ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙන්න, ශීලයට, සමාධියට, ප්‍රඥාවට, ඥාන දර්ශනයන්ට, විමුක්තියට දායාද වෙන්න කියලා. ඔබලාගේ ශාස්තෘන් වහන්සේ උතුම් නිකෙලෙස් විවේකයෙන් ගත කරත්දී, මාගේ ශ්‍රාවකයන් වන ඔබලා අවිවේකයෙන් නොහික්මෙන්න එපාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට රට, ජාතිය, ආගම, පන්සල, ආරණ්‍යය, සමාජ වගකීම් මේවා නිසා විවේකය ගොඩාක් අඩුයි. මේ දවස්වල කොරෝනා ඇඳිරි නීතිය නිසා, ලොකු විවේකයක් අපිට ලැබිලා තිබෙනවා. නමුත් ඒ විවේකයත් අපි ගත කරන්නේ, මරණ බියෙන් නම්, රෝග බියෙන් නම්, සැකය විසිරුණු සිතින් නම්, කොරෝනාව නිසා අපිට ලැබුණු විවේකයත්, ධර්මානුකූලව කෙලෙස් වඩන අවිවේකයක්මයි.
ධර්මානුකූලව අපි විවේකයක් ලැබුවාය කියන්නේ, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්චා පංච නීවරණ ධර්මයන්ගෙන් තාවකාලිකව හෝ මිදී, සම්මා සමාධිමත් සිතින් වාසය කිරීමයි. අපි දවසේ පැය විසි හතරම, කුටියට වෙලා විවේකීව, කාම සිතුවිලි වඩනවා නම්, ද්වේශ සිතුවිලි වඩනවා නම්, ලෝභ සිතුවිලි වඩනවා නම්, අපේ ජීවිත අන්ත අවිවේකී ජීවිතයකි. පිංවත් ඔබ ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඔස්සේ තෘෂ්ණාව පෝෂණය කරන මොහොතක් පාසාම, තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ද, උපාදානය හේතුවෙන් භවය ද, ඔබ තුළින්ම පටිච්චසමුප්පන්නව පෝෂණය කරනවා. ඔබ විවේකයෙන් කුටියේ සිටියාට තෘෂ්ණාවෙන් නිත්‍ය, සැප, සුබ, ආත්මීය සංඥාවෙන්, යම් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණ ධර්මයන් අල්ලා ගන්නා මොහොතේදී, ඔබ භවයට දුවමිනුයි සිටින්නේ. ඔබට නොතේරුනාට ඔබ භව ගමනේ හති දමමිනුයි සිටින්නේ. විවේකී-කුටියෙත්, විවේකී-කාමරයෙත් අපි ලබන අවිවේකය එයයි.
මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, නොසැලෙන, නොකැඩෙන නික්ලේෂී අර්ථවත්ම විවේකයක් තිබෙනවා. ඒ විවේකය තමයි, අවිද්‍යාව නිරෝධය කිරීමෙන්, බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලා ලබන ආර්ය විවේකය. අවිද්‍යාව ප්‍රහීණය නොකළ භික්ෂුවක් ලබන සම්මා සමාධියේ ධ්‍යානගත විවේකය, අනාර්ය විවේකයක්. එය කැඩෙන විවේකයක්, සැලෙන විවේකයක්, වේදනාවේ ආශ්වාදය හේතුවෙන් රූපාවචර සහ අරූපාවචර උපාදානයන්ට බැඳී යන, ඒ බැඳීයැම නිසාම නැවත භවය, ජාති, ජරා, මරණ, ව්‍යාධි පෝෂණය කරන විවේකයක්. ඒ කියන්නේ මාරයාගේ ඇස වසා භව ගමනේ දුවන විවේකයක්.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා, උතුම් මහ රහතන් වහන්සේලා සතු ආර්ය විවේකය, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය කළ විවේකයක්. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් එකතුව සකස්වෙන, ඵස්සය ඉදිරියේ තෘෂ්ණාවේ ”කිරි මුල්” පවා විනාශකොට දැමූ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නොදුවන, ඒ නිසාම හති නොදමන ආර්ය විවේකයක්. ඔබ ලබන අනාර්ය විවේකයේදී ඇලීම් සහ ගැටීම් දෙක තාවකාලිකව යටපත්කොට, උපේක්ෂාව පෝෂණය කරන අතර, ඔබ ලබන ආර්ය විවේකයේදී, ඇලීම්, ගැටීම්, උපේක්ෂා ධර්මයන් තුනම නිරෝධය කොට දමනු ඇත.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ආර්ය විවේකයෙන් වැඩ සිටියදී, ශ්‍රාවක භික්ෂූන් වන අපි කෙසේද විවේකයෙන් හික්මිය යුත්තේ? කෙසේද ඊට මාර්ගය මතුකොට ගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට තිබෙනවා.
ශාස්තෘන් වහන්සේ විසින් පිංවත් භික්ෂූන් වන අපිට යම් ධර්මයක් ප්රහාණය කර දමන්න යැයි දේශනා කොට තිබේනම්, එම විනාශකාරී ධර්මයන් ප්රහාණය කොට දමන්න. ශාස්තෘන් වහන්සේ කුමන ධර්මයන්ද ප්රහාණය කොටදමන්න කියලා අපිට කියන්නේ? අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මයන්, අනුවණින් මෙනෙහි කිරීම අපේ භික්ෂු ජීවිත වලින් බැහැර කරන්න. අසත්පුරුෂ පුද්ගලයා තමා පමණක් නොවේ, වැරදි ධර්මයන්, විකෘති ධර්මයන්, වැරදි ප්රතිඥාවන් දේශනා කරලා අනුන්වත් විනාශකොට දමනවා.
උතුම් තෙරුවන් සරණ කෙරෙහි සැක උපදවන, තෙරුවන්ගේ උතුම් ගුණයන් විකෘති කරන, උතුම් විනය ධර්මයන් අඩු තක්සේරුවකට දමන, මාර්ගඵල උන්මාදය ඉහ වහා ගිය, කර්මයේ කර්මඵල විශ්වාසය නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටිය ජීවිත වලින් බැහැර කරන්න, ප්රහාණය කරන්න.
වැඩිහිටියන්ට ගරු නොකරන, තමා තමාටම හිංසා පීඩා කොටගන්න, නෙක්ඛම්මය වඳ බැස්සා වූ, වචනයේ සංවරභාවයක් නැති, මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය, අපේ භික්ෂු ජීවිත වලින් ප්රහාණය කරන්න. උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ මිච්ඡා සතිය, මිච්ඡා සමාධිය අපේ භික්ෂු ජීවිතවලින් ප්රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අපගේ භික්ෂු ජීවිත තුළ වැඩෙන ශීල විශුද්ධියේ සහ චිත්ත විශුද්ධියේ දුර්වලභාවයන් නිසාම, අපි අපේ ජීවිතවලට ගලපා නොගන්නා උතුම් පටිච්චසමුප්පාද ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන් හේතුවෙන් සකස්වෙන දිට්ඨි විශුද්ධියේ දුර්වලභාවයන් හේතුවෙන් අපි තුළ බුර බුරා වැඩෙන සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින, නිවන් මාර්ගය අවහිර කරන පළමු කඩඉම, සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ අන්‍යශීලවෘතයන් වහ වහා අපේ භික්ෂු ජීවිතවලින් ප්රහාණය කොටදමන්නය කියලා, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට සිහිපත්කොට දෙනවා.
පිංවත් ඔබට, අධිමාන්නයේ කිරුළු පළඳවන නෙක්ඛම්ම සංකප්පය වඳ බැහැපු තැන, ලෞකික ප්‍රඥාව දුර්වල වූ තැන, සරුසාරව වැඩෙන සක්කාය දිට්ඨියේ කුණු හැව, පිංවත් ඔබ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ සහ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ උපකාරයෙන් නිරෝධය කොට උතුම් සෝවාන්ඵල අවබෝධය අවංකව ලැබුවාට පසුව, ඔබේ ඊළඟ අභියෝගය වෙන්නේ කාම, රාග, පටිඝ ධර්මයන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින්, මේ කාම, රාග, පටිඝ ධර්මයන් ප්රහාණය කරන්නය කියලා.
පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය තවදුරටත් දකිමින් කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කළ අනාගාමී අවබෝධය ලැබූ පිංවතාට ඉතිරිව ඇති, අනුශය අවිද්‍යාව තවදුරටත් පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම ඒ අවිද්‍යා අනුශය ප්රහාණය කොට දමන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේත්, උතුම් රහතන් වහන්සේලාත් අතීතයේ විවේකීව, ආර්ය විවේකයෙන් වැඩ සිටියේ, ඉහත පළිබෝධ ධර්මයන් තම ජීවිත තුළින් ප්රහාණය කොට දැමූ නිසාමයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, ලිහිල් කොටගන්න එපාය කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ පටන් තෘෂ්ණා පච්චයා උපාදනං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔස්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පටිච්චසමුප්පන්නව බෝධිසත්ත්වයන් වහන්සේ සිදුකරන ලද මහා පරිත්‍යාගයන් ලිහිල්කොට දකින්න එපා.
මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දීලා, මහ පොළොවේ පස් වලට වඩා ශරීර මාංශ දන්දීලා, දස පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ ශාසනයක්. සක්විති රජ පදවි දහස් ගණනක් දන්දීලා, පෝෂණය කළා වූ ශාසනයක්. භවාත්රයේ සියලූම සත්ත්වයින්ට ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදීම උදෙසා, භව නිරෝධය උදෙසා අර්ථවත්ව ස්ථානගත කළ ශාසනයක්. මේ ලෝක ධාතුවේ බලයට අධිපති වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ බලයේ අණසක බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥාවෙන් බල රහිත කොට පිහිට වූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් උතුම් ප්රාතිමෝක්ෂ ශීලයන් පනවා, වසර දෙදහස් හයසියයක් (2,600* දීර්ඝායුෂ ලබාදුන් ශාසනයක්. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අයිති ලොවුතුරා බුදුරජාණන් වහන්සේටමයි. උන්වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයටමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, චතුරාර්ය සත්‍යය ධර්මයන් මුල්කොට දේශනා කළා වූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මයේදී කුමක නිරෝධය ද, කුමක විනාශය ද දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ නිරෝධයයි. තෘෂ්ණාවේ නිරෝධය මූලික කොටගත්, ගුරු කොටගත් ශාසනයක්. ශ්‍රාවක භික්ෂූන් වන අපි චීවර, පිණ්ඩපාත, සේනාසන, ඖෂධ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට යටත්වයි පරිහරණය කළ යුත්තේ. අපිට ලැබෙන සිවුපසය තෘෂ්ණාවේ වර්ධනය උදෙසා නම් හේතුවෙන්නේ, අපි සම්මා සම්බුද්ධ ශාසනය ලිහිල් කොටගත්තා වෙනවා.
ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදීම උදෙසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම පිහිට මඟහැර ජාති, ජරා, ව්‍යාධි, මරණම පෝෂණය කරන තෘෂ්ණාව පසුපසම හඹා යනවා නම්, අපි ශාසනය ලිහිල් කොටගත්තා වෙනවා.
මෙය සටහන් තබන භික්ෂුව, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලිහිල්කොට දකින්න හරිම බයයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ට, එක දශමයකින් හෝ භික්ෂුව අඩුවක් කරන්නේ නැහැ. භික්ෂුවගේ එකම ඉලක්කය තෘෂ්ණාව ප්රහාණය කිරීමයි. එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ, උදේ, රාත්‍රී ගෙවී යන්නේ ඉහත අර්ථයන් දෙක තුළයි. ඔය අර්ථයයි ශාසනය ලිහිල්කොට නොගත්තා වෙන්නේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ලිහිල් කොට නොගැනීමේ සන්දිට්ඨික විපාකයක් තිබෙනවා. ඒ විපාකය තමයි, එම භික්ෂුව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහිත් තෘෂ්ණාවෙන් බැහැර වෙනවා.
සංස්කාරයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයත් දකිනවා. සියලූ සංස්කාරයෝ අනිත්‍ය වී යනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ. භික්ෂුව මොකුත්ම නොදනිමි. මේ දැක්ම තුළයි ශාසන අර්ථයන්, තමන් තුළ වැඩෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත, පෙර මහා පිනකට අපිට ලැබුණ ශාසනය ලිහිල් කොට ගන්න එපා. හදවතින් නික්ලේශී සිතින්, සෑම මොහොතකම, තෙරුවන්ට වන්දනා කරන්න. මේ උතුම් ශාසනයට කෘතවේදී වෙන්න. දිනපතා තෘෂ්ණාවෙන් බිඳක් හෝ සියුම් කොටගන්න. අපි ශාසනය ලිහිල්කොට තැකුවොත්, කල්ප ගණනාවක් අපිට බුදුරජාණන් වහන්සේ නමකගේ මහා කරුණාව නොලැබී යාවි. අපිට අපේ ජීවිත වලින්, ජීවත්වීම සඳහා ඉතිරිව තිබෙන්නේ බොහොම කෙටි ජීවිත කාලයයි. ඒත් අපි ප්‍රමාද නැහැ. දැන්ම චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව, දුකට එකම හේතුව තෘෂ්ණාව බව සිතන්න. ලැබෙන සිවුපසය ප්රත්යවේක්ෂාවෙන් යුතුව පරිහරණය කරන්න.