අවිද්‍යාවේ අකුසල් නිධිය විපාක දෙන්නේ මෙසේය

සංස්කාර

අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ… සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස්‌ කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව සිටින සෑම මොහොතකම අතීතයේ කුසල් සංස්‌කාර නිසා වින්දා වූ සැපයන් අතීතයේ අකුසල් සංස්‌කාරයන් නිසා වින්දා වූ දුක්‌ නුවණින් දකිමින් සංස්‌කාරයන් අනිත්‍යයයි අනිත්‍යයයි… වශයෙන් මෙනෙහි කරමින්, අනිත්‍ය වන සංස්‌කාරයන් කෙරෙහි කලකිරීම ඇතිකරගන්න. මනුෂ්‍යයාගේ අකුසල් සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසාම අනාගතයේ උදාවෙන, අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් නුවණින් දකිමින්, සංස්‌කාරයෝ අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීතයේ ඔබ සක්‌විති රජකෙනෙක්‌ව ඉපදුණු වෙලාවේ ඔබේ ඒ රාජතේජසින් යුත් රූපයත්, මළකඳක්‌ වු හැටි නුවණින් දකිමින් සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න.

පිංවත් ඔබ එදිනෙදා සිදුකරන සෑම ක්‍රියාවකදීම අනාගතයේ විපාක දීමට සංස්‌කාරයන් රැස්‌කර ගනිමිනුයි සිටින්නේ. ඔබ වම්බටු තෝරාගන්නේ නැහැ. තලන බටුයි තෝරාගන්නේ. මෙතනදී මගේ නිරෝගී භාවය කියන ලෝභ සිත ඇතිවුණා. ඔබ රූපලාවන්‍යයට කැමති පිංවතෙක්‌නම් ඔබ බතල තෝරාගන්නේ නැහැ, කැරට්‌ තමයි තෝරාගන්නේ. මෙතනදී රූපයේ නිත්‍යභාවය පිළිබඳව ලෝභ සිතක්‌ ඇතිවුණා. ඔබ මාළු ගන්න මාළු කඩයට යනවා. මාළු කඩේ කෙලවල්ලා මාළු, තලපත් මාළු තිබෙනවා. ඔබට එකපාරටම සිතක්‌ ඇතිවෙනවා කෙලවල්ලා උෂ්ණයි කියලා. ඔබ තලපත් මාළු මිලදී ගන්නවා. මෙතනදී ඔබේ රූපයේ නිරෝගීභාවය පිළිබඳව ලෝභ සිතක්‌ ඇතිවුණා. ඔබ රැවුල කපනවා කණ්‌ණාඩියෙන් නැවත නැවත බලමින්. රූපයේ ලස්‌සන පිළිබඳව ලෝභ සිතක්‌ ඔබ තුල ඇතිවුණා. ඔබ පුටුවක වාඩිවෙලා බොහෝම විවේකීව කකුල් දෙක සොලව සොලවා සිටිනවා. ඔබ රූපය ඇසුරු කරගෙන සැප වේදනාවක්‌ ගැන ලෝභ සිතක්‌ සකස්‌කර ගන්නවා. ඔබ උදේම රාජකාරියට යැමට ඇඳුමක්‌ අඳිනවා කියල සිතන්න. මොනතරම් රූපය කෙරෙහි ලෝභ සිත් ඇතිවෙනවාද. ඔබ ගෙදර අතුපතුගාල පිරිසිදු කරනකොට, ඇඳුම් සෝදන, මදිනකොට… මේ සෑම ක්‍රියාවකදීම රූපය කෙරෙහි ලෝභ සිත් ඇතිවෙනවා.

පිංවත් ඔබ කල්පනාකොට බලන්න, එදිනෙදා ජීවිතයේ සෑම ක්‍රියාවකදීම මොනතරම් අකුසල් කන්දරාවක්‌ ඔබ ඇතිකරගන්නවාද කියලා. අකුසල් ධර්මයන්ගේ මුල්ම කාරණය තමයි ලෝභ සිත. තෘෂ්ණාව ලෝභ සිතට බාධා ඇතිවෙනකොට ද්වේශය සකස්‌ වෙනවා. ලෝභයත් ද්වේශයත් සකස්‌ කර ගන්නේ මෝහය නිසාමයි. මේ සකස්‌වෙන සෑම ලෝභ සිතුවිල්ලක්‌ම අනාගත ලෝකය අස්‌වද්දන සංස්‌කාර බවට පත්වෙනවා. පිංවත් ඔබ නිරතුරුව සකස්‌වෙන සංස්‌කාරයන් ගැන තියුණු අවධානයකින් සිටින්න. කඩයට ගිහිල්ල එළවළුවක්‌ ගන්නවිට අනාගතයේ විපාකයට සංස්‌කාරයන් රැස්‌වෙනවානම් නිරතුරුවම ඔබ අනතුරක්‌ තුළයි ජීවත්වෙන්නේ. පිංවත් ඔබට ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන්, සත්වයා අයෝනිසෝ මනසිකාරයෙන් කරන සෑම ක්‍රියාවකදීම අකුසල් රැස්‌කර ගන්නවානම් මෙතරම් අකුසල් අනාගතයේ විපාක දෙන්නේ කොහොමද කියලා. ලෝභ සිත වැඩිවෙන්න වැඩිවෙන්න, මමත්වයේ දැඩිභාවය වැඩිවෙනවා. මමත්වයේ දැඩිභාවය වැඩිවෙනවිට ද්වේශය දැඩිවෙනවා. පංච උපාදානස්‌කන්ධය කෙරෙහි සක්‌කාය දිට්‌ඨිය නිසාම තව තව ද්වේශය වැඩිවෙනවා. මේ අකුසල් විපාකයට පැමිණෙන නිසාමයි, සත්වයා සතර අපායන්ට වැටුණාම ඒවායේ කල්ප ගණන් ප්‍රමාද භාවයට පත්වෙන්නේ. ධර්මය කෙරෙහි ඇති නොදැනුවත්භාවය නිසාම සත්වයා සෑම සිතුවිල්ලක්‌ තුළින්ම රැස්‌කරගන්නා අකුසල මූලයන්, පටිච්චසමුප්පන්නව කල්ප ගණන් එකතුවී, කල්ප විනාශයන් සිදුවන අවස්‌ථාවේදී එක ඉරක, ඉරවල් දෙකක, ඉරවල් හතක උෂ්ණත්වයෙන් ගිනියම් වූ ලෝකය තුළ සියලු සත්වයෝම යක්‌ෂයින්, ප්‍රේතයින්, භූත සත්වයින් කෘමීන් හැටියට පරිසර උෂ්ණත්වයෙන් මැරි මැරී උපදිනවා. මේ ලෙස ගිනිගනිමින් මැරෙනවා. නැවත උපදිනවා. එදාට සත්වයාගේ ඉපදීමත් මියයැමත් අතර පරතරය එක සිතුවිල්ලක කාලයට සමාන වෙනවා.

සත්වයාගේ අකුසල් සංස්‌කාරයන්ගේ තීව්‍රභාවයට අදාළව විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයද වේගවත් වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ නොදැනුවත්භාවය නිසා සෑම සිතුවිල්ලකදීම අකුසල් සිදුකරගන්නවා වගේම කල්ප විනාශකයදී පරිසර උෂ්ණත්වයේ රුදුරු භාවය නිසාම, ගිනියම් භාවය නිසාම පිච්චීමේ වියරුවෙන් මැරෙනවා. ඒ ක්‍ෂණයේදීම උපදිනවා. එක සිතුවිල්ලක්‌ සකස්‌ වෙද්දීම නැවත පිච්චී මැරෙනවා. නැවත උපදිනවා. වර්තමානයේ මනුෂ්‍යයකුගේ ආයුෂ අවුරුදු අසූඅටක්‌ පමණ වෙනවා. නමුත් කල්ප විනාශයකදී සත්වයාගේ ආයුෂය තප්පරයක්‌ වගේ කෙටි කාලයක්‌. මේ මොහොතේ ඔබ සෑම තප්පරයකදීම ලෝභ, ද්වේශ, මෝහ සිත් ඇතිකරගන්නවා වගේම ඒවාට විපාක වශයෙන් සෑම තප්පරයකදීම ඔබ ඉපදෙමින් මියයනවා. නිරිසත්වයා නිරයට වැටුණු අවස්‌ථාවන්හිදී ඉහත ක්‍රියාවලියට සමාන සිදුවීම් සිද්ධ වෙනවා.