පිංවත පුරා තුන්මාසයක් මහා සංඝරත්නය සිතෙන්, කයෙන් සහ වචනයෙන් එක්තැන්වී සිටි තවත් වස්සානයක අවසාන හෝරා කිහිපයයි මේ ගතවෙන්නේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්, විදර්ශනාවේ රස සහ ගුණ තැවරුණ පුණ්‍ය මංගල්‍යයක ගෙවීයන විසිතුරු මතකයන් අනිත්‍ය වූ අතීත පංචඋපාදානස්කන්ධයන් යැයි දකිද්දි, තවමත් නොනිමි වස්සානය තුළ නිමි අතීතය ධම්මානුපස්සනාවටම නිකලෙස් ආහාරයක් වෙනවා. පිංවත ලෝකයේ නිස්සාර බව දැක යම් ජීවිතයක් නැවතුනොත්, එම ජීවිතය තවකෙකු තල්ලු කළත් දුවන්නේ නැහැ. පිංවත ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ ජවයෙන් සංස්කාරයන්ගේ පදමට, එහා මෙහා වෙන සතර මහාධාතුව නමැති ඔබේ රූපය ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිතර කලබල කළත් සිත, නොකලබල වෙන්න නම් සතරසතිපට්ඨාන ධර්මයන්ටමයි පණදෙන්න ඕනේ. පිංවත ගෙවීයාමට ආසන්න මේ වස්සානය ඔබේ ජීවිතයෙන් ඔබ සතරසතිපට්ඨාන ධර්මයන්ට පණදුන්නාද. පිංවත ඔබේ ජීවිතයෙන් සතරසතිපට්ඨාන ධර්මයන්ට පණ දෙද්දී, ඔබේ ජීවිතය සූත්රගත ධර්මයක් බවට පත්වෙනවා. එවිට ඔබේ නිහඬ ජීවිතය කියවා බලද්දී සූත්රගත ධර්මයක්ම සිහියට නැගෙනවා. පිංවත ගෙවීයන වස්සානයේදී ඔබේ ජීවිතයෙන් එකම සූත්රගත ධර්මයක හෝ අර්ථයක් ඔබ දැක්කාද. පිංවත ඔබේම පුණ්‍යවන්ත අප්රමාදී ජීවිතය තුළින් ඔබට සද්ධර්මය දකින්න, කියවන්න පුළුවන් වෙන්න ඕනේ. පිංවත කොළ, අතු, රිකිළි වගේ නොවේ අරටුව සවියෙන් සහ ගුණයෙන් හුඟාක් වැඩියි. පිංවත අපි හැමෝගේම ඒකායන වීර්යය විදර්ශනා සවියෙන් වැඩි අරටුවම විය යුතුයි. ගෙවීයන “පිංවත් වස්සානය”, ඔබ අපි රැස්කොටගත් කුසල් ශක්තියෙන්, ඊළඟ වස්සානය තෙක්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා වේවා!
පිංවත චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂාවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ, තව තව සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. පිංවත ඉහත පූජනීය අර්ථයන් තුන චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂාකොට දෙන කුසල් සංස්කාර ධර්මයන්. පිංවත අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිය යුත්තේ තමන්ගේ ව්‍යාපාරික, දේශපාලන සහ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නොවේ. ධර්මය, ධර්මය උදෙසාම විය යුතුයි. ධර්මය අධර්මය උදෙසා නොවේ. පිංවත අපි කල්‍යාණමිත්‍ර ධර්මයෝ අධර්මය උදෙසා යොමුකර ගන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය හේතුවෙනුයි. පිංවත හේතුඵල ධර්මයක් පුද්ගල සංඥාවෙන් දකින්න අපි පෙළඹිය යුතු නැහැ. නමුත් ඇලීම්, ගැටීම්, හේතුවෙන් සකස්වෙන තෘෂ්ණාව වියරුවක්. තෘෂ්ණාව පසුපස උපාදානයෝ සැඟවී සිටින්නේ අනුනට හොරා උපක්රමශීලීභාවයෙන්මයි. පිංවත කල්යාණමිත්රයා අවිද්‍යාව මුල්කොටගෙන ලෝකය දකින්නෙක්. ඔහු තමා තුළිනුත් අනුන් තුළිනුත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට මග අවුරන්නෙක් වෙනවා. ඔහු දන්නවා තෘෂ්ණාවට බඩගිනි වෙද්දි කල්යාණමිත්රයාවත් ආහාරයට ගන්න පුළුවන්ය කියන අවිද්‍යාවේ සැබෑ හැඩරුව. පිංවත අවිද්‍යාවේ ලෝකය කියන්නේ ලෙහෙසි, පහසු දෙයක් නොවේ. වර්තමාන අවිද්‍යාවේ ලෝකය තුළ පටිච්චසමුප්පන්නව කල්ප ගාණක දුරක් සැඟවී තිබෙන්න පුළුවන්. අජාසත්ත රජතුමා රජකම් කළත්, එම ජීවිතය තුළ ආනන්තරීය පාපකර්මයට අදාළ පටිච්චසමුප්පන්න කල්ප ගාණක නියත දුකක් සැඟවී තිබුණා. පිංවත ලෞකික සැපය උදෙසා තෘෂ්ණාව තිබිය යුතුයි, එහෙත් තෘෂ්ණාවේ සීමාව තීරණය කළයුත්තේ අවිද්‍යාවේ පංචනීවරණ නොවේ, අවිද්‍යාවේම රුව ගුණ තැවරුන සති සම්බොජ්ජංගයෝ විසින්මය. පිංවත චතුරාර්ය සත්‍යය ධර්මයන් යැයි කියන්නේත් කල්යාණමිත්රයා කියන්නේත් එකම අර්ථයක්මයි. මේ උතුම් අර්ථය අපි ආරක්ෂාකොට ගතයුත්තේ අපේම තෘෂ්ණාවෙන්මයි.
පිංවත ඔබ ලස්සන වෙන්න කැමතිද. ලස්සන වෙන්න හැමෝටම බැහැ. ලස්සන වෙන්න ධර්මානුකූල අර්ථයක් තිබෙනවා. පිංවත ඔබ සිතුවොත් ඔබේ රූපය ලස්සනයි කියලා, සැබවින්ම ඒ ලස්සන මොන ලස්සනක්ද. පිංවත මේ මනුෂ්‍ය ලෝකයේ ලස්සන රූපයක් ලබන උත්තමයින් දෙදෙනෙක් සිටිනවා. ඒ උත්තමයින් දෙදෙනා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ සක්විති රජතුමා යැයි කියන්නේ. උන්වහන්සේලා දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලබනවා. පිංවත අතීත දශපාරමී කුසල් ශක්තිය නිසාම බුදුරජාණන් වහන්සේගේ රූපය රන්වන් පැහැයෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රන්වන් පැහැ රූපයටත්, රූපයේ කෙටි ආශ්වාදය පොදුයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ රන්වන් පැහැ රූපය, රූපයේ ආදීනවයන් වන ජරා, ව්‍යාධි ධර්මයන්ටත් පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේලාට රන්වන් පැහැ රූපයක් ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි කියලා. පිංවත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදි යමෙකුට යම් ඇඳුම්, සළුපිළි, ඇතිරිලි, බුමුතුරුණු දන් දුන්නා නම් ඉතාමත් සියුම්, සිනිඳු, මටසිළුටු, සළුපිළිමයි, ඇතිරිලිමයි, බුමුතුරුණුමයි දන් දුන්නේ, මනා පැහැයෙන් යුත් සළුපිළිමයි දන්දුන්නේ. දුර්වර්ණ දෙය දුන්නේ නැහැ. ඒ විතරක් නොවේ දෙන දෙය පිරී ඉතිරී යන්නම දන් දුන්නා. පිංවත බුදුරජාණන් වහන්සේ රන්වන් පැහැ රූපයක් ලැබුවේ රන් වගේම, විසිතුරු පැහැයෙන් යුත් දෙය දන්දුන්න නිසාමයි. පිංවත අපේ රූපයන්ගේ මොන රන්වන් පැහැයක්ද. පිංවත අපි දෙන්න කැමති නැහැ. අපි ගන්න විතරයි කැමති. අපි යමක් දුන්නත්, ඊට වැඩි කෙලෙස් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නොවේ දෙනවාය කියලා පෙන්නුවාට අපි කරන්නේ පෙරළා ගැනීමක්මයි. පිංවත ඒ නිසාම අපේ රූප දවසින් දවස අවපැහැ වෙනවා, අපේ රූපය ආරණවා, නෙරනවා විකෘති වෙනවා, අවලස්සන වෙනවා, පිංවත මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පිංවත අපේ නොමනා ගති පැවතුම් අපිව අවලස්සන කරද්දි, උතුම් බුදුරජාණන් වහන්සේගේ දශපාරමී පුණ්‍යශක්තියට, උතුම් දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ට අපි ගරු කරන්න ඕනේ. මේ උතුම් ධර්මයෝ සමාජයට අපි කියලා දෙන්න ඕනේ. පිංවත් ඔබත් භවගමනේ ලෞකික කාම සැපයන් බලාපොරොත්තු වෙනවා නම් රන්වන් පැහැ සිරුරක් බලාපොරොත්තු වෙනවා නම්, සියුම්, සිනිඳු, මටසිළුටු, සළුපිළි, බුමුතුරුණු ඇතිරිලිම දන්දෙන්න. පිරී ඉතිරී යන්නම දන් දෙන්න. මේවා ලබන අය ගැන ඔබ සිතන්න අවශ්‍ය නැහැ. ලෝකය සුගතියත්, දුගතියත් අතර දෝලනය වෙමින් තව කල්ප කෝටි ගාණක් පටිච්චසමුප්පන්නව ඈතට ගලාගෙන යනවා. පිංවත ලෝකය, ගොඩනගන සහ නිරෝධය කරන දෙපාර්ශ්වයටම විවෘතයි, පිංවත විවේචන පසෙක තබා ඔබ කැමති දෙය තෝරාගන්න. මිථ්‍යාදෘෂ්ටිය ඔඩුදුවන සමාජයක ඔබේ වගකීම වියයුත්තේ අධර්මයට බියවීම නොවේ, උතුම් ධර්මය නිවැරදිව සමාජගත කිරීමයි. පිංවත කර්මය කර්මඵලය විශ්වාස නොකිරීම සහ මේ උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන් විවේචනය කිරීම මිථ්‍යාදෘෂ්ටියේ ප්‍රධාන ලක්ෂණයයි.
පිංවත මේ දවස්වල පිණ්ඩපාත මඩුවට දෙමාපියන් සමග පුංචි දරුවන් ගොඩාක් පැමිණෙනවා. මේ සෑම දරුවෙක්ගේම එකිනෙකට වෙනස් හැසිරීම් භික්ෂුව දකිනවා. මේ සෑම විවිධත්වයෙන් යුත් දරුවන්ගේ හැසිරීම් අයිතිවෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයටයි. සමහර පුංචි දරුවෝ දෙමාපියන්ටත් වඩා උද්යෝගයෙන් පිණ්ඩපාතය බෙදනවා. සමහර දරුවෝ එක හැන්දක් බෙදලා සෑහීමකට පත්වෙන්නේ නැහැ එයාට තවත් බෙදන්න ඕනේ. පිංවත මෙවැනි දරුවන් තුළින් භික්ෂුව දකින්නෙ පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදී හොඳින් දානය පූජාකිරීමේ පුහුණුවයි. සමහර පිංවත් දරුවන් සිටිනවා දෙමාපියන් බල කළත් දානය පූජා කරන්නේ නැහැ. එවැනි දරුවන් තුළින් පෙර ජීවිතයේ දානය පූජාකිරීමේ දුර්වලභාවයන් දකින්න පුළුවන්. දෙමාපියන් දක්ෂ විය යුතුයි දන් පූජාකිරීමට අකැමැති තම පිංවත් දරුවන්ට හේතුඵල දකිමින් උපකාර කරන්න. එය එසේ නොවුණොත් එම දානයේ දුර්වලභාවය දරුවාගේ අනාගත වර්ණය, සැපය, බලයට අවහිරයක් වෙන්න පුළුවන්. ඔබේ පිංවත් දරුවාගේ අනාගත වර්ණය, සැපය, බලය උදෙසා වර්තමානයේ ඔබේ නිවැරදි ආයෝජනය වියයුත්තේ, තම දරුවා දන්දීම උදෙසා අර්ථවත්ව යොමුකිරීමයි. පිංවත පසුගිය දවසක පිණ්ඩපාත මඩුවට පැමිණි වයස අවුරුදු හතරක පමණ දරුවෙක් බොහෝම ප්‍රියමනාපව දානය බෙදලා භික්ෂුවගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන සිටියා. එයා භික්ෂුව අසලින් යන්නම කැමති වුණේ නැහැ. භික්ෂුව එම දරුවා තුළින් තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයයි දැක්කේ. පිංවත මේ ජීවිතයේදී පරම්පරාව, පෙලපත වෙනස් වුණත් මකන්න බැරි පටිච්චසමුප්පන්න බැඳීම්, අපි එකිනෙකා තුළ නොමැකී තවමත් තිබෙන්නට පුළුවන්. පිංවත පරම්පරාව වෙනස් වුණත් වර්තමානයේ අතීත පටිච්චසමුප්පන්න උපාදානයෝ මතකයට එනවා. පිංවත සම්මාදිට්ටියේ අර්ථයන් ඉදිරියේ ලෝකය භවයෙන් භවය පටිච්චසමුප්පන්නව පරම්පරාව පෙළපත, සංස්කාරයන්ට අදාළව වෙනස්කොට ගන්නා එකම පවුලක් යැයි කීවොත් එය වරදක් නැහැ.
පිංවත උදෑසන පිණ්ඩපාත මඩුවට රෝගී ළමා, තරුණ, වැඩිහිටි පිංවතුන්ලාගේ පැමිණීමේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතිනවා. සමහර පිංවතුන්ලාට මානසික රෝග, තවත් පිංවතුන්ලාට කායික රෝග, හැමෝම බලාපොරොත්තු වෙන්නේ නිරෝගීභාවයක්. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින්ට රෝග සුවකරන්න බැහැ. කායික සහ මානසික සුවයක් නොමැති ලෝකයෙන් නිදහස් වෙන මාර්ගයයි අපි සාමීචිපටිපන්න ගුණයෙන් සමාජගත කරන්නේ. අකුසල් අවමකොටගෙන ලෞකික සැපයට මාර්ගයයි අපි දේශනා කරන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආගම් භේදයකින් තොරව සියලුම සත්වයා කර්මය දායාද කොටගෙන, කර්මය ඥාතියා කොටගෙන උපදිනවාය කියලා. පිංවත අපි නිරෝගී වුවත්, අපි රෝගී වුවත්, අපෙන් කාටවත් වරදක් හෝ අසාධාරණයක් වෙලා නැහැ. අපි අපේම අතීත යහපත් සහ අයහපත් කර්මයන් අපි බුක්තිවිඳිනවා. පිංවත අවිද්‍යාවේ ජවයෙන් තිරිහන්වෙන සංස්කාර ලෝකය අකුරට නිවැරදි ගමනක් යන්නේ. පිංවත ලෝකය ඔබට පීඩාවක් නම් කරුණාකර මුල, මැද, අග නිවැරදිව දේශනාකොට ඇති ධර්මයට එන්න. පිංවත මුල අවිද්‍යාවයි, මැද ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීමයි, පිංවත අග වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයි. මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සක්රියවෙන තාක්කල් රෝගීභාවයත්, නිරෝගීභාවයත් ලෝකයට පොදු ධර්මතාවයක්මයි.
පිංවත ඉහත ඇත්ත ධර්මානුකූලව තේරුම් ගත්තාය කියලා පිංවත් ඔබටත්, සංඝයා වන අපිටත් මේ ප්‍රශ්නයට පුංචි හෝ සාර්ථක පිළියමක් සොයාගන්න බැහැ. පිංවත පක්ෂ දේශපාලනය කුමක් වුවත් රටේ පාලක පිංවතුන්ලායි, සත්වයා කර්මය දායාද කොටගෙන උපදියි කියන සත්‍යය පිළිගන්න ඕනේ. අපේ රටේ පිංවත් පාලක පිංවතුන්ලා ඉහත සත්‍යය ධර්මානුකූලව පිළිගන්නේ නැහැ. ඒ නිසාම පිංවත් මනුෂ්‍ය ප්‍රජාවම අකුසලයෙන් අකුසලය දිශාවටම මෙහෙයවනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා කුසලයෙනුයි, අකුසලය යටපත් කිරීමට මාර්ගය කියන්නේ. නමුත් රටේ අකාරුණික දේශපාලන කුමක්ද මේ කරන්නේ, බලකාමය සහ කපටි වංචක ධර්මයන්, උපයෝගීකොටගෙන සමස්ත සමාජයටම වෛරය, ක්‍රෝධය, පළිගැනීම, පංචනීවරණයෝම යළි යළිත් උගන්වනවා. සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා මේ වියරු ධර්මයෝ ජීවිතගත කරගන්නා අහිංසක ජනතාවට කාගේ පිහිටක්ද. අවසානයේ අපිට ඉතිරිවෙන්නේ අසත්පුරුෂභාවයෙන් විකෘති වූ දේශපාලනයක් සහ කර්ම රෝගයන්ගෙන් පීඩිත ගිහි සහ පැවිදි සමාජයක දුක් සහ කඳුළු පමණක්මය. පිංවත සම්මා දිට්ඨියේ ඇස් ඇත්තෝ ධර්මය වෙනුවෙන් අවදිවේවා!.