ලෞකික සැපයන් ලබන්න පරිසරය විකෘති නොකරන්න

පිංවත පසුගිය මාස කිහිපය පුරාවට ඇදහැලුණ මහා වැසි දැන් නම් නැවතිලා. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, පසුගිය වැසි කාලය පුරාවට තමන්ගේ නිවස පස් වතාවකට වැඩිය වැසි වතුරෙන් යටවුණාය කියලා. පිංවත පසුගියදා ඇදහැලුණු වැසි අකීකරු වුණත්, කරුණාකර වැස්සට චෝදනා කරන්න නම් එපා. වැස්ස කියන්නේ හුදු සතර මහා ධාතුවක් පමණක්මයි. පිංවත අපි වැස්සට චෝදනා කළොත් අධර්මයෝ අධර්මයෝම වඩත්ය කියන ධර්මතාව හේතුවෙන්ම, හෙට දවසේ නියඟය අපිට පෙරළා දඬුවම් කරන්න පුළුවන්. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි පිංවත් ගිහි පිංවතුන්ලාව පින තුළ, කුසල් ධර්මයන් තුළ ශක්තිමත් කරන්නේ, සැපයට, සුගතියට, භව නිරෝධයට කියන කාරණා කිහිපයක්ම මුල්කරගෙනයි. පිංවත ඔබලා ලෞකික සැපයන් ලබන්න නම්, ඔබලා ජීවත්වෙන පරිසරය විකෘතියක් නොවී තිබිය යුතුමයි. නිරතුරුවම දේශගුණික විකෘතීන් හේතුවෙන් නොමනා වැසි, නොමනා නියං, නොමනා සුළං පරිසරය තුළ ඇතිවුණොත්, ඔබලාගේ ලෞකික සැපයට ඒවා බාධාවන්මයි. පිංවත් රාජ්‍ය පාලකතුමන්ලා ධාර්මිෂ්ඨ වුණොත්, ජනතාව ධාර්මිෂ්ඨ වුණොත් පමණක්මයි පාරිසරික විකෘතීන් අවම වෙන්නේ. පිංවත වර්තමානය විසින් ඉඟිකරන අනාගත දේශගුණික විකෘතීන් යම් පමණකට හෝ අවම කොටගැනීමට නම්, කරුණාකර තම තමන් පරිසරයට හිංසා නොකරන පිංවතෙක් වෙන්න. මහ පොළොවට, ගස්කොළන් වලට, සතා සිවුපාවාට සුවපත් වේවා යැයි මෙත් වඩන පිංවතෙක් වෙන්න. පිංවත් ඔබලා අසීමිත තෘෂ්ණාව හේතුවෙන්, බාහිර සතර මහා ධාතුවේ සමතුලිතභාවය විනාශ කළොත් ජාතියේ අනාගතය නිතර, නිතර පැමිණෙන ගංවතුරට සහ නියඟයට බාර දෙන්න සිද්ධවේවි.

පිංවත වර්තමානයේ දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ. මනුෂ්‍ය අපි දෙවියොත් අධාර්මිෂ්ඨභාවයට පත්කරලයි තිබෙන්නේ. පිංවත සමාජයට මෛත්‍රියෙන්, ශීලයෙන් පූර්වාදර්ශ නොදෙන අධාර්මිෂ්ඨ පාලනයන් හේතුවෙන්, පිංවත් ජනතාවත් අධාර්මිෂ්ඨ වෙත්දි, මනුෂ්‍ය සමාජයේ පිරිහීමට සාපේක්ෂව දෙවියොත් පිරිහීමට පත්වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත් මනුෂ්‍ය ප්‍රජාවගේ අතොරක් නැති කාමච්ඡන්දයන් ඉදිරියේ දෙවියොත් පංච නීවරණයන්ගේ ගොදුරු බවට පත්වෙනවා. කාමච්ඡන්දයන් ඉදිරියේ පිංවත් මනුෂ්‍යයා, අනුන් ගැන නොසිතා, තමන්ගේම සැපය ගැන සිතනවා සේම, වැස්ස වලාහක, උෂ්ණ වලාහක, ශීත වලාහක, සුළං වලාහක දෙවියෝ ද, අනුන්ට සිදුවෙන පීඩාවන් ගැන නොසිතාම, කාමච්ඡන්දයන් විඳීම, දේශගුණික විකෘතීන්ට එක් හේතුවක් යැයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංවත වර්තමානයේ ඔබ ධර්මානුකූලව මෛත්‍රියෙන්, ශීලයෙන් නිවැරදිවීමෙන් මනුෂ්‍ය ප්‍රජාව වන ඔබ පමණක් නොව, දිව්‍ය ප්‍රජාවත් අකුසලයෙන් මුදා ගත්තා වෙනවා. පිංවත අපි ජාතියක් හැටියට ගොඩාක් ප්‍රමාදයි. අපි දෙවියොත් ප්‍රමාදීභාවයට පත්කරලයි තිබෙන්නේ. එම නිසාමයි ගංවතුර සහ නියඟය ඉදිරියේ දෙවියන්ට කන්නලව් කිරීමෙන් ඵලක් නොවෙන්නේ.

පිංවත ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන සහ විසිරෙන අර්ථයටයි. ලෝකය කවදාකවත් නිවැරදි කරන්න බැහැ. කුසල් සංස්කාරයෝ පමණක් නොව, අකුසල් සංස්කාරයොත් ලෝකයේ සාමාජිකයෝයි. ඒ නිසාම අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. රූපය ඇසුරෙන් සකස්වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පිංවත බක්කුල මහ රහතන් වහන්සේගේ අධ්‍යාත්මික රූපය ලේසියෙන් කැඩුණේ, බිඳුණේ, විසිරුණේ නැහැ. උන්වහන්සේ අසූ වසරක් තම පැවිදි ජීවිතය පුරාවට ඖෂධයක් හැටියට අරළු ගෙඩියක්වත් වැළඳුවේ නැහැයි සිංහ නාදයක් කරනවා. පිංවත බක්කුල මහ රහතන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව නිරතුරුවම රෝගීභාවයන්ගෙන් කිපීමට ලක්නොවූයේ උන්වහන්සේගේ අතීත කුසල් ශක්තිය නිසාමයි. පිංවත අපේ අධ්‍යාත්මික රූපයන්ට කුමක් ද වෙලා තිබෙන්නේ? උදේට ආමවාතය, දවල්ට හිසේ අමාරුව, රාත්‍රියට ඇඟේ පතේ වේදනාව. අපේ අධ්‍යාත්මික රූපයේ කිපීම් වැඩියි. පිංවත අපේම ජීවිත තුළින් ක්‍රියාත්මක වෙන කුසලයේ සහ අකුසලයේ පරතරයයි අපි මේ දකින්නේ. පිංවත අපි අපේ පෞද්ගලික මතවාද පැත්තකින් තබා, ලෞකික සැපයට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අප්‍රමාදී වෙමු. අපි ප්‍රමාදීවෙන මොහොතක් පාසා අකුසලය අපිව ගිලගනිමින්මයි පසුවෙන්නේ. පිංවත අපි ප්‍රමාදීවෙන සෑම තත්පරයක්ම, දුකේ කල්පයක් විය හැකි බව සිහිනුවණින් තේරුම් ගන්න.

පිංවත අවිද්‍යාවේ මුල් හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ දශ අකුසලයටම බර වෙත්දි, සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා එකිනෙකට වෙනස් මායාකාරී මැජික් සංදර්ශනයන් සමාජගත කරනවා. පිංවත සමාජය තුළ අකුසලය මෝරායද්දී, අපේ ඉදිරි අනාගතය අලුත් අලුත් මාදිලියේ මැජික් සංදර්ශනයන්ගෙන් අඩුවක් වෙන්නේ නම් නැහැ. පිංවත මෝඩ පුරුෂ ලක්ෂණයන් සහිත මිච්ඡා බුදුවරු, පංච නීවරණ මත ලගින මිච්ඡා රහතන් වහන්සේලා. පිංවත මේ මැජික් සංදර්ශන ගැන ඔබ කලබල වෙන්න එපා. හෙට දවසේ මම බුදු වුණා යැයි කියලා කාන්තාවක් අලුත් සංදර්ශනයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. පිංවත මේවා අකුසල් සංස්කාරයෝ සමාජයට ප්‍රසූත කරන, විඤ්ඤාණයේ මායාකාරී සංදර්ශනයෝමය. පිංවත සමාජගතවෙන කුසලය සහ අකුසලයේ විපාකයන් ධර්මානුකූලව දැක තේරුම් ගන්න නම්, අවම වශයෙන් අපි උතුම් සෝවාන්ඵලයටවත් පත්වෙන්න ඕනේ. පිංවත පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව දැක්ම පිරිසිදුකොට නොගත් නිසාම, තවමත් සෝවාන්ඵලයට පත්නොවූ අපි, සමාජගතවෙන ඉහත අකුසලයේ මැජික් සංදර්ශනයන් ඉදිරියේ සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. පිංවත සමාජගත අකුසලය මේ උත්සාහ කරන්නේ, මායාකාරී විඤ්ඤාණයේ මැජික් සංදර්ශන තුළින්, සමස්ත කුසල් වඩන පිංවත් ජනතාවම ඇලීම් සහ ගැටීම්වලට යොමු කිරීමයි. පිංවත තාක්‍ෂණය නමැති මාරයා, සමාජගතවෙන විඤ්ඤාණයේ මායාකාරී මැජික් සංදර්ශනයන් ඇසුරු සැණින් සමාජගත කරන්නේ, අවිද්‍යාවට කෘතගුණ දක්වන්නමයි. පිංවත ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල මෝඩ පුරුෂ ලක්ෂණයන් සහිත පුද්ගලයන් සමාජගත කරන විවිධ මාදිලියේ මැජික් සංදර්ශනයෝ, අනිත්‍ය වූ සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ මනෝ විඤ්ඤාණයන් යැයි උතුම් ධම්මානුපස්සනාවෙන්ම දකින්න. එවිටයි පිංවත් ඔබ සංස්කාර මාරයාගේ විඤ්ඤාණ මායාවන්ට ධර්මානුකූලව පිළිතුරු දුන්නා වෙන්නේ.

පිංවත කාමච්ඡන්දයන් තුළ ලැගගන්න අකුසල් සංස්කාර මාරයා, ඒකපාක්‍ෂිකව පෙනී සිටින්නේ, අවිද්‍යාවේ ආරක්ෂාව උදෙසාමයි. පිංවත සමාජගතවෙන මේ විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයන් නිරතුරුවම උත්සාහ ගන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේට, උතුම් රහතන් වහන්සේලාට සහ උතුම් අධිගමයන්ට සමච්චල් කිරීම සහ අපහාස කිරීමටමයි. උතුම් ධර්ම විනය හාස්‍යයට ලක්කිරීමටමයි. පිංවත මේවා අකුසල් මාරයාගේ ශාසන විරෝධී කුමන්ත්‍රණයි. මෙම ආගන්තුක සංදර්ශන පුද්ගල සංඥාවෙන් ගන්න එපා. මෙම සිද්ධීන් පුද්ගල සංඥාවෙන් ගත්තොත්, අපිත් විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ ආහාරයක් බවටමයි පත්වෙන්නේ. පිංවත සමාජගතවෙන මේ මායාකාරී විඤ්ඤාණ සංදර්ශන ඉදිරියේ, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ජවය දෙන, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්ම නැගී සිටින්න. පිංවත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිත්දිත් මිච්ඡා බුදුවරු, මිච්ඡා රහතන් වහන්සේලා, මිච්ඡා ශ්‍රාවකයින් සිටියා. පිංවත අවිද්‍යාව පිරීගිය ලෝකය විඤ්ඤාණ මැජික් සංදර්ශනයන්ට මහා රඟමඬලක්. උතුම් සෝවාන්ඵලයට පත්නොවූ අපි කවුරුත් තවමත් එම රඟමඬලේ රඟන නළු නිළියෝ. පිංවත ඔබේ පටිච්චසමුප්පන්න මායාකාරී මනෝ විඤ්ඤාණය ඉදිරියේ තෘෂ්ණාවට ඉණිමං බඳින්න දෙන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන නුවණින් දකිනවා, භික්ෂුව අතීත භව ගමනේ විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ තෘෂ්ණාව මුල්කොටගෙන, මොනතරම් මිච්ඡා බුදුවරු ලෙස සංදර්ශන ඉදිරිපත් කරන්න ඇති ද? මිච්ඡා රහතන් වහන්සේලාගේ මෝඩ චරිත රඟපාන්න ඇති ද? පිංවත අවිද්‍යාව, විද්‍යාව හැටියට දකින්නේ දුකමයි. පිංවත අවිද්‍යාව, විද්‍යාව හැටියට දකින්නේ මෝහයමයි.

පිංවත කල්‍යාණමිත්‍ර ආශ්‍රය නොතකන, අකුසලයටම බර වූ මනෝ විඤ්ඤාණය, සත්ත්වයා මාර ධර්මයන්ගේ සුවච කීකරු රූකඩයන් බවට පත්කරත්දි, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන, කුසලයට බර වූ ඔබේ මනෝ විඤ්ඤාණය සති සම්බොජ්ඣංගය තුළින් උතුම් ධම්ම විචය බොජ්ඣංගයමයි මතුකොටගත යුත්තේ. පිංවත සමාජගතවෙන විවිධ මාදිලියේ මිච්ඡා චරිත ඉදිරියේ, මිච්ඡා රඟපෑම් ඉදිරියේ, මිච්ඡා ගැලවුම්කාරයින් ඉදිරියේ මෙම රඟදැක්වෙන මෝඩ පුරුෂ ලක්ෂණයන් සහිත ගිහි සහ පැවිදි මායාකාරී චරිත ඉන්ද්‍රීය ධර්මයන්ගේ අන්ත දුර්වලභාවයන් හැටියටම දකිමින්, මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න. මෙම මායාකාරී විඤ්ඤාණයේ මැජික්කාර මෝඩ පුරුෂ රඟපෑම්වලට නොගැටී, නොඇලී මෙම අසම්මත චරිත තුළින් පිංවත් ඔබේ සම්මා සමාධිමත් සිතම ශක්තිමත් කොටගන්න දක්ෂ වෙන්න. පිංවත අකුසල් සංස්කාර මාරයා, දැනීම් ඔස්සේ එකක් පසුපස එකක් මෙම මෝඩ පුරුෂ ලක්ෂණයන් සහිත චරිත කළඑලි බස්සන්නේ, අකුසලයේ පිං කැට තව තව තවත් පුරවන්නයි. පිංවත උතුම් සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි සති සම්බොජ්ඣංගය දුර්වලකොටගත් අපි හැමෝම දැන් හොඳටෝම ප්‍රමාදියි. ගෙවීගිය අඩ සියවසක කාලයක පටන්ම අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ අධාර්මිෂ්ඨ පාලන තන්ත්‍රයන්. ඉහත කාලය පුරාවට සංස්කාර මාරයා අපි හැමෝටම කාම, රාග, පටිඝයන්ගෙන් අල්ලස් ලබා දී අවසන්. අපි සියල්ලෝම අකුසල් සංස්කාර මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයෝ. පසුගිය දවසක අවංක, ශිල්වත්, දැනුම, බුද්ධිය තිබෙන මහත්මයෙකුට මතක් කළා, මහත්මයාලා වගේ අය දේශපාලනයට ඇවිල්ලා සමාජයට ශිල්වත් නායකත්වයක් ලබා දෙන්නය කියලා. භික්ෂුවගේ මතක් කිරීම ඉදිරියේ එම පිංවත් මහත්මයාගේ ගෞරවනීය පිළිතුර වුණේ ස්වාමීන් වහන්ස, සමාජය නිවැරදි කරන්න ගිහින් මම පරාජයට පත්වුණොත්, මට සියල්ලම අහිමි වෙයි කියලා. පිංවත මේ කතා කරන්නේ ඔබලා නොව, අකුසල් සංස්කාර මාරයා ඔබලාට අල්ලස් වශයෙන් ලබාදුන්, සක්කාය දිට්ඨියෙන් පෝෂණය වූ, මායාකාරී මනෝ විඤ්ඤාණයෝමය. පිංවත ඇත්තටම අපේ සම්මා දිට්ඨිය සංස්කාර මාරයා සොරෙන් අරගෙන ගියා ද? එසේත් නැතිනම් අපේ සම්මා දිට්ඨිය නැති ද? පිංවත අපේ ශ්‍රද්ධාවේ, ශීලයේ, මෛත්‍රියේ, දානයේ මහා ආනිශංස පක්‍ෂයට මොක ද වුණේ? පිංවත අපේම ආත්ම ශක්තියට, ආත්ම විශ්වාසයට මොක ද වුණේ?

පිංවත මෙය සටහන් තබන භික්ෂුව, ගසක් මුල වැඩසිටිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් උතුම් පැවිද්ද ලැබූ භික්ෂුවක්. භික්ෂුව පැවිදි වී හරියටම මාස තුනෙන්, භික්ෂුවට මුල්ම ගෞරවනාමය ලැබෙනවා. එම ගෞරවනාමය තමයි පන්සලක්, ආරණ්‍යයක් නැති අහිගුණ්ඨික භික්ෂුවක් කියන ගෞරවනීය නාමය. පිංවත එතනින් පටන් ගත්ත භික්ෂුවගේ ජීවිතයේ ශීලයමයි අභියෝගයන් හමුවේ නැගී සිටීමේ සහ ජනප්‍රියභාවය ලබා දුන්නේ. භික්ෂුවගේ මෛත්‍රියමයි පිංවත් ජනතාවට ප්‍රියභාවය ඇතිකොට දුන්නේ. පිංවත දානයේ ආනිශංසයෝමයි භික්ෂුවට වර්ණය, සැපය, බලය ලබා දුන්නේ. පිංවත මේ සියල්ලම අනිත්‍ය වූ සංස්කාරයන් යැයි දැකීමෙන්මයි භික්ෂුවට විදර්ශනා ප්‍රඥාව ලැබුණේ. පිංවත ධර්ම මාර්ගය ඔස්සේ ඔබ තුළින් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න. එවිට අනුනට කවදාකවත් ඔබව පරාජයකොට දමන්න බැහැ. පරාජය ඉදිරියේදිත් ඔබ විදර්ශනාමය ජයග්‍රාහකයෙක්මයි.