ලෝකයේ ලොකුම ධනය චතුරාර්ය සත්‍යයයි

පිංවත සතුට දුර්ලභ ලෝකය තුළ පිංවත් ඔබ දුකට යටත් වෙන්න එපා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට අයිති ලෝකය තුළින්, පිංවත් ඔබ සතුට උදුරා ගන්න. අකුසල් වැඩි ලෝකය තුළ සතුට අපිට සිහිනුවණින් තොරව ලැබෙන්නේ නැහැ. අධර්මයෝ කැමති අධර්මයන්ටමයි. බොහෝම කෙටි කාලයකින් තම විවාහ ජීවිතය අසාර්ථක කොටගත් තරුණ මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට ආදරයේ නාමයෙන් බොරු කරපු සැමියා ගැන ගැටිලාම, මම දැන් ලෙඩෙක් වෙලාය කියලා. පිංවත අකුසල් සංස්කාරයෝ පෙරළා අකුසලය දිශාවටමයි අපිට දැනීම් සකස්කොට දෙන්නේ. භික්ෂුව ඇයට අවවාද කළේ, දුක තුළින් සැපය උදුරා ගන්න කියලයි. ඇයගේ දෙදරා ගිය විවාහය තුළින් අසාර්ථක වී ගියේ ඇයගේ කුසල් සංස්කාරයෝමයි. පිංවත අකුසල් විපාකයන් ඉදිරියේ ද්වේශය, වෛරය, පළිගැනීම් ඇතිකොට ගන්නේ නැතුව, පිංවත් ඔබේ අසාර්ථක විවාහය, අසාර්ථක සැමියා සහ ඔබට අහිමි වූ ආත්මගරුත්වය සිහිගැන්වෙන සෑම මොහොතකම, සුවපත් වේවා යැයිම සිතන්න පුහුණු වෙන්න. එවිට ඔබ අකුසලයට සහ දුකට යටත් නොවුණා වෙනවා. දුක මගහැර මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් ජීවිතයට එකතුකොටගත් දක්ෂයෙක් වෙනවා. එයම ඔබලාට විරහ වේදනාවන්ගෙන් තොර සතුට, සමගිය වැඩි අනාගතයකට මාර්ගයක් වෙනවා.

පිංවත, තම බත් පිඟානේ ලුණු වැඩි වුණොත් හැමදාමත් තම නෝනාට හොඳටෝම බණින මහත්මයෙක්, මේ දවස්වල මෛත්‍රී භාවනාවට යොමු වෙලා. දැන් නෝනා හදන කෑමවල ලුණු, ඇඹුල් අඩු හෝ වැඩි වුණොත් මේක මගේ අකුසලයක් යැයි සිතා, එම අකුසලයටත් සුවපත් වේවා යැයිම සිතනවාලු. පිංවත ඔබට පේනවා නේද ඔබේ ගැටෙන සිතෙන්, උපේක්ෂා ධර්මයෝ මතුකොට ගන්නා අපූරුව. හැබැයි ඉතින් ඔබේ ඔය උපේක්ෂාව මෝහයට ගොදුරුකොට දෙන්න නම් එපා. බිරිඳ හදන ආහාරවල ලුණු වැඩි නම් කරුණාකර ආදරයෙන් ඇයට ඒ බව කියන්න. වැරදි නිවැරදි කොටගත යුත්තේ සමගියෙන්මයි. ඔබේ ගැටෙන සිත අසමගියටත්, රෝගීභාවයටත් අකුසලයේ ලුණු, ඇඹුල් පදමට යෙදූ ආහාරයක්ම වෙනු ඇත. පිංවත අපි ජීවත්වන සමාජයේ කාමයේ වරදවා හැසිරීම් බහුල වෙනකොට විවාහ ජීවිත අවුලෙන් අවුලට පත්වෙනවා. විපාකයට පැමිණි කොරෝනා අකුසලය, තරුණ දරුවන් අතට සෙලියුලර් දුරකථන ලබාදීම හේතුවෙන් කාමයේ වරදවා හැසිරීමේ වරද සමාජය තුළ ජවසම්පන්න වෙලා තිබෙනවා. පිංවත් පිරිමි දරුවෙක්ගේ තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, අතීතයේ පිරිමි දරුවන්ගෙන් ගැහැනු දරුවන් ආරක්ෂාකොට ගැනීමට දෙමාපියන්ට සිදුවුණත්, වර්තමානයේ පිංවත් ගැහැනු දරුවන්ගෙන් තම පිරිමි දරුවන් ආරක්ෂාකොට ගැනීමට සිද්ධවෙලා තිබෙනවාය කියලා. පිංවත ඉහත කාරණයේ සත්‍යතාවයක් තිබෙනවා නම්, ඉන් අදහස් කෙරෙන්නේ ජාතියක් වශයෙන් පිරිහීමේ අධිවේගීභාවයයි. පිංවත අකුසලය නවතින්නේ නැහැ. අකුසලය අකුසලයටම පාර පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්ත්වයා රාගයට මෙතරම් බැඳී යන්නේ රාගයේ ආශ්වාදයක් තිබෙන නිසාය කියලා. මහණෙනි, රාගයේ ආශ්වාදය කෙටියි. මේ කෙටි රාගයේ ආශ්වාදය මහමෙරක් සේ සිතීම නිසාම, සත්ත්වයා දීර්ඝ ආදීනවයන් අයිතිකොට ගන්නවාය කියලා. අපි ළමා වියේදීම රාග සිතට බැඳුණොත් මුළු ජීවිතයම පරාජිතයෙක් වෙලා, මරණින් පසු තිරිසන් සතෙක් වෙලා උපදින්න පුළුවන්. පිංවත වඳුරෙක්, වැඳිරියක්, රිළවෙක්, රිළවියක්, ඌරෙක්, ඊරියක් යැයි කියන්නේ අනුවණ මනුෂ්‍ය ජීවිතවල කෙටි රාගයේ ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝයි. පිංවත කර්මය කර්මඵල විශ්වාසය මරාගෙන අධිවේගයෙන් සමාජගතවෙන රාගයේ උමතුව සමාජයට හඬගා කියන්නේ සම්මා දිට්ඨියේ දුර්වලභාවයමයි.

පිංවත කාම, රාග, පටිඝයෝ අපි පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදියි. එතෙක් කාම, රාග, පටිඝයෝ අපි සියලු දෙනාටම පොදු ධර්මතාවයක්. අපි හැමෝටම පොදු ධර්මාතාවයක් ඉදිරියේ වැරදිකරුවාට චෝදනා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. වර්තමානයේ අධිවේගයෙන් සමාජගතවෙන ළමා, තරුණ සහ වැඩිහිටි කාම රැල්ලට එම අහිංසකයින්ට දොස් කියන්න භික්ෂුවට බැහැ. මේ කාම රැල්ලේ සැබෑ වගඋත්තරකරුවා රාජ්‍ය දේශපාලනයයි. රටේ විනය මුදලට, බලයට යටවුණ සමාජයක දුශ්ශීලභාවය රජවීම හේතුඵල ධර්මයක්ම වෙනවා. පිංවත නිවැරදි මනුෂ්‍යයින් සොයන්න බැරි සමාජයකයි අපි ජීවත් වෙන්නේ. අපි අනුනගේ වැරදි සොය සොයා විවේචනය කළත්, අපිට වගකීමක් පවරපුදාට, අපිත් අනුන් කරපු වරදම කරනවා. පිංවත අපි හැමෝම කරන්නේ වංචාවක්. අපි කවුරුවත්ම චතුරාර්ය සත්‍යයට අවංක නැහැ. අපි කවුරුවත්ම අපිට අවංක නැහැ. අපි අපිට අවංක නම්, අපි දුකෙන් මිදෙන දිශාවටයි ගමන් කරන්න ඕනේ. අපි තෙරුවන් සරණයි කිය කියා යන්නේම තෘෂ්ණාව පසුපසමයි. අපි රටට, ජාතියට, ආගමට, තමන්ට සැප දෙනවා යැයි කිය කියා යන්නේම තෘෂ්ණාව පසුපසමයි. පිංවත කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදය අපිව සිහිමුළාවට පත්කරලා තිබෙන්නේ. ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය ජීවත්ව සිටිය දී ඇයි අපි මේ තරම් අවාසනාවන්ත වුණේ? එකම පිළිතුර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙරෙහි අසීමිත තෘෂ්ණාවමයි. පිංවත සියලු විනාශයන්ට හේතුව අපි තුළම තබාගෙන, අපි සොයන අර්බුදයට විසඳුම තව තවත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝම නේද. පිංවත ඔබ ඔබට අවංක වෙන්න තෘෂ්ණාව නිරාහාරව තබලා දුකට පිළියම් සොයන්න.

පිංවත මේ ලෝකයේ ලොකුම ධනය රුපියල් ශත නොවේ. මේ ලෝකයේ ලොකුම ධනය ඩොලර්, පවුම් නොවේ. මේ ලෝකයේ ලොකුම ධනය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පිංවත ශෝක පරිදේවයන්ගේ උල්පත වන මුදල් පසුපස හඹාගොස් ලෝකය පරදින්න එපා. පිංවත් ඔබට සුරංගනා කථා කියන කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදය සුරංගනාවියක් නොවේ. ඇය දීර්ඝ භව ආදීනවයේ මාරදූතියයි. පිංවත කරුණාකර සිහිනුවණින් තේරුම්ගන්න, ඔබේ ජීවිතයට එකතුකොට ගැනීමට ශ්‍රේෂ්ඨ ධනයක් තිබෙනවා නම් ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. ඔබේ කැපවීමෙන් ලෝකයාට ආරක්ෂාකොට තැබිය යුතු ශ්‍රේෂ්ඨ ධනයක් තිබෙනවා නම්, ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝමයි. කරුණාකර ඒ උතුම් අරමුණු දෙක උදෙසා පමණක් කැපවෙන්න, ඉන් බැහැර අන් සියලු කැපවීම් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට නම් අදාළ නැහැ. ඒවා අයිති දුකට හෙවත් ලෝකයටයි. පිංවත මීට වසර දෙදහස් හයසියයකට පෙරාතුව තෘෂ්ණාව අතහැරපු උත්තම මනුෂ්‍යයෝ, ගැන අපි අදත්, හෙටත් කතා කරනවා. අපි එම උත්තම, උත්තමාවියන්ට අදත් ගරුකරනවා. ඒ උත්තම, උත්තමාවියෝ අදත් අපේ හදවත් තුළ පූජනීයව ජීවත්වෙනවා. එහෙත් ගෙවී ගිය අඩ සියවස තුළ මියගිය තෘෂ්ණාව කර උඩ තබාගත් අපේ නායක නායිකාවෝ ගැන අද අපිට මොන මතකයක්ද, මොන ගෞරවයක්ද. පිංවත මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පුළුවන් ඔබ මිය ගියත්, ඔබේ මතකය ලෝකය තුළ ජීවත් කරවන්න. පිංවත තෘෂ්ණාවට පුළුවන් වෙන්නේ මරණින් පසු ඔබේ මතකය තෘෂ්ණාව විසින්ම ගිලදමන්නයි.

පිංවත භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා සිංහල බෞද්ධයා කියන්නේ හරිම පුණ්‍යවන්ත ජාතියක්. එම පුණ්‍යවන්තභාවය සමාජගත අසත්පුරුෂ අධර්මිෂ්ඨ දේශපාලනය විසින් ගිලගෙනයි තිබෙන්නේ. තෘෂ්ණාවේ මාරයා එම පුණ්‍යවන්තභාවය වහලයි තිබෙන්නේ. භික්ෂුව කිනම් ගමකට වැඩියත්, කිනම් ආයතනයකට වැඩියත්, කිනම් පූජනීය ස්ථානයකට වැඩියත්, භික්ෂුව දැක්කේ එම පිංවතුන් සද්ධර්මය ශ්‍රවණය කරන්න, භාවනා කරන්න විශේෂයෙන් සංසාර බිය ගැන අහන්න, පුදුමාකාර කැමැත්තක් දක්වන්නේ. තරුණ දරුවෝ, පාසල් දරුවෝ කියලා වෙනසක් නැහැ. ගෞරවණීය ගිහි සහ පැවිදි නායකයිනේ මේ ඇත්ත තේරුම්ගන්න. මේ අහිංසකයින්ව මාරයාගේ ගොදුරු බවට පත්කරන්න එපා. තෘෂ්ණාව බිමින් තියලා පින අක්‍රීයව පවතින මේ අධර්මිෂ්ඨභාවයෙන් වැසුන සමාජයට සරණක් වෙන්න. උතුම් චතුරාර්ය සත්‍යය ජීවත් කරවීමම ඔබේ වර්ණය, සැපය, බලය ප්‍රඥාව බව නුවණින් තේරුම් ගන්න. අපේ තෘෂ්ණාවෙන් තවදුරටත් මේ අහිංසක මනුෂ්‍යයෝ අපි අකුසලයටම කොටුකළොත්, අනාගතයේ අපේ ධනය වෙන්නේ ගින්දරම, ගිනිවතුරම බව කාරුණිකව තේරුම් ගන්න. පිංවත මනුෂ්‍ය සමාජය දෙස ධර්මානුකූල ඇසෙන් බලද්දී අපි දකිනේ ධර්මයක්මයි. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින් මුළු මනුෂ්‍ය සමාජයම අපිට ධර්මානුකූලව විග්‍රහකොට ගන්න පුළුවන්. පිංවත අපේ එකම අරමුණ ලෞකික සැපය සෙවීම නම්, ඉන් අදහස් වෙන්නේ අපේ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයයි, සංසාර බිය නොදැනීමයි. යම් පිංවතෙක් දිගින් දිගටම දුශ්ශීලවෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔහුගේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයයි. යම් බෞද්ධයෙක් තෙරුවන්ට ගරු නොකරනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔහුගේ අසත්පුරුෂ ආශ්‍රයයි. පිංවත හේතුඵල ධර්මයන් නිසාම සමාජගතවෙන වැරදි ඉදිරියේ ඔබ ඇතිකොටගන්නා ධර්මයේ උපේක්ෂාවයි වර්තමානයේ ඔබව සතුටින් තබන්නේ. පිංවත අනාගත සතුට උදෙසා වර්තමානයේ දුක් විඳින්න එපා. කිනම් පීඩාවන් ඉදිරියේ වුවද, ධර්මයේ උපේක්ෂාවෙන් ඔබ මතුකොටගන්නා වර්තමාන සතුටමයි, අනාගතයේ සැබෑ සතුටකට මාර්ගය වෙන්නේ. වර්තමානයේ තෘෂ්ණාව උදෙසා දුක් විඳින්නා අනාගතයේදි සතුටේ නාමයෙන් අයිතිකොට ගන්නේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ම බව සමාජ අත්දැකීම් තුළින්ම තේරුම්ගන්න.

පිංවත සමාජය වැරදි නැහැ. සමාජය වරදට පොළඹවලයි තිබෙන්නේ. වැරදි සමාජගතවීමට සමාජය නිදහස් කරලයි තිබෙන්නේ. පිංවත සමාජයට විනයක්, නීතියක්, දණ්ඩනයක්, සීමාවක්, ලෞකික ප්‍රඥාවක් අත්‍යාවශ්‍යයි. මුදලට, බලයට යටවුන රාජ්‍ය දේශපාලනයට සම්මා දිට්ඨියේ දැක්ම අවශ්‍යයි. ජීවමාන ශාස්තෘන්වහන්සේ වන උතුම් ධර්ම විනයට ගරු නොකරන්නෝ, මෙලොව පරලොව දෙකේම මරණ බියෙන් සහ නොසෑහීමෙන් දුක් විඳිනවා. ශීලයට අවනත නැති මනුෂ්‍යයෝ තමන්ටත් අනුනටත් දෙන්නේ අකුසලය, දුගතිය පමණක්මයි. මේ දේවල් ඔබට ගැටෙන්න හේතූන් නොවේ. සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්. කරුණාකර වර්තමානයේ සමාජගතවෙන මේ සැබෑ සිංහල බෞද්ධකමට ආගන්තුක වියරු හැසිරීම් ධර්මයේ උපේක්ෂාවෙන් දැකලා, ධර්මයක් දැකීමේ සතුට ඇතිකොටගන්න. එම වර්තමාන සතුටමයි ඔබේ සම්මා සතිය වෙන්නේ. එම සම්මා සතියමයි, සමාධිමත් සිතකින්, නිරවුල් මනසකින්, සමාජගතවෙන තෘෂ්ණාවේ මාරාවේශයට, තෘෂ්ණාවෙන් තොරව විසඳුම් කියලා දෙන්නේ. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයෝ, තෘෂ්ණාවේ ජන්ම උරුමය බව, තෘෂ්ණාව මැඩගෙන නුවණින් දකින්න.