බාහිර රූප හේතුවෙන් අසම්මත රාග සිත් ඇති වෙනවා

අපි හැමෝගෙ ම ජීවිත ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන්නේ පුදුමාකාර වේගයකින්. පසුගිය කොරෝනා ඇඳිරිනීතිය සමයේදී රජයේ සහ පෞද්ගලික ඔසුසල් ඉදිරියේ පෝලිම් ගැසී සිටි පිංවතුන් දකිද්දී, වෙළෙඳපොළේ අලෙවිවන ඖෂධ, විටමින්, සනීපාරක්ෂක භාණ්ඩ, රූපලාවණ්‍ය භාණ්ඩ දෙස බැලීමේදී, අපේ ජීවිත ජරා, ව්‍යාධි, මරණයන් විසින් මොනතරම් නම් පීඩාවට පත්කොට තිබෙනවාද? නැවතීමක්, නිමාවක්, අවසානයක් නැති ජාති, ජරා, ව්‍යාධි, මරණ උගුලක අප සියල්ලෝම පැටලී සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් පටිච්ච්සමුප්පාද ධර්මයන්ට අදාළව ජීවිතය නොදකින පිංවතුන්ගේ ජීවිත පැටලූනු නූල් බෝලයක් වගේය කියලා. නූල් බෝලයක් පැටලූනහම එම පැටලූම ලිහාගන්න නම් සංසුන් මනසක්, සමාධිමත් සිතක් තිබෙන්නට ම ඕනේ. වර්තමානයේ අපට කොහෙන්ද සමාධිමත් සිතක්. දෑඟිලි බැඳලා, අත පැන් වත්කරලා, පංචනීවරණ ධර්මයන් සහේට ගත්ත අපි, ඇයට තුරුල්වෙලාමයි දවස ගෙවන්නේ.

අවිද්‍යාවේ පෝෂක ධර්මයන් බවට පත්වෙන්නේ පංචනීවරණ ධර්මයන්මයි. පංචනීවරණ ධර්මයන් සහේට ගත්ත පිංවත් අපි, අපේ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් සංචේතනයෙන් උපදින ඵස්සයේ දරුවෝද, පංචනීවරණයන්ගේම ලේ උරුමයෙන් උපදින ඇලීමේ සහ ගැටීමේ දරු පැටවුන්මය.

තාරුණ්‍යයෙන් විකසිත වූ සුන්දර විවාහක තරුණයෙක් පසුගිය දිනක භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස මට බොහෝම තරුණ රූමත් බිරිඳක් සිටිනවා. නමුත් ස්වාමීන් වහන්ස, මට වෙනත් රූමත් කාන්තාවන් දැක්කම, මගේ බිරිඳ අමතකවෙලා මට රාගය ඇතිවෙනවාය කියලා. හැමෝම සඟවාගෙන ජීවත්වුණත්, හුඟදෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් ඉහත ප්‍රශ්නය. ලස්සන නෝනා කෙනෙක් ගෙදර තියාගෙන, අන්සතු ළඳුන්ගේ රූපයන් දැකලා රාග සිත් ඇතිකොට ගන්නා මහත්වරුන්ට භික්ෂුව කුමක් නම් කියන්නද?

තෘෂ්ණාවේ කුළුඳුල් දරුවා නොසෑහීමයි. ඒ නොසෑහීමේ ලේ උරුමය පටිච්චසමුප්පන්නව භවයෙන් භවය පරම්පරා කෝටි කීයක්නම් ගෙවාගෙන පැමිණ තිබෙනවාද? මේ මෑතකදී භික්ෂුව ප්‍රතිකාරයක් ගන්න ආයුර්වේද දොස්තර මහත්මයෙක් ළඟට ගියා. ඒ දොස්තර මහත්මයා කියනවා, අපේ වෙද පරම්පරාව, පරම්පරා තිස් පහක පටන් මේ වෙද සාස්තරය රැකගෙන පැමිණියාය කියලා. මේ අපේ තිස්පස්වැනි පරම්පරාවයි කියලා. තිරිසන්, ‌ප්‍ර‌ේත, අසුර, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, පරම්පරා කෝටිගාණක් පසුකොට ගෙන පැමිණි අපිට පරම්පරා තිස්පහක් කියන්නේ මොනතරම් නම් පුංචි නිමේෂයක්ද? ඒත් ඒ පුංචි නිමේෂය කෙරෙහි අපි ඇතිකොට ගන්නා වූ අසීමිත තෘෂ්ණාව, කල්ප ගණනාවක් දීර්ඝ පරම්පරා ගණනාවක උරුමය අපිට ලබා දෙන්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපයේ ආස්වාදයක් තිබෙනවාය කියලා. නවයොවුන් තරුණයකුගේ හෝ තරුණියකගේ තාරුණ්‍යයෙන්, හැඩයෙන්, වර්ණයෙන්, ලාලිත්‍යයෙන්, රිද්මයෙන්, විකසිත වුණාවූ රූපය, රූපයේ ආස්වාදය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජය සමඟ ජීවත්වීමේදී අපි දකිනවා රෝසමල් වගේ ලස්සන තරුණ ජීවිත සමාජය තුළ විකසිතවෙලා තිබෙනවා. රෝස මලේ නටුවේ කටු තිබුණත්, මල් කෙරෙහි ඇතිකොටගත් ආස්වාදය නිසාම කටුවල ආදීනවයන් අපි දකින්නේ ප්‍රමාදවෙලා.

මනුෂ්‍ය ප්‍රජාව තුළ මෝදුවෙන රූපයේ ආස්වාදය නිසාම, කාමයේ ආස්වාදය නිසාම, බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට පංචශීලයේ ආරක්ෂාව තුළ හිඳිමින් තම නීත්‍යානුකූල විවාහක සැමියාගෙන්, බිරිඳගෙන් සතුටුවීමේ නිදහස ඔබට ලබාදී තිබෙනවා. පිංවත් ඔබ විවාහක බිරිඳ ගෙදර සිටියදී, බාහිර රූපයන් කෙරෙහි ආස්වාදයෙන් රාග සිත් ඇති කොටගන්නේ නම්, කාමයේ වරදවා හැසිරෙන්නේ නම්, ඔබ බුදුරජාණන් වහන්සේටත් අකීකරු දරුවෙක් වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරට ගිය පිංවතෙක් වෙනවා.

පිංවත් ඔබේ සිත යම් බාහිර රූපයක් හේතුවෙන් අසම්මත ලෙස රාග සිත් ඇති වෙනවා නම්, එම රූපය කායානුපස්සනාව තුළ විසිරුවා දකින්න. එම රූපය කෙරෙහි සකස්වෙන ඇලෙන සිත වේදනානුපස්සනාවෙන් දකින්න. එම රූපය කෙරෙහි සකස්වෙන රාග සිත් චිත්තානුපස්සනාවෙන් දකින්න. ලස්සන කියන්නේ, රූමත්භාවය කියන්නේ, රාගය සහ විරාගය කියන්නෙත් අනිත්‍ය වූ ධර්මතාවයන් හැටියටම දකින්න.

භික්ෂුව දෑස් පියාගෙන දකිනවා, සංසාරයේ මම සක්විති රජ වෙච්ච අවස්ථාවේදී, මගේ පිනෙන් මට ලැබුණු පංචකළ්‍යාණියක් බඳු ස්ත්‍රී රත්නයෙන් මම සෑහීමකට පත්වුණේ නැහැ. මම ශක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ මගේ පිනෙන් මට ලැබුණු පංචකළ්‍යාණියක් බදු සුජම්පතියගෙන් සෑහීමකට පත්වුණේ නැහැ. නොසෑහීම අපි ළඟ ඉතිරිකරලා, ඒ සුන්දර සංස්කාරයෝ අපිට හොරාම වෙනස්වෙලා ගියා. ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කරද්දී සකස්වෙන සෑම විඳීමක්ම, මම යැයි, මගේම යැයි, නිත්‍ය, සැප, සුබ යැයි දැකීම නිසාම, අපි බාහිර ලස්සන රූපයන් පසුපස රාගයෙන් හඹායනවා යැයි සිතා, අවසානයේ අපි හඹාගොස් තිබෙන්නේ, තමාගේම අවිද්‍යාවෙන් පෝෂණය වූ ඵස්සය නිෂ්පාදනය කොට දුන් ඇලීම් සහ ගැටීම් පසුපසමයි.

පිංවත් පාසල් දැරියක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමින්වහන්ස, මම මල්වලට ගොඩාක් ආදරෙයි, මම මල්වලට ගොඩාක් ආදරය කළොත්, ඊළඟ ජීවිතයේදී මම මලක් වෙලා උපදියිද කියලා. භික්ෂුව එම පිංවත් දියණියට ප්‍රකාශ කළේ. සජීවී ඔබ කෙසේ නම් අජීවී මලක් වෙලා උපදින්නද කියලා. හැබැයි ඉතින් පිංවත් ඔබ සීමාව ඉක්මවා මල්වලට ආදරය කළොත්, අවිද්‍යාවෙන් පෝෂණය වෙන ඔබේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, ලස්සන මලකට, ලස්සන මල් වත්තකට, අරක් ගත්ත දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදීමේ අනතුරක් තිබෙනවාය කියලා. හැබැයි ඉතින් ඔබ මල්වලට ආදරය නිසාම, මල්වල පෙති කඩා නොදමන නිසාම, ඔබ ඊළඟ ජීවිතයේ මී මැස්සෙක් හෝ බඹරෙක් වෙලා නම් උපදින්නේ නැහැ යැයි කියලා භික්ෂුව එම දැරියට කියලා දුන්නා.

පිංවත් ඔබ සැබැවින්ම මලකට ආදරය කළාය කියන්නේ, එම මලේ ආස්වාදයට බැඳීයෑම නම් නොවේ. පිංවත් ඔබ දක්ෂනම් දකින්න, ඕනෑම ලස්සන මලක් පෙති මැළවිලා පරවෙලා යනවාය කියලා දකින්න. ඔබ ඒ ලස්සන මලට සැබැවින්ම ආදරය කළා වෙනවා. ලස්සන මලක් දැකලා සුවපත් වේවා යැයි මෙත් සිතක් ඔබට ඇතිකොටගන්න පුළුවන් නම්, ඔබේම සුන්දර සංස්කාරයන්ට ඔබේ කෘතවේදීභාවය දැක්වූවා වෙනවා. පිංවත් ඔබ ලස්සන මල් දකින්නේ පෙර විචිත්‍රවූ සංස්කාරයන් නිසාමයි. කාන්තාරවලින් ගහන රටක, වියළි දේශගුණය සහිත ප්‍රදේශවල පිංවතුන්ලාට ලස්සන මල් දකින්න නැහැ. මේ ධර්මතාවයන් පෙර සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්මයි.

ලස්සන රූපයක් දැකලා, එම රූපයන් ගැන සිතලා රාගය සකස්වෙන පිංවතුන්ලාට පුළුවන් නම්, ලස්සන රූපයන් ඉදිරියේ රාගය සකස්කොට ගන්නේ නැතිව, එම ලස්සන රූපය කෙරෙහි සුවපත් වේවා යැයි මෙත් සිතක් ඇතිකොට ගන්න, පිංවත් ඔබ සැබැවින්ම ඒ ලස්සන රූපය ධර්මානුකූලව වින්දා වෙනවා. අනුනගේ ලස්සන රූපයෙන් ඔබ මෛත්‍රියට අදාළව ආනිසංස එකොළහක් ජීවිතයට එකතුකොට ගත්තා වෙනවා. උතුම් සම්මා දිට්ඨියට අදාළව කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය පෝෂණයකොට ගත් පිංවතා, ලස්සන රූපයන් දකින්නේ ධර්මයක් හැටියටමයි. ඒ ධර්මයට තමයි පෙර පිනෙන් පෝෂණයවූ රූපයේ ආස්වාදය කියලා කියන්නේ. පිංවත් ඔබ නොදන්නාභාවය නිසාම හේතුඵල ධර්මයක් කෙරෙහි, රාග සිත් ඇතිකොට ගන්න එපා. ඔබ ධර්මයේ අර්ථයන්ට අගෞරව කළා වෙනවා. අතීත සුන්දර සංස්කාරයන් රාගයෙන් අපයෝජනය කරන්න එපා. පිංවත් ඔබ ලස්සන රූපයක් දකිද්දී මෛත්‍රී සිතක් ඇතිකොට ගෙන, එම මෙත් සිතත් අනිත්‍යවූ සංස්කාරයක් වශයෙන්ම දැක්කොත් හෙට දවසේ මීට වඩා ලස්සන රූපයක් දකින්න ඔබට අවස්ථාව ලැබේවි.

මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියටත් බොහෝම ලස්සන පිංවතුන් සහ පිංවතියන් එනවා. ඒ සෑම රූපයක්ම භික්ෂුව පිළිගන්නේ විදර්ශනාමය මෙත් සිතින්මයි. ලස්සන කියන්නේ පෙර ජීවිතයේ ශීලයේ, මෛත්‍රියේ, දානයේ ඵලයක්. අපි මේ ධර්මතාවයන්ට කෘතවේදී වෙන්න ඕනේ. පිංවත් ඔබ අනුනගේ ලස්සනට ධර්මයෙන් කෘතවේදී නොවුණොත්, ඔබේ ශීලය, ඔබේ මෛත්‍රිය, දුර්වලවෙලා යාවි. අද දවසේ පිංවත් ඔබ, ලස්සන රූපයන්ට විදර්ශනාත්මක මෙන් සිතකින්ම කෘතවේදී වුණොත්, අදට වඩා ලස්සන රූප, හෙට දවසේ ඔබ ඉදිරියට ඒවි. භික්ෂුව අත්දැකීමෙන්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ. මෙය සටහන් තබන භික්ෂුව, දෑස් පියාගෙන සමාජයේ ජීවත්වෙන සෑම ලස්සන රූපයක්ම සිහිපත්කොට ගෙන සුවපත් වේවා යැයි කියලා, මෙත් සිතක් ඇතිකොට ගන්නවා. ඒ මෙත් සිතත් විදර්ශනාවෙන්ම දකිනවා. එවිට භික්ෂුව තුළ ඇතිවෙන්නේ රාගයක් නොවේ, විදර්ශනාත්මක සම්මා සමාධිමත් සිතක් පමණක්මයි.

අනුනගේ ලස්සන ඉදිරියෙත්, අනුනගේ අවලස්සන ඉදිරියෙත් ඵස්සයේ කඩුල්ල විවෘතකොට ගෙන, ලෝකය අනාගතය දෙසට ජවසම්පන්නව දිවයනවා. තෘෂ්ණාවෙන් ජවය ලබන සිතුවිල්ලක් පසුපස තවත් සිතුවිල්ලක් කුහුඹි රැලක් වගේ දිවයනවා. විඳීම් ලෝකය අස්වද්දනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපද්‍රව්‍ය කන්ටේනර් පිටින් භවාත්‍රයට ගොඩබානවා.

ඇසේ ඵස්සයෙන් නිදහස් වෙන්න තාමත් අපිට බැරිවුණා. කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ, ඵස්සයෙන් නිදහස් වෙන්න තාමත් අපිට බැරිවුණා. අපි විඤ්ඤාණයේ මාංචු දෑතට දමාගත්, ඵස්සයේ සිරකරුවෝ. අවිද්‍යාවෙන්ම දඬුවම් ලබනවා. ඇස, කන ආදී වූ සලායතනයන්, මම යැයි ගන්නවා. මගේම යැයි ගන්නවා. මගේ ආත්මය යැයි ගන්නවා. ඇස තුළ මම දකිනවා. සලායතනයන් කායානුපස්සනාව තුළ විසිරුවා දකින්නේ නැහැ. අවිද්‍යාවෙන් උපන් ඇස දෙස සිහියෙන් බලන්න. මනසින් ඔබේ ඇස ගලවලා ඔබේ අතට ගන්න. නුවණින් ඔය ඇස පෙරළ පෙරළා බලන්න. ඔය ඇස තුළ මම කියලා කෙනෙක් සිටිනවාද? ඔය ඇස තුළ මගේ කියලා දෙයක් තිබෙනවාද, නැහැ නේද? ඔය ඇස් දෙක කුණුවෙන මස් ගොඩක්, කුණුවෙන දියර ගොඩක්. බාහිර සතර මහා ධාතුවටම මුහුවෙලා යන ඇසක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක්වූ නිල්වන් දෑස් යුගලය, පිරිනිවන් මංචකයේදී පූජනීය අළු ගොඩක් බවට පත්වුණා. යශෝධරා උත්තමාවියගේ පංචකල්‍යාණයෙන් පෝෂණය වූ දෑස් යුගල, අළු ගොඩක් බවට පත්වුණා. මේ සටහන කියවන ඔබේ ඔය පිංවන්ත දෑස් යුගල, අනාගතයේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙලා යන හැටි නුවණින් දකින්න. ඔබේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට ම මුහුවෙලා යන හැටි නුවණින් දකින්න. ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න. කවදාහරි දවසක මහ පොළොවේ පසට මුහුවෙලා යන ඇසෙන් රූපයන් දැකලා, රාග සිත් ඇතිකොට ගන්න එපා. ඔබේ ඇස මහපොළොවට පස්කරලා, ඇසේ ඵස්සයෙන් සකස්වුණ රාග සිත, පටිච්චසමුප්පන්නව කල්ප ගණනාවක් දුර ගමනක් ඔබව අරගෙන යාවි. අපි තවමත් පටිච්චසමුප්පාද නූල් බෝලයේ, පැටලූම නිරවුල් නොකරගත් නිසාම, නාමරූප පච්චයා සලායතනයෝ අනාගත භව ගමනේ තව තවත් සක්‍රීය වේවි.