පිංවත ඔබ දෑස් පියාගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රියව පවතිනවා නම්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධවෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පිංවත ඵස්සය ඉදිරියේ නිවුණු සළායතනයෝ පිංවත් ඔබව පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංචස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවීයනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් බවටමයි පත්වෙන්නේ. පිංවත ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවෙන් උපදින ඵස්සයට ආහාර දෙන්න එපා. තෘෂ්ණාවෙන් දුවන ලෝකය තුළ ඔබ නවතින්න. පිංවත වර්තමාන සමාජය අවිද්‍යාවේ වාහනයට ගොඩවෙලා, පංචනීවරණ ඉන්ධන සිත්සේ පුරවාගෙන, ඇලීම් සහ ගැටීම් මාර්ගවල තෘෂ්ණාවෙන් දුවන අපූරුව පෙනෙනවා නේද. පිංවත ඇලීම් සහ ගැටීම් වලට අධිවේගී මාර්ගයද, එසේත් නැතිනම් ගුරුපාරද කියලා වෙනසක් නැහැ. පසුගිය දවසක ගමේ ගුරුපාරක අධිවේගයෙන් තම යතුරුපැදිය පදවාගෙන ගිය තරුණ දරුවෙක් අනතුරට පත්වී මියගියා. සුපිරි පංචනීවරණ ඉන්ධන ඇලීම් හෝ ගැටීම් වේගය වැඩිකොට, සංස්කාරයන්ට සිත්සේ ඉඩකඩ සලසාදෙනවා දැනීම් ඔසේ අතීත අකුසල් සංස්කාරයන් සක්‍රීයකොට දෙන්න.
පිංවත තරුණ දරුවන් වාහන අනතුරුවලට ලක්වීමෙන් සිදුවෙන මරණ සහ ආබාධිතභාවයන් හේතුවෙන් දුක්වෙන දෙමාපියන් සහ තරුණ බිරින්දෑවරුන්ගේ ලොකු වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා. පිංවත නීතිය, විනය, ඉවසීම, දංගෙඩියට ගිය මහපාර, අකුසල් විපාකයන්ට ගොදුරුබිමක්ම වෙලා තිබෙනවා. පාලකයෙක් ඇති. එහෙත් පාලනයක් නැති, ඔබේ පුණ්‍යවන්ත මව්බිම අකුසලයටම අත්තටු දෙන්නේ නිදහසේ ඉගිලෙන්න නොවේ, ඉගිලිලා විනාශවෙලා යන්ටමයි. පිංවත ඔබට ඔබ අනුකම්පා කරන්න, ඔබට ඔබ මනුෂ්‍ය ධර්මයන්ගෙන් සළකන්න. ඔබට ඔබ සද්ධර්මයේ අගය කියලා දෙන්න. මහපාරේ රිය අනතුරකින් තරුණයෙක් මියයන්නේ අඬල වැළපිලා මරණය වළදමන්න පමණක් නොවේ. මහපාරේ රියපදවන පිංවත් ඔබට තෘෂ්ණාවේ අනතුරු ගැන පාඩමක් කියලා දෙන්න. පිංවත කුසල් සහ අකුසල් සංස්කාරයන් කෙරෙහි අපි ගොඩාක් සිහිනුවණ ඇතිකොටගත යුතුයි. පාපැදියක්වත් මිලදී ගන්න වත්කමක් නැති සමාජයක, පිංවත් ඔබට නවීන පන්නයේ යතුරුපැදියක් මිලදී ගන්න අවස්ථාව ලැබෙන්නේ, ඔබේ පුණ්‍ය ශක්තියක් නිසාමයි. පිංවත විපාකය පැමිණෙන පින ඉදිරියේ අපරික්ෂාකාරී නොවී පරීක්ෂාකාරී වෙන්න. ඔබේ පුණ්‍යවන්ත පින, අධිවේගය නමැති පංචනීවරණයන්ගෙන් නොව, සම්මතයන්ට, නීතියට, ඉවසීමට යටත් සතිසම්බොජ්ජංගයක් බවට පත්කොට ගන්න. පිංවත ඔබේම පෙර පිනට ලැබුණු නවීන යතුරුපැදිය ඔබ සතිසම්බොජ්ජංගයෙන් යුතුව මහපාරේදී පරිහරණය කළොත්, තමාගේ ආරක්ෂාව ගැන සිතලා, අනුනගේ ආරක්ෂාව ගැන සිතලා, මහා මාර්ගය ඔබ ආර්ය අශ්ඨාංගික මාර්ගයක් බවට පත්කොට ගත්තොත්, පිංවත් තරුණ ඔබ තුළ වාහනය පදවන මොහොතේදී ශීලයේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය, කර්මය කර්මඵල විශ්වාසයේ ශක්තිය වැඩෙනවා. මහපාරේ වේගය කෙරෙහි ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ බැහැරවී නෙක්ඛම්මය වැඩෙනවා. පිංවත මේ මොහොතේ නවීන යතුරුපැදියක් හිමි ඔබ, ඔබේ යතුරුපැදිය ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ, ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ධාවනය කොට, අනුනටත්, තමන්ටත්, යහපතක්මවී, තමාගේ යතුරුපැදිය පිං වැඩෙන පන්සලක් බවට පත්කොටගෙන, එම පිනේ ශක්තියෙන් අනාගතයේදී යතුරුපැදියට සමුදී, නවීන මෝටර් රථයක හිමිකරුවෙක් වෙන්න දක්ෂ වෙන්න.
පිංවත ලෝකය සැපයෙන් සහ දුකෙන් යන දෙකෙන්ම පිරිලයි තිබෙන්නේ. සංස්කාරයන්ගේ මේ මායාව නොවන්නට විඤ්ඤාණයට සිත් සේ විවිධත්වයෙන් යුත් මැජික් පෙන්වන්න බැහැ. පිංවත අතීත පින විසින් උපද්දවාදෙන සැපය කියන කෙටි ආශ්වාදයමයි, දීර්ඝ ආදීනවය නමැති දුකට මුල්ගල තබාදෙන්නේ. පිංවත අවිද්‍යාවට අවශ්‍ය විදියට ලෝකයට නටන්නට දෙන්න එපා. පිංවත් ඔබ මධ්‍යස්ථ බෙර පද තාලයට ලෝකය නටවන්න. පිංවත ඔබේ ලෝකය ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ මධ්‍යස්ථ බෙර පද තාලයට නැටෙව්වොත් පමණක්මයි, පිංවත් ඔබට ඇලීම් සහ ගැටීම් බෙර පද තාලයට අධිවේගයෙන් නටන සංස්කාර ලෝකයේ වියරුව සහ අනතුර හඳුනාගත හැකි වෙන්නේ. පිංවත ඔබ රිය පදවන, ඔබ ගමන්බිමන් යන, මහපාර පංචනීවරණයන්ට අයිතිකොට දෙන්න එපා. මහපාර සප්තබොජ්ජංගයන්ගෙන් විනයගරුක කොටගන්න. මෛත්‍රිය, ශීලය, ඉවසීම පුහුණු කරන ගුරුවරයා බවට මහපාර පත්කොටගන්න. පසුගිය දිනයක භික්ෂුව ධර්ම දේශනාවකට වඩිද්දි එක් අවස්ථාවකදි පොලිස් නිලධාරී මහත්වරුන් වාහනය නැවත්තුවා, හේතුව වුණේ ඉර කැපුවාය කියලා. පිංවත රියදුරු ඔබේ සතිසම්බොජ්ජංගය දුර්වල වුණ තැනදි, පංචනීවරණයෝ මහපාරේ කැලෑ නීතිය වෙනවා. පිංවත අපේ රටේ පාලනය පංචනීවරණයන් විසින් ඩැහැගෙන ඇති නිසාම, මහපාරේ වාහන ගොඩාක් වැඩියි. හැමෝම උත්සහ ගන්නේ යතුරුපැදියක්, මෝටර් රථයක් ගන්න. අපේ රටේ පිංවත් පාලක පිංවතුන්ලාගේ සහ නිලධාරී පිංවතුන්ලාගේ සුඛෝපභෝගී වාහන තෘෂ්ණාව දකිද්දී, කවුරුන් නම් පිංවත් ජනතාවට පූර්වාදර්ශී වෙන්නද. අපේ පුණ්‍යවන්ත මව්බිමේ මොන පිංවත් දේශපාලන පිංවතාද පොදු ප්‍රවාහන සේවයක ගමනක් යන්නේ. පිංවත රටේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවයන් අකාර්යක්ෂමභාවයෙන් බිංදුවට වැටුන රටක, අපේ මහපාර මනුෂ්‍ය ජීවිත බිලිගන්න පංචනීවරණයන්ගේ ගොදුරුබිමක් බවටම පත්වෙලා. තෘෂ්ණාව වැඩිවෙනකොට දුකට හේතුවෙන දේවල්මයි වැඩිවෙන්නේ. අපි හැමෝම උත්සහ ගන්නේ වාහනයක අයිතිකරුවෙක් වෙන්න. පිංවත් වාහන ව්‍යාපාරික පිංවතුන් සහ වාහන මිලදී ගැනීමට ණය පහසුකම් ලබාදෙන්නන් හැමෝම උත්සාහ ගන්නේ මහපාර වාහන වලින් පුරවා දමන්න. පිංවත අසීමිත තෘෂ්ණාව දුකටමයි පාර කියන්නේ. කාටවත්ම හැඟීමක් නැහැ කාර්යක්ෂම, විනයගරුක, පහසුකම් සහිත, පොදු ප්‍රවාහන සේවයක් ශක්තිමත් කරන්න. මහපාර අපි හැමෝටම කරුමයක් බවට පත්වෙලා. පිංවත අපි, අපි ගැනම සිතනවා හැර, ඇයි අපි උපන් රටේ යහපත ගැන නොසිතන්නේ, කවුද අපිට මේ ආත්මාර්ථකාමීභාවය ඉගැන්වූවේ. පිංවත පරාර්ථකාමී මනුෂ්‍යයෙක් වෙන්න. ඔබ උපන් රටට, ජාතියට, ආගමට කෘතවේදී වෙන්න. පිංවත් මනුෂ්‍යාගේ තෘෂ්ණාව අඩුවෙන දිශාවට ජාතික සැලසුම් සකස් කොට ගන්න. තමන් ඉපදුන මව්බිම ගැන නොසිතා ධනයට සහ බලයට තෘෂ්ණාධික මනුෂ්‍යයන් යන මග, පිංවත් ඔබත් යන්නන් වාලේ යන්න එපා. අසිහියෙන් ඔබත් අනුන් යන්නන් වාලේ ගියොත්, ඔබටත් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී රටක්, ජාතියක්, ආගමක් අහිමි සතර අපායම උරුම වේවි.
පිංවත සිහිනුවණින් සිටින්න, උදාවෙන සෑම හෝරාවක්ම මාරයාගේ හෝරාවක්. අකුසලයටම පණදෙන හෝරාවක්. ඇත්ත වසංකොට බොරුවට වටිනාකම දෙන හෝරාවක්. පිංවත පරාජිතයෝ ජයග්‍රහණය සොයන හෝරාවක්. ආගම් භේද, ජාති භේද, කරලියට එන හෝරාවක්. පිංවත අවිද්‍යාව කියන්නෙ දුකට මුලයි. අවිද්‍යාව කවදාකවත් අපිට යහපත පිණිස වෙන්නේ නැහැ. පිංවත අවිද්‍යාව අපිට උගන්වන්නේ ප්‍රශ්න, අකුසලයෙන්ම අවුළුවන්න මිස, ප්‍රශ්න නිවාදමන්න නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා ලාභ සත්කාරවලට සහ සිව්පසයට ගිජු වූ භික්ෂුව වේරම්භ සුළි කුණාටුවකට හසුවූ පක්ෂියෙක් වගේය කියලා. එම භික්ෂුව ලාභ සත්කාරයන් විසින්ම පාලනය කරනවා. භික්ෂූත්වය නමැති සැහැල්ලු පියාපත් අකුසලයෙන්ම ඇඹරිලා යනවා. හිස නමැති උතුම් ධර්මවිනය පාරාජිකාවන්ගෙන්ම ඇඹරිලා යනවා. පිංවත අවසානයේ එම භික්ෂුවට ඉතිරිවෙන්නේ භික්ෂූත්වයක් නැති චීවරයක් පමණක්මයි. භික්ෂු සමාජයට මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් විවේචනයන් එල්ල වෙනවා වැඩියි. වැරදි කළොත් විවේචනයන්ට ලක්වීම හේතුඵල ධර්මයක්ම වෙනවා. අපි යම් භික්ෂුවකගේ හෝ ගිහි පිංවතෙකුගේ වරදක් දැකලා එම වරද පෙන්වා දිය යුත්තේ ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් නොවේ. අනුනගේ වරදක් අපි පෙන්වාදිය යුත්තේ මෛත්‍රී සිතෙන්මයි. අනුනගේ වරද අපි අපේ කුසලය උදෙසායි අපි උපයෝගීකොටගත යුතු වෙන්නේ. අනුනගේ වරද අපි අපේ සමාධිමත් සිත උදෙසායි උපයෝගිකොටගත යුත්තේ. අනුනගේ වැරදි අපි ජාතිවාදී, ආගම්වාදී, දේශපාලනවාදී අරමුණු උදෙසා යොදා ගත්තොත්, එය සමස්ත සමාජයේම අකුසලය උදෙසාම හේතුවෙනවා. එක් අයෙක් කරපු වරදක් නිසා සමස්ත සමාජයම අකුසලයට යනවාය කියන කාරණය මොනතරම් නම් අවාසනාවක්ද.
භික්ෂු සමාජයේ අපි චීවරයක් දරාගත් ගිහියෙක් විය යුතු නැහැ. භික්ෂු සමාජයේ අපි කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අටදෙනාගෙන් එක් කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨභාවය අපිට ලැබෙන්නේ අපි තුළ උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් දරාගෙන සිටින නිසාමයි. නමුත් උතුම් සෝවාන්ඵලයට පත්නොවූ සෑම ගිහි සහ පැවිදි පිංවතෙක්ම තෘෂ්ණාව මුල්කොටගත්ත කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙලෙනවාය කියන කාරණය, ධර්මානුකූලව මෙත් සිතින් අපි තේරුම් ගත්තොත් පමණයි, වරද මගහැර යෑමටත් සිදුකළ වරද ඉදිරියේ නිවැරදිවීමටත් අපිට අවස්ථාව ලැබෙන්නේ. නමුත් යම් භික්ෂුවක් නැවත, නැවත දැන, දැන වැරදි කරනවා නම් අපි වළඳන බත් කටක් පාසා, අපි වළඳන ගිලන්පසක් පාසා අපිට ගින්දරක්ම, ගිනිවතුරක්ම වෙන බව තේරුම් ගන්න ඕනේ.
පිංවත සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ධර්ම විනයයි. යම් උපසම්පදා හෝ සාමණේර භික්ෂුවක්, ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ, යෝනිමාර්ගය, ගුදමාර්ගය, මුඛමාර්ගය ඔස්සේ කාමයේ වරදවා හැසිරේද එම භික්ෂුව පාරාජිකත්වයට පත් වූ භික්ෂුවක් වෙනවා. එම භික්ෂුව සංඝ සමාජයට අයිති නැහැ. කරටිය කැඩිච්ච පොල්ගහක් වගේ, දෙකට පැලුන කළුගලක් වගේ, නැවත සංඝ සමාජයට ‘හා’ වීමක් නැහැ. සමාජ මාධ්‍ය තුළින් සමස්ත සංඝ සමාජයටම, චෝදනා කරන පිංවතුන්ලා තේරුම් ගන්න ඕනේ, ඔබලා සමස්ත සංඝ සමාජයට චෝදනා කළත්, අදාළ බරපතළ පාරාජිකා වැරදි යම් භික්ෂුවක් සත්‍යවශයෙන්ම සිදුකළා නම්, එම භික්ෂුව සංඝ සමාජයේ සාමාජිකයෙක් නොවේය කියන කාරණය. භික්ෂුව බොහෝම ගෞරවයෙන් සටහන් තබනවා, මේ මොහොතේ සංඝ සමාජයේ කිසිම භික්ෂුවක් තුළ වරදක් නැහැ. පාරාජිකාවන්ට අදාළ වැරදි සිදුවී ඇත්නම් එවන් පරාජිත පැවිදි ජීවිත සංඝ සමාජයට අයිතිත් නැහැ.