සංස්කාරයන්ට අදාලවයි ඔබේ දැනීම් සකස් වෙන්නේ

පටිච්චසමුප්පාද ධර්මයේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය ලෝකයේ ක්‍රියාකාරීත්වය කියලා කිව්වොත් වරදක් නැහැ. සංස්කාරයටම අදාළවයි විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ ජීවත්වෙන පින්වතුන්ට සංකීර්ණ වූ බලාපොරොත්තු තිබෙනවා. කෙනෙක් දීර්ඝායුෂ ලබන්න තිබෙන තෘෂ්ණාවෙන් පින්කම් කරනවා, තව කෙනෙක් ජීවිතය කෙරෙහි කලකිරීමෙන් සියදිවි නසාගන්න උපක්‍රම සොයනවා. දීර්ඝායුෂ ලබන්නට අදාළ සංස්කාර ජීවිතය තුල තිබෙන පුද්ගලයාට දැනීම් සකස්වෙන්නේ පින්කම් සිදුකරන්න. අතීත අකුසල් නිසා දිවි නසාගැනීමට අවශ්‍ය හේතුකාරණා තිබෙන පුද්ගලයාට දැනීම් සකස්වෙන්නේ දිවි නසාගන්න. සංස්කාරයන්ට අදාළවයි පුද්ගලයාට දැනීම් එසේත් නැතිනම් විඤ්ඤාණය සකස්වෙන්නේ. පින්වත් ඔබට අසනීපයක් හැදුනාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න සිත නොදෙනවා නම්, වෛද්‍ය ප්‍රතිකාර එපාය කියන දැනීම සකස්වෙන්නේ අතීත අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණීමට අවකාශය සකස්කොට ගැනීමට වෙන්න පුලුවන්. පින්වත් ඔබට නරක මිත්‍රයෙක් ආශ්‍රය කිරීමට සිත සකස්වෙන්නේ, ස්තී‍්‍රන් ගැවසෙන, මත්වතුර පරිහරණය කරන සමාජයන්ට වැඩිපුර යන්න සිත සකස්වෙන්නේ අතීත අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණීමට අවශ්‍ය අවකාශය සකස්කොට ගැනීමට වෙන්න පුලුවන්. පින්වත් ඔබ ලබන අධ්‍යාපනය කෙරෙහි රැකියාව කෙරෙහි කළකිරීමට, මඟහැරීමට අදාළ සිතුවිලි සකස්වෙන්නේ ඔබේ අතීත අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණිමට අවශ්‍ය අවකාශය සකස්කොට ගැනීමට වෙන්න පුලුවන්. පින්වත් ඔබට ඔබේ අම්මා, තාත්තාට, බිරිඳට, ස්වාමිපුරුෂයාට අකීකරුවන්නට සිතෙන සිතුවිලි සකස්වෙන්නේ ඔබේ අතීත අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණීමට අවශ්‍ය ඉඩකඩ සකස්කොට ගැනීමට වෙන්න පුලුවන්. පින්වත් ඔබට සිල්වතුන් සමග ගැටෙන නොරිස්සුම් සහගත හැගීම් සකස්වෙන්නේ ඔබේ අතීත අකුසල් සංස්කාරයන් විපාකයට පැමිණීමට අවශ්‍ය ඉඩකඩ සකස්කොට ගැනීමට වෙන්න පුලුවන්. පින්වත් ඔබ මෙවැනි දෙලොවක් අතර තනිවී තීරණයක් ගැනීමට නොහැකිව සිටින අවස්ථාවකදී මේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය නුවණින් මෙනෙහි කිරීම ඔබට හුඟාක් ප්‍රයෝජනවත් වෙනවා.

පාසලේ පන්ති කාමරයේ ඉගෙනගන්නා ළමයින් 40 දෙනෙක් සිටිනවා. එම දරුවන්ගෙන් ගුරුතුමා අසනවා, ඔයගොල්ලො ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා. දරුවන් පිළිතුරු දෙනවා, මම වෛද්‍යවරයෙක්, මම ඉංජිනේරුවෙක්, මම හමුදා නිළධාරියෙක් තවත් දරුවෙක් මට කවුරුවත් වෙන්න බැරිවෙයිද කියන ප්‍රශ්නාර්ථය තුල සිටිනවා. පන්ති කාමරයේ දරුවන් තුල එකිනෙකට වෙනස් දැනීම් ඒ කියන්නේ විඤ්ඤාණය සකස්වෙන්නේ තම තමන්ට බලපාන අතීත සංස්කාර හේතුවෙන්. ගිය ජීවිතයේ බෞද්ධ හෝ අබෞද්ධ මහණ බමුණන් ෆාදර් තුමන්ලා ළඟට ගිහිල්ලා. හොඳ නරක ගැන, සීලය දුස්සීලභාවය ගැන ධර්මය, අධර්මය ගැන මෛති‍්‍රය, ද්වේශය ගැන අසා දැනගෙන ඊට අදාළව යහපත් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් ඉහළ වෘත්තීන්ට අදාළව දැනීම් සකස්වෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

පසුගිය ජීවිතයේදී තමන් ලැබූ ඉහළ වෘත්තිය නිසා සමාජ තත්වය නිසා මාන්නය සකස්කොටගෙන අනුන්ව පහත්කොට තැකීම, තම මහන්තත්වභාවයෙන් අනුන්ව මානසිකව පීඩා කිරීම හේතුවෙන් නූගත්භාවයට අදාළ දැනීම් සකස්වෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. යම් පාසල් වියේ දරුවෙක් අනාගත බලාපොරොත්තු රහිතව, අධ්‍යාපනය කෙරෙහි අලසව කටයුතු කරනවා නම් එය දරුවාගේ ජීවිතයට බලපාන අතීත අකුසල් විපාකයන් වෙන්න පුලුවන්. මෙවැනි අවස්ථාවකදී පින්වත් දෙමාපියන් දක්ෂවෙන්ව ඕනේ. තම දරුවා යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් අන්‍ය සීලවෘත පසුපස රැගෙන ගොස් තව තව අකුසල් පක්ෂය වැඩිකොටගන්නේ නැතිව කලබල නොවී උපක්‍රමශීලීව දරුවා කෙරෙහි අනුකම්පාවෙන් දරුවා පින්කම් තුල ගුණධර්ම තුල ශක්තිමත් කොට මතුනොවී පවතින අතීත කුසල් අතීත අකුසල් ශක්තීන් දරුවාට මතුකොට දෙන්න. සංස්කාරයන්ගේ ස්වභාවය හේතුවෙන් දරුවාගේ දැනීම් සකස්වෙන්නේ දුර්වල දිශාවට එය දරුවාගේ වරදක් නොවේ. මෙතනදී දරුවාට දඩුවම් කිරීමෙන් වැලකීමට දෙමාපියන් දක්ෂවෙන්න ඕනේ. දරුවා මේ ජීවිතයේදී නොකළ වරදකට විපාකයයි මේ අත්විඳින්නේ. මෙතනදී දෙමාපියන් දරුවාට නොවේ චෝදනා කළ යුත්තේ. සංස්කාරයන්ගේ කුරිරු භාවයේ අර්ථයයි දරුවා තුලින් මතුකොට ගැනීමට දක්ෂවිය යුත්තේ. තම අධ්‍යාපනය කෙරෙහි අලස දරුවා තුලින් සංස්කාරයන්ගේ යථා ස්වභාවය මතුකොටග න්න දෙමාපියන් දරුවා නිසා තමන් අපහසුවට පත්වන්නේද තමන්ගේ අතීත අකුසල් සංස්කාරයක විපාකයන් බව නුවණින් දකින්න දක්ෂවෙන්න. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය පින්වත් ඔබගේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න අකුසල් රැස්නොකරගෙන විසඳාගැනීමට හුඟාක් උපකාරීවෙනවා.