ඔබට තේරෙන භාෂාවෙන් කුණපයන් කියවන්න

කායානුපස්‌සනාව

කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින් හුස්‌මගන්නය කියලයි. මුළු කයටම හොඳින් දැනෙන විදිහට, තේරෙන විදිහට හුස්‌ම ගන්න, පිටකරන්න කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග භාවය, කෙටි භාවය දකිමින් හුස්‌ම ගන්නය කියලා. ක්‍රමානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වන විට, එම සැහැල්ලුවන බව දකිමින්, හුස්‌ම ගන්නය කියලා. තවමත් ඔබ හුස්‌මට අදාළවයි කායානුපස්‌සනාවට මුල පුරන්නේ. පංච නීවරණ යටපත්වූ සිතින් දැන් ඔබ ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනස්‌වීම මෙනෙහි කරන්න. ආශ්වාස කයෙහි ගොරෝසුභාවය, සියුම්භාවය සංසිඳුණු ස්‌වභාවය නුවනින් දකිමින් ආශ්වාස ප්‍රාශ්වාසය නමැති කාය සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකින්න. කාය සංස්‌කාරයන් තුළ, මමය මගේය යන්න මුලාවක්‌ බවත්, අනිත්‍යභාවයට පත්වෙන ආශ්වාස ප්‍රාශ්වාසය කයක්‌ බව දකින්න. ආශ්වාස ප්‍රාශ්වාසයෙන් මේ කය ජීවත්වන බව දකින්න. මේ කය පවත්වාගැනීමට ආහාරයක්‌ වනවා දකින්න. මෙතැනදී පිංවත් ඔබ එරමිණියා ගොතාගෙන සිටියද, ආසනයක වාඩිවී සිටියද කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි නිරවුල් චිත්‍රය අනිත්‍යභාවයට පත්වෙන චිත්‍රය නුවනින් දැකීමයි අවශ්‍ය වන්නේ.

ආශ්වාස ප්‍රාශ්වාසය සංසිඳී යනකොට, සියුම් ආශ්වාදයක්‌ සිතට දැනේවී. ඔබ ඒ සියුම් ආශ්වාදයත් අනිත්‍ය බව දකිමිනුයි පෙරට යන්න ඕනේ. සමාධිමත් සිතින්, පංචනීවරණ යටපත් වෙනකොට පිංවත් ඔබට කය නොදැනී යන්නා සේ දැනෙන්න පුළුවන්. එතකොට කයේ සංවේදීභාවය නැතහොත් දැනෙනභාවය ඇතිකොටගන්න ඕනේ. භාවනා කිරීමේදී කයේ නොදැනී යන ස්‌වභාවයක්‌ ඇතිවෙනවා නම්, එය භාවනාවේ නාමයෙන් ඇතිවන ආශ්වාදයක්‌. පිංවත් ඔබ එම ආශ්වාදයට යට නොවී, ඔබේ කයේ දැනෙන ස්‌වභාවය ඇතිකොටගන්න ඕනේ. නැවත කයේ දැනෙන ස්‌වභාවය ඇතිකොටගන්න. නැවත හුස්‌මට සිත පිහිටුවාගෙනත් පුළුවන්, වේගයෙන් නැවත හුස්‌මක්‌ අරගෙන තමයි දැනෙනභාවය ඇතිකොටගන්න පුළුවන්. එහෙමත් නැතිනම් කය නොදැනී යනවාය කියලා ඇතිවෙන සිත අනිත්‍යභාවයෙන් දැකීමෙනුත් පුළුවන්කම තිබෙනවා. මෙසේ කයේ දැනෙනභාවය ඇතිකරගනිමින් ආශ්වාසය, ප්‍රාශ්වාසය කය කෙරෙහි, හුස්‌ම කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න. එහි වෙනස්‌වන ස්‌වභාවය, හිස්‌භාවය දකින්න. විනාඩි 5 ක්‌ හුස්‌ම නොගෙන හිටියොත් මේ කයට ඇතිවන ඉරණම නුවනින් දකින්න. හුස්‌මෙන් ජීවත්වන, යැපෙන මේ ආශ්වාස කය තුළ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති හේතුඵල ධර්මයක්‌ම බව දකිමින් කලකිරීමට පත්වෙන්න. ඒ කලකිරීමෙන්ම අනිත්‍ය බව දකින්න.

කායසංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම තුළින් පංචනීවරණ සංසිඳුණු සිතින් මීළඟට හිසේ සිට දෙපතුළ දක්‌වා දෙතිස්‌ කුණපය දෙස නුවනින් බලන්න. කෙස්‌, ලොම්, නිය, සම්, දත්….. ඔබට දැනෙන ශරීර අවයව දෙස නුවනින් බලන්න. මෙතැනදී දෙතිස්‌කුණපයට අදාළ කොටස්‌ 32 ම දැනගත යුතුයි කියලා නියමයක්‌ නැහැ. නමුත් පිංවත් ඔබ එම කුණප කොටස්‌ 32 ඉගෙන ගන්න. මේ සටහන් තබන භික්‍ෂුව එම කුණප කොටස්‌ තිස්‌දෙකම කියන්න දන්නේ නැහැ. භික්‍ෂුවට දැනෙන, දන්න ශරීර කොටස්‌ පමණක්‌මයි භික්‍ෂුව විදර්ශනාවට යොමුකළේ. එම නිසා භික්‍ෂුවට පුළුවන් වුණා දෙතිස්‌කුණපය තුළින්ම ‘භික්‍ෂුව දන්නවාය, නොදන්නවාය’ කියන හිතත් අනිත්‍ය වශයෙන් දකින්න. කෙස්‌, ලොම්, නිය, සම්, දත්, ඇට, මස්‌, නහර, බොකු, බඩවැල්, හෘද වස්‌තුව, පෙනහැලි, ආමාශය, අක්‌මාව, වකුගඩු, දිරවූ නොදිරවූ ආහාරයන්, ඔබට දැනෙන, අරමුණු වන කුණපයන් දෙස ඔබට තේරුම් ගත හැකි භාෂාවෙන් දකිමින් ඒ දැක්‌කාවූ සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. කලකිරීම ඇතිවන දිශාවට, පිළිකුල දැනෙන දිශාවට ඇල්ම ගිලිහී යන දිශාවට, විදර්ශනා නුවන වැඩෙන දිශාවට දෙතිස්‌ කුණපය මතුකොටගන්න.

දෙතිස්‌ කුණපයට අදාළව කායානුපස්‌සනාව වැඩීමේදී භික්‍ෂුවට ගිහි ජීවිතයේ රෝගී උපස්‌ථානය, රෝහල් පරිසරයන්, මළගෙවල්, කොළඹ මෝචරියේ ක්‍රියාකාරකම් දැකීම ගොඩක්‌ උපකාරී වුණා. ඔබේ ඥාතිවරයාට, හිතවතාට රෝගී අවස්‌ථාවේ කළයුතු උපස්‌ථානයන්ගෙන් ඔබ මගහැර යනවා නම් රෝහලට ගියවිට ඔබේ රෝගියා මිස අන් රෝගීන් දෙස ඔබ නොබලා යනවා නම්, ඔබ කායානුපස්‌සනාවට අදාළ කමටහන් මගහැරයන්නෙක්‌ වෙනවා. භික්‍ෂුව ගිහි ජීවිතයේ අවස්‌ථා කිහිපයකදීම කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගිහින් තිබෙනවා. ශීතකරණ ලාච්චුවල මළමිනී දමා තිබෙනවා, මරණ පරීක්‍ෂණවලට මළමිනී කපා තිබෙනවා හොඳන් දැකලා තිබෙනවා. අදාළ වෛද්‍යතුමා මළමිනිය පරීක්‍ෂණය සඳහා කපලා අදාළ ශරීර කොටස්‌ පරීක්‍ෂණය කරලා එම ශරීර කොටස බොකු, බඩවැල් පොලිතින් උරයක බහා කපාපු මළමිනියේ ශරීරය තුළ තියලා තිබෙන අයුරු භික්‍ෂුව දැක තිබෙනවා. එක්‌ අවස්‌ථාවක තරුණ මළ සිරුරක්‌ පරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එම මළමිනිය කැපූ මහත්මයා ශරීරයේ පිළීගඳ ගහන සෑම අවයවයක්‌ම වෙන් වෙන් වශයෙන් පෙන්නලා දීලා තිබෙනවා. මේ සටහන් තබන භික්‍ෂුව මේ මොහොතේත් කායානුපස්‌සනාවට අදාළ ඒ අත්දැකීම් සිය කයත් සමග සසඳලා ගලපලා දකිනවා. තමන්ගේ කයත් මළ සිරුරක්‌ව ශීතකරණ ලාච්චුවක බහා තිබෙනවා නුවනින් දකිනවා. දින කිහිපයක්‌ම ශීතලට තදවීම නිසා ලොකු මන්න පිහියකින් කියත් පටියකින් මේ රූපය විවෘත කරන අයුරු නුවනින් දකිනවා. හෘද වස්‌තුව, පෙනහැල්ල, බොකු බඩවැල් පොලිතින් බෑගයක බහා මළසිරුර මත තබා තිබෙන අයුරු නුවනින් දකිනවා. පිංවත් ඔබත් දෑස්‌ පියාගෙන ‘මමය’ ‘මගේය’ කොටගත් දෙතිස්‌කුණපයේ සැබෑ ස්‌වභාවය නුවනින් දකින්න. භික්‍ෂුව දන්න විදිහට මළ මිනියක්‌ කපන මහත්මයෙකුට එම කටයුත්තෙන් අනතුරුව මත්වතුර සලාකයක්‌ දෙනවා. ලෝකයේම රූප සුන්දරියගේ මළමිනිය කැපුවත්, ඒ මත්වතුර සලාකය ඔහුට ලැබෙනවා. මොකද පිළිකුල පිළිබඳ ඒ රූපය තුළත් තිබෙනවා. කැපුව මළමිනියක පිළීගඳ භික්‍ෂුවට මේ මොහොතේ සිහිපත් වෙනවා.

මේ සටහන් තබන භික්‍ෂුව දන්නේ නැහැ භික්‍ෂුව කොයි මොහොතක අපවත්වෙයිද කියලා. සමහරවිට කාත් කවුරුවත් නොදැන කැලයක භික්‍ෂුව අපවත්වෙලා මේ මළකුණ තිරිසන් සතුන්ට අහරක්‌ වෙන්න පුළුවන්. අනතුරකින් මහ පාරක අපවත් වෙන්න පුළුවන්. කවුරුන් හෝ විසින් මරාදමන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ගෞරවනීයව මේ මළකුණ අවසන් කටයුතු කෙරෙන්නත් පුළුවන්. අතීත සංස්‌කාර කොයි මුහුණුවරකින් ක්‍රියාත්මක වේවිද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. අතීත සංස්‌කාර කොයි ආකාරයකට විපාකයට පැමිණියත් භික්‍ෂුව අවබෝධයෙන්ම දන්නවා මේ මළකුණ භික්‍ෂුවටත්, භික්‍ෂුව මළකුණටත් අයිති නැහැ කියලා.