මේ නිමේෂයද අනිත්‍යයට පත්වන ධර්මතාවක්‌ම පමණි

ධම්මානුපස්‌සනාව

මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්තබොජ්ඣංගයට වඩා පංච නීවරණයට බර ජීවිතයක්‌. භික්‍ෂුවගේ මනස අතීත සිදුවීම් පිළිබඳ මතකයන් ගොඩක්‌ අවදි වෙනවා. ඒ සෑම මතකයක්‌ම අනිත්‍ය වූ ධර්මතාවක්‌.

භික්‍ෂුව පැවිදිවෙන මොහොතේ පංචනීවරණ පහ හෝ සප්තබොජ්ඣංග ධර්මයන් හත කටපාඩමින් කියන්න දැනගෙන සිටියේ නැහැ. භික්‍ෂුව මේ ධර්මයන් හඳුනාගන්නේ අත්දැකීමෙන්මයි. සප්තබොජ්ඣංගයන් හඳුනා ගනිද්දී ඊට විරුද්ධ පංච නීවරණ ධර්මයන් හඳුනාගැනීමත් ධර්මතාවක්‌මයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්දච්ච කුක්‌කුච්ඡ, විචිකිච්ඡා පංච නීවරණ ධර්මයන් බැහැර කිරීම නිසා තමා තුළින් සප්තබොජ්ඣංග ධර්මයන් මෝදුවීම ධර්මතාවක්‌. නමුත් යම් ධර්මාවබෝධය ලැබූ උත්තමයෙක්‌ උතුම් අවබෝධයෙන් අනතුරුව තමාට ප්‍රමාදය පිණිස හේතුවූ පංච නීවරණ ධර්මයන් සහ තමාට අප්‍රමාදීභාවයට හේතුවූ සප්තබොජ්ඣංග ධර්මයන් දෙස ආපසු හැරී බලන විට ඔහු දකින්නේ අනිත්‍යය කියන අර්ථය පමණක්‌මයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩීම ධර්මතාවක්‌. ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වැඩුණුව පසු බලධර්මයන් වශයෙන් ඉහත ධර්මයන් වැඩීම ධර්මතාවයක්‌. බලධර්මයන් පරිපූර්ණ කරගත් අරිහත් උතුමන් ඉන්ද්‍රිය ධර්මයන්, බලධර්මයන් දෙස අතීතාවර්ජනයක යෙදීමේදී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. සත්ත්වයා තුළින් සකස්‌වෙන වචනවලට අදහස්‌ ප්‍රකාශ කිරීම්වලට අදාළ වචී සංස්‌කාර, ඒ කියන්නේ විචාර, විතක්‌ක, නිරතුරුවම වෙනස්‌ වන අනිත්‍ය වූ ධර්මතාවක්‌. සත්ත්වයා තුළින් සකස්‌ වෙන සිතීමට, මෙනෙහි කිරීමට අදාළ මනෝ කර්ම, ඒ කියන්නේ සංඥා චේතනා නිරතුරුවම වෙනස්‌ වන ධර්මතාවක්‌. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන එම ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔබ තුළ සකස්‌ වුණ විතර්ක විචාරයන් නිසා ඒවාට අදාළව සිතන්න යැම නිසාම මොනතරම් කුසල් අකුසල් මනෝ සංස්‌කාර ඔබ තුළ සකස්‌ වෙන්න ඇතිද? පිංවත් ඔබ දිනය පුරාවට ඔබ තුළ සකස්‌ වූ කුසල් අකුසල් චේතනාවන්ට සිත යොමුකර ඒවායේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, ඵස්‌සය නිසා චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වීම ධර්මතාවක්‌. කනත්, ශබ්දයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් සකස්‌වෙන සෝත විඤ්ඤාණයත් ධර්මතාවක්‌. නාසයත් ගඳ, සුවඳත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ඝාණ විඤ්ඤාණය ධර්මතාවක්‌. දිවත්, රසයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ජීව්හා විඤ්ඤාණය ධර්මතාවක්‌. ශරීරයත් පහසත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා කායවිඥාණයත් ධර්මතාවක්‌. මනසත්, අරමුණත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා මනෝවිඤ්ඤාණය ධර්මතාවක්‌.

පිංවත් ඔබ අද උදේ පටන් ඔබ තුළ ඇතිවුණ ඉහත ධර්මතාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඇසෙන් කොච්චර රූප දැක්‌කද කනෙන් කොච්චර ශබ්ද ඇසුවද මනසින් කොච්චර සිතුවිලි සිතුවද මේ නිමේෂයේදී ඔබ තුළ ඉතිරිවී ඇත්තේ අනිත්‍යයි කියන ධර්මතාව විතරයි.

මෙය සටහන් තබන භික්‍ෂුව මොහොතක්‌ දෑස්‌ පියාගෙන නුවණින් දකිනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ මේ ඇස්‌වලින් දැකල තිබෙනවා පටිච්චසමුප්පන්නව. අම්මල අප්‍රමාණ පිරිසකගේ පහස සෙනෙහස දර්ශනය මා ලබලා තිබෙනවා. ශක්‍ර, බ්‍රහ්ම, රජ, සිටු, දුගී, යාචක ජීවිත සංසාරයේ ලබල තියෙනවා. මේ සෑම විඳීමක්‌ම ඵස්‌ස පච්චයා වේදනා කියන ධර්මතාවක්‌ පමණක්‌මයි. ඒ ධර්මතාවයේ ස්‌වභාවය අනිත්‍යයි. ඔබගේ පෙර ජීවිතයේ මරණාසන්න මොහොතට සිත යොමුකොට, උපාදානය නිසා නැවත භවය සකස්‌ කරගත් හැටි, භවය සකස්‌වෙන මොහොතේම උපාදානය අනිත්‍යවී යන හැටි, ලැබුවාවූ උපතේ මේ මොහොත දක්‌වා සලායතනයන්ගේ සහ ඵස්‌සයේ අනිත්‍යභාවය නුවණින් දකින්න.