පිංවත ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්නට. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට. පිංවත තමාගේත්, අනුනගේත්, යහපත අපේක්ෂා කරන පිංවතා අප්‍රමාදීව ධර්මයේමයි හැසිරිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පිංවතෙක් විසිරුණු ඉරියව්වලින්, විසිරුණු වචනවලින්, අනුවණ හැසිරීම්වලින් ධර්මයේ ප්‍රමාදිවේ නම්, එම පිංවතා තමන් පමණක් නොව, අනුන්වද ධර්මයෙන් ප්‍රමාදිභාවයටමයි පත්කරන්නේ. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා. වචනයෙන්, වචනය, සම්මා වාචාවක්ම කතා කරලා. ඉරියව්වෙන්, ඉරියව්ව හොඳින් සතිය සිහිය පිහිටුවලා, ගතකරන නිරහංකාර, අප්‍රමාදි ජීවිතය, මලින් මල තියලා ගොතපු ලස්සන මල් මාලාවක් වගේමයි. ඒ ලස්සන මල් මාලය ඇසෙන් දැකලා, කනෙන් අහල, මනසින් සිතලා, කොච්චර දෙනෙක් නම් සතුටුවෙයි ද. පිංවත ඔබේ අප්රමාදිභාවයෙන් ලෝකයාට අප්රමාදිභාවය දන්දෙන්න. පිංවත් ඔබේ ප්රමාදිභාවයෙන් ලෝකයාට ප්රමාදිභාවය නම් දන් දෙන්න එපා. අපිට යන්න ගමනක් තිබෙනවා. අපිට විශ්වාසයෙන් යන්න මාර්ගයක් තිබෙනවා. අපිට අවබෝධ කොටගන්න ධර්මයක් තිබෙනවා. පිංවත අපි ප්රමාදි නොවී අප්‍රමාදි වෙමු.
පිංවත, අපිට ඇනකොටා ගන්න, විවේචනය කරන්න, අනුනගේ වැරදි සොයන්න, කාලයක් ඉතිරිවෙලා නැහැ. සිතුවිල්ලෙන් සිතුවිල්ල මෙත් සිතක් නැගෙද්දී, සිතුවිල්ලෙන් සිතුවිල්ල අනිත්‍ය සංඥාවක් නැගෙද්දී, ප්රමාදිභාවය අපේ ජීවිතවලින් පලායනවා. පිංවත අනුනගේ ප්රමාදිභාවය හේතුවෙන්, සංසාරයේ අපි ප්රමාදිවූවා දැන් හොඳටෝම ඇති. අනුනගේ ප්රමාදිභාවය ඉදිරියේ ඔබ ප්රමාදි නොවේ, දැක්ක දෙය දැක්කාය කියන තැන නවතින්න. ඔබට ඇසුන දෙය ඇසුණාය කියන තැන නවතින්න. ඔබට දැනුන දෙය, දැනුනාය කියන තැන නවතින්න. පිංවත ලෝකයට ශබ්ද නගලා යන්න දෙන්න. ඔබ නිහඬව නවතින්න. පිංවත දැන් ඔබේ සිත දෙස බලන්න. ඔබේ සිත සංසිඳිලා නේද, ඒ සන්සුන් සිතෙන්, සියලුම සත්වයෝ නිදුක් නිරෝගී, සුවපත් වේවා යැයි සිතන්න. පිංවත ඉන්ද්රිය අසංවරය වේගවත් වෙන ලෝකය තුළ, ඔබ සන්සුන් ඉඳුරන් ඇති කෙනෙක් වෙන්න. අපි ඉදිරියේ තිබෙන ලෝකය, ධර්මයටත්, විනයටත්, විදර්ශනාවටත් බණින ලෝකයක්. පිංවත අපි සීමාව ඉක්මවා සිහි මුලා වුණොත්, අපේම ඇඳි වතේ මල මුත්‍ර තැවරුනත් අපි දන්නේ නැහැ. පිංවත් ඔබ ධර්මයට, විනයට, විදර්ශනාවට, පුංචි හෝ ගරුත්වයක් තිබෙනවා නම්, ඔබ අප්රමාදිභාවයට ගරු කරනවා නම් ඔබේ ජීවිතය තුළින් සිදුවන පුංචිම වරදක් වුවද, ඔබ දකින්නේ මහමෙරක් වගේමයි. පිංවත අවිද්‍යාව පංචනීවරණ නිදහසට ගොඩාක් කැමතියි. සංස්කාර එම පංචනීවරණ නිදහස උපයන්න කැමතියි. පිංවත විඤ්ඤාණය පංචනීවරණ නිදහස සිත්සේ භුක්ති විඳින්න කැමතියි. පිංවත ඵස්සය යළි යළිත් අවිද්‍යාව ජීවත් කරවන්න කැමතියි. පිංවත පංචනීවරණයන්ගෙන් මංමුලාවූ ලෝකය දෙස, ලෞකික ප්‍රඥාවේ ඇසෙන් බලන්න, එවිට ඔබ දකින්නේ, වරදකරුවෙක් නොව අවිද්‍යාවයි.
පිංවත ඔබ මොනම හේතුවක් නිසාවත් අතීතය අමතක කරන්න එපා. ඔබ අතීතය අමතක කළොත් ඔබේ අනාගතය ගොඩාක් දීර්ඝවෙන්න පුළුවන්. අනාගතයේ කල්ප කෝටි ගාණක් ඈතට පංච උපාදානස්කන්ධ ලෝකය ගලාගෙන යනවා. ලෞකික ප්‍රඥාවේ ඇස දුර්වල නම්, අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය නිමාවක් නැවතීමක්, අවසානයක් නැහැ. පිංවත කරුණාකර අතීතය අමතක කරන්න එපා. අතීත රූපස්කන්ධය වෙනස්වෙලා ගියා. අතීත සක්විති රජ රූප, ස්ත්‍රී රත්නය කියන රූප, රජ, සිටු, ඇමැති රූප, ධනකුවේරයන්ගේ අතීත රූප, බාහිර සතර මහා ධාතුවටම විසිරී ගියා. අතීතයේ වින්ද ඒ සුන්දර වේදනාවෝ වෙනස්වෙලා ගියා. ඒ අතීත හඳුනාගැනීම්, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ, වෙනස්වෙලා ගියා. ගෞරවනීය පිංවත, අතීතයේ අපි රූප මගේ කරගෙන, විඳීම් මගේ කොටගෙන, හඳුනගැනීම්, සංස්කාර, විඤ්ඤාණයෝ මගේ කොටගෙන, රූපයේ, කාමයේ, ආශ්වාදයෙන් මත් වී, මාන්නයෙන්, උඩඟුකමෙන් මුලා වූ සිහියෙන්, අසංවර ඉන්ද්රියයන්ගෙන් කියපු ලොකු කතා, සියල්ල අවසන් වුණේ, අතීත සුසාන භූමියකින් නේද. පිංවත අතීතයේ පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයෙන් මත්වෙලා, අපි උතුම් සද්ධර්මයට, විනයට, විදර්ශනාවට, මොනතරම් නම් අගෞරවයන් කරන්නට ඇතිද. ඒවායේ විපාකයන් නිසා පටිච්චසමුප්පන්නව සතර අපායන්හි අපි කොතෙක් නම් ගාල්වෙන්න ඇතිද.
පිංවත වර්තමානයේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙන සමාජයක, ධර්ම විරෝධී හැසිරීම් සහ ප්‍රකාශ සමාජගත වෙන්න පුළුවන්. උතුම් ධර්ම විනය, විදර්ශනාව පවා විවේචනයට ලක්කරන්න පුළුවන්. පිංවත කරුණාකර අනුනගේ ප්රමාදිභාවයන් හේතුවෙන්, ඔබ ප්රමාදිවෙන්න එපා. අතීතයේ දේවදත්ත හාමුදුරුවන්ගේ ප්රමාදිභාවය නිසා, අහිංසක ගිහි සහ පැවිදි පිංවතුන්ලා කොතෙක් නම් ප්රමාදිභාවයන්ට පත්වී සතර අපායන්ට වැටුණාද. පිංවත අජාසත්ත රජතුමා මේ මොහොතෙත් අවීචි මහා නිරයේ දුක් විඳින්නේ, දේවදත්ත හාමුදුරුවන්ගේ ප්රමාදිභාවය නිසාමයි. පිංවත සිහිනුවණින් දකින්න, එක ප්රමාදි චරිතයකට පුළුවන්, දස දහස් ගණනක් ප්‍රමාදිභාවයට පත්කරන්න. පිංවත කරුණාකර මේ වියරු පංචඋපාදානස්කන්ධ ලෝකය මැද, සද්ධර්මයෙන් අප්‍රමාදි පිංවතෙක් වෙන්න. එවිට පිංවත් ඔබගේ දැකීම ම, ඔබගේ සත්පුරුෂ හැසිරීම ම, ඔබේ සිහිමුලා නොවූ වචන ම, අනුනට ධර්ම දානයක්ම වෙනවා.
පිංවත මේ ලෝක ධාතුවේ උතුම් තෙරුවන්ගේ පහළවීම යම් සේ දුර්ලභද, කෘතවේදීභාවය උතුම් තෙරුවන්ගේ පහළවීම වගේම දුර්ලභ ධර්මතාවයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත කෘතවේදීභාවය ඔබ ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ කෘතවේදී වෙන්න. පිංවත් ඔබේ ජීවිතයට වගකිවයුත්තේ ඔබමයි. ඔබේ කෘතවේදීභාවයට, පෙරළා සමාජයෙන් කෘතවේදිභාවය නොලැබුණොත්, ඊට වගකිවයුත්තේ සමාජය නොවේ, ඔබේම අතීත අකුසල් සංස්කාරයි. පිංවත අවිද්‍යාවේ පැටළුන අපි, සංස්කාර විසින් නැවත නැවතත් අවිද්‍යාවේම පටලවනවා. පිංවත ඔබ ලෝකය අතහැරලා, ලෝකය තුළ ජීවත්වෙන්න. මිරිඟුව අයිති මුවපොව්වන්ට මිස, ප්‍රඥාවට නොවේ. පිංවත ආශ්වාදයේ රසායනික පොහොරින්ම තෘෂ්ණාව තිරිහන්වෙන සමාජයක, සංස්කාර පැටළුම වැඩියි. පින සෙල්ලම් කරනවා, විදර්ශනා ප්‍රඥාවට පයින් ගහලා. පිංවත මොහොතක් දෑස් පියාගෙන ඵස්සය ළඟ නවතින්න. එතැන හරිම නිදහස්. ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ආහාරය කොටගත් රූපය, අරමුණකින් තොරව එක්තැන් වෙලා. අවිද්‍යාව නමැති කඹයේ එක කොනක් ඵස්සය විසින් අල්ලාගෙන සිටියත්, කඹයේ අනෙක් කොන අදින්න තෘෂ්ණාව නැහැ. සිත ඵස්සය ළඟ නැවතුන තැනදි සංස්කාර කඹ ඇදීම තාවකාලිකව නැවතිලා.
පිංවත අපි ආපු දුරද වැඩි, අපිට යන්න තිබෙන දුරද වැඩි, මේ ප්රශ්නය අයිතිවෙන්නේ අවිද්‍යාවට. අපි මේ ප්රශ්නය විද්‍යාවට භාරදෙන්නේ නම්, අපිට චිත්තානුපස්සනාව ප්‍රයෝජනයට ගන්නම වෙනවා. පිංවත විතර්ක සිත්, චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. එවිට තව තව විතර්ක අපිට කරදර කරන්නේ නැහැ. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල හොඳින් සිහිය පිහිටුවා ගන්න. එවිට ජීවිතය ළඟ නතරවෙන්නේ සම්මා සමාධිමත් සිතක්මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා ධාතු, ධාතු වශයෙන් බැඳී යනවාය කියලා. ඉහත ධර්මය වර්තමානයේ හරිම සුන්දර ඒහිපස්සික ධර්මයක්. මේ ධර්මය තුළින් සමාජය දකිද්දී, කුමන අසත්පුරුෂකමක් දැක්කද, කුමන අවිනයවාදී හැසිරීමක් දැක්කද, එය අපිට ධර්මයක්ම වෙනවා. පිංවත අධර්මය යටපත් කරන්න ඕනේ ධර්මයෙන්මයි. අවිනය යටපත් කරන්න ඕනේ විනයෙන්මයි. අකුසලය යටපත් කරන්න ඕනේ කුසලයෙන්මයි. මේ පංචඋපාදානස්කන්ධ දුක් නැතිකොටගන්න ඕනේ නිදහස් වීමෙන්මයි. සමාජය තුළ අසිහියෙන් ඔඩුදුවන ධාතු විවිධත්වයන් දකිද්දී, පිංවත් ඔබ කම්පාවෙන්න එපා. අවිද්‍යාවේ උත්තේජනයෙන් අනාගතයේදී මේ ධාතු විවිධත්වය තව තවත් සංකීර්ණ කරනවා. කරුණාකර විදර්ශනා ප්‍රඥාවේ ධාතු ගොඩට එකතුවෙන්න. එවිට පිංවත් ඔබට පුළුවන් මේ සෑම ධාතු ස්වභාවයක්ම විනිවිද දකින්න. මනුෂ්‍ය සමාජය තුළ ඔඩුදුවන මේ සෑම ධර්ම විරෝධී විකෘති ධාතු ස්වභාවයක්ම අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ ඵලයන්මයි. මනුෂ්‍ය සමාජයේ ඔබ දකින ධාතු විවිධත්වය, ධම්මානුපස්සනාවේම කමටහනක් කොටගන්න. ඔබ නිදහස් වෙන්න, ලෝකයට යන්න දීලා.
පිංවත රූපය විනිවිද නොදකින්නා ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ට ආදරය කරන්නෙක් වෙනවා. ඔබ රූපය විදර්ශනාවෙන් විනිවිද දකින්නෙක් නම්, ඔබේ ආදරය අයිති වෙන්නේ ප්රඥාවටයි. ඔබේ ආදරය ප්‍රඥාවට අයිති වෙද්දී, ඔබ ආදරය කරන්නේ, ආදරයේ නිරෝධය උදෙසාමයි. මුලින්ම ඔබ ආදරය කෙරෙහි තිබෙන මමත්වයේ දැඩිභාවය නිරෝධය කරන අතර, දෙවැනිව ඔබ ආදරය කෙරෙහි තිබෙන කාම, රාග, පටිඝයෝ ද නිරෝධය කරනවා. අවසන් අදියරේදී ආදරය කෙරෙහි තිබෙන අනුශය අවිද්‍යාව ඔබෙන් නිවීයන්නේ, තෘෂ්ණා නිරෝධා, උපාදාන නිරෝධෝ කියන ධර්මතාවයෙන් ඔබේ ආදරය සක්සුදක්සේ පිරිසිදු කරලා. පිංවත ඔබේ ආදරය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝකපරිදේවයන් උදෙසා නොව, ඔබේ ආදරයට, ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න. එවිට ඔබේ ආදරණීය ආදරයත්, උතුම් සෝවාන්ඵලයට මාර්ගයක්ම වේවි.