සංඝානුස්සතිය – 4
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්, වර්තමානයේ මොන තරම් නම් ගොරෝසු මනුෂ්‍යයන් බවට පත්වී තිබෙනවාද? ඉරහඳ, තාරකා, මහපොළොව, මහ මුහුද, අව්ව වැස්ස කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැදුණාවූ රූපයන්මයි. මේවා හේතූන් නිසාම කිපීමට ලක්වෙනවා. වෙනස්වීමට ලක්වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සියුම් සහ දැඩිභාවය මත සතර මහා ධාතුවේ වෙනස්වීම අඩු වැඩි ස්වභාවයට පත්වෙනවා.
පිංවත් ඔබ වැඩිපුර ශීතල වතුර පාවිච්චි කළොත් සෙම, වාතය කිපෙනවා. එවිට සෙම්ප්‍රතිශ්‍යාව, පීනස හැටියට ශරීරය ප්‍රතික්‍රියා දක්වනවා. ඔබ උෂ්ණාධික ආහාර වැඩිපුර ගත්තොත්, තේජෝ ධාතුව කිපෙනවා. එවිට රුධිරය කෝපවීම්, දද, කුෂ්ඨ හැටියට ශරීරය ප්‍රතික්‍රියා දක්වනවා. පිංවත් ඔබේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව ඉහත ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වනවා වගේම, බාහිර සතර මහා ධාතුව වන ඉර, හඳ, තාරකා, මහා සාගරය, මහපොළොව ආදිය සතර මහා ධාතුවේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන්, අධික්රියාකාරිත්වය හේතුවෙන්, ප්‍රතික්‍රියා දක්වනවා. පිංවත් ඔබේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව කිපීමට ලක්වන ප්‍රධානම කාරණය තමයි, අධි තෘෂ්ණාවෙන් ඔබ සිදුකරන ආහාර, නිවාස, ඖෂධ, ඇඳුම් පැළඳුම් පරිභෝජනය. පරිහරණය.
පිංවතුන්ලාගේ අධි පරිභෝජන රටාවට අවශ්‍ය ධනය සොයාගෙන යන ගමනේදී, මුදල් තෘෂ්ණාවෙන් සිදුකරන මහා පරිමාණයේ පාරිසරික විනාශයෙන්, පරිසරයට මුදාහරින විෂවායු සහ අපද්‍රව්‍යයන්, මහපොළොව යට සිදුවන කැණීම්, ලෝකයට හොරා සිදුවන න්‍යෂ්ටික පිපිරවීම් ආදියෙන් ලෝකය ඔබම වූ කල, ඔබේ අනාගත ලෝකය නැවත ගොඩනැඟීමේ කටයුත්ත ඔබ විසින්ම ජයටම සිද්ධකොට ගන්නවා. පාරිසරික විනාශයන් මතින් අනාගත ලෝකය ඔබම ගොඩනඟාගත්තත්, ඔබට අමතක වූ දෙයක් තිබෙනවා. ඒ අමතක වූ මතකය භික්ෂුව මෙලෙස ඔබට මතක්කොට දෙනවා.
රූපය නිරතුරුවම වෙනස් වෙනවා. මේ ජීවිතයේදී ඔබට හිමි මනුෂ්‍ය රූපය, ඊළඟ ජීවිතයේදී තිරිසන් රූපයක් වෙන්න පුළුවන්. එවිට ඔබම අතීතයේ විනාශ කළ පරිසරය හේතුවෙන් පටිච්ච සමුප්පන්නව, නියඟයට අසූවූ පරිසරයක වතුර ටිකක්, තණකොළ ටිකක් නැතිව කේඬෑරී වී ගිය එළදෙනෙක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන්. සංස්කාරයන්ට අදාළව රූපය වෙනස්වෙනවා නිසි විදිහටම. මනුෂ්‍යයන් වශයෙන්, මනුෂ්‍ය ධර්මයන්ට අදාළව හැසිරුණොත් පමණයි, නැවත ඔබට මනුෂ්‍ය රූපයක් ලැබෙන්නේ. මේ ඔබ ලැබූ මනුෂ්‍ය ජීවිතය තුළ දෙවියෙක් ලෙස ඔබ ජීවත්වුණොත් පමණයි, පටිට්ඡසමුප්පන්නව, ඊළඟට ඔබට ලැබෙන රූපය දිව්‍ය රූපයක් බවට පත්වෙන්නේ. මේ ජීවිතයේදී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් පුහුණු කළොත් ඊළඟ පටිච්චසමුප්පන්න රූපය සමාධිමත් බ්‍රහ්ම රූපයක් බවට පත්වෙන්නේ. මේ ජීවිතයේදී මේ සියල්ල පිළිබඳ තෘෂ්ණාව නිරෝධය කළොත් පමණයි, මේ ජීවිතයේදීම පිංවත් ඔබේ භව ගමන නිවී යන්නේ.
බෞද්ධකමට ආදරය කරමින් සිටියාය කියලා වැඩක් වෙන්නේ නැහැ. බෞද්ධකම මගේ කරගෙන හිටියාය කියලා වැඩක් වෙන්නේ නැහැ. බෞද්ධකම නිසාම ලෝභ, ද්වේෂ, මෝහ මූලයන් ජීවිතයට එකතුකොටගන්නවා නම් වැඩක් නැහැ. පිංවත් ඔබ බෞද්ධකමින් ප්‍රයෝජන ගන්න ඕනේ. තමා තුළින් ධර්මයත්, ධර්මය තුළින් තමාත් දකින්න දක්ෂ වෙන්න ඕනේ. එසේ නොවී පිංවත් ඔබ මේ බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යටවුණොත්, මේ ජීවිතයේ පිංවත් බෞද්ධයෙක් වූ ඔබ, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී ක්‍රිස්තියානි පූජකතුමෙක්, කෝවිලක පූසාරි කෙනෙක් වෙන්න පුළුවන්.