙන, ලෝකයට නොගැටෙන ධර්මයේ උපේක්‍ෂාවෙන් ලෝකය දෙස බලන්න. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ ජනප්‍රියභාවය දුර්වල වෙනවා නම්, අපි කළයුත්තේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ශාසනය අමතක කිරීම නොවේ, අපේ පාඩුවේ අපේ වැඩක් බලා ගැනීම නොවේ. අපි කළයුත්තේ ශාසනයේ ජනප්‍රියභාවය යළි ඇතිකොටදෙන සීලයේ ශක්තිය සමාජය තුළින් ඔසවා තැබීමයි. තමන් උපන් රටට, ජාතියට, ශාසනයට අභියෝගයන් එනවා නම් අපි කළයුත්තේ අභියෝගයන්ගෙන් පලායාම නොවේ. අභියෝගයන් ඉදිරියේ යටත්වීම නොවේ. අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය අපිට ලබාදෙන උතුම් සීලයේ ශක්තියෙන් යළි සමාජය ඔසවා තැබීමයි. පිංවත ජාතියක් හැටියට අපේ බවභෝග සම්පත් විදේශීය නිෂ්පාදනයන් ඉදිරියේ බින්දුවට වැටෙනවා නම්, අපි කළයුත්තේ පිටරට දේ සිරිසැප දේ යැයි සිතීම නොවේ. අපේ බවභෝග සම්පත් යළි ආරක්‍ෂා කොටදෙන උතුම් සීලයේ ශක්තියෙන් ජාතිය අවදි කිරීමයි. පිංවත වර්තමානයේ සමාජය තුළ සිදුවෙන හුඟාක් මරණ නොසිතූ, නොපැතූ ආකාරයට සිදුවෙන අවාසනාවන්ත මරණ, එසේත් නැතිනම් බරපතළ කර්ම රෝගයන් නිසා සිදුවෙන වේදනාකාරී, අසහනකාරී මරණ. පිංවත පසුගිය දවසක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේ වසර තුනක පමණ කාලයක පටන් උදරයේ අමාරුවකට රජයේ රෝහලකින් බෙහෙත් ගත්තා. රෝහලෙන් හැමදාමත් බෙහෙත් දුන්නේ ගැස්ටි්‍රක් රෝගයට. පසුගිය දවසක උන්වහන්සේගේ උදරාබාධය දැඩිව උත්සන්න වී රෝහල්ගතව සතියක් ඇතුළත දී අපවත් වුණා. පිංවත උන්වහන්සේට තිබිලා තිබෙන්නේ උදරය පුරා ඔඩුදුවපු පිළිකාවක්. පිංවත වසර තුනක් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගත්තත්, අදාළ පිළිකාව හඳුනා ගැනීමට නොහැකි වූවේත්, අවසානයේ කර්ම රෝගයකින් උන්වහන්සේට අපවත්වීමට සිදුවූවේත් උන්වහන්සේ ම සකස්කොටගත් හේතුඵල ධර්මයන් නිසාමයි. පිංවත සමාජය තුළ උත්සන්න වෙන නොසිතූ, නොපැතූ ආකාරයට සිදුවන මරණ සහ වේදනාකාරී, අමිහිරි මරණීය අත්දැකීම් ඉදිරියේ සිහිමුළාවට පත් වී සිදුවන මරණ සමාජය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා නම්, අපි කළයුත්තේ අනේ අපොයි කියලා දුක්වීම නොවේ, අර්ථවත්ව සමාජය තුළ මෛත්‍රිය සහ සීලයේ ශක්තිය වර්ධනය කොටදීමයි.
පිංවත මෛත්‍රිය, සීලය, ත්‍යාගය තුළින් අපි රැස්කොට ගන්නා සෑම සංස්කාරයක් ම යහපත් විපාකයන් අත්කොට දී අනිත්‍ය වෙලා යනවා. එම නිසා මේ උතුම් ධර්මයෝත් ජාති, ජරා, ව්‍යාධි, මරණ උපද්දවාදෙන ධර්මයෝමයි. සම්මා සමාධිමත් සිතකින් මෛත්‍රිය, සීලය, ත්‍යාගයේ අනිශංස ධර්මයෝ විදර්ශනාවෙන් මතුකොට දැක්කොත් පමණක්මයි, ඥාන දර්ශනයන්ට සහ විමුක්තියට ඉහත ධර්මයෝ උපකාරකොට ගත්තා වෙන්නේ. පිංවත උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් මගහැර, මෛත්‍රියට, සීලයට සහ ත්‍යාගයට මුල්තැන දෙද්දි සීලය, මෛත්‍රිය, ත්‍යාගයේ නාමයෙන් අපි වඩා ගන්නේ අකුසල් මූලයන් වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝමයි. අවසානයේ මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ නාමයෙන් අපි තුළ තිබුණ සම්මා දිට්ඨියේ දැක්මත් අපි විනාශකොට ගන්නවා. පිංවත මෙය සටහන් තබන භික්ෂුව සමාජයට සද්ධර්මය දේශනා කරනවා. භික්ෂුව පිංවත් ජනතාවට සද්ධර්මය දේශනා කරන්නේ පිංවතුන්ලාට මෙලොව සහ පරලොව යහපත මතුකොට දෙන්න. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජනතාවට පැහැදිලිකොට දෙන්න. ඉහත කාරණයේ දී පෙරළා භික්ෂුවට සමාජයෙන් යහපත් ප්‍රතිචාරයන් ලැබෙනවා, ලාභසත්කාර, කීර්ති, ප්‍රශංසා, සශ්‍රීක සිවුපසය ලැබෙනවා. පිංවත මේ සියල්ල ම අතීත පිනෙන් උපන් මාර ධර්මයෝමයි. පිංවත ගිහි වේවා, පැවිදි වේවා සමාජයට සද්ධර්මයෙන් උපකාර කරන්නට ගිහිල්ලා, ඉහත මාර ධර්මයන් හේතුවෙන් අපි ලෝභ, ද්වේශ, මෝහයෝ ඇතිකොට ගත්තොත් අපේ තිබුණ සම්මා දිට්ඨියත් අපි දුර්වලකොට ගන්නවා. පිංවත සමාජයට සීලය, මෛත්‍රිය, දානය ගැන කියන්න ගිහිල්ලා, පෙරළා ලැබෙන යහපත් ප්‍රතිචාර ඉදිරියේ අපි ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඇතිකොට ගත්තොත්, අපි මෙතෙක් පුහුණුකළ උතුම් සම්මා දිට්ඨියමයි අභියෝගයට ලක්වෙන්නේ. අපි තුළ වැඩෙන සක්කාය දිට්ඨියටමයි අපි ආහාර සොයා දුන්නා වෙන්නේ. පිංවත ලෝකය කියන්නේ දෙපැත්ත ඇවිළෙන පන්දමක්. පිංවත් ඔබ මේ දෙපැත්ත ඇවිළෙන පන්දමේ හරි මැදින්මයි අල්ලාගත යුත්තේ. පන්දමේ හරි මැද කියලා කියන්නේ ඇලීම් සහ ගැටීම් ගින්දරින් තොර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් මතුකොට ගන්නා, ගිනි රස්නය යාන්තමට දැනෙන, එහෙත් ආරක්‍ෂාකාරී ධර්මයේ උපේක්‍ෂාවයි.
පිංවත තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපි නොසිතන අමුතු තාලයේ ප්‍රශ්නයක් භික්ෂුවගෙන් විමසුවා. උන්වහන්සේ භික්ෂුවගෙන් අහනවා, ස්වාමීන් වහන්ස, යම් උපසම්පදා භික්ෂුවකට ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය, සමාජයෙන් කීර්ති, ප්‍රශංසාවන් උපරිමයෙන් ලැබෙනවා; උන්වහන්සේ එම ප්‍රතිලාභයන් උපරිමයෙන් පරිහරණය කරමින් වැඩ සිටිනවා, හැබැයි උන්වහන්සේ කියනවා, තමන් මේ ලාභසත්කාරයන් පරිහරණය කරන්නේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ආරක්‍ෂා කොටගෙනය කියලා. පිංවත ඉහත කතාව ඇත්තක් වෙන්න පුළුවන් ද කියලයි එම තරුණ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ආරක්‍ෂාව තුළ ලාභසත්කාරයෝ, සශ්‍රීක සිවුපසය පරිහරණය කරනවා කියන කාරණය ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් එම ඇත්ත තුළ, අපේ පිනට සැඟවුණ තිත්ත ඇත්තකුත් සැඟවිලා තිබෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීලය කියලා කියන්නේ මාර්ගය තුළ හුදෙකලා ධර්මයක් නොවේ. සීලය නිවන් මාර්ගය තුළ හුදෙකලා ධර්මයක් නම්, ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය සිත් සේ පරිහරණය කරමින් උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ආරක්‍ෂාකොට ගන්නවාය කියන කාරණයට ධර්මානුකූලව ලකුණු දෙන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ ගිහි කැපකරු පරිහරණය කරලා තමන්ට ලැබෙන ලාභසත්කාර විනයානුකූලව පරිහරණය කිරීමේ ඉඩකඩ විනය ධර්මයන් තුළ භික්ෂුවකට තිබෙනවා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපේ සීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ, අපේ සීලය සම්මා සංකප්පයන්ගෙන්, නෙක්ඛම්ම සංකප්පයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය, කීර්ති, ප්‍රශංසා නෙක්ඛම්මයේ පෙරහන්කඩින් පෙරා පරිහරණය කළොත් පමණක්මයි අපේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අපිට සම්මා සතියක්, සම්මා සමාධියක් කරා අපිව මෙහෙය වන්නේ. පිංවත සීලය කියන්නේ අවබෝධයක් නොවේ. සීලය යනු ධර්මාවබෝධයට උපකාරක ධර්මයක් පමණක්මයි. අපි මොනතරම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ශක්තිමත් කොටගෙන ජීවත් වුණත්, සීලයේ ආනිශංස හේතුවෙන් සකස්වෙන ජනප්‍රියභාවය නිසාම, බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන ලද අල්පේච්ඡතාවය, ලද දෙයින් සතුටුවීම අපෙන් දුරස් වෙනවා. කර්මය කර්මඵල විශ්වාසය තුළින් සංස්කාරයෝ දැකීම අපි දුර්වලකොට ගන්නවා. ඇලෙන තැන ඇලෙනවා, ගැටෙන තැන ගැටෙනවා. එම නිසා ම සම්මා සංකප්පයෝ ජීවිතයෙන් පසු බසිනවා. පිංවත අපේ නෙක්ඛම්මය, අපේ සීලය තුළ සඟවා තබන්න බැහැ. පිංවත සීලයේ ඝෝෂාව මැදින් නෙක්ඛම්මයේ නිරුවත ආදීනවයක් වී කලඑළි බහිනවා.
පිංවත මීට මාස දෙකකට පමණ පෙරාතුව පැලවත්ත පැත්තේ ධනවත් මහත්මයෙක් භික්ෂුවට පණිවිඩයක් එවා තිබුණා, ස්වාමීන් වහන්සේට වාහනයක් පූජා කරන්න අවශ්‍යයි, ඒ ගැන ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්න කියලා. එම ඉල්ලීම ඉදිරියේ භික්ෂුවගේ සිහිනුවණ පිහිටියේ, භික්ෂුව රකින ප්‍රාතිමෝක්‍ෂ සීලය කෙරෙහි නම් නොවේ. එම ඉල්ලීම ඉදිරියේ භික්ෂුවගේ සිහිනුවණ පිහිටියේ උතුම් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් කියන ලෞකික ප්‍රඥාව කෙරෙහිමයි. පිංවත භික්ෂුව දිවිහිමියෙන් සීලයට වටිනාකම් දුන්නත්, භික්ෂුව සීලය හිස මතට ගන්න භික්ෂුවක් නොවේ. භික්ෂුවගේ හිස මත තිබෙන්නේ උතුම් ලෞකික ප්‍රඥාවේ අර්ථයන්මයි. ගෞරවනීය පිංවත උතුම් තෙරුවන්ට දිවිහිමියෙන් කීකරු වෙන්න. ලෞකික ප්‍රඥාව ජීවිතයකොට ගන්න. එවිට සීලයත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත්, ඥාන දර්ශනත්, විමුක්තියත් පිනෙන් උපදින සශ්‍රීක සිවුපසයේ කාම රසය වෙනුවට, උතුම් නිවනේ නිදහස ම පිංවත් ඔබලාට ලබාදේවි.