පිංවත අවිද්‍යාව මොනතරම් නම් කරුමයක් ද? අවිද්‍යාව නිසාම උතුම් තෙරුවන් විවේචනය කරලා, තෙරුවන් නොසලකා හැරලා, සමහර මනුෂ්‍යයෝ මොනතරම් නම් අකුසල් සිදුකොට ගන්නවා ද? පිංවත මිථ්‍යාදෘෂ්ටියට නොපෙනුණාට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් මහාකරුණා ගුණය මොනතරම් නම් මේ තුන් ලෝකයාටම ශාන්තියක් ද? පිංවත කෝටිපති මහත්මයෙක් සිටිනවා, මේ මහත්මයා ලක්ෂ ගණනක් මුදල් වියදම් කරලා, ප්‍රණීත, විසිතුරු මහා පිංකමක් කරනවා. මේ මහා පිංකම සිදුකරලා මේ මහත්මයා මෙලොව සහ පරලොව සැප ප්‍රාර්ථනා කරනවා. පිංවත මේ සමාජයේම ජීවත්වෙන ශත පහක්වත් අතේ නැති දුප්පත් මනුෂ්‍යයෙක් ඉන්නවා. පිංකම් කියන කාරණය මේ දුප්පත් මනුෂ්‍යයාට සිහිනයක් පමණක්මයි. නමුත් මේ දුප්පත් මහත්මයා සද්ධර්මය ශ්‍රවණය කරන, ධර්මය නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ කෙනෙක්. ඔහු දුප්පත්කම අනිත්‍ය වූ ධම්මානුපස්සනාවට භාරදීලා, මොහොතක් දෑස් පියාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. පිංවත ඉහත කෝටිපති මහත්මයා ලක්ෂ ගණනක් මුදල් වියදම් කරලා කරපු විසිතුරු පිංකමට වඩා, ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසලයක් ශත පහක්වත් අතේ නැති දුප්පත් පිංවතා ජීවිතය තුළින් සිද්ධකොට ගන්නවා. පිංවත මේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ අසිරිමත් භාවයයි.
පිංවත කෝටිපති මහත්මයෙක් ලක්ෂ ගණනක් මුදල් වියදම් කරලා සිදුකරන පිංකමට වඩා, අන්ත දුප්පත් පිංවතෙක් මොහොතක් උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ වැඩීමෙන් සකස්කොට ගන්නා විදර්ශනාමය කුසලය ශ්‍රේෂ්ඨ යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා.
පිංවත අපේම අතීත සංස්කාර හේතුවෙන් සකස්වෙන දුප්පත් සහ පොහොසත්භාවය ලෝකයට අයිති ධර්මතාවයක්. අතීත සංස්කාර විසින් අපේ වර්තමාන දුප්පත් හෝ පොහොසත්භාවය තීන්දු කළත්, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසාම, පිංවත් කෝටිපති පිංවතෙකුට ශාසනය තුළ තිබෙන අවස්ථාවන්, අසරණ දුප්පත් පිංවතුන්ලාටත් එක හා සමානව උරුමකොට දී තිබෙනවා. පොහොසත් පිංවතෙක් මහා පිංකම් සිදුකරලා අනිත්‍ය වූ මෙලොව සහ පරලොව සැපයන් ප්‍රාර්ථනා කරද්දි, අතේ ශත පහක් නැති අසරණ පිංවතා පුංචි මොහොතක් උතුම් සතර සතිපට්ඨානයෝ වඩලා, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසල් ධර්මයෝ ජීවිතයට එකතුකොට ගන්නවා. පිංවත නිර්ධන පංතිය කෙරෙහි ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තුළ තිබූ මහාකරුණා ගුණයයි අපි මේ දකින්නේ. පිංවත දුප්පත් වුණාය කියලා ශාසනය ඔබට අහිමි නැහැ. සෝපාකලා, සුනීතලා බුදුරජාණන් වහන්සේගේ ළයේ උපන් දරුවෝ. සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ ගුණය සීමා මායිම්, කුලමළ භේදයන්ගෙන් තොර, පටිච්චසමුප්පාද ධර්මයන්ට පමණක් යටත්, මනුෂ්‍ය ප්‍රජාවක් බවට අපිව පත්කරනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ඉදිරියට පැමිණෙන ඕනෑම පිංවතෙක් ජාති, කුල, ආගම්වලට බෙදෙන්නේ නැහැ. සියලු ජාති, ආගම්, කුල ආදී ආත්මීය දෘෂ්ටියේ අර්ථයන්, උන්වහන්සේලාට උතුම් පටිච්චසමුප්පාද ධර්මයෝ පමණක්මයි. පිංවත ජාතිවාදී, ආගම්වාදී, පංතිවාදී, කුලවාදී පිළුණු ධර්මයෝ, සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ ගුණය ඉදිරියේ අවිද්‍යාවේ එකම ඥාතීන් බවට පත්කරනවා. නූතන නිර්ධන පංති නායකයන් ධනපති පංතිය භංග වේවා යැයි, අහිංසක නිර්ධන පංතිය අකුසලයට යොමු කරත්දි, බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ, ධනපති පංතියට සුවපත් වේවා යැයි කියලා දුප්පත් පිංවතාව කුසලයට යොමුකරන මාර්ගයයි. ධනවත්භාවය යනු අනිත්‍ය වූ සංස්කාරයක් යැයි ධම්මානුපස්සනාවෙන් දැකලා අනුනගේ ධනවත්භාවය තුළින්, දුප්පත් පිංවතාව විදර්ශනා නුවණට යොමුකරන මාර්ගයයි. පිංවත මේ අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු සත්ත්වයන් කෙරෙහි මහාකරුණා ගුණයේ අසිරිමත්භාවයයි. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකම අර්ථය කොටගත් ලෝකය, ලෝකය තුළම තිබෙන්නට හැරලා, අනිත්‍ය වූ දුප්පත් සහ පොහොසත්භාවයන් ධම්මානුපස්සනාවෙන්ම දැකලා, ඔබ මේ දුකින් පිරුණු ලෝකයෙන් නිදහස් වෙන්න.
පිංවත කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් වරෙක සැප ද, වරෙක දුක ද අත්කොට දෙමින්, කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකය නොකැඩී පවත්වා ගන්න බැහැ. නිරතුරුවම සැප වේදනාවෝ දුක් වේදනාවන් බවට පත්වෙනවා. පිංවත යම් පමණකට හෝ පංච උපාදානස්කන්ධ ලෝකය නොකැඩී පවත්වා ගන්න නම්, කුසල් සංස්කාරයන්ගෙන් පෝෂණය වූ පිනමයි හේතු වෙන්නේ. පිංවත සියලුම යහපත් සංස්කාරයෝ ජරා, ව්‍යාධීන්ගෙන් අනිත්‍යභාවයට පත්වෙන අපේම දෑස්වලට පෙනි පෙනිම වෙනස් වෙලා යනවා. සියලු යහපත් ධර්මයෝ ධනය සහ බලය ඉදිරියේ කුණු කූඩයට වැටෙනවා. අපි සියල්ලෝම මරණය කරායන ජාතියක, පණ අදින්නන් බවට පත්වෙලා. දශ දිශාවෙන් නැගෙන තෘෂ්ණාවේ විලාපයට, රහවැටුණු මනුෂ්‍යත්වයේ හඬ, හදවත් ඇතුළේම ගොළු වෙලා. පිංවත දුශ්ශීල වර්තමානයක් තුළින්, ගාම්භීර අනාගතයකට දවල් සිහින දකින අපි, මේ රැවටෙන්නේ තෘෂ්ණාවේ මාරාවේශයටම නේද? පිංවත ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේ අපි ඇසුරේම වැඩ සිටිනවා. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. මේ උතුම් ධර්මරත්නය අපි හැමෝගේම ජීවිතයයි. අපි හැමෝගේම පංච උපාදානස්කන්ධ ලෝකයයි. සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවය නිසාම, සියලු දුක්ඛ දෝමනස්සයන්ට මුල තෘෂ්ණාව යැයි අපි දකින්නේ නැහැ. ධනයට සහ බලයට අධිපති මාර ධර්මයෝ, ජාතියේ වටිනාකම් බවට පත්කොට දෙන්නේ බොරුව, සොරකම, වංචාව, දූෂණයම නේද? පිංවත තෘෂ්ණාව වඩාත් ආදරය කරන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාවේ ආදරය වැඩිවෙන්න, වැඩිවෙන්න දුකම නේද වැඩිවෙන්නේ?
පිංවත ධනයට සහ බලයට අධිපති වෙන්නේ වසවර්ති මාරයායි. පිංවත ඔබත් උතුම් සද්ධර්මය ජීවිතය පිළිකන්නේ තියලා, ධනයට, බලයට ඔබේ ජීවිතය විවෘතකොට දෙනවා නම්, ඔබේ ස්වාමියා වෙන්නේ මාරයාමයි. පිංවත තෘෂ්ණාව ජීවත් කරවන්නේ ඔබව නොවේ, ඔබේ පටිච්චසමුප්පන්න අවිද්‍යාවයි. අවිද්‍යාව තුළ ලෝකයේ දුර්ලභම අනර්ථය වෙන චතුරාර්ය සත්‍යය නොදැනීම නිදන්ගත වෙලා තිබෙනවා. මනුෂ්‍යයා ප්‍රඥාවෙන්, ඥානදර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ඈතට පලායත්දි, මිච්ඡා ප්‍රඥාව අපිට උගන්වන්නේ සැපයේ නාමයෙන් සැපයේ කණපිටයි. පිංවත අපි දුකේ ඇත්ත දැක්කත්, අපි දුකේ ඇත්ත ඇසුවත් අපි දුකේ ඇත්ත ගැන නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. අවිද්‍යාවේ වර්ණය, සැපය, බලය අපිව අසිහියෙන් මදයට පත්කරලා. පිංවත අනුවණින් මෙනෙහි කිරීම ජාතික ප්‍රතිපත්තියක් බවටම පත්කොට තිබෙනවා. පිංවත භික්ෂුව වැඩ සිටින ගමේ සුදු අරක්කු විකුණන මහත්මයා, පසුගිය දවසක පිණ්ඩපාතය බෙදන්න මඩුවට ඇවිල්ලා, ඔහු සතුටින් දානය බෙදලා, එදා භික්ෂුව අනුශාසනා කළේ කාමයේ කෙටි ආශ්වාදය සහ දීර්ඝ ආදීනවයන් ගැන. පිංවත අරක්කු බිව්වොත් කෙටි ආශ්වාදයක් තිබෙනවා. ඒ නිසාමයි මනුෂ්‍යයා අරක්කු බොන්නේ. නමුත් එම අරක්කු ආශ්වාදය කෙටියි. එම කෙටි අරක්කු ආශ්වාදය පසුපස දීර්ඝ ආදීනවයක් සැඟවිලා තිබෙනවා. එම දීර්ඝ ආදීනවය තමයි, මුළු ජීවිත කාලයම බරපතළ රෝගාබාධයන්ට පත්වීම, සිහිමුළා වෙලා මියයෑම සහ මරණින් පසුව බේබදු ප්‍රේතයෙක් වෙලා, පටිච්චසමුප්පන්නව අරක්කු විකුණන තැනක, අරක්කු ගඳ තිබෙන තැනක ඕපපාතිකව ඉපදීම. පිංවත මෙම කෙටි අරක්කු ආශ්වාදයේ දීර්ඝ ආදීනවය ශ්‍රවණය කරලා, ගමේ සුදු අරක්කු විකුණන මහත්මයා තම ගැනුම්කරුවකුට කියනවලු, හාමුදුරුවො කිව්ව බණ අහලා මට ලැජ්ජා හිතුණා, ආයෙමත් නම් දානෙ බෙදන්න එන්න ලැජ්ජයි කියලා. පිංවත අපි ඇත්ත දැක්කත් නිවැරදි වෙන්න දක්ෂ නැහැ. අවිද්‍යාව ඒ තරමටම මුළාවට කැමතියි. අවිද්‍යාවේ පංච කුණපයන් බවට පත්වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. ලැජ්ජාව නිසා දානය බෙදීම නවත්වලා, වරදයි එම පිංවතා ජීවිතයට තෝරා ගත්තේ.
පිංවත කහවණු වැස්සක් වැස්සත් මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ නොසෑහීම, සෑහීමකට පත්වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත සමාජයට සෑහීමේ සීමාවක් අවශ්‍යයි. පිංවත මනුෂ්‍ය ජීවිතවල සෑහීමේ සීමාව නීතිරීති වලින් ඇතිකරන්න බැහැ. සෑහීමේ සීමාව ඇතිකළ යුත්තේ පූර්වාදර්ශීවමයි. සෑහීමේ සීමාව අපිට කියලා දෙන මාර්ගය උතුම් මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගය නගරයෙන්, ගමෙන් ඈත්වෙමින් වනගත වෙන තැනට තල්ලුකොට දමා ඇති වර්තමානයක, ඇසට පෙනෙන ජරා, ව්‍යාධි, මරණ නමැති බොරුවක් පසුපස අසිහියෙන් දුවන විඤ්ඤාණයේ මායාකරුවන් බවට අපි පත්වෙලා. පිංවත රටක දේශපාලන නායකයෝ ශීලයෙන්, මෛත්‍රියෙන්, හැසිරීමෙන්, සකසුරුවම්කමින්, අල්පේච්ඡ ජීවිතයෙන් ජනතාවට පූර්වාදර්ශී වියයුතුයි. රටක නායකයෝ සම්මා ආජීවයන්ගෙන් ජනතාවට පූර්වාදර්ශී විය යුතුයි. රටක නායකයෝ මිච්ඡා ආජීවයන්ගෙන් කාමසුඛල්ලිකානු ජීවිත ගතකළොත්, ජනතාවත් තරගකාරීව මේ මිච්ඡා ජීවිතමයි පූර්වාදර්ශයට ගන්නේ. පිංවත ධනයට සහ බලයට අධිපති මාර ධර්මයෝ රටේ ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකට බොරුව, සොරකම, වංචාව, දූෂණය, දුරාචාරය පුහුණු කරමින් සිටිනවා. පිංවත දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන ඇත්ත කවුරුවත්ම සමාජයට උගන්වන්නේ නැහැ. අපි මේ ඇත්ත ඉගැන්වුවත්, අපි තුළ එම ඇත්ත නැහැ. තෘෂ්ණාවේ බර අපි සඟවාගෙන සමාජයට දුකේ ඇත්ත කියලා දෙනවා. පිංවත අපි ප්රමාදීභාවයෙන් අවරට යන ජාතියක් බවට පත්වෙලා. බොරුවෙන් සහ ඇස්බැන්දුම්වලින් මනහර වූ මාර ධර්මයෝ, අවිද්‍යාව අධික මිලට අලෙවි කරනවා. පිංවත ඉල්ලුම වැඩි නිසාම අවිද්‍යාවේ මිල දවසින් දවස ඉහළ යනවා. අවිද්‍යාවේ ඉල්ලුම වැඩිවෙනකොට ජරා, ව්‍යාධි, ශෝක, පරිදේවයෝ පමණක්මයි අපේ ලාභය වෙන්නේ. පිංවත අවිද්‍යාව කතා කරන්නේ ශීලය ගැන නොවේ. රටේ ආර්ථික සමෘද්ධිය ගැන. ශීලය වළපල්ලට දමා අපේ නායකයෝ කතාකරන ආර්ථික සමෘද්ධිය තුළින් සමාජගත කරන්නේ අවිද්‍යාවේ සෙලුවමයි.
පිංවත සම්මා සතියට මුල්වෙන ශීලයට වටිනාකමක් නොදෙන නිසාම, ගිහි සහ පැවිදි සමාජයට තෘෂ්ණාවේ මාරාවේශය තව තවත් බල කරනවා දුශ්ශීල වෙන්නය කියලා. සම්මා ශීලය නැති තැන සම්මා සතිය මැරිලා යනවා. එවිට මුල් අදින්නේ මිච්ඡා සතියයි. පිංවත මිච්ඡා සතිය වර්තමානයේ සමාජය තුළ ඔඩු ගිහිල්ලා. ශිල්පද හඳුනන්නේ නැහැ. ශිල්පද තකන්නේ නැහැ. ශීලයට ගරු කරන්නේ නැහැ. පිංවත ශීලයේ මළගම හේතුවෙන් සමාජගතවෙන මිච්ඡා සතිය ඉදිරියේ, අපි සම්මා සතිය ඇතිකොට ගනිමු. පිංවත අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණ මැජික් රඟමඬලේ කකුළුවෝ දඟලන්නේ දිය රත්වෙනතුරු පමණක්මයි. පිංවත උතුම් ධර්ම විනයට නිග්‍රහ කිරීම වර්තමානයේ ලාභදායි ව්‍යාපාරයක්. පිංවත උතුම් ධර්ම විනය සමහරු තම තමන්ගේ කාමච්ඡන්දයන්ට අදාළව නවීකරණය කරත්දි, පිංවත් ඔබ ධර්ම විනය තුළම ශක්තිමත් වෙන්න. කෙනෙක් ධර්ම විනය විකෘති කරත්දි, ඔබ ධර්ම විනය විවෘතකොට පෙන්වන්න. තෘෂ්ණාවෙන් රත්වෙන අවිද්‍යා දිය හැළියේ අකුසල් සංස්කාර කකුළුවෝ දඟලන්නේ, පිනේ ශීතල අහිමිවෙනකම් පමණක්මයි. පින නිවී, අකුසල් රත්වෙත්දි මරණාසන්න මොහොත සිහිමුළාවේ මරණයක් පමණක්මයි. දුගතියට කරගන්නා වූ ඉතිරියක් පමණක්මයි. උතුම් තෙරුවන්ට සිය කැමැත්තෙන්ම පිටුපෑවා පමණක්මයි.