ඔබගේ දෙමාපියන් මහා බ්‍රහ්මයා ලෙසම දකින්න

පිංවත ඔබ අනාගත සැපයට කැමති කෙනෙක් නම් මොනම හේතුවක් නිසාවත් ඔබේ අම්මාගේ සහ තාත්තාගේ සිත රිද්දන්න එපා. දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා මහා බ්‍රහ්ම ගුණයන්ගේ සිත රිද්දුවොත්, පෙරළා දරුවන්ට අයිති වෙන්නේ කේන්තිය, පළිගැනීම, නොඉවසීම සහ විසිරුණ සිතුවිලි පමණක්මයි. භික්ෂුව දන්න තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ දරුවො දෙන්නාට ලක්‍ෂ ගණන් වියදම් කරලා ඉගැන්වූවා, ඉල්ලන සෑම සැපයක්ම දරුවන්ට දුන්නා. නමුත් එම තරුණ දරුවන් දෙදෙනා නිසා අද මට කිසිම සතුටක් නැහැ. අරක්කු බීලා ගෙදර එනවා. යාළුවෝ සමග නොමනා ගමන් යනවා. අවවාදයන් නොතකා අම්මා, තාත්තා සමග රණ්ඩුවට එනවා. අපේ සෑම බලාපොරොත්තුවක්ම බිඳ වැටුණා. මේ අහිංසක තාත්තා ප්‍රශ්නයේ විත්තිය බවට තම දරුවන් පත්කළත්, උතුම් සම්මා දිට්ඨිය ඉහත ප්‍රශ්නයේ විත්තිය බවට පත්කරන්නේ දෙමාපියන්මයි. පිංවත එම අහිංසක දෙමාපියන් තම ආදරණීය දරුවන් නිසා සතුටක් නොලබන්නේ, එම දෙමාපියන් මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල දී තමන්ගේ ආදරණීය දෙමාපියන්ට සතුටක් නොදුන් නිසාමයි. පිංවත් දෙමාපියනි, වර්තමාන ඵලයට චෝදනා කරන්න එපා, ඊට හේතුව නුවණින් දකින්න. අපේ පසුපස පටිච්චසමුප්පන්නව එන්නේ අපේම හොඳ සහ නරකයි. පිංවත් දෙමාපියනි, ඔබලාගේම අතීත අකුසල් නිසාමයි, දරුවන්ට ඔබලාගේ සිත් නොසතුටු කරන්න දැනීම් සකස් වෙන්නේ.

ගෞරවනීය පිංවත උතුම් සම්මා දිට්ඨියේ අර්ථයක් වෙන අම්මා, තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයට වර්තමානයේ කුමක් ද වෙලා තිබෙන්නේ? සිංහල බෞද්ධ සමාජයේ මහා බ්‍රහ්ම ගුණයන්ට දවසින් දවස කණකොකා හඬනවා නේද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගෙන මුලින්ම කෘතවේදීභාවය දැක්වූයේ, තමන්ට සෙවන ලබාදුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට, දෙවනුව බුදුරජාණන් වහන්සේ කෘතවේදීභාවය දැක්වූයේ තමන්ගේ මාතෘ දිව්‍ය රාජයාට. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සුද්ධෝදන පියාණන්ව සසර දුකෙන් මෙලොවදීම නිදහස් කළා. පිංවත කෘතවේදීභාවය සහ උතුම් මවුපිය ගුණයන් පූර්වාදර්ශීව අපිට කියලා දුන්න ශාස්තෘන් වහන්සේ නමක් සරණගිය ශ්‍රාවකයෝ අපි. පිංවත වර්තමානයේ මහා බ්‍රහ්ම ගුණයන්ට මොකක් ද වෙලා තිබෙන්නේ? මහා බ්‍රහ්මයෝ පරණ බෝතල්, පත්තර බවට පත්වෙලා. පිංවත මිථ්‍යාදෘෂ්ටික අලුත්, අලුත් ව්‍යාපාරික රැළි සමාජගත වෙනවා. පිංවත මේ ආගන්තුක ව්‍යාපාරික රැළි බෞද්ධ සංස්කෘතියට, සම්මා දිට්ඨියට අයිති අර්ථයන් නොවේ. වර්තමානයේ සමාජගතවෙන අලුත්ම ව්‍යාපාරික අවස්ථාව තමයි වැඩිහිටියන් රැකබලා ගැනීමේ ආයතන. අතීතයේ සමාජයට විවෘත නොවූ මහලු නිවාස, වර්තමානයේ තරු පන්තියේ සමාජ වටිනාකම් බවට පත්වෙලා. භික්ෂුව දන්න එක වයෝවෘද්ධ අම්මා කෙනෙක් ඉන්නවා. ඇය දරුවො තුන් දෙනෙක් ලෝකෙට බිහි කළා. ඇය රජයේ විධායක රැකියාවකුත් කළා.

මේ සිංහල බෞද්ධ අම්මා සිංහලකමට, සිංහල භාෂාවට ගරු කළේ නැහැ. පුංචි වයසේ පටන්ම තම දරුවන්ට ඉගැන්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන්. දරුවො තුන් දෙනා හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඉංග්‍රීසි විතරක් නොවේ, ඉංග්‍රීසි සංස්කෘතියත් අඩුපාඩු නැතුව ඉගෙන ගත්තා. ඉංග්‍රීසි සංස්කෘතියේ වටිනා ලක්‍ෂණයක් තමයි වැඩිහිටි දෙමාපියන්ව මහලු නිවාසවලට යොමුකිරීම. දෙමාපියන් සිය කැමැත්තෙන්ම දරුවන්ට ඉගැන්වූ එම ඉංග්‍රීසි පන්නයේ සංස්කෘතිය දරුවන් අකුරටම ඉගෙන ගත්තා. අද එම අම්මා මාසයට ලක්‍ෂයක් අයකරන තරු පන්තියේ මහලු නිවාසයක තනිවෙලා. ඇයගේම විශ්‍රාම වැටුපේ පිහිටත්, දරුවන් එවන මුදලුත් ඇගේ එකම පිහිට බවට පත්වෙලා. පිංවත ඇය නේවාසිකව ඉන්න ආයතනයේ යම් නේවාසිකයෙක් මියගියොත් පාංශුකූලය සහ අවසන් භූමදාන කටයුතුත් එම ආයතනය විසින්ම අවශ්‍ය නම් සිදුකොට දෙනවා යැයි ඇය භික්ෂුවට මතක් කළා. පිංවත් දෙමාපියනි, ඔබලා දරුවෝ ඉංග්‍රීසි පන්නට හැදුවොත්, ඔබලාගේ දරුවෝ ඉංග්‍රීසි ක්‍රමයට ලොකුමහත් වෙලා, බටහිර ක්‍රමයටම ඔබලාට සැලකීමේ අනතුරක් තිබෙනවා. වර්තමානයේ දෙමාපියන් මහා ආඩම්බරයෙන් කියන කතාවක් තිබෙනවා, මගේ දරුවා අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ය කියලා. අනේ සාධු, සාධු, අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ, ඒත් ඉතින් සිංහල භාෂාව, සිංහලකම දරුවන්ට අමතක කරවන්න එපා.

පිංවත් දෙමාපියනි, ඔබලා බලාපොරොත්තු සහගතව දරුවන් ලොකු මහත් කරලා, එම දරුවන් නිසා ඔබලා සතුටක් නොලබාම දුකෙන් දෑස් පියාගන්න සිද්ධ වුණොත්, එය මොනතරම් නම් අකුසලයක් ද? තම ආදරණීය දරුවන් සිහිපත් වෙලා ගැටෙන සිතින් මහලු නිවාසයේදීම දෙමාපියන් මියගියොත් එම දෙමාපියන්ගේ පටිච්චසමුප්පන්න උපතත් දුකටම අයිති වෙනවා නේද? පිංවත හේතුඵල ධර්මයන්ගේ මුදුන් මුලින් පෝෂණය වෙන ලෝක ධර්මයෝ කෙරෙහි අපි සිහිනුවණ ඇතිකොට ගන්න ඕනේ. උතුම් සම්බුදු අවවාදයන් සහ යහපත් පූර්වාදර්ශයන් මාර ග්‍රහණයට නතු වූ වර්තමානයක අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය දෙස සිහිනුවණින්මයි බලන්න ඕනේ. එසේ නොවුණහොත් අනාගතයේ දී මහලු නිවාස ව්‍යාපාරය වේගයෙන් සමාජගත වේවි. පිංවත් ළමා සහ තරුණ දරුවෙනි, ඔබලා වයෝවෘද්ධභාවයට පත්වෙලා, ඔබලා මහලු නිවාසයක දී මියපරලොව යන්න කැමැති ද? ඔබ අකැමැති නම්, කරුණාකර ඔබේ දෙමාපියන්ට වර්තමානයේ අකීකරු වෙන්න එපා. දෙමාපියන්ගේ සිත් රිදවන්න එපා. තම දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා. ඔබගේ දෙමාපියන් මහා බ්‍රහ්මයා ලෙසම දකින්න. පිංවත් දරුවනි, ඔබලා ඔබේ දෙමාපියන් ආදරයෙන් නිවස තුළදීම රැකබලා ගත්තොත්, මවුපිය උපස්ථානයේ අග්‍ර වූ කුසලය විසින්ම ඔබලාට අනාගත වයෝවෘද්ධ ජීවිතයේ දී කවදාකවත් මහලු නිවාසයක දී දෑස් පියාගන්න සිද්ධ වෙන්නේ නැහැ. පිංවත් පාසල් දරුවෙනි, ඔබලාගේ අනාගත අධ්‍යාපන ඉලක්ක ගැන පමණක් සැලසුම් සකස්කොට ගන්න එපා. ඔබලාගේ අනාගත අධ්‍යාපන ඉලක්ක ජයගෙන එළඹෙන වයෝවෘද්ධ ජීවිතයේ දී දරු සෙනෙහස ලැබීමේ මාර්ගයත් වර්තමානයේ ජීවිතවලට එකතුකොට ගන්න. පිංවත අපි ජීවත් වෙන්නේ අකුසලයෙන් සහ මිථ්‍යාදෘෂ්ටියෙන් අයාලේ යන රටක. මෙහෙව් රටකට සම්මා දිට්ඨිය හිසරදයක්. මුදල් සහ බලය නිරෝගීභාවයක්. පිංවත ඔබත් යන්නන් වාලේ මිථ්‍යාදෘෂ්ටිය දිශාවට යන්න එපා. යහපත් පූර්වාදර්ශයන් හිඟ සමාජයක, මේ ඇත්ත දකින පිංවත් ඔබයි සමාජ නායකත්වය ගතයුත්තේ.

පිංවත කෘතවේදීභාවය මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. ගෞරවනීය පාලක පිංවතුනි, බලය හොබවන ඔබලා, ඔබලාට බලය ලබාදුන්න පිංවත් ජනතාවට මුලින්ම කෘතවේදී වෙන්න. පිංවත් ඔබලා මේ මුල වනසන නිසාමයි, සමස්ත ජාතියටම කෘතවේදීභාවය වහකදුරු වෙලා තිබෙන්නේ. පිංවත දෙකෝටි හතළිස් ලක්‍ෂයක් ජනතාව ජීවත්වෙන රටක්, දෙසිය විසිහය දෙනෙකුට මරා දමන්න ඉඩදීම ඉදිරියේ, සමස්ත ජාතියේම කෘතවේදීභාවය අභියෝගයට ලක්වෙලා තිබෙනවා. පිංවත අසිහියෙන් සහ ආවේගශීලීව සටන් කරලා ජය ලබන්න බැහැ. සමාජගත ඵලයන්ට සිහිනුවණින් හේතුව සොයාගෙනයි ප්‍රශ්න විසඳාගත යුත්තේ. පිංවත තෘෂ්ණාව ප්‍රසූත කරන ඇලීම් සහ ගැටීම් නමැති මාර ධර්මයෝ හරිම බලවත්. අපේ දෑස් පියවෙන අවසාන චුති සිතේදීත්, අපි එල්ලෙන්න කැමති ධනය, බලය නමැති මාර තොණ්ඩුවේමයි. මරණාසන්න මොහොතේත් අපේ සැපය සිය කැමැත්තෙන්ම අපි දිවිනසා ගන්නවා. පිංවත අපි තාම, තමා තමාටවත් කෘතවේදී වෙලා නැහැ. කෙසේ නම් අපි කෘතවේදී වෙන්න ද, අපේ ගෞරවනීය නායකයෝ අපිට උගන්වන එකම පාඩම අසත්පුරුෂභාවයම නේද? පිංවත අපි හැමෝම උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ට පිටුපා තෘෂ්ණාවේ ඇම ගිලලයි සිටින්නේ. අපි නොදන්නවාට අපිව ඇදී යන්නේ මාරයාගේ බිලී පිත්ත දිශාවටමයි.

පිංවත සමස්ත ජාතියටම වෙනසක් අවශ්‍යයි. ජනතාව දුශ්ශීලභාවයෙන් සහ අකුසලයෙන් යම් පමණකට හෝ මුදා ගන්නා වෙනසක් අවශ්‍යයි. පිංවත ජාතියට අවශ්‍ය වෙනස තේරුම් ගන්න නම්, පිංවත් ජනතාවට ඉන්ද්‍රීය සංවරභාවය තිබෙන්න ඕනේ. අසංවර ඉන්ද්‍රියෝ අපිව යොමු කරන්නේ, දියව්, වරෙව් යන තෘෂ්ණාවේ මාරාවේශයන්ට ආහාර උදෙසාමයි. පිංවත අපි මෙතෙක් කලක් තෘෂ්ණාවේ මාරාවේශයන්ට, ප්‍රණීත ආහාර පිසදුන් අරක්කැමියෝ. අපේ ආහාර වට්ටෝරුවේ මුලටම තිබෙන්නේ දුශ්ශීලභාවය, ආවේගශීලීභාවය, පළිගැනීම. පිංවත තවදුරටත් මාර ආහාර වට්ටෝරුවේ මුලට එන්න එපා. පිංවත සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් මාර ධර්මයන්ට විරේකයක් දෙන්න. පිංවත ඉන්ද්‍රීය සංවරභාවය ඇතිකොට ගන්න නම්, ශීලයේ ශක්තිමත්භාවය තිබෙන්නට ඕනේ. ශීලයේ ශක්තිමත්භාවය ඇතිවෙන්න නම්, යහපත් සහ අයහපත් සියලු මනුෂ්‍යයෝ සුවපත් වේවා යැයි දකින මෙත් සිත අපිට තිබෙන්න ඕනේ. අව්‍යාපාදයෙන් සහ අවිහිංසාවෙන් සමාජගත තෘෂ්ණාවේ මාරාවේශයන්ට විසඳුම් සොයන්න දක්‍ෂ වෙන්න ඕනේ. ඉහත සියලු දක්‍ෂතාවයන් ඇතිවෙන්න නම්, යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් සහ අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් ලැබෙනවාය කියලා දකින, කර්මය කර්මඵල විශ්වාසය අපිට තිබෙන්නට අවශ්‍යම වෙනවා. පිංවත ඉහත අර්ථයෝ සියල්ල දුර්වලව ගිය තැන දී පිංවත් ඔබ එක තැන නැවතී සිටින්න එපා, මාර දිය සුළියට ඔබ ගිලීයාවි. පිංවත් ඔබ අධිවේගී වෙන්නත් එපා. වෙහෙස නිසාම ඔබ මාර ග්‍රහණයට ගොදුරක් වේවි. පිංවත ඔබ මධ්‍යස්ථ වෙන්න. අරමුණ උදෙසා නිහඬ වීර්යයක් ඇතිකොට ගන්න. මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු ජීවිතය පුරාවට විසිරී තිබෙන්නේ නිහඬ වීර්යයක්. නිහඬභාවය තුළින් මාර ධර්මයෝ මුළාවට පත්කරමින්, වීර්යය තුළින් මාර ධර්මයන් පරාජය කිරීමටත් අපි දක්‍ෂ විය යුතුයි.

පිංවත කාමච්ඡන්දයන් ආදී වූ පංච නීවරණයන්ගෙන් පෝෂණය වූ මිච්ඡා වීර්යයක් සමාජය තුළ වේගයෙන් ඔඩු දුවනවා. කේන්තිය, ආහාර මතය, විසිරුණ සිතුවිලි, සැකය, ජාතියේ ජාතික ලක්‍ෂණ බවට පත්වෙමින් පවතිනවා. අකුසලයටම බර වූ මිච්ඡා වීර්යයෙන් සමාජයට ලැබී තිබෙන පරම දායාදය මිච්ඡා සතියයි. මිච්ඡා සතියේ ප්‍රධාන රෝග ලක්‍ෂණය වෙන්නේ මිච්ඡා සමාධියට පාර පෙන්වීමයි. මිච්ඡා සමාධිය පෙරළා පෝෂණය කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීම ජීවිතය කොටගත් මිච්ඡා වීර්යයමයි. පිංවත අපි යහපත් ධර්මයෝ අමතකකොට ආපස්සට යන ජාතියක්. පිංවත ලෝකයේ අවාසනාවන්තම ජාතිය අපේ ජාතියයි. අපේ ජාතිය සතුව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සක්විති රජ වත වන උතුම් දශකුසල් ධර්මයෝ මේ මොහොතේත් ජීවමානව තිබෙනවා. අපේ කරුමයට අපේ ගෞරවනීය නායකයින්ට දශකුසල් ධර්මයෝ තබා පංචශීලයවත් නැහැ. බොරුවෙන්, මනුෂ්‍ය හිංසනයෙන් දවස පටන් ගන්නා අපේ පිංවත් දේශපාලන නායකයෝ දවස අවසන් කරන්නේ කාමච්ඡන්දයන්ගෙන්මයි. පිංවත ජාතියේ මුදුනෙන් අකුසල් වැසි ඇද හැලෙද්දී පහළ ඇළ, දොළ, ගංගා පිරී යන්නේ අකුසලයේ ජලයෙන්මයි. පිංවත අධිෂ්ඨාන පූජා තියලා, දෙවියන්ට කන්නලව් කරලා ජාතියේ දෝරේ ගලායන අකුසලයට වැට බඳින්න බැහැ. අකුසලයෙන් මිදීමට තවදුරටත් අකුසලයම සරණ යන්න එපා. කරුණාකර සමාජගත හේතුඵල ධර්මයන් නුවණින් දකිමින්, දශකුසල් ධර්මයන්ට ගරුකරන නායකයෙක් සමාජය තුළින් මතුකොට ගන්න දක්‍ෂ වෙන්න. එයයි අකුසල් අවමකොට ගැනීමේ මූලික පසුබිම වෙන්නේ.