අනුන්ගේ වැරදිවලට විකල් නොවන්න

පිංවත මනුෂ්‍ය ජීවිතවල ශීලය දුර්වලවෙත්දි, පිංවත් මනුෂ්‍ය සමාජයේ ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා යනවා. ශීලය දුර්වලව යන සමාජයක මෛත්‍රිය ගැන කතා කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට ඉහළිනුයි මෛත්‍රිය පනවලා තිබෙන්නේ. සම්මා සංකප්පයන් වැඩුණොත් තමයි ශිල්වත්භාවය අර්ථවත් වෙන්නේ. පිංවත සමාජයක ශිල්වත්භාවයට වටිනාකමක් නොලැබීමෙන් එම සමාජය භවබෝග සම්පත් දුර්වල වී බලවත් ආර්ථික අර්බුදයන් උත්සන්න වෙනවා. සමාජගත දුශිල්වත්භාවයත්, එහි ඵලයන්ගෙන් ආර්ථික අර්බුදයත් උත්සන්න වෙත්දි අහිංසක මනුෂ්‍ය ජීවිත මානසික ව්‍යාකූලභාවයන්ට පත්වීම ධර්මතාවයක්ම වෙනවා. සමාජගතවෙන ආර්ථික අර්බුදයන් නිසාම මනුෂ්‍ය ජීවිත මානසික රෝගීභාවයන්ට පත්වීමේ ප්‍රවණතාවයන් වැඩිවෙන්න පුළුවන්. පිංවත වර්තමානයේ සමහර පිංවතුන් සිටිනවා සමහර පක්‍ෂ දේශපාලන නායකතුමන්ලාගේ ඡායාරූප දකින්න බැහැ. පුදුමාකාර විදියට ගැටෙනවා. කේන්ති ගන්නවා. චෝදනා කරනවා. පිංවත මේවා මානසික ව්‍යාධීන්ගේ ලක්‍ෂණ. පිංවත අපේ රටේ දේශපාලනය අපායක් බව ඇත්ත. නමුත් දේශපාලන අපාය අපි අවීචි මහා නරකයක් කරගතයුතු නැහැ. පිංවත මනුෂ්‍ය ඝාතන නවසිය අනූනවයක් සිදුකරපු අංගුලිමාලත් උතුම් රහත්ඵලයට පත් වූ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළයි අපි මේ හික්මෙන්නේ. පිංවත අනුන් වැරදි නම් කරුණාකර ඔබ නිවැරදි වෙන්න. පිංවත අනුනගේ වැරදි නිසා ඔබ මානසික ව්‍යාකූලභාවයන්ට පත්වෙන්න එපා.

පිංවත භික්ෂුවගේ ජීවිත කතාවේ ගෙවීගිය අතීතය පුදුමාකාර සුන්දර අතීතයක්. ඒ සුන්දර අතීතයට භික්ෂුව හදවතින්ම සුවපත් වේවා යැයි කියලා මෙත් වඩනවා. ඒ ගෙවීගිය සුන්දර අතීතය අයිති භික්ෂුවගේම අතීත පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාරයන්ට. පිංවත භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ දී භික්ෂුවට ලැබුණ නම්බුනාම, අහිගුණ්ඨික භික්ෂුවක්, හොර රහතෙක්, සද්ධර්මය විකෘති කරන්නෙක්, මල් උඩ වඩින මල් කුමාරයෙක්, කෝටිපති පොත් මුදලාලි කෙනෙක්, පිංවත භික්ෂුවගේම අතීත පටිච්චසමුප්පන්න අකුසල්වල ඵලයන්ගෙන් ලැබුණ මේ නම්බුනාමවලට භික්ෂුව ගැටුණා නම් කවදාකවත් භික්ෂුවට මේ සටහන තබන්න බැහැ. මේ ගමන අද මෙතනට එන්නත් බැහැ. පිංවත භික්ෂුව පැමිණි ගමන්මග ඔබටත් පැමිණීමට අවශ්‍ය නම් කරුණාකර අනුනගේ මානසික ව්‍යාධීන්ගේ ගොදුරක් වෙන්න එපා. භික්ෂුව හැමදාමත් හැමෝටම අවවාද කළේ කවුරුන් හෝ භික්ෂුවට චෝදනා, විවේචන කළොත්, කරුණාකර එම විවේචනය, චෝදනාව යටින් සුවපත් වේවා යැයිම සටහන් තබන්නය කියලා පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුවට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ, රාජපක්‍ෂ මහත්වරුන්ගේ, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ, අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඡායාරූපයක් දැක්කොත් සුවපත් වේවා යැයි කියලාමයි භික්ෂුවට නම් සිතෙන්නේ. එම මෛත්‍රී චිත්තයත් භික්ෂුවට අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක්මයි වෙන්නේ. භික්ෂුවගේ ඉහත සටහන කියවද්දි යම් පිංවතෙකුට සිතුණා ද දන්නේ නැහැ භික්ෂුවටත් මානසික රෝගයක් තිබෙනවා ද කියලා. අනේ සාධු, සාධු එම අහිංසක ඵස්ස පච්චයා වේදනා යැයි කියන අනිත්‍ය වූ ඔබගේ සිතුවිල්ලටත් භික්ෂුව සුවපත් වේවා යැයි කියලාමයි දකින්නේ. පිංවත ලෝකය සමග ගැටිලා ලෝකය නිවැරදි කරන්න බැහැ. පිංවත ලෝකයට ආදරය කරලා ලෝකය නිවැරදි කරන්නත් බැහැ. පිංවත අපි ලෝකය නිවැරදි කොටගන්න ඕනේ ඇලීමටත්, ගැටීමටත් එකම හේතුව වන තෘෂ්ණාව අඩුකොටගෙනමයි. පිංවත තෘෂ්ණාව අඩුකොටදෙන මාර්ගය. අපේ මානසික ව්‍යාධීන් අඩුකොටදෙන එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පිංවත ශ්‍රී ලාංකික ජාතියට අලුත් හෙටක් අවශ්‍යයි. අලුත් දැක්මක් අවශ්‍යයි. අලුතින් හිතන පරපුරක් අවශ්‍යයි. ජාතියේ පණ අදින නීතියට, විනයට, ශීලයට ඔක්සිජන් නොව පටිච්චසමුප්පන්න නැවත නැවුම් උපතක් අවශ්‍යයි. පිංවත මාතෘභූමිය නමැති අම්මාගේ මවුකුස පිළිසිඳගත්ත යහපත් යැයි සිතූ සෑම කලල රූපයක්ම අවාසනාවන්ත ලෙස ගබ්සා වී යත්දි, ගබ්සාවීමට හේතුව හඳුනා නොගෙන නැවත ඇය ගැබ් ගැන්වීමෙන් ඵලක් නැහැ. පිංවත ඔබ නීතිගරුක, විනයගරුක, ශිල්වත් හෙටක් වෙනුවෙන් පෙනී සිටින්න. නායකත්වය දෙන්න කැමති පිංවතෙක් නම් ඔබ මුලින්ම කළයුත්තේ කේන්තිය, වෛරය, පළිගැනීම, චෝදනා, විවේචන වැනි පරණ දේශපාලන පුරාවස්තු, නෂ්ටාවශේෂයෝ ඔබේ මතකය අභියස වළක් කපා වළ දමන්න. පිංවත ඔබ අකුසලයෙන් කිළුටු දේශපාලන නරා වළෙන් ගොඩට පැමිණි නැවත උපන් මනුෂ්‍යයෙක් වෙන්න. පවතින දේශපාලන මඩ ගොහොරුවෙන් ඉහළට මතු වූ නෙළුමක් වෙන්න. පිංවත ශීලයෙන් පිරිසිදු වූ ඉන්ද්‍රීය සංවරයෙන් ලෝකය දෙස බලන්න. මොහු එක්සත් ජාතික පාක්‍ෂිකයෙක්, මොහු ශ්‍රී ලංකාකාරයෙක්, මොහු ජේ. වී. පී. කාරයෙක්. මොහු තවත් පක්‍ෂයක මනුෂ්‍යයෙක් යැයි ජනතාව බෙදන, විරුද්ධ පාක්‍ෂිකයාගෙන් පළිගන්න මානසික ව්‍යාධීන්ගෙන් මිදෙන්න. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සක්විති රජ වත වන උතුම් දශකුසල් ධර්මයෝ තවමත් ජීවමානව තිබෙනවා. පිංවත වර්තමානයේ අපි සැවොම, එකම රටක භේද වපුරන්නන් බවට පත්වුණත්. අපි හැමෝටම එකම අම්මාගේ දරුවන් හැටියට දකින දේශපාලන දැක්මක්, උතුම් දශකුසල් ධර්මයෝ තුළ නිදන්ගත වෙලා තිබෙනවා.

පිංවත දශකුසල් ධර්මයන්ගෙන් තම අධ්‍යාත්මය පෝෂණය කොටගත්, දශකුසල් ධර්මයෝම තම ජීවිතය කොටගත්, සක්විති රජවරු අවිආයුධවලින් තොරව මුළු ලෝකයම යටත්කොට ගන්නවා. පිංවත අතීත සක්විති රජවරුන්ගේ අවිආයුධ බවට පත්වුණේ උතුම් දශකුසල් ධර්මයෝමයි. වර්තමානයේ පවට බර ලෝකය තුළ සක්විති රජවරු පහළ වෙන්නේ නැහැ. පවටම බර ලෝකය තුළ වර්තමානයේ පහළ වෙන්නේ බලයට කෑදර මාර රජවරු පමණක්මයි. පිංවත මෙම සටහන තබන්නේ බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසුපියවර තබමින්, බුදුරජාණන් වහන්සේ පසුපස වඩින ශ්‍රාවකයෙක්. බලයට කෑදරකමින් තෘෂ්ණාවේ මාරාවේශයට ගොදුරු බිමක් වූ වර්තමාන අවාසනාවන්ත සමාජය ඉදිරියේ ශ්‍රාවක අපි සද්ධර්මය විවෘතකොට පෙන්විය යුතුයි. පරලොව ජීවිතවලට වගේම පිංවත් මනුෂ්‍ය සමාජයේ ලෞකික දියුණුවට ධර්මානුකූල ක්‍රමවේදයන් විනයානුකූලව සමාජගතකොට දියයුතුයි. පිංවත මේ සමාජගතව තිබෙන පවුකාර සමාජ ක්‍රමය මනුෂ්‍යයාගේ මෙලොව ජීවිත පමණක් නොවේ, පරලොව ජීවිතයත් දුකටම අයිතිකොට දෙනවා. පිංවත රටේ ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, දේශගුණික, කාලගුණික ප්‍රශ්න සහ විකෘති දේශපාලන ප්‍රශ්න නිසාම පිංවත් ජනතාව විසිරුණා වූ සිතුවිලිවලිනුයි කාලය ගතකරන්නේ. ජීවත්වීම උදෙසා, සතුටුවීම උදෙසා ශිල්පද දුර්වලකොටගැනීම, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ වැඩීම මෝස්තරයක් බවට පත්වෙලා. පිංවත් මනුෂ්‍ය සමාජය ශිල්පද බිඳින, ශීලයට වටිනාකමක් නොදෙන, අකුසල් මූලයන්ම වඩන අකුසල් නිධි බවට පත්වෙමින් යනවා. පිංවත වර්තමානයේ මියයන මනුෂ්‍යයන්ගෙන් බහුතරය සිහිමුළාවට පත්වෙලයි මියයන්නේ. පිංවත මනුෂ්‍යයකුට නිදහසේ සතුටින් මැරෙන්නවත් නිදහස නැති සමාජයකයි අපි ජීවත් වෙන්නේ. කෙනෙක් මියයද්දි කෙසේ නම් හොඳ සිහියෙන් මැරෙන්න ද? මියයන්න පෙරාතුව එම පිංවතා සිතන්නේ මම මැරුණාට පස්සේ බිරිඳට, ස්වාමි පුරුෂයාට දරු මුනුපුරන්ට කුමක් වෙයි ද කියලා. පිංවත හෙටක් ගැන විශ්වාසයක් නැති සමාජයක මියයන මනුෂ්‍යයා ගැටෙන සිතින් මැරිලා දුගතියටයි වැටෙන්නේ. පිංවත අහිංසක ඡන්දදායකයා පමණක් නොවේ. ගෞරවනීය පාලකයෝත් දුගතියටයි වැටෙන්නේ. පාලකයාත්, පාලිතයාත් යන දෙපාර්ශ්වයටම මෙලොව සහ පරලොව මරබිමක් බවට පත් වූ සමාජයකයි අපි ජීවත් වෙන්නේ.

පිංවත ප්‍රශ්න දහසක් විසඳන්න එක විසඳුමයි තිබෙන්නේ. ඒ විසඳුම තමයි උතුම් දශකුසල් ධර්මයෝ. පිංවත රටට විනයගරුක, නීතිගරුක නායකයෙක් අවශ්‍යයි. ඔහුගේ දැක්ම වියයුත්තේ රටෙන් මට නොව, මගෙන් රටට යන්නයි. පිංවත ඔබ දක්‍ෂයි. පිංවත ඔබ උපන් මාතෘභූමියට ආදරෙයි. පිංවත ඔබ ජාතික සමගියට, ආගමික සමගියට කැමතියි. නමුත් පවතින මාරපාක්‍ෂික පක්‍ෂ දේශපාලනය ඔබට ආවේණික යහපත් ධර්මයෝ ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන්, පක්‍ෂ දේශපාලනයෙන් විකෘතියක් කරලයි තිබෙන්නේ. පිංවත කරුණාකර ඔබට ආගන්තුක මේ විකෘතියෙන් මිදෙන්න. ඔබ ස්වභාව ධර්මයට එන්න. සමාජගත, ජීවිතගත විකෘතීන්ට සුවපත් වේවා යැයි දකිමින් ඔබ ප්‍රකෘතියට එන්න. පිංවත බලයෙන් ධනයෙන් මාරාවේශයට පත්වූ ගෞරවනීය දේශපාලන පිංවතුන්ලාගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා පිංවත් ඔබ උපන් මාතෘභූමියෙන් පළිගන්න එපා. වර්තමානයේ හුඟ දෙනෙක් මේ වියරු දේශපාලන සංස්කෘතිය කෙරෙහි වෛරයෙන් තම උපන් බිමෙන් පළිගන්න දිශාවට යොමුවෙලා තිබීම හරිම අවාසනාවක්. පිංවත තරුණ උගත් දියණියක් තම පියාට කියනවා තාත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී සියයට හැට නවයක් ලබපු වෙලාවේ එය සැබෑ ජනතා සත්පුරුෂ ජයග්‍රහණයක් යැයි සිතා එම ජයග්‍රහණයට ශක්තියක් දෙන්න, තරුණ කෙල්ලක් වෙලත් මම මගේම යාළුවෝ සමග එකතුවෙලා නගරයේ තාප්පවල චිත්‍ර අඳින්න ගියා. දවස් ගණන් අපි අව්වේ වේලෙමින් චිත්‍ර ඇන්දත් තාත්තේ අපේ එම අහිංසක යෞවන බලාපොරොත්තු මේ පාලකයන් අමු අමුවේම මරා දැම්මා. තාත්තේ නැවත නම් කවදාකවත් දේශපාලනය නමැති වචනය කතා කරන්න එපාය කියලා තරුණ දියණියක් තම පියාට අවවාද කරනවා. පිංවත් දරුවෙනි ඔබලා තුළ තිබෙන්නේ තමන්ගේ බලාපොරොත්තු බිඳදැමීම ගැන වෛරයක්. පළිගැනීමේ චේතනාවක් නේද? වරදකරු මාතෘභූමිය නොවේ වරදකරු තෘෂ්ණාවෙන් මාරාවේශ වූ දේශපාලනයයි. නමුත් සත්‍යකින්ම ඔබලා මේ පළිගන්නේ වැරදි නොකළ මාතෘභූමියෙන් නේද? මේ පුණ්‍යවන්ත මාතෘභූමිය ඔබලාට කළ වරද කුමක් ද?

පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ සත්‍යය සහ බොරුව යන අර්ථයන් දෙකම ලෝකයේම කොටසක්. කරුණාකර ඔබ වැටුණ තැනින් නිවැරදිව නැගී සිටීමට දක්‍ෂ වෙන්න. පිංවත් තරුණ දරුවනේ ඔබලා දක්‍ෂයි, ඔබලා අවංකයි, ඔබලා නිර්මාණශීලියි. මේ පුණ්‍යවන්ත මාතෘභූමියේ හෙට දවස ඔබලාගේයි. ඔබලාට අයිති හෙට දවස ඔබලා ඉවසීමෙන්, උපක්‍රමශීලීව දිනාගත යුතුයි. සමාජගත මාරාවේශ වූ දේශපාලනය ඔබලාට අයිතිකොටදෙන කලකිරීම, බිය, සැකය, වෛරය, පළිගැනීම ඔබලාගේ ජීවිත තුළින් උදුරා විසිකරන්න. පිංවත් දරුවෙනි ජාති, ආගම්, පක්‍ෂ පිළුණු භේද ඉවත දමා මාතෘභූමියට එකම සරණ, එකම පිහිට අපේම අවංකභාවයයි. අපේම විනයගරුකභාවයයි. අපේම නිර්මාණශීලීභාවය යැයි දකින ආත්ම විශ්වාසයෙන් ජාතියේ ආත්මගරුත්වය උදෙසා අකුසල් සිත් යටපත් කොටගෙන සති සම්බොජ්ඣංගයෙන් නැගී සිටින්න. මේ ඊට කාලයයි.