පිංවත පරිසරයට හිටපු ගමන් වැහි අඳුරක් පහත් වුණා. මෙතෙක් තිබූ තද අව්ව නිමිලා, පරිසර සිසිල් වුණා. මැලවිලා අඩනින්දේ තිබුණු කොළ, අතු, සිසිල් පරිසරයෙන් පුංචි ආශ්වාදයක් ලබනවා. හැඟීම් දැනීම් නැති වුණත් ගස් කොළන්වලටත් වුවමනා එපාකම් තිබෙනවා. පිංවත දැන් නම් පුංචි වැහි පොදයකුත් වැටෙනවා. හුඟ දවසකින් වැස්සේ නොතෙමුණු කුරුල්ලෝ වුවමනා වෙන්ම වැස්සේ තෙමෙන්නේ පුදුමාකාර සතුටකින්. පිංවත ආශ්වාදය කියන්නේ හරිම මිරිඟුවක්. කොහෙන්දෝ පැමිණි සුළඟක් පුංචි පොද වැස්ස පමණක් නොවේ, වැසි වලාකුළුත් ඈතටම අරගෙන ගියා. පිංවත එක බලාපොරොත්තුවක් බිඳී යනකොට අපි තවත් බලාපොරොත්තුවක් ඇති කොටගන්නවා. අද වැස්සේ නැති වුණත් හෙට වහීවි කියලා. සත්‍යකින්ම හෙට වහීවි. ඒත් වැස්සේ ආශ්වාදය කෙටියි. අපි හැමෝම අතීත භවගමනේ අවසාන කල්ප විනාශයට කොටුවී, වතුර නැතුව, ආහාර නැතුව, හාමතේ අව්කාශ්ඨකයේ පණ අදිද්දී, අපි අඩ සිහියෙන් බලාපොරොත්තුවක් ඇතිකොටගන්න ඇති, හෙට වහීවි කියලා. පිංවත ඉරවල් හතක් පායලා මුළු පෘථිවියම ගිනිගෙන අළු දූවිලි වෙලා යන තෙක්ම ආයෙමත් වැස්ස නම් ආවේ නැහැ. පිංවත අකුසලයට, කුසලයේ වැසි වස්සවන්න වැසි පිරිතටවත් පුළුවන් කමක් නැහැ. පරිසරයේ අව්ව, වැස්ස සමතුලිත වෙන්න නම් පරිසරය ආරක්ෂාකොටගන්න, කපන ගසක් වෙනුවට ගසක් සිටුවන්න, පරිසරයට මෙත් සිතින් මෛත්‍රිය මුදාහරින්න.
පිංවත ගහ කොළ දකිද්දී අපිට සුවපත් වේවා! යැයි සිතෙන්නට ඕනේ. පරිසරයත්, බුදු දහමත්, මොනතරම් ඥාතිත්වයකින් බැඳිලාද කියලා කියනවා නම් උපසම්පදා භික්ෂු අපි ගසක කොළයට කැඩීමත් විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. පිංවත කොන්ක්‍රීට් වනාන්තරයක, වැලි කාන්තාරයක බුදු දහම රඳන්නේ නැහැ. බුදු දහම රඳන්නේ ආරණ්‍යයක, රුක්ඛ මූලයක, නිහඬ, නිසල, ශුන්‍යාගාරයක, අපේ පන්සල් ආරණ්‍ය පවා කොන්ක්‍රීට් ගොඩවල් වෙද්දී චතුරාර්ය සත්‍යය අපෙන් ප්‍රශ්න කරනවා, ඔබලා ඔය සොයාගෙන යන්නේ දුකද, එසේත් නැතිනම් සැපයේ මිරිඟුවද කියලා. පිංවත දස දිශාවටම පංචනීවරණ සුළං රැලි හමායන සම්මුති ලෝකය තුළ අපිට පමණක් ධර්මානුකූල වෙන්න බැහැ. පිංවත ශාසන අර්ථයන් දෝතින් දරාගන්න අපි දක්ෂවෙන්න ඕනේ සමස්ත ලෝකයටම පූර්වාදර්ශි වෙන්න. පිංවත වර්තමානයේ අපි ලෝකයට දෙන්නේ පාවාදීමේ සහ හිඟමනේ පූර්වාදර්ශයන් පමණක්මයි.
පිංවත අපි දිනෙන් දින අවරට යන ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. අපි කවදාද අපේම හෙටක් කියලා දවසක් ගැන සිතන්නේ. නැති බැරි ජනතාව තුළ හෙටක් ගැන තිබෙන බලාපොරොත්තු උගසට තියලා, නිලබල තිබෙන පිංවතුන් පරම්පරා ගණනාවක් ඈතට සිහින දකින සමාජයකයි අපි ජීවත්වෙන්නේ. පිංවත වර්තමානයේ අපිව පාලනය කරන්නේ අපි විසින් නොවේ. පිංවත අපේම පාලනයෙන් අපිව ගිලිහෙන්න, අපේම පිංවත් නායකයෝ රූකඩ බවට පත්වෙන්න, අතීතයේ අපි දේශපාලනය නාමයෙන් මොනතරම් නම් අකුසල් සිදුකොටගෙන තිබෙන්න ඕනෙද. පිංවත කවදාද අපි දේශපාලනය තුළ කුසල් ධර්මයන් වැඩුවේ. කවදාද අපි දේශපාලනය තුළ පංචශීලය රැක්කේ. පිංවත දේශපාලනය සමාජ සේවයක් නොවී දේශපාලනය ව්‍යාපාරයක් වීම නිසාම, අපි මෙතෙක් සෙව්වේ මනුෂ්‍යකම් නොවේ, අපි සෙව්වේ ලාභය පමණක්මයි. පිංවත දේශපාලනයේ නාමයෙන් අපි සිදුකොට ගත්තා වූ දශ අකුසල් වර්තමානයේ දිට්ඨධම්මවේදනීයව අපි හැමෝගෙම පසුපසින් සෙවනැල්ල සේම එනවා. පිංවත අකුසල් විපාකයෝ අපේ පාලනය අපෙන් උදුරාගෙන තිබෙනවා. අපේකමට අයිති නැති ආගන්තුකයින් විසින් අපිව පාලනය කරනවා.
පිංවත ජාතියට ජයග්‍රහණයක් අත්‍යවශ්‍යයි. නමුත් ජයග්‍රහණය කියන අර්ථය අපිට හරිම අමිහිරි අපේ බලාපොරොත්තු බිඳදැමූ අර්ථයක්. අතීතයේ ජාතියක් වශයෙන් අපි ලැබූ සෑම ජයග්‍රහණයකදීම අපි ලබලා තිබෙන්නේ අදක්ෂයින් පිරිසක්. පිංවත හෙට ජාතියට අවශ්‍ය දක්ෂයින් පිරිසක් තුළින් ලබන ජයග්‍රහණයක්. පිංවත දක්ෂයාගේ දක්ෂභාවය දෙපැත්තෙන්ම දැනෙන්න ඕනේ. දැනුමෙන්, බුද්ධියෙන්, අත්දැකීමෙන් වගේම, අධ්‍යාත්මික ගුණාත්මක භාවයත් දක්ෂයාගේ දක්ෂභාවය මුවහත් කොට දෙනවා. පිංවත අධ්‍යාත්මික ගුණාත්මකභාවයක් නැති දක්ෂයා තෘෂ්ණාවට වහලෙක් වෙන්නේ, අවිද්‍යාවේ දුර්ගන්ධයෙන් මුළු සමාජයම ඔත්පල කරලයි. පිංවත පිං කරන මනුෂ්‍යයින්ගෙන් පිරුණු මේ මාතෘභූමිය, පිනේම ඵලයෙන් උපදින ගුණාත්මක දක්ෂයින්ගෙන් පිරිලයි තිබෙන්නේ. පිංවත අදක්ෂයින්ගේ මුසාවාදයන්ට තවදුරටත් නොරැවටී, අධ්‍යාත්මික ගුණයෙන් ශක්තිමත්, දැනුමෙන්, බුද්ධියෙන්, පළපුරුද්දෙන් ශක්තිමත්, දක්ෂයින් සොයාගෙන යන මෙහෙයුමක් අරඹන්න. පිංවත මෙයයි ජාතියේ පින මුකුළු කරන, යහපත් වෙනසකට සුභ මොහොත. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ පංචඋපාදානස්කන්ධ ලෝකයක, අවිද්‍යාව වියරුවෙන් තෘෂ්ණාවටම ඔටුණු පළන්දවන ලෝකයක, අධ්‍යාත්මික ගුණාත්මකභාවයෙන් යුත් දක්ෂයාට පමණක්මයි, තමනුත් ආරක්ෂා වී සමාජයත් ආරක්ෂාකොටදීමේ හැකියාව තිබෙන්නේ. පිංවත මනුෂ්‍යයෙක්ගේ හොඳ සහ නරක මනින උපකරණයක් නොමැති ලෝකය තුළ, තම සිතින්, කයින්, වචනයෙන් සිදුකරන යහපත් හැසිරීමමයි, මනුෂ්‍යයකුගේ යහපත මනින ස්වයං උපකරණය වෙන්නේ.
පිංවත ලෝකය අයිති අවිද්‍යාවටයි. ඒ නිසාම සියයට සියයක් හොඳ දෙයම සොයන්න බැහැ. පිංවත නරක සංස්කාර බැහැර කරලා හොඳ සංස්කාරයන් කෙරෙහි විශ්වාසය තැබීම පමණක්මයි අපිට කළහැක්කේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදි, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යයට සාධාරණයක් වුවත්, තම පුත් කුමරුන්ගේ මෙහෙයවීමෙනුයි ඝාතනයට ලක්වෙන්නේ. පිංවත අවිද්‍යාවෙන් උපදින සංස්කාරයෝ හොඳ මරාදමන්න, නරක මෙහෙයවනවා. පිංවත සංස්කාර කාසියේ දෙපැත්ත, හොඳ සහ නරක යන දෙකම නියෝජනය කරන නිසාම, භව සෙල්ලමේ නැවතීමක් නැහැ. පිංවත භව සෙල්ලමේ නැවතීමක් නැති, හොඳ සහ නරක දෙකම අවිද්යාවටම සේවය කරන පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, අපේ ඉලක්කය විය යුත්තේ මුල් අදියරේදි අකුසලයට වැට බඳින සමාජයක්මයි. පිංවත අකුසලයට වැට බඳින්න නම්, අවිද්‍යාවේ අර්ථය හඳුනන දක්ෂයින් අපේ නායකයින් වෙන්න ඕනේ. අවිද්‍යාවේ අර්ථය නොහඳුනන අදක්ෂයින් නායකයින් වුණොත්, රූපය මමය, මගේය, මගේ ආත්මය යැයි දකිනවා. ඔහු රූපය තුළ මම දකිනවා, මම තුළ රූපය දකිනවා. ඔහු රජ කරන්න උත්සහ ගන්නේ රූපයමයි, රූපය ඇසුරින් සකස්වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝමයි. පිංවත අසත්‍යය ඉදිරියේ සත්‍යය පලායනවා. පෙර පින නිසාම අවිද්‍යාව අපිව ගෞරවණීය මැජික් කරුවන් බවට පත්කරනවා. විඤ්ඤාණය නමැති මැජික්කරුවා සතු පටිච්චසමුප්පන්න පුහුණු කරපු අවිද්‍යා සහගත සංස්කාරයෝ නිසාම බොරුව ඉදිරියේ ලැජ්ජාව බිය පහව යනවා. පිංවත අවිද්‍යාව රජ කරන සමාජයක ඔබ අවිද්‍යාවට එරෙහිවයි පෙළගැසෙන්න ඕනේ. අවිද්‍යාවට එරෙහි මාර්ගය වෙන්නේ අරගල, ද්වේශය, වෛරය, පළිගැනීම නොවේ. අවිද්‍යාවට එරෙහි එකම විශ්වාසනීය මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සමාජය මරා නොදමා සමාජය යළි ජීවත් කරවීමට ඔබට අවශ්‍ය නම් ඉහත ඇත්ත නුවණින් තේරුම්ගන්න. පිංවත අවිද්‍යාවේ ධාතු ස්වභාවය ප්‍රශ්න විසඳීම නොව, ප්‍රශ්න ඇතිකිරීමයි. අවිද්‍යාව ප්‍රශ්නයක් විසඳුවත්, එම විසඳුම තවත් ප්‍රශ්න ගොඩකට මුලක්මයි. පිංවත ප්‍රශ්න වැඩි සමාජයක් යනු අවිද්‍යාවට රජ මඟුලක්මයි. කෑදර තෘෂ්ණාවට මඟුල් කෑම මේසයක්මයි. තෘෂ්ණාවේ රසයෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලට අවිද්‍යාව එළි නොවන මධුසමයක්මයි.
පිංවත පරාජය ලෝක ධර්මතාවයක් බව ඇත්ත. නමුත් අපි දියුණු සිතීමේ ශක්තියක් ඇති මනුෂ්‍යයෝ. අපි අවිද්‍යාවේ හැඩරුව තේරුම් ගත්ත මනුෂ්‍යයෝ. අපේ අද දවස අපි කැපකළ යුත්තේ එක්කෝ යහපත් හෙට දවසක් උදෙසා, එසේත් නැතිනම් අවිද්‍යාවේම නිරෝධය උදෙසායි. වර්තමානයේ අපේ සමාජය මේ දෙඅර්ථයෙන්ම ප්‍රතික්ෂේප වෙලා. වර්තමානයේ සමාජයට සිද්ධවෙලා තිබෙන්නේ විඤ්ඤාණ මැජික්කරුවන්ගේ අලුත් අලුත් මැජික් සංදර්ශන දකිමින් ඇලීම් සහ ගැටීම් ඇතිකොටගෙන අකුසලයෙන් විනාශය දෙසට ගමන් කිරීම පමණක්මයි. පිංවත මේ සමාජගත වෙන විජ්ජාකාරී මැජික් සෙල්ලම් කරුණාකර මෙත් සිතින් ප්‍රතික්ෂේප කරන්න. සමාජගත වෙන අවිද්‍යාවේ විජ්ජාවන්ට අත්පොළසන් දුන්නා, ගැටුණා හොඳටෝම ඇති. එකිනෙකට සම ධාතු එකට සැසඳීයාම ලෝක ස්වභාවයක්. පිංවත නරක ලෝකය තුළ තිබුණ දෙන්, ඔබ හොඳ තේරුම් ගන්න දක්ෂවෙන්න. පිංවත අපි මේ කතා කරන්නේ අවිද්‍යාවට. ඒ නිසාම මේ කතාවන් ප්‍රතික්ෂේප කිරීම සහ පිළිගැනීම කියන කාරණා දෙකම ලෝකය තුළ තිබෙනවා. පිංවත තවම සමාජයේ මෛත්‍රිය සහ ශීලය ශක්තිමත්, ඒ නිසාම අයහපතින්, යහපත අපි දිනාගත යුතුයි. පිංවත් ඔබේ ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ, ශක්තිය සමග තවදුරටත් අවිද්‍යාවට සෙල්ලම් කරන්න දෙන්න එපා. කරුණාකර අවිද්යාවෙන්ම උපන් අකුසලයට එරෙහිව අවිද්යාවෙන්ම උපන් කුසල් ධර්මයෝ වෙනුවෙන් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැඟී සිටින්නේ, සමාජගත වෙන මේ වියරු අවිද්‍යාවේ අකුසල් ධර්මයෝ මේ විනාශකොට දමන්නේ, හෙට දවසට උරුම සියලුම යහපත් ධර්මයෝමයි.
පිංවත ඔබ පිනෙන් උපන් ජාතියක්. පිංවත ඔබ පිනේ අර්ථයන් ලෝකයාට උගන්වපු ජාතියක්. පිංවත ඔබ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය ලෝකයාට බෙදා දුන්න ජාතියක්. ඔබ පිනෙන් උපන් ස්වභාවික පරිසරයක උපන් ජාතියක්. ඔබ මව්පිය ගුණයන් හඳුනන ජාතියක්. පිංවත ඔබ බතල දන්ඩක් පසට යටකළත් පැළවෙන අත්ගුණයක් තිබෙන ජාතියක්. එහෙව් ඔබ ලෝකයා ඉදිරියේ පුලන්නන් විය යුතු නැහැ. ලෝකයා ඉදිරියේ ණය කාරයන් විය යුතු නැහැ. ණයකාර මානසිකත්වය අවිද්‍යාවට කප් රුකක් වූවාට, ණයකාර මානසිකත්වය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමට මර උගුලක්ම වෙනවා. පිංවත අභියෝග අයිති ඔබට නොවේ, අභියෝග අයිති අකුසලයටයි. පිංවත අභියෝගයන් ජයගැනීම අයිතිත් ඔබට නොවේ, ඔබේ කුසල් ධර්මයන්ටමයි. පිංවත සමාජගතවෙන වියරු අවිද්‍යා දේශපාලනය ආත්මීය සංඥාවෙන් ගන්න එපා, පුද්ගල සංඥාවෙන් ගන්න එපා. සමාජගත වෙන දේශපාලන වියරුව චපල අවිද්‍යාව හැටියටම දකින්න. ඔබ පුද්ගල සංඥාවට ගියොත් ඔබේ ඉරණමත් අකුසල් මූලයන් විසින්ම විසඳාවි. පිංවත අභියෝග දිනන සෙන්පතියා ඔබ නොව, ඔබේ දසකුසල් සංස්කාරයෝමය.