පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් ලිපියෙන් අවසන් වන අතර මෙතැන් පටන් කොටස් කිහිපයකින් යුක්තව පළ කෙරෙනුයේ එයට අදාළව භික්ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි.
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ‘ස්වාමීන්වහන්ස, මාරපාක්ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?’ කියලා.
මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ අනිවාර්යයෙන්ම පංචඋපාදානස්කන්ධයට අදාළව ඇතිකොට ගන්නා තෘෂ්ණාව නිසාමය. සක්කාය දිට්ඨියෙන් පෝෂණය වුණු පංචඋපාදානස්කන්ධය නිරතුරුවම තමා තුළින් සිල් පද බිඳිමින්, අකුසල මූලයන් තව තවත් තීව්ර කරමින්, සුදුසු අවස්ථාවන්හිදී ද්විත්ව චරිතයක් ලෙසින් පෙනී සිටිනවා. මෙහිදී ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ගෙන් ඔද්දල් වුණු විඤ්ඤාණය නමැති මැජික්කරුවා, අපූරු වේශයන්ගෙන්, අපූරු රංගනයන්ගෙන්, අපූරු ගුණාත්මකභාවයක් මවාපාමින් නිසරු දෙය සරු වශයෙන් පෙන්වනවා. මෙතැනදී විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ මැජික් සන්දර්ශනයේ අපූර්වත්වය වර්ණනා කෙරෙන්නේ ද, තවත් විඤ්ඤාණය නමැති මැජික්කරුවෙක් නිසාත්, මෙම ක්‍රියාන්විතය තුළ දෙපාර්ශ්වයටම සිද්ධ වෙන්නේ, මාරයා විසින් මාරයාවම වර්ණනා කිරීම සහ විවේචනය කිරීමයි. විවේචනයත්, වර්ණනාවත් තුළ මාරයාමයි ශක්තිමත් වෙන්නේ. සමාජය තුළ සද්ධර්මයේ අර්ථයන් ගුණාත්මකව වර්ධනයක් සිද්ධවෙන සෑම කාලවකවානුවකදීම, එම සද්ධර්මයේ වර්ධනය නැවත දුර්වලකොට දැමීමට, මනුෂ්‍යයා තුළ අකුසල් මූලයන් වර්ධනයකරවීමට, මාරධර්මයන්ගේ චර්යා රටාවන්, මාරයා විසින්ම උපක්රමශීලීව වෙනස්කොට ගන්නවා.
පිංවත් ඔබ මාරයාව නිරතුරුවම හඳුනා ගන්නේ අධර්මයේ වේශයෙන්. එසේත් නැති නම් අකුසල් මූලයන්ගේ වේශයෙන්. ඉහත සුපුරුදු හඳුනා ගැනීම නිසාම, සද්ධර්මයේ අර්ථයන් ගුණාත්මකව වර්ධනය වන විට, පිංවත් ඔබ දක්ෂයි ඔබ තුළ සකස්වෙන සිල් පද බිඳීම් අවම කොටගෙන, අකුසල මූලයන් සියුම් කොටගෙන, මාරපාර්ශ්වික ධර්මයන්ගෙන් මිදෙන දිශාවට පියවර ඉදිරියට තබන්න. මාරපාක්ෂික බලය කම්පාකරවන මේ තැන, මාරපාක්ෂික ධර්මයන්ට බොහෝම අභියෝගාත්මක තැනක්. ඉවසුම් නොදෙන තැනක්. මෙවැනි අභියෝග හමුවේ මාරයා නිරතුරුවම තම සුපුරුදු උපක්‍රම, ක්‍රමවේදයන්, උපක්රමශීලීව වෙනස්කොට ගන්නවා. දැන් අලුත් ජවනිකාවෙදි මාරයා ඔබ ඉදිරියට එන්නේ අධර්මයේ වේශයෙන් නොවේ. ධර්මයේ වේශයෙන්. අල්ලා ගැනීමේ වේශයෙන් නොවේ. අතහැරීමේ වේශයෙන්. ද්වේශයේ වේශයෙන් නොවේ. කරුණාවේ වේශයෙන්. පංචඋපාදානස්කන්ධ ලෝකයාට මේ මාරපාක්ෂික හැසිරීම ආශ්චර්යයක් වුවද, සැබැවින්ම මෙතැන ඇත්තේ විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ පුහු රඟපෑමක් පමණක්මය. එකම කාසියේ දෙපැත්ත උඩදමා කෙරෙන හුදු ක්‍රීඩාවක් පමණක්මය.
වර්තමාන සමාජය තුළ ශිල්පද බිඳීම් ශීඝ්‍රයෙන් වැඩි වන නිසාම, සක්කාය දිට්ඨියේ තිව්‍රභාවය නිසාම, වර්තමාන සමාජය, මාරයාගේ මේ කුරිරු උපක්‍රමයේ කරවටක් ගිලී ඇති බව පෙනෙන්නට තිබෙනවා. පංචඋපාදානස්කන්ධ මාරයා වර්තමාන සමාජය මතට එලා තිබෙන මේ මාර දැල තුළින්, මාරයාගේ අනාගත ඉලක්කය වන්නේ මේ ධර්මද්වීපය තුළ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට බලවත් අනතුරක් කිරීම විය යුතුමය. පිංවත් ඔබ මාරයාගේ මේ සටකපට අනතුර නුවණින් හඳුනානොගන්නේ, විඤ්ඤාණය නමැති මැජික්කරුවා නිරතුරුවම ඉදිරිපත් කරන ආශ්වාදයේ රංගනයන් නිසාමය. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් ඔද්දල්වුණු, පංචඋපාදානස්කන්ධ මාරයාගේ මේ උපක්‍රමශීලී ‘නරනාටක’ මැජික් සංදර්ශන හමුවේ, පිංවත ඔබ අලෝභ, අද්වේශ, අමෝහ කුසල් ධර්මයන්ගෙන් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීමට දක්ෂ වෙන්න.
පිංවත් ඔබ භික්ෂුවගෙන් විමසුවොත් කුමන හේතුවෙක් නිසා මෙවැනි අනතුරක් සමාජය තුළ ක්‍රියාත්මක වන්නේද? කියලා, ඊට මූලිකම හේතුව, සියලුම පාර්ශ්වයන්ගේ සම්මාදිට්ඨියේ අර්ථය දුර්වලවීමයි. සම්මා දිට්ඨියේ අර්ථයන් සමාජයෙන් දුර්වල වන විට, ඊට ආදේශකයක් ලෙස සමාජය තුළින් මතුව එන්නේ මිථ්‍යාදෘෂ්ටියේ, මිත්‍යා සංකප්පයන්ගේ අර්ථයන්ය. සම්මා දිට්ඨිය කියන අර්ථය මේ ලෝක ධාතුවේ තිබෙන, තමනුත් රකින, අනුනුත් රැකෙන, මෙලොව පරලොව සැපයට ලැබෙන ශ්‍රේෂ්ඨම අර්ථයයි. මේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථය ජීවිතයෙන් ගිලිහුණු තැනදී, බුදුරජාණන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ ඉගැන්වීම් ජීවිතයට එකතුකොට ගන්නේ නැහැ. තෙරුවන් සරණ හැර මට වෙන සරණක් පිහිටක් නැතිය කියලා හිතන්න දක්ෂ නැහැ. තමන්ට ධනය, බලය, කීර්තිය ලබාදෙන ධර්මතාවන් තමයි එකම සරණකොට, එකම පිහිටකොට ගන්නේ. මේ හේතුව නිසා සමහර පිංවතුන් තමන් සිංහල බෞද්ධයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්න බයයි. එවැනි පිංවතුන් ‘මම ලාංකිකයෙක්’ වැනි සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ වචන තමයි භාවිතා කරන්නේ.
සිංහල බෞද්ධයා කියන්නේ, ආර්ය අශ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයම විය යුතුයි. පිංවත් ඔබ බෞද්ධයෙක්ය කියලා ප්‍රසිද්ධියේ කියන්න බිය නම්, ඒ ඔබ බියවන්නේ ‘මම ආර්යඅශ්ටාංගික මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක්. මම තෙරුවන් සරණ පිහිටි පුද්ගලයෙක්. මම සම්මා දිට්ඨියට පත් පුද්ගලයෙක් කියන අර්ථයටයි. මාරපාර්ශ්වික ධර්මයන් නවීන මතවාද, සංකල්පයන් ඉදිරිපත්කොට, සිංහල බෞද්ධකම දුර්වල කරන්නේ, දුර්වල වන ආකාරයට සමාජයට වැරදි පූර්වාදර්ශයන් ලබාදෙන්නේ, සමාජයෙන් උතුම් ආර්ය අශ්ටාංගික මාර්ගය දුර්වල කොට දැමීමටය. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොටගත්තා නම්, එය සක්විති රජකම ලබනවාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ඒ කියන්නේ උතුම් සම්මා දිට්ඨිය, සක්විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබියදී, වර්තමාන සමාජයේ සෑම පාර්ශ්වයක්ම මාරපාක්ෂික ධර්මයන්ට යටත්වීම නිසාම, අන්තිම සුළු සැපයක් උදෙසා, අන්තිම සුළු බලයක් උදෙසා උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයෙන් අහිමි කොට ගන්නවාද?