සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න ලෝකයේ ස්වභාවයෙන් ම පවතින්න

පිංවත සත්‍යකින්ම ඔබ කැමතියි නේද, අපි ජීවත්වෙන සමාජය, අපි ජීවත්වෙන රට, අපි ජීවත්වෙන ලෝකය මනුෂ්‍ය ධර්මයන් රජ කරන, අවංක, සත්‍යවාදී, සමානාත්මතාවයට ගරු කරන සමාජයක්, රටක්, ලෝකයක් වෙනවා දකින්නට. පිංවත එම සත්පුරුෂ සිතුවිල්ල කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා සිතලා ඔබ වෙහෙසට පත්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. කර්මය විපාකදෙන හැටි සිතන්නට ගියොත් ඔබ උමතුභාවයට හෙවත් සද්ධර්මය කෙරෙහි කලකිරීම හෝ මිථ්‍යාදෘෂ්ටිය වැළඳ ගනී ය කියලා. පිංවත කර්මය විපාක දෙන හැටි සිතීම නිසා ම මිථ්‍යාදෘෂ්ටිය වැළඳගත් පිංවතුන්ලා කොතෙක් නම් සමාජය තුළ සිටිනවා ද? පිංවත පසුගිය දවසක බෞද්ධ තරුණයෙක් නිරාගමිකභාවයේ සරණ ගියා. සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් නිසා ම එම බෞද්ධ තරුණයා නිතර ම සිතුවේ සමාජයේ නිවැරදිව ජීවත්වෙන අය දුක් විඳිනවා. සමාජයේ වැරදි කරන අය සැප විඳිනවාය කියලා. පිංවත සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට අදක්‍ෂ මෙම තරුණයා ලෝකය විග්‍රහකොට ගත්තේ වර්තමානය තුළයි. මෙම තරුණයා කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව අතීත සහ අනාගත ලෝකය විග්‍රහකොට ගත්තේ නැහැ. මෙම තරුණයා වර්තමානය නමැති එක තැනම පල්වුණ බෞද්ධයෙක්. පිංවත වර්තමානය ගැන පමණක් ම විග්‍රහකොට ගනිමින් ඔබ එක තැන පල්වෙන බෞද්ධයෙක් වුණොත් එතැන සම්මා දිට්ඨියේ සුවඳ බැහැර වී මිථ්‍යාදෘෂ්ටියේ දුගඳ හමන්න පුළුවන්.

පිංවත පසුගිය දවසක ප්‍රධාන නගරයක භික්ෂුවගේ ධර්ම දේශනාවක් පැවැත්වුණා. අදාළ පන්සල් භූමිය පිරෙන්නම සෙනඟ ඇවිත් සිටියා සද්ධර්මය ශ්‍රවණය කරන්න. පිංවන්ත ගිහි පිංවතුන්ලාගෙන් පන්සල් භූමිය පිරී ගියත් සද්ධර්මය ශ්‍රවණය කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණක්මයි වැඩමකොට සිටියේ. පිංවත ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණක් වැඩියේ ඇයි කියලා භික්ෂුව සිතන්න යන්නේ නැහැ. එම සිත චිත්තානුපස්සනාවටමයි භික්ෂුව භාර දෙන්නේ. පිංවත ධර්ම දේශනාවක් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කිරීමත් භික්ෂුව ලාභයක්මයි භාග්‍යයක්මයි කියලාමයි දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය විපාක දෙන හැටි සිතන්න එපාය කියලා. පිංවත අතීත, වර්තමාන, අනාගත සංස්කාර ලෝකය හරිම සංකීර්ණයි. අපි බලාපොරොත්තු නොවූවාට එම සංස්කාර ලෝකය සිනහවෙන්, සැපයෙන්, දුකෙන්, කඳුළින්, යකඩින්, ගින්දරින් ලියවෙන්න පුළුවන්. භික්ෂුවගේ පැවිදි ජීවිතය පුරාවට මේ දක්වා භික්ෂුව කිසිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න වැඩම කරලා නැහැ. භික්ෂුව වෙනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වැඩම නොකරත්දි භික්ෂුවගේ ඉහත ධර්ම දේශනාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩීමත් ලාභයක්මයි.

භාග්‍යයක්මයි කියලා භික්ෂුව සටහන් තැබුවේ ඒ නිසාමයි. පිංවත ලෝකය අපි ඉදිරියට එන විදියට අපි ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න දක්‍ෂ වෙන්න ඕනේ. එවිට ලෝකය කෙරෙහි ඇලීම් සහ ගැටීම්වලින් තොර අර්ථයක්, වටිනාකමක්, විමංසාවක් අපි තුළ ඇති වෙනවා. භික්ෂුව ලෝකයේ එම අර්ථය, වටිනාකම, විමංසාව දෙස බලා සිටින්න හරිම කැමතියි. එම කැමැත්තට පසු සිත පංච නීවරණයක් නොවී වේදනානුපස්සනාවට පෝෂණීය ආහාරයක්කොට ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පිංවත තවමත් නොඉඳුල් වූ සද්ධර්මයේ අර්ථයන් තුළ අපි ඉඳුල් වූ ගමනක් යන්නේ. අපි දකින ලෝකය, අපි පතන ලෝකය තෘෂ්ණාවෙන් ඉඳුල් වූ ලෝකයක්. බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දේශනා කරත්දි අපි අනිත්‍යයි කියන අර්ථයත් සංස්කාරයක් බවට ම පත්කොට ගන්නවා.

පිංවත සිනහවක තිබෙන අහිංසකභාවය, හැසිරීම තුළ තිබෙන හැඟීම්බරභාවය සමාජයට ප්‍රකට වුණත් අපේ ඇතුළාන්තයේ තිබෙන ඇලීම් සහ ගැටීම් ඉදිරියේ භික්ෂුව ප්‍රශ්නාර්ථයක්මයි තබන්නේ. කර්මය විපාකදෙන හැටි සංකීර්ණ නිසා ම ලෝකය විනිශ්චය කිරීම හරිම අපහසුයි. පිංවත සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න. ලෝකයේ ස්වභාවයෙන් ම පවතින්න. එවිටයි ඔබ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ යථා ස්වභාවය ලෝකය තුළින් ම දකින්නේ. ඔබ ලෝකය මගේ කොටගත්තොත්, ඔබ ලෝකයට රැවටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පනවන්නේ උතුම් සාමීචිපටිපන්න ගුණයෙන් ලෝකයාට සංග්‍රහ කිරීම පමණක්මයි. අපි බුදුරජාණන් වහන්සේට අකීකරු වුණොත් සාමීචිපටිපන්න ගුණය ඉක්මවා පිංවත් ජනතාව අතරට ගියොත්, අපි ලෝකයට ගොදුරක් වෙනවා.

පිංවත ලිපිය සටහන් තබන මේ හවස් යාමයේ මහා හයියෙන් වහිනවා. බක් මහේ අකුණු සැර හොඳටෝම සක්‍රීය වෙලා. අකුණු ගසන්නේ හරියට පරිසරය කේන්තියෙන් පුපුරනවා වගේමයි. භික්ෂුව කුටියේ තිබෙන විදුලි සම්බන්ධතා ගලවලා දැම්මා. බුදුරජාණන් වහන්සේ අපිට අවවාදකොට තිබෙනවා අකුණු සැර ඉදිරියේ අකුණක් වැදී අපවත් වෙන්න පුළුවන් යැයි සිතන්න කියලා. එවිටයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අකුණු ගසන මහා වැස්ස තුළින් මරණානුස්සතිය මතුකොට ගන්න. පිංවත් ඔබට දීර්ඝායුෂ ලබාදෙන සතර ඍද්ධිපාදයෝ මතුකොට ගන්න. අකුණු ගසන මහා වැස්සක දී පිංවත් ඔබට සිතෙනවා නම් මම පිං කරන නිසා මට අකුණු වලින් හානියක් වෙන්නේ නැහැය කියලා ඔබ තුළ වැඩෙන්නේ සක්කාය දිට්ඨියමයි. ආයුෂ හීන කරන පංච නීවරණයෝමයි. පිංවත සතර මහා ධාතුවේ කිපීම් බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ධ්‍යාන සුවයෙන් පසුවෙන අවස්ථාවක ඒ අසල අකුණක් වැදී ගොනුන් දෙදෙනෙක් මියගිය බව ධර්මයේ සඳහන් වෙනවා. පිංවත සත්ත්වයා විඳීම් ඔස්සේ සංස්කාර ලෝකය ගොඩනඟනවා. යම් පිංවතෙක් ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේට සාධු, සාධු යැයි සාධුකාර දෙත්දි සකස්වෙන අයෝමය කුසලයත්. තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපැහැදුණ සිතින් ද්වේශ සිතක් ඇතිකොට ගනිත්දි සකස්වෙන අයෝමය අකුසලයත් අපි කෙසේ නම් විග්‍රහකොට ගන්න ද? පිංවත ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ සංකීර්ණ වූ සංස්කාර ලෝකය තුළ කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. පිංවත සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. ඔබට අකමැති දෙයක් සිද්ධවෙත්දි ඔබ කොතෙක් නම්, ඒ අකමැති දෙය සිද්ධවුණේ ඇයි කියලා සිතනවා ද? සමාජයට, අනුනට චෝදනා කරනවා ද? මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය ඉදිරියේත් අකමැති දේවල් ඕනෑ තරම් සිද්ධ වෙනවා. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන අකුසල් සංස්කාරයන්ට අකමැති දේවල් භාරදුන්නහම එතැන ඉතිරි වෙන්නේ ධම්මානුපස්සනාවට කමටහනක් පමණක්මයි.

පිංවත අවංකව සිනාසෙන ලෝකයත්, වංකව සිනාසෙන ලෝකයත් කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ගේ ම ඵලයක්. එය ලෝකයේ වරදක් නොවේ, අවිද්‍යාවේ සංකීර්ණභාවයයි. පිංවත කරුණාකර බුදුරජාණන් වහන්සේ එපා කියලා කියපු දෙය කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ කරන්න එපා යැයි කියපු දෙය ඔබ කළොත්, ඔබ බුද්ධ විෂය ඉක්මවා ගිය පිංවතෙක් වෙනවා. පිංවත කුසල් සහ අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙන ලෝකය ඉදිරියේ ඔබ විතර්ක නොව, විමංසාව ඇතිකොට ගන්න. විමංසාව කියලා කියන්නේ විනිවිද දකිනවා. පිංවත ඔබ කෙසේ ද විතර්ක බහුල ලෝකය තුළ විමංසාව ඇතිකොට ගන්නේ? පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාවෙන් උපන් රූපයයි. පිංවත ඔබ මුලින් ම රූපය විමංසාවෙන් දකින්න. පිංවත අපුල, දුර්ගන්ධ පුරුෂ ශුක්‍රාණුවකින් සහ ස්ත්‍රී ඩිම්බයකින් හැදුණ ඔබේ රූපය ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් අනිත්‍ය වූ රූපයක් යැයි කායානුපස්සනාවෙන් දකින්න. පිංවත රූපය මම ය, මගේ ය යැයි දකින තාක්කල්, රූපයට වටිනාකමක් දෙන තාක්කල් වක්කඩ කැඩුවා සේ විතර්කයන්මයි ගලාගෙන එන්නේ. ඒ නිසා ම පෙරළා වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ අවිද්‍යාව ම පෝෂණය කරනවා. පිංවත වර්තමාන සමාජය අවිද්‍යාව රජ වූ සමාජයක්. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ බලයෙන් දුර්වල විපක්‍ෂය බවට පත්වෙලා තිබෙනවා. පිංවත අවිද්‍යාව රජවෙද්දී රූපයට නොවටිනා වටිනාකමක් ලැබෙනවා. පිංවත දෙතිස් කුණපයක් මෝස්තර මාලිගාවක්කොට දකිනවා. සතර මහා ධාතුවක් රූපයේ ආශ්වාදයක්කොටම දකිනවා. පිංවත රූපයේ කෙටි ආශ්වාදය දේවත්වයෙන් දකින සමාජයක් නේද අපි ඉදිරියේ තිබෙන්නේ? අපේ අධ්‍යාත්මය ගුණධර්මවලින් ලස්සන කරනවා වෙනුවට, අධ්‍යාත්මය ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් කුණු වී යන්නට ඉඩ දී අපි ලස්සන කරන්නේ, හැඩවැඩ කරන්නේ, ලෝකයා ඉදිරියේ ඉස්මතුකොට පෙන්වන්න උත්සාහ කරන්නේ රූපයේ කෙටි ආශ්වාදයම නේද? පිංවත බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට ඉලක්ක කළ නිවන් මාර්ගයේ සීමාව තුන් සිවුරයි, පාත්‍රයයි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ පාංශුකූල සිවුරයි. පාංශුකූල චීවරයන් හේතුවෙන් සකස්වෙන අල්ප විඳීම්, කාමයේ ආශ්වාදයට සහ රූපයේ ආශ්වාදයට නොව, ආදීනවයන් කෙරෙහිමයි පැවිදි අපේ සිහිනුවණ අවදිකොට දෙන්නේ.

පිංවත අතීතයේ අපේ දෙමාපියන් අපිට අවවාද කළේ පුතේ, දුවේ ඔබලා වචනයෙන් සංවර වෙන්න ඕනේ, හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ, ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ කියලා නේද? පිංවත ඉහත අවවාදයෝ වර්තමානයේ අවිද්‍යා සැඩපහරට හසුවෙලා නේද? පිංවත ලෝකය අපිට අයිති නැහැ. ලෝකය අයිති අවිද්‍යාවට. ඒ අවිද්‍යාවේ ලෝකය තුළත්, අපි ආරක්‍ෂා කොටගත් ගුණ දහම් පද්ධතියක් අපිට තිබෙනවා. ශීලාචාර ජීවන දහමක් අපිට තිබෙනවා. ශරීරයේ ලැජ්ජා, බිය ඇති තැන් වැසෙන්න අඳින, පළඳින විනයගරුක සංස්කෘතියක් අපිට තිබෙනවා. වර්තමානයේ තරුණ ගැහැනු දරුවෝ තැනින් තැන ඉරුණ ඩෙනිම් දිග කලිසම් පැළඳගෙන මහ පාරේ යනවා. ඉරිච්ච කලිසම් පාවිච්චියත් දැන් මෝස්තරයක් බවට පත්වෙලා. පිංවත අපි මේ ගමන් කරන්නේ හිපියන්ගේ සංස්කෘතිය දිශාවට නේද? පිංවත බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට චීවර ප්‍රත්‍යවේක්‍ෂාව කියලා දෙනවා. භික්ෂුවක් වන මම, මේ චීවරය පරිහරණය කරන්නේ ශරීරයේ ලැජ්ජා, බිය ඇති තැන් වසාගෙන, වැස්සෙන්, අව්වෙන්, ශිතලෙන්, මැසි, මදුරුවන්ගෙන් ආරක්‍ෂා වී පහසුවෙන් නිවන් මඟ තරණය කරන්නය කියලා. බුදුරජාණන් වහන්සේ අපේ චීවරයත් නිවනට උපකාර ධර්මයක් බවටමයි පත්කොට දෙන්නේ. පැවිදි අපේ චීවරය කාම, රාගයෝ නොඇවිළෙන නිකෙලෙස් දර්ශනයක්මයි ඇතිකොට දෙන්නේ. පිංවත සීමාව ඉක්මවා ඔබ ඇඳුම්වලට ආදරය කළොත් එහෙමත් නැතිනම් විලාසිතා ලෝකයේ ඔබ අතරමං වුණොත්, ඔබ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඔබේ ම ඇඳුම් අල්මාරියේ කාවෙක් වෙලා උපදින්න පුළුවන්.

පිංවත විඤ්ඤාණය යනු මැජික්කරුවෙක් නිසා ම, විඤ්ඤාණය හේතුවෙන් සකස්වෙන නාම රූප ධර්මයෝ විවිධත්වයෙන් යුත් සළායතනයෝ පටිච්චසමුප්පන්නව උපද්දවනවා. පිංවත ඔබේ ඇඳුම් අල්මාරියේ සමහරවිට ඇඳුම් ප්‍රේතයෝ, ඇඳුම් ප්‍රේතියෝ ඉන්න පුළුවන්. පිංවත කරුණාකර ඔබ පරිහරණය කරන ඇඳුම් ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පරිහරණය කරන්න. තෘෂ්ණාවේ තොණ්ඩුව උපාදානයන්ගේ අතට දෙන්න එපා. පිංවත ඇඳුම් ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පරිහරණය කිරීමෙන් නෙක්ඛම්මයයි ඔබ තුළින් පණ ලබන්නේ. එවිට ඔබ පරිහරණය කරන ඇඳුමත් කුසලයට, විදර්ශනා නුවණට මාර්ගයක් ම වෙනවා. පිංවත දෑස් පියාගෙන මොහොතක් මෙහෙම සිතන්න. මම ඇඳුම් පරිහරණය කරන්නේ ශරීරය ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න නොවේ, ආශ්වාදයට ආහාර දෙන්න නොවේ. මම ඇඳුම් පරිහරණය කරන්නේ මගේ ශරීරයේ ලැජ්ජා. බිය ඇති තැන් වසාගෙන. අව්ව. වැස්ස, ශීතලෙන්, මැසි, මදුරුවන්ගෙන් ආරක්‍ෂා වී කුසල් මඟ, නිවන් මඟ තරණය කිරීමටයි. පිංවත දැන් වෙලාව රාත්‍රී නවයත් පහුවෙලා. ඒත් පරිසරය හරිම උෂ්ණාධිකයි. පිංවත දේශපාලනයේ පටන් මහ පොළොවේ පස දක්වා විකෘති වූ ලෝකයක දේශපාලනයත්, මහ පොළොවේ පසත් වස විසක් වූ ලෝකයක, නොවෙනස්ව පවතින එක ම අර්ථය උතුම් ශ්‍රී සද්ධර්මයේ අර්ථය පමණක්මයි.