ගෞරවණීය පිංවත, ඔබ බුදු දහම දැකලා තිබෙනවාද. බුදු දහම යම් තැනකද, එතැන ආර්ය අශ්ඨාංගික මාර්ගය, සප්ත බොජ්ජංගයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ, ඉන්ද්‍රීය ධර්ම, බල ධර්ම, සතර සම්‍යක්ප්‍රධාන, සතරසෘධිපාද, මේ සියල්ලෝම තිබෙනවා. මේ සියලු ලෞකික සහ විදර්ශනාත්මක ධර්මයෝ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය නමැති, එකම අම්මාගේ පුණ්‍යවන්ත දරුවෝ. පිංවත් ඔබ නිවැරදිව ආර්ය අශ්ඨාංගික මාර්ගය ජීවිතයට එකතුකොට ගත්තොත්, මේ පුණ්‍යවන්ත දරුවන්ගේ ගුණ ඔබේ ජීවිතය තුළින් දකින්න පුළුවන්. මේ දරුවෝ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඥාණයන් හේතුවෙන්ම, හරිම සරලයි, මේ ජීවිතයේදීම ඔබට අත්දකින්න පුළුවන්, ඔබ මධ්‍යස්ථ වීර්යයෙන් යුක්ත නම් කල්නොයවා ඔබට සමීප වෙනවා, මේ දරුවෝ සැඟවිලා නැහැ, හරිම විවෘතයි, මේ දරුවෝ ඔබ, ඔබ තුළින් දරාගන්න, ඔබ තුළින් පෝෂණය කරන්න ඕනේ, මේ දරුවන් තුළ කිසිම භේදයක් නැහැ. ඔබ උතුම් තෙරුවන්ට අවංක නම් මේ දරුවන් ඔබට දිවිහිමියෙන් නිවීම උදෙසාම උපකාර කරනවා. පිංවත මේ ලෝක ධාතුවේ, ඔබේ විශ්වාසවන්තම ඥාතියා, ධර්මයේ ගුණයන්ගෙන් මොනවාට පෝෂණය වූ මේ උතුම් සත්තිස්බෝධිපාක්ෂික ධර්මයෝමය. කරුණාකර, පුංචි පුංචි භව නවාතැන්පලවල නේවාසිකව නොසිට, මේ උතුම් ධර්මයන් තරණය කරන්න.
පිංවත වස්සානය උදාවෙලා සති කිහිපයක්ම ගෙවී ගිහින්, මේ සන්ධ්‍යාවේ පරිසරයම කළුවර කරලා වහිනවා. කඳු සහිත කැලෑ පරිසරයට මීදුමත් පාත්වෙලා. අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැර වීමට පෙරාතුව සිහිපත් කළා, මා විසින් අධිෂ්ඨානය කළ වස් ශීලය, මේ උදෑසන යළි ආවර්ජනය කරමියි කියලා. අපේ වස් අධිෂ්ඨානය සෑම උදෑසනකම යළි, යළිත් ආවර්ජනය කරද්දී, අපේ වස් ශීලය සප්තබොජ්ජංග ධර්මයන් තුළින් තව තවත් පෝෂණය වෙනවා. ශීලයට කනකොකා හඬන කාලයකයි, අපි මේ ජීවත්වෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයේ ජනප්රියභාවය දුර්වල වෙන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ භවභෝග සම්පත් වන සත්තිස්බෝධිපාක්ෂික ධර්මයෝ දුර්වල වෙලා යන්නේ, ස්වභාවික සහ අස්වභාවික අභියෝගයන් ඉදිරියේ අපි ඇලීම් සහ ගැටීම් දිශාවන්ට පලා යන්නේ, ශීලයේ ආනිශංසයන්ගේ දුර්වලභාවයන් නිසාමයි. ගෞරවණීය ස්වාමින් වහන්ස, වස්සානය අපි යළි ශීලයට පණදෙන කාලයයි. ශීලයට පණදෙද්දී, සමාධියේ හද ගැස්ම, පිංවත් අපිට දැනෙන්න ඕනේ. සමාධියේ
හදගැස්මයි විදර්ශනා ප්‍රඥාවේ තිඹිරිගෙදර වෙන්නේ. මේ විදර්ශනා ප්‍රඥාවේ තිඹිරිගෙදර මාරයාට පරාජිත අත්දැකීම්මයි උරුමකොට දෙන්නේ. වසවර්ති මාරයා මේ ලෝක ධාතුවේ බලයට අධිපති වුණත්, විදර්ශනා තිඹිරිගෙදරදි උපදින සම්මා ඥාණ සහ සම්මා විමුක්තිය ඉදිරියේ මාරයාගේ ඉරණම පරාජය පමණක්මයි. පිංවත දැන් ඉතිං දුවලා සහ පුතාලා හැදුව ඇති. අතීත සංසාරයක් පුරාවට දරුවන් කෝටි කීයක් නම් හදන්න ඇතිද. ඒ එකම දරුවෙක්වත් ඔබට අයිති නැහැ. ඒ සෑම අතීත දරුවෙක්ම ඔබලාගේ භව දුක ඇවිළුවා පමණක්මයි. පිංවත දැන්වත් ඔබේ භව දුක නිවන, විදර්ශනා ප්‍රඥාවේ තිඹිරිගෙය තුළ උපදින, සම්මා ඥාණ සහ සම්මා විමුක්ති කියන උතුම් දරු පැටව් දෙන්නා, කුළුඳුලේ උපද්දවා ගන්න. ඒ දරු පැටව් දෙදෙනා කෙරෙහි චන්දය, වීර්යය, චිත්තය ඇතිකොටගන්න. අනේ මම කවදාද සැබැවින්ම, මට අයිති මේ දරු පැටවුන් දෙදෙනා ලබන්නේ යැයි කියලා, මනසින් මේ දරු පැටවුන් දෙදෙනා සමග ජීවත්වෙන්න. සෑම විටම ඉහත සිතුවිලි චිත්තානුපස්සනාවෙන් සහ ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කොටගන්න. පිංවත නිවන උදෙසා නිවන සමග ජීවත්වෙන්න. නිවන ජීවිතයෙන් ඈතට දැම්මොත්, ඔබ ජීවත්වෙන්නේ භවය උදෙසාමය.
පිංවත ලෝකය හරිම ලස්සනයි. ඒ ලස්සන ලෝකය ඔබ “විඳීමෙන්” අවලස්සන කොටගන්න එපා. හේතුඵල ධර්මයන්ගේ ඇසෙන් ලෝකය දෙස බලන්න. එතකොට, ලස්සන ලස්සන දේවල් ගොඩාක් ඔබට හම්බවෙනවා. සතිය, ධර්මවිජය, වීර්යය, ප්‍රීතිය, ඵස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව බලන්නකෝ ලස්සන දේවල් ගොඩයි. පිංවත් ඔබ ලස්සනයි කියලා ළංකරගෙන තිබෙන දේවල් සමග බලද්දී, මේ ලෝකය උපද්දවා දෙන සැබෑ පිවිතුරු ලස්සන මොනතරම් ලස්සන්ද. පිංවත මෙය සටහන් තබන භික්ෂුවගේ ශරීරය, දැන් දවසින් දවස දිරා යනවා. මෙය අකලට දිරායාමක් නොවේ, කලට දිරායාමක්. ශරීරය දිරායනකොට, ලස්සන, ලස්සන විදර්ශනා ධර්මයෝ ජීවිතය තුළින් උපදිනවා. පිංවත දිරන ශරීරය දිරන්න දෙන්න, එවිට විදර්ශනා ධර්මයෝ ඔබ තුළින් ජීවත්වේවි.
පිංවත මේ දවස්වල පිංවත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් හුඟාක් වැඩියි. ඵස්සය නිරතුරුවම තෘෂ්ණාවෙන් තෙත් කරන්නමයි හදන්නේ. කරුණාකර, හැමෝටම හිස පහත්කරගෙනම ඉන්න බලන්න. අපි ජීවත්වෙන සමාජයේ ඇත්තට තිබෙන වටිනාකම ගොඩාක්ම අඩුවෙලා. ඒ නිසාමයි බොරුව හැමවිටම රජවෙන්නේ. අපි සාධාරණය බලාපොරොත්තුවෙන සෑම තැනකදීම, අපි බොරුවෙන්ම රැවටීමට ලක්වෙනවා. පිංවත නිහතමානීව ඔබ දෙස බලන්න. අතීතයේ අපිම දුර්වල කොටගත්තාවූ පංචශීලයේ කර්කශ මෙලොව විපාකයනුයි අපි මේ ලබන්නේ. දුකට හේතුව තෘෂ්ණාවයි කියන ඇත්ත, අපේ ජීවිත වලින් ගව් ගණනක් ඈතට පලායද්දී, අපි ළඟ ඉතිරිවිය යුත්තේ දුකම පමණක් නේද. ජනතාවගේ දුක අඩුකරන්න, පාලක පිංවතුන්ලාගෙන් අතීතයේ කවදත් ඔබට ලැබුණේ තෘෂ්ණාවම නේද. තමන්ගේ අනාගත චන්ද පදනමේ ශක්තිය උදෙසා, බොරුකීම, බොරු කිරීම, අර්ථිකයට දරාගන්න බැරි සහනාධාර දීම, වරප්‍රසාද ලබාදීම, මේ සියල්ලම තුළ සැඟවිලා තිබෙන්නේ දුකේ උරුමය වෙත තෘෂ්ණාවම නේද. අනේ අපි කෙසේ නම් සැපක් බලාපොරොත්තු වෙන්නද. ආර්ථිකය බිඳ වැටුණු මේ මොහොතේ අධික ලාභ ලබමින් යම් පිරිසක් සැප ලබයිද, ඔවුන් මේ ලබන්නේ වතුර මුට්ටිය රත්වෙන තෙක්, කකුළුවා ලබන සැපය යැයි, එම පිංවතුන් කවදා කෙලෙසක නම් තේරුම් ගන්නද. පිංවත අපි සියල්ලෝම මේ දකින්නේ අතීත බොරුකීමේ සහ බොරුකිරීමේ ඒහිපස්සික, විවෘත, නොසැඟවුන, ධර්මයේ ගුණයයි. භික්ෂුව මේ ඇඟිල්ල දිගු කරන්නේ පිංවත් ඔබට නොව අවිද්‍යාවටයි. කරුණාකර, මොළය වැඩි පිරිසක් හෝ මොළය අඩු පිරිසක් නොව, අවිද්‍යාව අඩු පිරිසක් ඔබේ පාලකයන් හැටියට තෝරාගන්න. ඒ උතුම් මෙහෙවර උදෙසා ඔබ සත්‍යක්‍රියා කළයුත්තේ, ආවේගශීලීභාවයෙන් නොව, පංචශීලයේ ශක්තියෙන්ම බව නුවණින් තේරුම් ගන්න. පිංවත ඔබට සැබෑ සත්‍යයේ වෙනසක් අවශ්‍ය නම්, බොරුවේ මුදුන් මුල් පවා උදුරා දැමිය යුතු වෙනවා. එය සිදුකළ හැක්කේ බහුතරයක් ජනතාවගේ ශීලයේ ශක්තියෙන් මිස වෙනත් හපන්කමකින් නම් නොවන බව ධර්මානුකූලව සටහන් තබනවා. පිංවත ඔබලා විශ්වාසයෙන් පංචශීලයෙන් අත්වැල් බැඳගන්න, බොරුව රජ වූ ලොවක අපි මියයන්න මොහොතකට පෙර හෝ පුංචි ඇත්තක් දැකලා, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් මියයන්නට.
පිංවත ඔබ කණ්ණාඩි මේසය ඉදිරියට ගිහිල්ලා ඔබේ රූපය දකින්න එපා. ඔබේ රූපය තුළින්, අට්ඨික සංඥාව දකින්න. එවිට ඔබ, ඔබේ රූපය තුළින් ධර්මය දැක්කා වෙනවා. ඔබේ කණ්ණාඩි මේසය ලස්සන දකින තැනක් නොව ලස්සන අවබෝධකොට ගන්නා තැනක් බවට පත්කොට ගන්න. එවිට කණ්ණාඩි මේසයත් ඔබට අජීවි කළ්යාණමිත්රයෙක්ම වේවි. පිංවත ඔබට පෙනෙනවා නේද විඳීමේ ගිනි ගොඩවල් තුළින් ද්වේශයේ, පළිගැනීමේ, නපුරුකමේ, ගිනිපුපුරු විසිවෙන ස්වභාවය. පිංවත ධර්මයේ අර්ථයන් අතුරුදන්වී යෑමට පෙරාතුව කරුණාකර, ඔබ ලෝකයෙන් නිදහස්වෙන දිශාවට යන්න. දෘෂ්ඨීන්, මතවාද, බැඳීයාම් වලින් විවිධ වූ සමාජය, කවදාකවත් එක මතයකට එන්නේ නැහැ. කෙනෙක් පංචඋපාදානස්කන්ධ ගිනි නිවද්දී, තව කෙනෙක් එම ගිනි අවුළුවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපස්කන්ධය විඤ්ඤාණයේ ගෘහයයි කියලා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය සහ සංස්කාරස්කන්ධය විඤ්ඤාණයේ ගයයි කියලා. සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා මායාකරුවෙක්ගේ, මැජික්කරුවෙක්ගේ, නිවසෙහි හැසිරෙන අපි, කෙලෙසක නම් මායාවන්ගෙන් මිදී, පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස බලන්නද. පිංවත මායාකාරි විඤ්ඤාණයේ ජන්මගති අරින්න අපිට බැහැ. නමුත් ඔබට පුළුවන් මමය, මගේය, මගේ ආත්මයය යැයි මායාකාරි සළුපිළි පැළඳගත් විඤ්ඤාණය මුල් අධියරේදි අඩනිරුවත් කරන්න. ඒ සඳහා ඔබේ අවිය වෙන්නේ සම්මා සමාධිමත් සිතයි. සම්මා සමාධිමත් සිතකින් තොරව, විඤ්ඤාණයේ මායාකාරි ඇඳුම් ගලවන්න බැහැ.
පිංවත සම්මා සමාධිමත් සිතෙන්, සතුටුවෙන ජනතාව සමග සතුටු නොවී, දුක්වෙන ජනතාව සමග දුක් නොවී, සැපත්, දුකත්, අනිත්‍ය වූ සංස්කාර වශයෙන්ම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමයේ සහ රූපයේ ආශ්වාදයේ කෙටි බව දකිමින්, දීර්ඝ ආදීනවය කෙරෙහි කලකිරීමෙන් නිස්සරණය දෙසටම යන්න. මට මෙවැනි රූපයක් තිබෙනවා. මෙවැනි විඳීම්, සංඥාවෝ, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ තිබෙනවා යැයි, නොසිතා මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයම නුවණින් දකින්න. මමමයි දක්ෂ, මමයි දන්නේ, මමයි නිවැරදි, මමයි ශිලවත්, මමයි ධර්මය තුළ සිටින්නේ. මේ මමත්වයේ දැඩිභාවයේ අදහස් කායානුපස්සනාවෙන්ම විනිවිද දකින්න. එවිටයි ඔබ විඤ්ඤාණය නමැති මායාකරුවා සම්මා සමාධිමත් සිතෙන් ධමනය කළා වෙන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.