අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්ෂුවක් එක් අවස්ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක් දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්වභාවයෙන් යුතු බවයි භික්ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්ද හැඟුණා. භික්ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක් සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා. නිදන කාමරයේ සයනය කළුපාට ඇඳ ඇතිරිල්ලක් එලා කොට්ටයක් සහිතව පිළිවෙළට තිබුණා. කිසිවෙක් කාමරයේ නැහැ. හරිම නිශ්චලයි.
නමුත් එකපාරටම අර සයනයේ එලලා තිබූ ඇඳ ඇතිරිල්ල මෑත් කරගෙන තම ස්වරූපය ඝන භාවයට පත්කරගනිමින් තරුණ ප්‍රේතිය ඇඳෙන් නැඟිට කාමරයෙන් එළියට ගියා. ක්ෂණයකින් නැවත කාමරයට ආවා. ඇඳ ඇතිරිල්ල පොරවාගෙන ඇය නැවත නිදාගත්තා. එහෙත් දැන් ඇඳේ කිසිවෙක් නැහැ. ඇඳ ඇතිරිල්ලත් හොඳට පිළිවෙළට නැවත තිබෙනවා. ඒ කියන්නේ ප්‍රේතිය ඇඳ ඇතිරිල්ල යට සිsටිනවා. කිසිවකුට පෙනෙන්නේ නැහැ. දකින්න බැහැ. කවුරුවත් හිතන්නේ නැහැ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක් ඉන්නවා කියලා. බලන්න ඇය උපාදානය කරගත් ස්ථානය. ඔබට හිතන්න පුළුවන්ද?
ඔබ නිවසේ කාමරයේ සයනයේ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්, ප්‍රේතයෙක් සැතපී ඉන්නවා කියලා. ඉහත භික්ෂුවට ඇය ඝන ස්වභාවයෙන් දර්ශනය වූ නිසා මේ ප්‍රේතිය දැකගැනීමට හැකිවුණා. ගවුමක් ඇඳගෙනයි සිටියේ. තරුණියක් වුණත් ඇය මලානික, රෝගී ස්වභාවයෙන් යුත් ප්‍රේතියක්. භික්ෂුව ඇය දැක ඇත්තේ මලානික, මලමිනියක් ඇවිදින ස්වරූපයෙන්. මුහුණේ බිය මුසු හැඟීමක් තිබුණා. මගේ තැන, මගේ ස්ථානය අහිමිවේය කියන හැඟීමකින් වගේ මහත් තන්හා සහගත සිතකින් ඇය කාමරයෙන් එළියට ගිය සැනින්ම නැවත කාමරයට පැමිණ, සයනයේ ඇඳ ඇතිරිල්ල ඇතුළට ගොස් ඇයගේ ඝන කයේ ස්වරූපය නැතිකරගත්තා. ඇය මනුෂ්‍ය ජීවිතයේ එම නිවසේ ජීවත් වූ තරුණියක්. ඇය රෝගීව මියයන මොහොතේ තමන් අල්ලාගත් තැන ප්‍රේතියක් ලෙස නැවතත් ප්රතිසන්ධිය ලබන්නට ඇතැයි සිතන්නට පුළුවන්. බලන්නකෝ වාසනාවන්ත මනුෂ්‍ය දියණියකගේ අවාසනාවන්ත නැවත උපත මොන දුකක්ද කියලා. කවදා සැනසිල්ලක්, ගැලවීමක් ලබයිද කියලා. මේ ප්‍රේතිය ඇඳට නැඟ ඇඳ ඇතිරිල්ල යටට යන්නේ ඉඩෝරය දැඩි කාලයක වතුර වලක් දැක මී හරකෙක් යම් සේ තෘෂ්ණාවකින් එම වතුර වළට බසීද එම ස්වරූපයේ කැමැත්තකිනුයි. එලෙස ඇය ඇඳ ඇතිරිල්ල යටට ගොස් නිදා ගනී. එය ඇය ගත් උපාදානයේ බලවත්කමයි. මේවා පාඩමට ගෙන ඔබත් ස්ත්‍රී පුරුෂ වයස් භේදකින් තොරව කුසල් දහම් වඩා ජීවිතයෙන් අතහැරීම පුරුදුකර මෙවැනි දුක් දෙන සතර අපායෙන් මිදෙන්නට අවශ්‍ය කරුණු කාරණා ජීවිතයට එකතුකර ගන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්ඛිත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක් ආරක්ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය පවා මගේ කර නොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්ති විඳින්න. ඔබේ සැප උදෙසාද, අන්‍යයන්ගේ සැප සතුට උදෙසාද, ශාසනය උදෙසාද යොදවන්න. ඔබද සතුටුවෙන ගමන් ඒවා අනිත්‍ය බවත් මගේ අච්චී සීයා, මගේ අම්මා තාත්තා මේ සියල්ල දමලයි, තියලයි මියගියේ. කිසිවක් රැගෙන ගියේ නැහැ. මම ද මේ කිසිවක් අරගෙන යන්නේ නැහැ කියලා, ඉහත දේවල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්ති විඳීමට පුරුදුවෙන්න. ඔබ ඒවා මගේ කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාවෙන් බැඳුනා යනු, අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔබේ කරගැනීමකි.