පිංවත බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මහා කරුණාවෙන් අවවාද කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත්වෙන්න කියලා. මහණෙනි ශීලයට, සමාධිය, ප්‍රඥාවට, විමුක්තියට, දායාද වෙලා ජීවත්වෙන්නය කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පිංවතුන්ලා ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි කියලා. පිංවත අතීතයේ දේශනා කොට වදාල ඒ උතුම් ධර්මයන්, වර්තමානයට හරි අගේට ගැලපිලා යනවා. පිංවත කොහොමද අපි සද්ධර්මයට අදාළව ජීවත්වෙන්නේ. අපි දුක, දුක හැටියට දකිනවා නම් දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අපි දකිනවා නම්, දුක නැති කළ යුත්තේ තෘෂ්ණාව නැති කිරීමෙන් යැයි දකිනවා නම්, දුක නැති කිරීමේ එකම මාර්ගය, තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය ආර්ය අශ්ඨාංගික මාර්ගය යැයි දකිනවා නම්, ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ වීර්යයෙන් ගමන් කරනවා නම්, එයමයි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණාය කියලා කියන්නේ. පිංවත ගැඹුරු ලෝක දහමක් උතුම් ධර්මරත්නයේ ස්වක්ඛාත ගුණයෙන් කාරණා හතරකට කැටි කරලයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. පිංවත මෙවන් උත්තරීතර දහමක් ඇස් පනාපිට තිබියදී ම, අපි තවමත් සැප සොයාගෙන දුවන්නේ තෘෂ්ණාව පසුපසම නේද. අපි අධර්මයට දායද වුණොත්, අපේ පටිච්චසමුප්පන්න භව ගමන සංකීර්ණයි, දීර්ඝයි, අප්රකටයි, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන්ම පීඩිතයි.
පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ අපේ මරණය කොයි මොහොතේ වෙයිද කියන්න දන්නේ නැහැ. ජීවිතය ගැන පැල් බැඳගෙන සිතනවා වගේම, මරණය ගැනත් ඇසුරු සැනක්වන් මොහොතක් සිතන්න. ඔබ මැරිලා පටිච්චසමුප්පන්නව කවුරුන් වෙන්නද යන්නේ. තවමත් ඔබ ඒ ගැන සිතලා නැතිද. අසිදිසි දානය පූජා කළ මල්ලිකා බිසවත් සතියක් පණු කුලයක ඉපදුන, සංකීර්ණ වූ සංස්කාර ලෝකයකයි අපි ජීවත්වෙන්නේ. පිංවත අපි තවම සතර අපායෙන් මිදිලා නැහැනේ. ඔබ සිතලා තිබෙනවාද ඔබ මැරිලා පටිච්චසමුප්පන්නව බිත්තරයක, පණු කුලයක, තිරිසන් මවුකුසක, අමනුෂ්‍ය කුලයක ඉපදෙයි කියලා. පිංවත් ඔබ ඒ ගැන සිතලා නැතිනම් සම්මා දිට්ඨිය වෙනුවට ඔබ ළඟ තිබෙන්නේ සක්කායදිට්ඨියයි. පිංවත සක්කායදිට්ඨිය අපිට ඇත්ත වෙනුවට බොරු උගන්වනවා. සක්කායදිට්ඨිය සතර අපාය කියන වචනය අපේ ශබ්දකෝෂයෙන් මකා දමනවා. සක්කායදිට්ඨිය අපිට උගන්වන්නේ ශිල්පද බිඳිමින් සුගතිය දකින්න. අකුසල් මූලයන් වඩමින් නිවන දකින්න. සක්කායදිට්ඨිය අපේ ජීවිත සදාකාලික කරලා, මරණය අපිට මතක කරවනවා. පිංවත අවිද්‍යාවෙන් පටන් ගන්න සිතුවිල්ල, අවසන් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන්. පිංවත සිත ඒ සා ප්රවේගකාරීයි. ඒ ප්‍රවේගකාරී සිත කෙසේ නම් පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස සිහිනුවණින් දකින්නද. පිංවත තවදුරටත් පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සක්කායදිට්ඨියට කිරුළු දරන්න දෙන්න එපා. පිංවත පටිච්චසමුප්පාද ධර්මයෝ උපයෝගී කොටගෙන පංචඋපාදානස්කන්ධ සටන් බිමේදී සක්කායදිට්ඨියට සුදුකොඩි වනන්න. පිංවත සක්කායදිට්ඨිය පරාජය කරන්න ශ්රද්ධාවට, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගයට පමණක් බැහැ. මේවා සක්කායදිට්ඨියට උපකාරක ධර්මයන්ම වෙන්නත් පුළුවන්. පිංවත සම්මා සමාධිමත් සිතෙන් අපි මතුකොටගන්නා පටිච්චසමුප්පාද ධර්මයෝමයි, සක්කායදිට්ඨියේ මරණයට හේතුවෙන්නේ.
පිංවත ඔබ ජීවිතය සතුටෙන් පිළිගත්තොත්, ඔබට කවදාකවත් මරණය සතුටින් පිළිගන්න බැහැ. පිංවත ජීවිතය ධර්මයේ උපේක්ෂාවෙන් පිළිගන්න, එවිට ඔබේ මරණයත් හේතුඵල ධර්මයක්ම වෙනවා. පිංවත ඔබ මරණාසන්න මොහොතේ ඔබේ අවසාන චුති සිත ළඟ ධම්මානුපස්සනාවෙන් නැවතීමක් තබාගන්න ඔබට පුළුවන් වුණොත්, ඔබේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට බැසගන්න ගෘහය, නිවස අහිමි කළා වෙනවා. පිංවත ඵස්සය කෙරෙහි විඳීම හිස් කළොත්, තෘෂ්ණාව මළ ධර්මයක් බවටයි පත්වෙන්නේ. පිංවත ධර්මය ස්වක්ඛාත ගුණයෙන් විවෘතව බැබලෙනවා. ඒත් අපි තවම ධර්මය දකින්නේ නැහැ. පිංවත අපි ධර්මාවබෝධයට වඩා කැමති ධර්මාවබෝධය විඳින්න. පිංවත අපි කැමති සෝවාන්ඵලය කියන අර්ථයත් විඳින්න, හඳුනාගන්න, සෝවාන්ඵලය කියන අර්ථය හේතුවෙන්ම සංස්කාරයෝ ඵලබර කරගන්න. පිංවත උතුම් සෝවාන්ඵලය ගැන සිතෙද්දී, සෝවාන්ඵලය ගැන නොව ඔබේ ඵස්සය කෙරෙහි සතිය සිහිය ඇතිකොටගන්න. උතුම් සෝවාන්ඵලය කෙරෙහි ඔබ තුළ තිබෙන ඵස්සයේ අවිද්‍යාවයි ඔබ දැකිය යුත්තේ, අවබෝධ කළ යුත්තේ. අපි ඵස්සයේ අවිද්‍යාව මගහැර සෝවාන්ඵලය ගැන සිතුවොත්, සිතුව සෝවාන්ඵලය හේතු වෙන්නෙත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන් උදෙසාමයි. පිංවත ඵස්සයට මුල්වෙන්නේ අනිත්‍ය වූ රූපයත්, අනිත්‍යවූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් නේද. මේ දෙධර්මයෝම අනිත්‍ය නම් මේ දෙධර්මයෝ හේතුවෙන් සකස් වෙන ඵස්සයත් අනිත්‍යයි නේද. පිංවත් ඔබට උතුම් සෝවාන්ඵලයට පත්වෙන්න අවශ්‍ය නම් තවදුරටත් සෝවාන්ඵලය විඳින්නේ නැතිව, විඳීමට හේතුවෙන ඵස්සයේ අවිද්‍යාවට ඔබේ සතිසම්බොජ්ජංගය ඉලක්ක කරගන්න දක්ෂ වෙන්න.
පිංවත වර්තමානයේ අපේ රටේ තිබෙන්නේ ඇලෙන සහ ගැටෙන අධිගමයන්, හඳුනාගන්න සහ සංස්කාරයෝ රැස්කරන අධිගමයන්. සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්මය වඳ බැහැපු අධිගමයන්. පිරිසක් අධිගමයන් ප්‍රකාශ කරනවා, තවත් පිරිසක් සාදුකාර දෙනවා. මේ දෙගොල්ලෝම දන්නේ නැහැ තමන්ගේ ඵස්සයෙන් තෘෂ්ණාව, විඳීම් දෙසට ලිස්සා යනවාය කියලා. පිංවත අපේ ශීලය, සමාධිය, විදර්ශනාව සහ අධිගමය්යන් සම්මා සංකප්පයන්ට අදාළව නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ. එසේ නොවුණොත් අධිගමයන් වෙනුවට අපි තුළ සකස් වෙන්නේ අධිමාන්නයන් පමණක්මයි.
පිංවත අපි හැමෝම මැරෙන මිනිස්සු. අපිට නොමැරී සිටින්න බැහැ. අපිට නොමැරී සිටින්න අවශ්‍ය නම් අපි උපත නිරෝධය කරන්න ඕනේ. උපන් දිනයට කේක් කපන අපි, කෙසේ නම් උපත නිරෝධය කරන්නද. පිංවත කේක් කපන උපන් දිනයක් තුළින් වැඩෙන්නේ ආයුෂය කෙරෙහි ලෝභ සිතක්. ආයුෂ කෙරෙහි ලෝභ සිතට, වර්ණය, සැපය, බලයෙන් බාධා පැමිණෙද්දී, අපි ද්වේශය ඇතිකොට ගන්නවා. අවසානයේ අපි තුළ වැඩෙන්නේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් දකින මෝහ සිතමයි. පිංවත පංචඋපාදානස්කන්ධ කේක් ගෙඩිය කොතනින් කැපුවත්, සංස්කාර සුවඳ කැවූ විඤ්ඤාණ අයිසින් එකසේම තැවරී තිබෙනවා. පිංවත උපන් දිනය දවසට කේක් කැපුවාට කමක් නැහැ. උපන්දින කේක් සමග වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නම් ගිල දමන්න එපා. පුංචි කේක් කෑල්ලක් අනුභව කරද්දී අපි ජාති, ජරා, ව්‍යාධි මරණ, පංචඋපාදානස්කන්ධ ලෝකයක්ම අනුභව කළා වෙනවා. පිංවත කාමයන්ගෙන් පිරුණු ලෝකය තුළ නිස්සරණයට තිබෙන්නේ බොහෝම පුංචි ඉඩකඩක්. අපි දක්ෂවෙන්න ඕනේ එම පුංචි ඉඩකඩෙන් අපිටත් පුංචි හෝ තැනක් වෙන්කොට ගන්න. පිංවත මරණයට හේතුවෙන ඔබේ උපන් දිනය, උපතත් මරණයත් දෙකම නිරෝධය කරන නිස්සරණයට, නිකෙලෙස් සිතින් සුභ පැතුම් එක් කරන දිනයක් බවට පත්කොටගන්න දක්ෂ වෙන්න.
පිංවත අපේ පියවි ඇසට නොපෙනුනාට සිංහල බෞද්ධ සමාජය තුළ කුලභේදය හොල්මන් කරන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කුලභේදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ධර්මරත්නයේ උතුම් ගුණයක් වෙන පච්චත්තං වේතිතබ්බෝ ගුණය තුළ ජාති, කුල, ආගම් භේද බැහැර කොට, උතුම් තෙරුවන්ට කීකරු ඕනෑම සත්පුරුෂ මනුෂ්‍යයෙකුට ධර්මාවබෝධය උරුම යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත අපි උපත ලබන කුලය කියන්නේ අතීත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ඵලයක්. කුල භේදය කියන්නේ සංස්කාරයන්ගේ විවිධත්වයක්. තම දෙමාපියන්ට බොහෝම කීකරුභාවයෙන් ජීවත් වුණ තරුණ දියණියක් පසුගිය දවසක තම දෙමාපියන්ට අකීකරු වෙලා, දෙමාපියන්ට හොර රහසේම විවාහයක් සිදුකරගෙන. මේ තරුණ දියණිය විවාහ වෙලා තිබෙන්නේ තමන්ට වඩා කුලයෙන් අඩු තරුණ පුතෙක් සමග, මේ ප්රශ්නයේදී අදාළ දියණියගේ අම්මා, තම දියණියට සමාව දුන්නත්, දියණියගේ පියා තම දියණියත් අලුත් බෑණත් තරයේම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුව නිසාම දෙමාපියන් අතරත් අසමගියක් ඇතිවෙලා. පිංවත කුලය මුල්කොටගෙන ඇතිවෙන මෙවන් තත්වයන් සමාජය තුළ ඕනෑ තරම් තිබෙනවා. පිංවත පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ ජීවත්වෙන අපි ලෝකයේ යාවජීව සාමාජිකත්වය දරණ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මය නිවැරදිව හඳුනාගන්න ඕනේ. පිංවත ලෝකය නොහඳුනාගෙන ලෝකය තුළ ජීවත් වුණොත්, අපි ජීවත් කරන්නේ ඇලීම් සහ ගැටීම් ධර්මතාවයෝමයි.
පිංවත කුල දෘෂ්ඨිය භික්ෂුව ධර්මානුකූලව ප්‍රතික්ෂේප කළත්, කුලවත් යැයි සම්මත පවුලක කීකරු දියණියක් හෝ පුතෙක්, කුලහීන යැයි සම්මත පවුලක දියණියක් හෝ පුතෙක් සමග දෙමාපියන්ට අකීකරුභාවයෙන් විවාහය සඳහා පෙළඹෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ පෙළඹවීම නිසාමයි. පිංවත ඔබ මේ ජීවිතයේදී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවලදී අහංකාරකම, මාන්නය, අනුන් පහත්කොට සැළකීම, ඊර්ෂ්‍යාව පුහුණු කළොත්, එම අකුසල සංස්කාරයන්ගේ විපාකයන් හේතුවෙන්, පිංවත් දුවෙකුට හෝ පුතෙකුට තමාට වඩා අඩු යැයි සම්මත කුලයක කෙනෙක් සමග ආදර බැඳීම් ඇතිවෙන්න පුළුවන්. පිංවත ඔබේ පිංවත් දියණිය හෝ පුතණුවන් තම දෙමාපියන්ට අකීකරුභාවයෙන් තමන්ට වඩා අඩු කුලයකින් විවාහයක් සිදුකොටගෙන ඇත්නම්, එය එම තරුණ දරුවන්ගේ වරදක් ලෙස දකින්න එපා. එය එම දරුවාගේ පටිච්චසමුප්පන්න අවිද්‍යා පච්චයා සංඛාරා, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ ඵලයක් යැයි සිහිනුවණින් දකින්න.
පිංවත් දෙමාපියන් දක්ෂවිය යුතුයි තම දරුවන් කෙතෙක් තමන්ට කීකරු වුණත්, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථය දකින්න. එම අර්ථයටයි බුදුරජාණන් වහන්සේ, දෙමාපියන්ගේ රහත්ගුණයන් යැයි, දේශනා කරන්නේ. අද කීකරු දරුවා හෙට අකීකරු වෙන්න පුළුවන්. පිංවත් දෙමාපියනි පාසල් වයසේ පටන්ම, ඔබලාගේ පිංවත් දරුවන් ශීලය, මෛත්‍රිය, පිංකම් තුළ ශක්තිමත් කරන්න. දෙමාපියන් සතු උතුම් බ්‍රහ්ම ගුණයන් ගැන, රහත් ගුණයන් ගැන දරුවන්ට කියලා දෙන්න. එවිට දරුවන්ගේ ජීවිත පසුපස තිබෙන පටිච්චසමුප්පන්න අතීත මාන්නයට, අහංකාරකමට, උද්ධච්චභාවයට, ඊර්ෂ්‍යාවට අදාළ අකුසල් යටපත් වී දෙමාපියන්ට කීකරුභාවය දක්වන යහපත් ධර්මයෝ මෝදුකොටදේවි. දෙමාපියනි කැමති විවාහයක් සඳහා දරුවෝ විනය ගරුක වේවි. එතෙක් දෙමාපියන්ගේ දුර්වලතාවයන් හේතුවෙන් දරුවන් අකීකරු විවාහ හේතුවෙන් පවුල් වලින් ඈත්කිරීම සුදුසු නැහැ.