බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවාය කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ සුන්දර නවයොවුන් තාරුණ්‍යයට. ඒ නවයොවුන් තාරුණ්‍යයේ රිද්මයට, ලාලිත්‍යයට, ආලෝකමත් සමට, මෙලෙක් මසට, කොටින්ම කඩවසම් මායාකාරී පෙනුමට. මේ සියල්ල අයිති රූපයේ ආශ්වාදයට. මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියටත්, රූපයේ ආශ්වාදයෙන් මොනවාට තිරිහන් වූ සුන්දර තරුණ, තරුණියන් එනවා. භික්ෂුව ඒ යෞවනයේ සුන්දරත්වය තුළින් දකින්නේ ධර්මයක්. ඒ සුන්දර ධර්මය තමයි රූපයේ ආශ්වාදය. රූපයේ ආශ්වාදය, රූපයේ ආශ්වාදයම යැයි දකිද්දී, සිත නවතින්නේ ආශ්වාදය අනිත්‍යයි කියන අර්ථය තුළයි. එම රූපයේ ආශ්වාදය, මැදි වියට පත්වෙන, වයෝවෘද්ධභාවයට පත්වෙන, රූපයේ ආදීනවය තුළයි.
සමාජයේ ජීවත්වෙන පිංවතුන්ලා, අවිද්‍යාවේ තීව්රභාවය නිසාම, රූපයේ ආශ්වාදය නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, සුභ වශයෙන්, ආත්මීය වශයෙන් දකිනවා. සුන්දර යෞවනියකගේ රූපයේ ආශ්වාදය, මමය කියලා දකිනවා. ඇයය කියලා දකිනවා. රූපය නොවෙනස් වන ආත්මයක් කොට දකිනවා.
රූපයේ ආශ්වාදයට හිරට, තදට, කොටට, ලස්සනට අවිද්‍යාවේ ඇඳුම් අන්දවනවා. මහා අව්කාශ්ඨකයෙත් අව්කණ්ණාඩි දමාගෙන, මුහුණු පොතට සෙල්ෆි ගහනවා. හිරි ඔතප් දෙක මාරයාගේ උකස් කඩේ සියයට එකේ පොලියට, උකස් තියන අපි කිසිදු ලැජ්ජා බියකින් තොරව, තරුණ දරුවෝ වැඩිහිටි මාමලාට ආදරය කරනවා. වැඩිහිටි මාමලා තරුණ දරුවන්ට ආදරය කරනවා. ආදරය කියන වචනය භික්ෂුව සඳහන් කළාට, මේ ආදරේ ලැජ්ජාව, බය, අතුරුදන් වූ ආශ්වාදයේ රූපය කෙරෙහි බැඳුණ රාගයක් පමණක්මයි. මේ ආදරය තිරිසන් සතුන් ළඟත් තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. රූපය ඇසුරෙන් ඒ කියන්නේ යම් පුරුෂයෙක්ගේ සහ ස්ත්‍රියකගේ රූපය ඇසුරෙන් යම් සැප හෝ දුක් විඳීමක් ඇතිවේද, එම විඳීම මාරයාය කියලා. එම විඳීම ඇසුරින් යම් හඳුනාගැනීමක්, සංස්කාරයක්, දැනීමක් සකස්වේද එම සකස්වෙන ධර්මථාවයෝ මාරයාය කියලා. මෙම සටහන කියවන පිංවත් ඔබ, ආශ්වාදයෙන් තිරිහන් වූ ලස්සන රූපයක් දකිද්දි, ඔබේ මනෝ විඤ්ඤාණය තෘෂ්ණාවෙන් නළියන ලස්සන රූපයක් දකිද්දි, එම රූපය මාරයා හැටියට දකිනවාද. එසේත් නැතිනම් රූපය නමැති මාරයා, මගේ කොටගෙන, මාරයාගේම වසඟයට යනවාද?
පිංවත, රූපය සුන්දරත්වයේ තෝතැන්නක් යැයි සිතා, අවිද්‍යාවේ කඩමාලූ පොරවාගත් දෙතිස්කුණුපයක්, මම යැයි සතුටින්ම පිළිගන්න අපි, අපි ගැන සහසුද්දෙන්ම දැනගත යුතුයි. එසේ නොවුණොත් අපිත් විනාශ වී අනුනුත් විනාශ වී යන්න පුළුවන්. සුන්දර සම්මත හෝ අසම්මත ආදරයක්, එක මොහොතකින්, කඳෙන් හිස වෙන් කළ, වියරුවක් බවට පත්වෙන්න පුළුවන්.
වර්තමාන සමාජයේ මනුෂ්‍යයාගේ ඵස්සයට, අවිද්‍යාවේ හිරිකිඩ වැටෙනවා වැඩියි. අවුරුද්දකට වැඩි කාලයක් කොරෝනා අකුසලය නිසාම, ජනතාව පන්සලෙන්, ආරණ්‍යයෙන්, පල්ලියෙන්, කෝවිලෙන් ඈත්වෙලයි ජීවත්වෙන්නේ. පසළොස්වක පොහොය දවසට රටපුරා ලක්ෂ ගණනක් උපාසක, උපාසිකාවන් සිල් සමාදන් නොවීම තුළින්, ලක්ෂ ගණනක් පිංවතුන් පන්සල් නොයෑම තුළින්, අන්‍ය ආගමික පිංවතුන් ලක්ෂ ගණනක් සතිපතා තම දේව මෙහෙයන්ට සහභාගි නොවීම තුළින්, පිංවත් ජනතාව පොදු කටයුතුවලට, සමාජසේවා කටයුතුවලට සම්බන්ධ නොවීම තුළින්, වැඩිපුර කාලයක් රූපවාහිනියට, මුහුණු පොතට, දුරකථනයට යොමුවීම තුළින්, පිංවත් ජනතාව තුළ පංචනීවරණ ධර්මයෝ සුවසේ පෝෂණය වෙලයි තිබෙන්නේ. පංචනීවරණ වැඩිවෙන කොට අවිද්‍යාවමයි ශක්තිමත් වෙන්නේ. වර්තමානයේ ඉහත අනතුර සමාජයේ ඔඩුදුවලයි තිබෙන්නේ. මේ හේතුන් නිසාම සමාජය දෙස බැලීමේදී, මනුෂ්‍යයාගේ හැසිරීමේ යම් විකෘතිභාවයක්, අධිවේගීභාවයක් තිබෙනවා. මේවා ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයන්, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. සුන්දර ධර්මයක අසුන්දර අත්දැකීම් සමාජයට බලකරනවා, නැවත පන්සල, ආරණ්‍යය, පල්ලිය, කෝවිල තුළින් පිංවත් සියලූම ආගම්වල ජනතාවගේ පින ශක්තිමත් කොටගෙන, මනුෂ්‍ය හදවත් ගිනිගෙන දැවෙන කාමච්ඡන්ද, ව්‍යාපාද ආදි වූ පංචනීවරණයෝ සියුම් කොටගන්නය කියලා.
වර්තමානයේ, පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලැබූ පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවනුත් බලවත් පීඩනයකිනුයි ජීවත්වෙන්නේ. පිංවත් සිසු දරුවන් අවුරුද්දකට වැඩි කාලයක් පාසල් ගියේ නැහැ. ක්‍රීඩා කරන්න, පොදු ක්‍රියාකාරකම්වල යෙදෙන්න, විනෝද චාරිකාවක් යන්න දරුවන්ට අවස්ථාව ලැබුණේ නැහැ. පංචනීවරණ ධර්මයන් සෙවණේ, ඔන්ලයින් ක්‍රමවේදයට අධ්‍යාපනය ලැබූ අහිංසක දරුවන්, දුරකථනයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය ගොඩාක් වැඩිවෙලා තිබෙනවා. මේවා නිසා සමහරක් දරුවන් වැරදි ක්‍රියාකාරකම්වලටත් යොමු වී තිබෙනවා. පිංවත් පාසල් දරුවා මුහුණදෙන මේ සියලූ පංචනීවරණ ව්‍යාධීන් මැදයි, නැවත සියලූ පාසල් විවෘත වෙන්නේ. එම නිසා ඉදිරි කාලයේ දී පාසල් දරුවන්ගේ විනය කෙරෙහි දෙමාපියන් ගුරුවරුන් වැඩි අවධානයකින් සිටින්න වෙනවා. වසරකට වැඩි කාලයක් තෙරපි, තෙරපී තිබුණ ළමා සිතුවිලි යම් විකෘති ආකාරයෙන් සමාජගත වෙන්න පුළුවන්කමක් තිබෙනවා. සමාජය තුළ යම් වරදක් සිදුවුණාට පස්සේ වැඩිහිටියන්ට හෝ දරුවන්ට බැනලා, ඒ අයට වරද පටවලා වැඩක් නැහැ. අවිද්‍යාව දුක හඳුනන්නේ නැහැ. අවිද්‍යාව කරන්නේ දුක, සැපයක්කොට පෙන්වා, ඔබව දුකට ඇදදැමීම පමණක්මයි.
ඵස්සය හේතුවෙන් පිංවත් ඔබ තුළ සකස්වෙන වේදනාව තුළ, විරාගයෙන් රාගයටත්, රාගයෙන් ද්වේශයටත්, තිබෙන්නේ එක සිතුවිල්ලක පරතරයක් පමණක්මයි. එක නිමේෂයකින් ලොකු වෙනස්වීමක් වෙන්න පුළුවන්. මේ සිතුවිල්ලේදී ඔබව ආදරයෙන් සිපගන්නා ඔහු, ඊළඟ සිතුවිල්ලේදී ඔබගේ ගෙල මිරිකා මරාදමන්න පුළුවන්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාමයෝ ගිනි අඟුරු වළක්ය කියලා. කාමයෝ පැන පැන දෂ්ට කරන විෂකුරු සර්පයෙක්ය කියලා. කාමයෝ තියුණු මුවහත ඇති පිහියක්ය කියලා. අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකය, අනාගතයේ තවත් කල්ප සියක්කෝටි ප්‍රකෝටි ගණනක් ඈතට පටිච්චසමුප්පන්නව ගමන් කරන, පිංවත් ඔබේ මස් ඇසට නොපෙනෙන රහසක් තිබෙනවා. ඒ රහස තමයි පිංවත් කාන්තාව සතු රූපයේ ආශ්වාදය. මනුෂ්‍යයා තුළ කාම, රාග, පටිඝයන් සකස්කොට දෙන ස්ත්‍රී රූපය, අතීත සංස්කාරයන්ගෙන්ම සුන්දර ඵලයක් වෙනවා. ලෝකය නැවත නැවුම්ව හටගැනීම ගැන සඳහන් වන අග්ගඥ සූත්‍රයේ බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා, මනුෂ්‍යයාගේ ස්ත්‍රී සහ පුරුෂභාවයන් මුලින්ම සකස් වුණේ, පංචනීවරණ ධර්මයන්ගේ තීව්රභාවය නිසාමයි කියලා. විරාගයේ සිට රාගය දක්වා ඇත්තේ එකම සිතුවිල්ලක පරතරය නිසාම, අපි පංචනීවරණයන්ට බියවෙන්න ඕනේ.
කාමයන්ගේ ආශ්වාදයේ කෙටිභාවයත්, කාමයන්ගේ ආදීනවයන්ගේ දීර්ඝභාවයත් ගැන, විවේකීව සිතන්න, වර්තමාන සමාජයට විවේකයක් නැතිවෙලා තිබෙනවා. භික්ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, මහණෙනි, පිංවත් කාන්තාව, හුන්නිද, නිදන්නිද, ඇවිදින්නිද, දොඩන්නිද, සිනාසෙන්නිද, රඟන්නිද, ගයන්නිද, රවන්නිද, ඔරවන්නිද, අපි තුළ රාගයම සකස්කොට දෙනවාය කියලා. අහිංසක ඔබ සහ ඇය කෙලෙසක නම්, මේ ලෝක ස්වභාවයෙන් කෙසේ නම් ගැලවෙන්නද.
අපි කවදා හෝ පරිපූර්ණ වශයෙන් කාම, රාග, පටිඝයන් නිරෝධය කරන්නේ, උතුම් අනාගාමීඵල අවබෝධයේදී, එතෙක් කාම, රාග, පටිඝයෝ අඩු සහ වැඩි වශයෙන් අප තුළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාම, රාග, පටිඝයන්ගේ අනතුර මැනවින් අවබෝධයෙන්ම දකින නිසාම, අපිට දේශනා කරනවා, පිංවත් ඔබ තුළ යම් කාම, රාග, පටිඝ සිතුවිල්ලක් සකස් වුණොත් එම සිතුවිල්ල දත්මිටිකාගෙන ඉවසන්න පුහුණුවෙන්නය කියලා. ආශ්වාදයේ මටසිළුටු පහසට, විනිවිද නොපෙනෙන ආදීනවයේ වියරුව සහ දෙතිස්කුණුපයක් රනින් කළ සිත්තමක්සේ දකින, මෝහයේ මෝඩකම, දත්මිටිකාගෙන ඉවසන්න අපි පුරුදුවෙන්න ඕනේ. මෛත්‍රිය තුළත්, ද්වේශය තුළත් රාගයට සැඟවී සිටින්න පුළුවන්. ඒ විතරක් නොවේ, ශ්‍රද්ධාව තුළත් ගරුත්වය තුළත් සුදු ඇඳුමෙන්ම, රාගයට සැඟවී සිටින්නට පුළුවන්. ඒ නිසාම භික්ෂූන් වන අපි පිංවත් කාන්තා පක්ෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. පිංවත් කාන්තා පක්ෂයත් භික්ෂූන් වන අපෙන් පරිස්සම් වෙන්න ඕනේ.
උපසම්පදා භික්ෂුවකගේ හිස කඳෙන් වෙන් කරන්න, පාරාජිකාවකට අදාළ, කාමයේ වරදවා හැසිරීමකට පුළුවන්. පාරාජිකාවන්ගෙන් අපේ උපසම්පදා භික්ෂු ජීවිතය කරටිය කැඩුණු පොල්ගසක් බවට පත්වෙනවා, දෙකට පැලූනු කලූ ගලක් බවට පත්වෙනවා. ඒ වෙන්වූ හිස නැවත කඳට එකතුවීමක් නැහැ. පසුගිය දිනවල කාමයේ වරදවා හැසිරීම නිසාම, තම හිස කඳෙන් වෙන්කරගෙන අකාරුණික මරණයක් වැළඳගත් අහිංසක තරුණිය සිහිපත්වෙද්දි මෙය සටහන් තබන භික්ෂුවට සිතෙන්නේ, සමාජයේ ජීවත්වෙන ගිහි සහ පැවිදි පිංවතුන් අතර, හිසසුන් මළකඳන් බවට පත්වෙච්ච එහෙත් ජීවත්වෙන මනුෂ්‍යයින්, කොතෙක් නම් සමාජයේ ඇතිද කියලයි. හිස ඇතිව ජීවත්වෙන මනුෂ්‍යයින් අතරත්, ජීවත්වෙන හිසසුන් මළකඳන් තිබෙනවා. මෙවන් මනුෂ්‍යයින්ගේ වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන්, ජනතාව සකස්කොට ගන්නා, අකුසල් නිසාමයි, විකෘති සමාජ ධර්මතාවයන් සමාජගත වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භික්ෂූන් වන අපිට පිංවත් කාන්තාවක් දැක්කොත්, ඇයව මගහැර යන්නය කියලා. ඇය ඔබ ඉදිරියට පැමිණියහොත්, ඇය සමඟ නොදොඩා සිටින්නය කියලා. ඇය ඔබ සමඟ කතා කළොත්, මම මේ කතා කරන්නේ, මගේම අම්මා සමඟ යැයි සිතමින් කතා කරන්නය කියලා. පිංවත් ඔබෙත්, මගේත් රූපය මාරයාමයි. එක අතකින් අත්පුඩි ගහන්න බැහැ, මේ අවවාදය දෙපාර්ශ්වයටමයි.
දෑස් අන්ධ චක්ඛුපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා, යම් පුරුෂයෙක්, ස්ත්‍රියකගේ වසඟයට යයි ද එම පුරුෂයා බලයෙන් පිරිහී දුබලයෙක් වෙනවාය කියලා. යම් පුරුෂයෙක් ස්ත්‍රියකගේ වසඟයට යයි ද එම පුරුෂයා ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් පිරිහෙනවාය කියලා. යම් පුරුෂයෙක් ස්ත්‍රියකගේ වසඟයට යයි ද එම පුරුෂයාගේ දෑස්, මෝහයෙන් අන්ධවෙනවාය කියලා. පිංවත් ඔබත් අසම්මතයෙන් කාන්තාවක් වසඟයට ගිය කෙනෙක් නම්, ඉහත ධර්මය ඔබේ ජීවිතයට ගලපා බලන්න කාරුණික වෙන්න. ඔබගේත්, භික්ෂුවගේත්, ඇයගේත් රූපය මාරයාමයි. සිහිබුද්ධියෙන් හිරි ඔතප් දෙක ඇතුව රූපයක් දෙස බලන්න ජීවිතය පුහුණු කරගන්න.