චිත්තානුපස්‌සනාව
පංචඋපාදනස්‌කන්ධය මාරයා වූ කළ කුසල්, අකුසල් සිතත් මාරයා බවටමයි පත්වන්නේ. මොකද අකුසල් සිත, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, කුසල් සිත, ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ මේ දෙකම පිංවත් ඔබට භවයේ නැවත උපතකටමයි උපකාරී වෙන්නේ. මෙතැනදී ඔබ ධර්මයේ නාමයෙන් නිරතුරුවම මාරයාට රැවටෙනවා. මොකද කුසලය තුළත් මාරයාමයි පෙනී සිටින්නේ. චිත්තානුඵස්‌සනාවේදී පිංවත් ඔබට උගන්වන්නේ කුසල් සිතත්, අකුසල් සිතත් දෙකම අනිත්‍ය වශයෙන් දකින්න කියලයි.
පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක් කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත…. ඒවා නිසා ලැබු ආශ්වාදය…. ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය…. ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක් කන්දරාව… පූර්වකෘත්‍යයක් ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ.
පිංවත් ඔබ විවේකීව මොහොතක් භාවනාවට වාඩිවෙනවා. දැන් ඔබ සිත දෙස හොඳින් දකිමින්, සිතිවිලිවල අනිත්‍යභාවය දකිමින් සිටිනවා. මෙතැනදි මාරයා උපක්‍රමශීලීයි. මාරයා දන්නවා මේ මොහොතෙදි ඔබ මාරයාට අභියෝගයක්‌ය කියලා. මෙවැනි තැනකදි මාරයා මතුවෙන්නේ කපටිකමින්, බියගැන්වීමෙන්. මාරයාගේ උපක්‍රම ගැන පිංවතුන් හොඳින් දැනගෙන භාවනාවට වාඩිවිය යුතුයි. අනිත්‍ය සංඥාවක් ඔස්‌සේ සිත වැඩෙනකොට, මාරයා ධර්ම මනසිකාරයක් සිතට යොමුකරනවා. එක්‌කෝ බුදුරජාණන්වහනසේ මතක්‌කොට දෙනවා. එහෙමත් නැත්නම් මෛත්‍රී චිත්තයක්, කරපු පිංකමක්, අනාගතයේ කරන පිංකමක්, යහපත් අරමුණක් ඔබ තුළින් මතුකොට දෙනවා. මෙතැනදි ඔබ මාරයාට රැවටී, කුසල් ආශ්වාදයක් සහිතව භාවනාවෙන් නැඟිටිනවා.
දිනක් පිංවත් මහත්මයෙක් භාවනා කරමින් සිටින අතරතුර එකපාරටම සාදුකාර දුන්නා. මොකද කියලා ඇහුවහම බුදුරජාණන්වහන්සේගේ රූපය දැක්‌කා කියලා කිව්වා. චිත්තානුපස්‌සනාව වඩන විදර්ශකයා දක්‍ෂවෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගේ රූපයත් අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුණහොත් රූපය එතැනදී මාරයා බවට පත්වෙනවා. චිත්තානුපස්‌සනාවේදී පිංවත් ඔබ කුසල් සංස්‌කාරයක ආශ්වාදයට කොටු නොවී, වහාම එම ආශ්වාදජනක සතුටු සිතත්, අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂවෙන්න. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම සකස්‌වෙන සෑම සිතක්‌ම අනිත්‍යභාවයෙන් දැකීම නිසා පිංවත් ඔබ භවයට ගලාගෙන යන සංස්‌කාරයන් වළක්‌වාගන්නවා වගේම සිතේ අනිත්‍යභාවය පිළිබඳව විදර්ශනා නුවණ මෝදුකොට ගන්නවා.
පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක් කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත…. ඒවා නිසා ලැබු ආශ්වාදය…. ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය…. ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක් කන්දරාව… පූර්වකෘත්‍යයක් ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ. කල්ප සියක්‌කෝටි ගණනක් පටිච්චසමුප්පන්නව, තෘෂ්ණාවෙන් තෙත් කරපු ඵස්‌සය, ආශ්වාදයේ වහලෙක් බවටයි ඔබව පත්කරලා තිබෙන්නේ. කාම සිතත්, රාග සිතත්, ද්වේෂ සිතත් සකස්‌වෙන මොහොතේම, එම සිත අනිත්‍යභාවයෙන් දකින්න දක්‍ෂ නැතිනම්, කාම රාග ද්වේෂ සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා අතීතයේ අත්විඳි දුක් කන්දරාව සිහිපත්කොට ගන්න. අතීතයේ මහේශාඛ්‍ය රජවරු වෙලා, අන්තඃපුර බිසෝවරුන් සිය ගණනක් පරිහරණය කළ පිරිසක් අපි. සශ්‍රික දෙවියන් වශයෙන් ඉපදිලා දිව්‍යාංගනාවන් දහස් ගණනක් පිරිවරාගෙන සිටිය පිරිසක් අපි. තිරිසන් සතුන් ලෙස ඉපදිලා, රැලේ නායකයා හැටියට ඒ තිරිසන් සත්ව කුලයේ බිරින්දෑවරුන් සිය ගණනක් පරිහරණය කළ පිරිසක් අපි. පිං සිතක අනිත්‍යභාය නොදැක්‌ක නිසාම ඉහත කාම සම්පත් අපි හිමිකොට ගත්තත්, ඒ කාමයන් අත්විඳීම නිසාම සකස්‌කොටගත්තා වූ ලෝභ ද්වේෂ මෝහයන් නිසා මොන දුකක් විඳින්න ඇතිද?
පිංවත් ඔබ භාවනා කිරීමේදී, කුසල් අකුසල් සෑම සිතකම සැඟවී ඇති අනාගතයේ දුක් සකස්‌කොට දෙන විෂකුරුභාවය නුවණින් දකිමින් සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න.
මේ දවස් දෙක තුනේ කුටිය අවට සැරිසරන පනහක් පමණ වන රිළා රංචුවේ, ලොකු රණ්‌ඩුවක් තිබෙනවා. රැලේ නායක රිළවාත් දෙවැනි රිළවාත් අතරයි මේ ද්වන්ධ සටන පවතින්නේ. දෙදෙනාම කටින් ලේ පෙරාගෙන, මුහුණු අත්පාවල මස ඉරාගෙන ලේ ගලමින් සටන් කරනවා. මේ සටනට හේතුව කාමයයි රාගයයි. අතීතයේ මොකක් හෝ කුසල් සංස්‌කාරයක් නිසාමයි රැලේ නායකත්වය ඒ රිලවාට ලැබුණේ. නමුත් ඒ නායකත්වය රැකගන්න යන ගමනේදී, ද්වේෂයට අදාළව බලවත් අකුසල්මයි සිද්ධකරගන්නේ. අකුසල් සිත අපිට දුක සකස්‌කොට දෙනවා. කුසල් සිත නිරතුරුවම අපිව රවට්‌ටනවා. කුසලයත් අකුසලයත් මාරයා ඔබව මුළාකරන ඇස්‌බැන්දුමක්‌මයි. මේ ඇස්‌බැන්දුමෙන් ඔබව නිදහස් කරන්නේ චිත්තානුපස්‌සනාවයි.