අශ්‍රද්ධාව තුලින් පෝෂනය වන වීර්ය්‍ය, ක්‍රියාත්මක භාවයෙන් බලවත් වෙනවා

මිනිසුන් මරණ සතුන් මරණ හිංසාකරන යාගභූමිවල යාගකරුවන්ටත් වීර්ය්‍ය කියන කාරණය හොඳින් පිහිටලා තිබෙනවා. කොටින්ම ඔවුනට ඇත්තේ අධිවීර්ය්‍යක් මේ අධිවීර්ය්‍යක් සකස්වෙන්නේ රූපය කෙරෙහි ඇතිකොටගත් දැඩි තෘෂ්ණාව හේතුවෙන් රූපය ඇසුරෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයට ඇති දැඞ් තෘෂ්ණාව හේතුවෙන් මිනිසුන්ගේ තිරිසන් සතුන්ගේ මරණ අඳෝනාවන් තුළින් තම ජිවිතයට තම ඥාති වර්ගයාගේ ජිවිතවලට ආයුෂ වර්ණය සැපය බලය සොයන මේ අයව වීර්ය්‍ය විසින් අකුසලයෙක් අකුසලයටමයි ඇද දමන්නේ.

මොවුන්ගේ වීර්ය්‍ය පෝෂණය වී ඇත්තේ අසද්ධාව තුළින්මයි. අසද්ධාව තුළින් පෝෂණය වන වීර්ය්‍ය ක්‍රියාත්මකභාවයෙන් බොහෝම බලවත් වෙනවා. සත්වයාට සාංසාරික භව ගමනේදී කල්ප ගණන් සතර අපායන්හි ප්‍රමාදභාවයට පත්කරවන්නේ අසද්ධාවෙන් පෝෂණය වුන වීර්ය්‍යයේ හේතුඵල ධර්මයෙන්මයි. අසද්ධාව තුළින් සකස්වෙන මිත්‍යාදෘෂ්ටිය නිසා රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අසීමිත ඇලීම් සහ ගැටිම් දෙසට ඔබව යොමුකරවනවා. එහි ඵලය දුස්සීලභාවයමයි. දුස්සීලභාවයේ ඵලය සතර අපායමයි.

පිංවත් ඔබ බොහෝම විවේකීය පරිස්සමෙන් සිතන්න ඕනේ ඔබ ඔය ඉටුකරන වගකීම් ඉටුකිරිම උදෙසා ගන්න වීර්ය්‍ය අවංකවම සද්ධාවෙන්ද අසද්ධාවෙන්ද පෝෂණයවෙලා තියෙන්නේ කියලා. වර්තමාන ලෝකයේ මනුෂ්‍යයන් තුළ බොහෝ විට ක්‍රියාත්මක වන වීර්ය්‍ය අසද්ධාව තුළින්ම සකස්කොටගත් වීර්ය්‍යක්. අසද්ධාව තුළින්ම සකස්කොටගත් අධිවීර්ය්‍ය නිසාම ප්‍රභූ ජිවිතයක් ගතකොට මියගිය මහත්මයෙක් මරණින් මතු ලැබු උපත ගැන එක්තරා භික්ෂුවක් සමාධියෙන් අරමුණු කොට බලනවා. එවිට ඒ ව්‍යාපාරික ප්‍රභූ මහත්මයා මරණින් මතු ඌරු කුලයක උපත ලබලා. හොඳින් නුවණින් ධර්මානුකූලව මෙනෙහි කරන්න. තම ප්‍රභූත්වය ආරඏාකොට ගැනීම සඳහා සිදුකළ යාගයන්ගේ ඵලයයි මේ ඌරු ජිවිතය. ඇයි මේ ඌරු කුලයක ඉපදුනේ? නැවත නැවත හිංසාවට ලක්වෙමින් මැරුම් කන්න.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. තිරිසන් සතුන් වෙලා උපදින සතුන් මැරෙන මොහොතේ එම සත්ව සංඥාවම එම සත්ව රංචුව උපදානය කොට ගන්නා නිසා ආත්ම භාව 500 යක පමණ එම කුලයේම උපදිනවා කියලා. ඌරා මැරෙන වෙලාවේ ඌරු රංචුවමයි උපදානය වෙන්නේ. එම නිසා ඊරියකගේ කුසකම නැවත ප්‍රතිසන්ධිය සකස්කොට ගන්නා. ඒ කියන්නේ නැවත නැවත හිංසාවට ලක්වෙමින් මැරුම් කන්න. ඕනෑම ඌරෙක් ස්වාභාවික ලෙස වයසට ගොස් මැරෙන්නේ නැහැ. මැරිලා වළදමන්නේ නැහැ. හිංසාවට ලක්කරලාමයි මරන්නේ. තිරිසන් සතුන්ගෙන් වැඞ්යෙන්ම හිංසාවට පත්කොට මරණ සතා තමයි ඌරා. හිසට පොලූ වලින් ගහලම තමයි ඌරා මරන්නේ. පොලූ වලින් ශරීරයට ගහලා මස තලනවා. පණපිටින් සිටියදීම පණ ගැහෙන ගමන්ම සමේ රෝම පුළුස්සනවා.

මේ සතුන් මැරෙන්න පෙරාතුව ඇයි මේ තරම් දහදුක් විඳින්නේ. අතීත භවයන්හීදි මනුෂ්‍යයින් ප්‍රභූන් වශයෙන් ඉපදිලා තම ආයුෂ වර්ණය සැපය බලය උදෙසා අසද්ධාවේ වීර්ය්‍යයෙන් පවත්වපු මිනිස් යාගයන් සත්ව යාගයන් නිසාමයි. ප්‍රභූ ව්‍යාපාරික ජිවිතයක් ලබලා එම ප්‍රභූ භාවය නිසාම සියළු යස ඉසුරු සම්පත් ලබලා සුඛෝපභෝගී ජිවිත ගතකරලා මැරෙන මොහොතේ එක නිමේෂයක ප්‍රමාදයකින් ඌරු කුලයක පිළිසිඳගන්නවා. අසද්ධාව තුළින් සකස්වෙන වීර්ය්‍ය ගැන පිංවත් ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේවා කියවලා මෙය සටහන් තැබු භික්ෂුවට හිංසාකිරිමට නොවේ සිතිය යුත්තේ. තමා තමාට හිංසාකරගන්නාවු අසද්ධාවේ වීර්ය්‍යයෙන් අප්‍රමාදව මිදී තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්කොට ගැනීමයි.

තෙරුවන් කෙරෙහි සද්ධාව ඔබ තුළ සකස්වෙන්නේ කල්‍යාණමිත්‍ර ඇසුරත් සද්ධර්මශ්‍රවණය කිරිමත් තුළින්මයි. ශ්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරිම තුළින්මයි. වීර්ය්‍ය කියන වචනය සැබෑම වටිනාකම සැබෑම අර්ථය ලබාදෙන්නේ සද්ධාව විසින්. සද්ධාවේ අර්ථයෙන් පෝෂණය වුන වීර්ය්‍ය ඔබේ ඉලක්කය සකස්කොට දෙන්නේ ආරය්‍යඅෂ්ටාංගික මාර්ගය තුළටමයි. ඒ හේතුව නිසාමයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මේ ජිවිතය තුළදීම ධර්මාවබෝධයෙන් සැනසීමට අවශ්‍ය නම් සද්ධාව වීර්ය්‍ය හිරිඔතප් කියන කාරණා තුනයි ඔබ වැඞ්ය යුත්තේ කියලා දේශනා කරන්නේ.

භාවනා කරන පිංවතුන්ලාත් මේ කාරණය බොහොම හොඳින් සිහියට ගන්න ඕනේ. බුදුරජාණන්වහන්සේ ධර්මරත්නය සංඝරත්නය පිළිබඳව කියවීමෙන් හැදැරීමෙන් අපි ලබන දැනුම සද්ධාව නොවේ. සද්ධාව සකස්වීමට දැනුම ඉවහල් වෙනවා. මේ දැනුම සද්ධාව වශයෙන් හඳුනාගෙන භාවනාවන්ට යොමුවුන විශාල පිංවතුන්ලා පිරිසක් සමාජයේ සිටිනවා. යම් පිංවතෙක් භාවනාව හුදු කායික මානසික සුවයක් ලබාගැනීම සඳහා පමණක් නම් සිදුකරන්නේ සද්ධාවේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. නමුත් පිංවත් ඔබ සසර දුකෙන් එතෙර වීම සඳහා චතුරාය්‍ය සත්‍ය අවබෝධය උදෙසා නම් භාවනා කරන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවටයි ඔබ මුල් තැන දිය යුත්තේ.

තෙරුවන් කෙරෙහි සද්ධාවයි සම්මා දිට්ඨිය ඔබ තුළ සකස් කර දෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියක් සම්මා සමාධියක් ගැන සිතිම විහිළුවක් වෙනවා. මෙතනදී ඔබ උපේක්ෂාව තුළ සිටිමින් ලෝකය තුළ දුකත් සැපත් අතර දෝලනය වීම පමණක්මයි සිදුවන්නේ. ලෝකයෙන් මිදීම දෙසට ගමන් කරන්නේ නැහැ. ලෝකයෙන් මිදීමට නම් චතුරාය්‍ය සත්‍ය ධර්මයේ මුල්ම ආරය්‍යසත්‍යය වන පංචඋපාදානස්කන්ධය දුකය කියන කාරණය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය භාවනා කරනා පිංවතා දැනගන්න ඕනේ. තෘෂ්ණාව ප්‍රහාණය කිරිමේ මාර්ගයයි භාවනාව කියන කාරණය තුළින් දැන ගන්න ඕනේ. ඒ දැකීම ඔබ තුළ සකස්කොට දෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවයි.

සද්ධාව තුළින් සකස්වෙන පංචඋපාදානස්කන්ධය අනිත්‍යයි කියන දැක්ම ඔබ තුළ නැත්නම් භාවනාව තුළිනුත් ඔබ ආශ්වාදයක්මයි බලාපොරොත්තු වන්නේ. මෙතනදී ඔබ සුවසේ නින්දයන්නයි ශරීරය ප්‍රසන්නභාවයෙන් පවත්වාගෙන යන්නයි සමාජයේ හැමෝටම ප්‍රිය වෙන්නයි මෛත්‍රි භාවනාව වඩන්නේ. ගැටළුකාර සංකීර්ණ සිතිවිලිවලට විවේකයක් ලබාදීම උදෙසාය ඔබ ආනාපානාසති භාවනාව වඩන්නේ. සමාජය කෙරෙහි ඇති ගැටිම් හීන කරගැනීම උදෙසායි ඔබ සතර සති පට්ඨාන ධර්මයන් වඩන්නේ. මේ සෑම ඉලක්කයකම තිබෙන්නේ ආශ්වාදයක්මයි. ඉලක්ක ආශ්වාදයක් බවට පත්වෙන්නේ ෙචිතනාව අසද්ධාවෙන් පෝෂණය වුන නිසාමයි. තෙරුවන් කෙරෙහි ආකාරවති සද්ධාව තුළින් ඔබ ඇතිකරගන්නා ඉලක්කය ආශ්වාදය ආදීනවය විනිවිද දකිමින් නිස්සරණය දෙසට ඔබට යොමුකරනවා.

පිංවත් ඔබ මේ ජිවිතයේදීම උතුම් සද්ධර්මයේ සැබෑම අර්ථය වන ආරය්‍ය අෂ්ටාංගික මාර්ගය තුළට අර්ථවත්ව ප්‍රවිශ්ට වීමට නම් බුදුරජාණන්වහන්සේගේ ධර්මරත්නයේ සංඝරත්නයේ සැබෑම ගුණයන් ඥාණයන් පිළිබඳව ඇතිකරගන්නා ආකාරවති සද්ධාව මූලිකම සුදුසුකම වන බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මය තුළින්ම තේරුම් ගත යුතු වෙනවා.