මේ දිනවල මේ ප්‍රදේශයට හමන අකීකරු සුළඟ හරිම දඩබ්බරයි. සෑම දෙයක්ම ස්පර්ශ කොටගෙන එයා හමාගෙන යනවා. අජීවී වුණත් සුළඟ හරිම වාසනාවන්තයි. එයා හැමෝගේම ශරීරවල දැවටී ආශ්වාදය ලබනවා. සුළෙඟ් ආශ්වාදයට වශීවී, පිංවත් ඔබටත් සිතුනොත් අනේ මටත් සුළඟක් වෙන්න ඇත්නම් කියලා. පිංවත් ඔබලා ආදරය කරන කොට කියනවා නේද, සැබැවින්ම බැරිනම් සුළඟක් වී හෝ ඔබේ ගතේ දැවටෙන්නම් කියලා. පිංවත් ඔබ සුළෙඟ් ආශ්වාදයට බැඳී ගියොත්, ඔබ සුළං වළාහක දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙලා පටිච්චසමුප්පන්නව උපදින්න පුළුවන්.
අපේ ආදරය අහිමිවෙච්ච අහිංසකයින්, අහිංසකාවියන් කොතෙක් නම් සුළං වළාහක දෙවියන්, දිව්‍යාංගනාවන් වෙලා, මේ සිසිල් සුළං රැළි සමඟ අපේ ගතේ දැවටෙනවා ඇතිද. අපේ ගතේ දැවටී ආශ්වාදය විඳිනවා ඇතිද. හැබැයි ඉතින් පරිසරයේ පඨවි ධාතුව ශක්තිමත් වී, වායෝ ධාතුවේ ශක්තිය දුර්වලවෙලා ගියොත්, පිංවත් සුළං වළාහක දෙවියන්ට ඉතිරිවෙන්නේ ගැටෙන සිතක් පමණක්මයි. ඒ ගැටෙන සිතෙන් සුළං වළාහක දෙවියන් සතර අපායටත් වැටෙන්නට පුළුවන්. භවයේ කොතැනක නැවතුනත් හරිම අනතුරුදායකයි. ශරීරයේ දැවටෙන සුළං රැල්ල වගේ සුවදායක නම් නැහැ. සුළං රැල්ල සමගත් අපේ පරණ පෙම්වතුන්, පෙම්වතියන් අපිව සොයාගෙන එනවා.
වෙනස්වන සතර මහාධාතුව නොවෙනස්ව තබාගැනීමට අපි කාටවත්ම බැහැ. සතර මහාධාතුවේ වෙනස්වීම් එහි ජන්ම ගතියක්. ජන්ම ගති අපි කෙසේ වෙනස් කරන්නද. අපි ධර්මානුකූලව වෙනස්වෙනවා හැර. සතර මහාධාතුවේ වෙනස්වීම් සුන්දර ධාතුමනසිකාරයේ කමටහනක් බවටම පත්කොටගන්න. එවිට පරිසරය, ධර්මයක් බවටම පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිසරයත් ඔබත් දෙකක් වශයෙන් නොව, එකක් වශයෙන් දකින්නය කියලා. අවිද්‍යාව ගෑවුන තැන ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටි වලිගය තිබෙනවා. දැන හෝ නොදැන අපි මේ කොටි වලිගය අල්ලා ගන්නේ පුදුමාකාර සතුටකින් බලාපොරොත්තු සහගතවයි. කොටි වලිගය අල්ලාගත් පිංවතා, මරණ බියෙන් කොටියා වටේම දුවනවා වගේම, පංචකාමයන් කෙරෙහි තෘෂ්ණාවෙන් අපි පටිච්චසමුප්පන්න ලෝකය වටේ ජාති, ජරා, ව්‍යාධි, මරණ හති දමමින් දුවනවා.
සෑම විටම අපේ ඵස්සය නලියනවා, තෘෂ්ණාවේ රැකවරණය ඉල්ලලා. අපේ බලාපොරොත්තු සහගත ආරක්ෂකයා, ලොකුම සොරදෙටුවා වෙද්දී, මේ සොරා අපේ නිවන් මාර්ගය මහදවාලෙත් සොරකම් කරනවා. කාමයේ ආශ්වාදයන්ට ප්‍රියකරන මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස අපි නිවන් අවබෝධ කළොත් අපිට මුකුත්ම නැතිවයනවා නේද කියලා. භික්ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ, අපි නිවන් අවබෝධය ලැබුවොත්, ඇතිවෙන දෙයකුත් නැහැ, නැතිවෙන දෙයකුත් නැහැ. ඇතිවීමත් නැතිවීමත් දෙකම නිරෝධයවෙලා යනවාය කියලා. මේ පිංවත් මහත්වරු තමන් අල්ලාගෙන සිටින අවිද්‍යාවේ කොටි වලිගය අතහරින්න බියයි. පිංවත් ඔබ ඵස්සය අසලින්, අවිද්‍යාවේ කොටි වලිගය අතහැරියොත්, ඔබ කොටියාගේ තියුණු දත් සහ නිය ගලවා දැමුවා වෙනවා. පිංවත් ඔබ අවිද්‍යාවේ අර්ථය සරලම තැනට ගන්න. ඒ සරලම අර්ථය තමයි චතුරාර්ය සත්‍යය නොදැනීම. මේ පරම සත්‍යය, අපේ ජීවිතයේ යථාර්ථයක් බවට පත්කොට දෙන්නේ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියමයි.
සම්මා සමාධියකින් පෝෂණය නොවූ, සමහරක් අහිංසක ජීවිත හරියට පුංචි කෝච්චියක් වගෙයි. තොරතෝංචියක් නැතිව කතා කළත්, ඒ කිසිම වචනයක් සම්මා වායාමයන් විකසිතකොට දෙන්නේ නැහැ. අපි කතාකරන සෑම සම්මා වාචාවක්ම, උතුම් සම්මා වායාමයන් පෝෂණය කොටදෙන්න ඕනෙ. ශීලය, සමාධියටමයි පාර කියාදෙන්නේ. අපි කොතෙක් කතා කළත් අපිට තවම සම්මා සමාධියක් නැතිනම්, අපේ සියලූ කතා, මිච්ඡා වාචාවන් බව තේරුම් ගැනීමට, අපිට නිහතමානීභාවය තිබෙන්නට ඕනේ.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, මේ සැපයෙන් බහුල ලෝකය අපි අතහරින්නේ කොහොමද කියලා. ඉහත ප්රශ්නය සමාජයේ වැඩි දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ආසයි, බයයි කකුල් දෙක දෙපැත්තේ තබාගෙන ධර්ම මාර්ගයේ ගමන් කරනා පිංවතුන්ලා ඕනෑ තරම් සමාජයේ සිටිනවා. පිංවත් ඔබ සියල්ලටම පෙරාතුව ලෝකය අතහැරීමට අවශ්‍ය නැහැ. උතුම් සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන්ගේ අවසාන ඵලයයි භව නිරෝධය වෙන්නේ. මුලින්ම ඔබ ලෝකය යනු කුමක් දැයි, ධර්මානුකූලව දැනගන්න ඕනේ. දෙවනුව ඔබ දැනගත් ලෝකය කෙරෙහි කලකිරෙන්න ඕනේ. තෙවනුව ඔබ කලකිරුණු ලෝකය කෙරෙහි නොඇලීම ඇතිකොටගන්න ඕනේ. ඉන්පසුවයි ලෝකය අවබෝධයෙන් අතහැරෙන්නේ. ඵස්සය අසලින් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ලෝකය යැයි දේශනා කරන්නේ, ඔබේ සළායතනයන්ට, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට. මේ සළායතනයන් ඵස්සයෙන් සකස්වෙන, පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට. සියල්ලටම පෙරාතුව සළායතනයන් අතහැරලා අපි කොහොමද ලෝකය අතහරින්නේ. මෙය සටහන් තබන භික්ෂුව, මේ නිමේෂයේදීත් සළායතනයන් දෙස විදර්ශනාත්මක, සතියෙන්, සිහියෙන් බලාගෙනමයි සිටින්නේ. එවිටයි භික්ෂුව තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, විදර්ශනාත්මක ධම්මවිජය බොජ්ඣංගයන් මෝදුවෙන්නේ.
පිංවත් ඔබ සිහිනුවණින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොටගන්න, එවිට අතහැරීම කියන අර්ථය කෙරෙහි ඇති වැරදි මත සහ හුඹස් බිය අතහැරේවි. පිංවත් ඔබ නිවැරදි ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්කොට, මුලින්ම නිවන් මාර්ගය කෙරෙහි තිබෙන හුඹස් බිය අතහැරගන්න. එයයි ඔබේ මුල්ම අතහැරීම විය යුත්තේ.
මේ දවස්වල භික්ෂුව වැඩසිටින ගම්මානය දෙසින් නොයෙක් ශබ්ද ඇසෙනවා. විටෙක ටකරං වලට ගහනවා. තවත් විටෙක යකඩ බැරල්වලට ගහන හඬ ඇසෙනවා. තවත් විටෙක නලා හඬ ඇසෙනවා. මේ දවස්වල ගම්වැසියන් වගාකොට ඇති කෘෂිකාර්මික බෝගවල අස්වැන්න ඇවිල්ලා. පක්ෂීන්ගෙන්, මොණරුන්ගෙන් අස්වැන්න බේරගන්නයි, මේ ශබ්ද නගන්නේ. වෙනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේනමක් මේ කුටියේ වැඩ සිටියා නම් ශබ්ද වැඩියි කියලා, කුටිය හැරයන්න තිබුණා. මේ සටහන තබන වෙලාවෙත්, භික්ෂුවට ඔය ශබ්ද ඇසෙනවා. භික්ෂුව අතීත පංචඋපාදානස්කන්ධයට සිත යොමු කරනවා. පටිච්චසමුප්පන්නව අහිංසක, දුප්පත් ගොවියෙක් වෙලා මම වගා කරපු අස්වැන්න බේරාගන්න, මොනතරම් නම් නිදිවරාගෙන, මහ අව්වේ වේලීගෙන, ටකරංවලට ගහන්නට ඇතිද. මෙහෙම සිතද්දීම භික්ෂුවගේ සිත සමාධිමත් වෙලා, ශබ්ද ඉදිරියේ කලබල වියයුතු නැහැ. ගැටීමේ පොලූ පහරවල් විදිමට වැදෙද්දී, අපේ සංස්කාරයන්ගේ දෝංකාරය භවාත්රයටම පැතිරිලා යනවා. මේ මොහොතේ ගම්මානය දෙසින් කුටියට ඇසෙන ටකරං හඬ, භික්ෂුවට විදර්ශනාවේ හඬක්මයි. පිංවත් ඔබට ඇසෙන, අනවශ්‍ය ශබ්ද ඇසුනා කියන තැන නවතාගන්න. ඒ සඳහා උපේක්ෂාවේ තිරිංග, සම්මා සමාධියෙන් හොඳින් නඩත්තු කොටගන්න.
පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතෙන් නුවණින් දකින්න ඕනේ. මේ සළායතනයෝ හෙවත් ලෝකය, කුමක් හේතුවෙන්ද සකස් වුණේ කියලා. සළායතන සකස්වුණේ නාමරූප හේතුවෙන්, නාමරූප සකස්වුණේ විඤ්ඤාණ හේතුවෙන්, විඤ්ඤාණය සකස් වුණේ සංස්කාර හේතුවෙන්, සංස්කාර සකස්වුණේ අවිද්‍යාව හේතුවෙන්. සළායතනයන්ගේ සැබෑම හිමිකරු අවිද්‍යාවයි. චතුරාර්යසත්යය නොදැනීම සළායතන ලෝකයේ හිමිකරුවායි. ලස්සන ඇස් දෙකකට, ලස්සන ශරීරයකට කොච්චර නම් අයිතිකාරයෝ සිටිනවාද. ලෝක රූප රාජණීය තෝරනවා කියන්නේ, අවිද්‍යාවේ රැජින තෝරනවා කියන කාරණයයි.
අපි හැමෝම අවිද්‍යාවේ කලූකඩ මුදලාලිලා. ජරා, ව්‍යාධි, මරණ සඟව සඟවා ආශ්වාදයේ නාමයෙන් අවිද්යාවම විකුණනවා. දැන් දැන් අවිද්‍යාව මදියි කියලා රූපයට ලෝභ, ද්වේෂ, මෝහ, වස විස, කාබයිට් යොදන්නේ හන්දියක් හන්දියක් ගානේ රූපලාවණ්‍ය කඩ, ශරීර සම්බාහන කඩ හතු පිපෙන්නා වගේ විවෘතකොටගෙනයි. ඵස්සයට අවිද්‍යාවේ ජවය වැඩිවෙනකොට, ලෝකය අශ්ව වේගයෙන් දුවනවා. කරුණාකර විඳීමේ නහය විදලා, උපේක්ෂාවේ නාස් ලණුවක් දමලා, එම රැහැන්පට ධර්මානුකූල සතිය සිහියට භාරදෙන්න.
අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංචනීවරණ ධර්මයන්ගෙන්. නමුත් කුසලයත් අකුසලයත්, පිනත් පවත්, සුගතියත් දුගතියත්, පංචනීවරණ ධර්මයන් සහ ලෞකික සප්තබෝජ්ඣංග ධර්මයනුත් අයිති අවිද්‍යාවටමයි. මෙහෙම සටහන් තබනකොට යම් පිංවතෙක් භික්ෂුවට චෝදනා කරන්න පුළුවන්, කුසලය කොහොමද, ලෞකික සප්තබොජ්ඣංගයන් කොහොමද අවිද්‍යාවට අයිති වෙන්නේ කියලා. එම අහිංසක චෝදනාව අයිතිත් අවිද්‍යාවටමයි. විදිම සක්‍රිය වී යම් මොහොතක ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ උපදීද එතැන අවිද්‍යාව තිබෙනවාමයි.
විදර්ශනාවෙන් පෝෂණය නොවූ, රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන නමැති වේදනාවේ ආශ්වාදය තුළත්, මාරයාගේ දෑස් අන්ධකොට දමා, අවිද්‍යාව බැසගෙන තිබෙනවාමයි. ධ්‍යාන සම්පත් තුළින් පිංවත් ඔබ මාරයාගේ දෑස් අන්ධකොට දැමීමට දක්ෂ වුවත්, වේදනාවේ ආශ්වාදයට ගිජු ඔබේ සිත, විදර්ශනා නුවණින් මාරයාව පරාජය කොට මාර ග්රහණයෙන් මිදෙන්නේ නැහැ. සාංසාරිකව අරටු බැස්ස පටිච්චසමුප්පන්න අවිද්‍යාව, තෘෂ්ණාවේ කැත කුණු සොයමින්, ලෞකික සප්තබොජ්ඣංගයන් තුළත් බැසගෙන සිටිනවා.
පිංවත් ඔබ අවිද්‍යාවේ දෑස් මොහොතක්, සම්මා සමාධියෙන් වසා දමා නුවණින් දකින්න. ඔබේ ඇස්, මස්, නහර, රුධිරය, කඳුළු මුල්කොටගෙන හැදුන ඇසක්. පඨවි ධාතුව ඇසට ලස්සන නිමාවක් ලබාදී තිබෙනවා. ආපෝ ධාතුව ඇසේ කඳුළු තවරලා, තෙත් ගතියෙන් කාන්තිමත්භාවයක් ලබාදී තිබෙනවා. වායෝ ධාතුව ඇස පුම්බා පියකරු හැඩයක් ලබා දී තිබෙනවා. තේජෝ ධාතුව ඇස කුණු නොවී, ප්රකෘතිමත්කොට තබා තිබෙනවා. සතර මහාධාතුව අනිත්‍යභාවයට පත්වෙද්දී ඔබේ ඇසත් ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ටම යටත්වෙනවා. ලෝකය වෙනස්වෙලා යනවා.
මෙවන් හිස් ඇසක්, පටිච්චසමුප්පන්නව මොන දුකක්ද අපට උරුමකොට දෙන්නේ. සළායතනයෝ ආශ්වාදය උදෙසා නොව, විදර්ශනාව උදෙසාම, කායානුපස්සනාව උදෙසාම කමටහනක් කොට ගන්න. ඇස අමතක කරලා ඔබට ලෝකයෙන් මිදෙන්න බැහැ. ඇස අවබෝධ කරලයි ඔබට ලෝකයෙන් මිදෙන්න පුළුවන්. නාමරූප නිරෝධා, සළායතන නිරෝධෝ.
ලේ, මස්, නහර වලින් සැදි හිස් සළායතනයන්, රස්තියාදුකාර භවාත්රයේ අපිව වල්මත්කොට දමන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවයන් කෙරෙහි තෘෂ්ණාව ක්‍රමානුකූලව සියුම් කරන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ලෝකය අතහැරීමේ පළමු වෙඩිමුරය වෙන්නේ. මේ සළායතනයේ ඉපදුනේ පෙර ජීවිතයේ චතුරාර්ය සත්‍යය නොදැක්ක නිසාමයි. චතුරාර්ය සත්‍යය නොදන්නාකම හේතුවෙන්ම සකස්වෙන, අවිද්‍යාව කෙරෙහි කළකිරෙන්න. සළායතනයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ ගොඩක් කොට දකින්න. ලස්සන රූපයක් දැක්කොත්, ඒ ලස්සන රූපය ඉපදුනේ අවිද්‍යාව නිසාම යැයි දකින්න. සළායතනයෝ ලස්සන වශයෙන් නොව, දුක් දෙන සතුරාවන අවිද්‍යාව වශයෙන්ම දකින්න. සළායතනයන්ට අරමුණු වෙන සෑම බාහිර රූපයක්ම, අවිද්‍යාවේම හිස් නිෂ්පාදනයක් බවම දකින්න. සළායතනයන් කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න. ඒ කලකිරීම විදර්ශනාවෙන් නොඇලීමක් බවට පත්කොටගන්න. සළායතනයන්ට ජරා, ව්‍යාධි, මරණ සෙවනේ තිබෙන්නට හැර, සළායතන හේතුවෙන් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කොට දමන්න.