විදර්ශනාවෙන් මතුවන පුණ්‍ය ශක්තිය !

පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත 2024 නව වසර ගැන භික්ෂුව මුකුත්ම සටහන් තබන්න යන්නේ නැහැ. අපේම අකුසල් සංස්කාරයෝ නව වසර ගැන සටහන් තබන්න, කිසිම යහපත් ධර්මයක් ඉතිරි කරලත් නැහැ. සියලු යහපත් ධර්මයෝ මළානික වූ සමාජයක, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ උත්සවත්ශ්‍රීයෙන් පිපිරී යන රතිඤ්ඤා හඬ සහ නගරයේ සංවිධානය වෙන්නා වූ තරු පන්තියේ කාමචAPන්දයන්ගේ ආශ්වාදයන් සිහිපත් වෙත්දි, අපේ කම ගැන සිහිනුවණ තිබෙන හැමෝටම බංකොලොත් වූ ජාතියක මියගිය අධ්‍යාත්මයේ තරම අනේ අපොයි කියලා, සිහිපත් වෙන්න ඕනේය කියලා භික්ෂුව විශ්වාස කරනවා.

පිංවත ලබන්නා වූ 2024 වසර පුණ්‍යවන්ත වෙන්න නම්, නව වසර පිනෙන් පිළිගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි නව වසර පිළිගන්නේ රතිඤ්ඤා දෝංකාරයේ සත්ව හිංසනයෙන් නම්, දුශ්ශීලභාවයෙන්, කාමචAPන්දයන්ගෙන් සහ විසිරුණ සිතින් නම්, අපි නව වසර පිළිගන්න සූදානම් වෙන්නේ පවෙන්මයි. පවෙන් පිළිගන්නා වූ වසරක් කෙසේ නම් පිනෙන් පිරී ඉතිරී යන්න ද? පිංවත ලෝකය වැරදි නැහැ. ලෝකය සංස්කාරයන්ට අදාළව නිවැරදි ඉරණම් ගමනක් යන්නේ. සිහිනුවණ තිබෙන ඔබ සැපය උදෙසා, විදර්ශනා නුවණ උදෙසා උඩුගං බලා යන්න. පිංවත අපි ජීවත්වෙන සමාජය මොනතරම් අකුසලයෙන් අමිහිරි වුණත්, අකුසලයෙන්ම උපන් එම අමිහිරිභාවයටත් සුවපත් වේවා යැයි, මෙත් වඩමින්, මේ සුන්දර මොහොතේ දෑස් පියාගෙන ලබන්නා වූ 2024 නව වසර, ගෞරවනීය, උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත්, සියලුම ගෞරවනීය පූජකතුමන්ලාටත්, රටවාසී සියලුම පිංවත් ජනතාවටත්, දිවයින සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ශිල්වත්භාවයේ අගය වැටහෙන, තම තමන්ගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉටුවෙන, ධර්මයේ උපේක්ෂාවට සිත නැවෙන සුබ නව වසරක් වේවා යැයි මෙත් සිතින්ම ආශීර්වාද කරන්න. කප්පරක් අනුවණකම් ඉදිරියේ නුවණැතිභාවයේ යුතුකමයි පිංවත් ඔබ මේ ඉටුකළේ.

පිංවත ලෝකයට වැරදි කිය කියා ඉන්න එපා. ලෝකයට වැරදි කියන්නා ලෝකය හඳුනා නොගත්තෙක් වෙනවා. පිංවත මේ ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩසිටින පිනැති නව වසරක උදාවේදි, සිහි නුවණින් ඔබේ ලෝකය දෙස බලන්න. ඔබේ ලෝකය යනු ඔබේ අධ්‍යාත්මික රූපයයි. පිංවත ඔබේ රූපය ලෙඩ වුණොත්, ඔබේ රූපය ජරාවට, වයසට පත්වුණොත්, ප්‍රියයන් ඔබට අහිමි වුණොත්, නිරතුරුවම අප්‍රියයන් ජීවිතයට මුණගැසුණොත්, ශෝක පරිදේවයෝ අතොරක් නැතිව ජීවිතය ඩැහැ ගත්තොත් අනේ කරුණාකර බාහිර ලෝකයට බණින්න එපා. මේ සියල්ල ඔබේම ලෝකයේ, ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සංස්කාර කියන අර්ථයේ පටිච්චසමුප්පන්න නිෂ්පාදනයෝමයි. පිංවත මෙච්චර කාලයක් අපි බාහිර ලෝකයාට බැන්නේ බාහිර ලෝකයා සමග ගැටුනේ, අපේම ලෝකයේ අකුසල් සංස්කාරයෝ නිසාම නේද? පිංවත අද දවසේ භික්ෂුවගේ ශරීරයට අසනීප ගතියක් දැනෙනවා. භික්ෂුව අසනීපගතිය බාරදෙන්නේ අතීත සත්ව හිංසනයන්ටමයි. එසැනින්ම භික්ෂුවගේ සිත ධර්මයේ උපේක්ෂාවට එනවා. පිංවත භික්ෂුවගේ ලෝකයේ ප්‍රශ්න, භික්ෂුව තුළින්ම විසඳා ගන්නවා. පිංවත භික්ෂුවගේ කිනම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ටවත් භික්ෂුව, සමාජයට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. පිංවත ලෝකය යනු තමාගේම පටිච්චසමුප්පන්න අවිද්‍යා පච්චයා සංස්කාර යැයි හඳුනාගත්ත පිංවතා ලෝකය ඉදිරියේ ඇලෙන්න හෝ ගැටෙන්න යන්නේ නැහැ. ඔහු සක්කාය දිට්ඨිය විනිවිද, තමාගේම අතීත සංස්කාර වියරුව දකිනා කෙනෙක් වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව, පිංවත් අනුනගෙන් ලබන සිත් පීඩාවන්ගෙන් සහ සිත් සතුටුකිරීම් වලින් වැළකිලයි ජීවත් වෙන්නේ. අපි අනුන්ගෙන් සතුටු වෙන්න ගියොත්, පිංවත් අනුනට පුළුවන් අපිව රිදවන්න. එම සිත් රිදවීමත් තමාගේම සංස්කාරයක් බව ඇත්ත, නමුත් එම අකුසල් සංස්කාරයනුත් මගහැර ජීවත්වීමයි සැබෑ ශ්‍රාවකයෙකුගේ යුතුකම වෙන්නේ. පිංවත කුසල් වේවා, අකුසල් වේවා සෑම සංස්කාරයක්ම වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස්බැන්දුමක් වෙනවා. සංස්කාරයෝ වරෙක අපිව හුරතල් කරනවා, එවිට අපි විඤ්ඤාණ තොටිල්ලේ නැලවිලි ගීත කියමින් නැලවෙනවා. සංස්කාරයෝ වරෙක අපිව රිදවනවා, එවිට අපි විඤ්ඤාණ මුඩුබිමේ දුක්ඛ දෝමනස්සයෝම වඩමින් ජීවත් වෙනවා. පිංවත ලෝකය අකුරටම නිවැරදියි. ලෝකය හඳුනා නොගත් අපි තවම වැරදියි.

පිංවත දුකෙන් පිරි ලෝකය, තෘෂ්ණාව දුකට හේතුව වූ ලෝකය, තෘෂ්ණාව නිරෝධ කිරීමෙන් දුක නිරෝධය කළ හැකි ලෝකය, ඔබ තුළින්ම හඳුනා ගන්න. ඔබේම නාමරූප ධර්මයෝ තුළින් හඳුනා ගන්න. දුක, තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් විකසිත වෙන සම්මා සමාධිමත් සිතෙන්, ඔබේ ලෝකයට නිවැරදි මං ඔස්සේ පිවිසෙන්න. පිංවත ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, එසේත් නැතිනම් කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයෝ එසේත් නැතිනම් සතර සතිපට්ඨානයෝ, පංච උපාදානස්කන්ධයෝ, පිංවත මේ සියලු ධර්මයෝ ධම්මානුපස්සනාව තුළ බහා, ලිහා, විවෘතකොට, විනිවිද බලා මේ සියලු ධර්මතාවයෝ අවබෝධය උදෙසා මාර්ගයක්ම කොටගන්න.

පිංවත 2024 නව වසර උදාවෙත්දිම, පිංවත් ඔබට විදර්ශනාමය ධර්මයන් ගැන සිහිපත්කොට දුන්නේ, පිංවත් ඔබේ පුණ්‍ය ශක්තිය වැඩිකොට දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියලු පුණ්‍ය කර්මයන් අතරින් විදර්ශනා සිතුවිල්ලක් තුළින් මතුකොට ගන්නා පුණ්‍ය ශක්තිය ශ්‍රේෂ්ඨයි කියලා. පිංවත පසුගිය දවසක දේශපාලනයට සම්බන්ධ මහත්මයෙක් කියලා තිබුණා, රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී, සමහරු ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, දානය ගැන කතා කරනවාය කියලා. ඉහත කාරණා වලින් කොහොම ද රටේ ප්‍රශ්න විසඳන්නේ කියලා. පිංවත ඉහත මිථ්‍යාදෘෂ්ටික අදහස ඇසෙත්දිම භික්ෂුව, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලාමයි සිතුවේ, පිංවත ජාතියේම අකුසලයට සමාජගතවෙන මෙවැනි අසත්පුරුෂ විකෘතීන්, සද්ධර්මයේ ශක්තිය උදෙසාමයි අපි පෙරළා උපයෝගිකොට ගතයුත්තේ. පිංවත පරාජයන් ඉදිරියේ පරාජිතයෙක් වෙන්න එපා. පරාජය අනිත්‍ය වූ සංස්කාරයක් හැටියටම දකින්න. එතනයි තවත් අනිත්‍ය වූ ජයග්‍රහණයකට මාර්ගය වැටී තිබෙන්නේ. පිංවත උදාවෙන අළුත් අවුරුද්දේ උදෑසන කිරිබතක් එහෙම නිවසේ පිසින්න සූදානම් වෙලා ද ඉන්නේ? එහෙමත් නැතිනම් හාල්වල, ලූණුවල, මිරිස්වල මිල ගණන් අහලා ගැටෙන සිතින්ම අනුභව කරන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ? පිංවත අපේම අකුසල්වලට අපෙන් පළිගන්න දෙන්න එපා. 2024 නව වසර උදාවෙත්දි, නැවුම් උදෑසන සමස්ත ජාතියටම කිරි ඉතිරේවා යැයි මෙත් සිතින්, ඔබේ නිවසේ කිරිබතක් පිස ගන්න. එහි මුල් කොටස තෙරුවන්ටම පූජාකොට ගන්න. දානමය චේතනාවෙන් එක කිරිබත් කෑල්ලක් හෝ අනුනට දන් දෙන්න. ඔබට පුළුවන් නම් පුංචි කිරිබත් දන්සලක් දෙන්න. කර ඔසවන නියත මිථ්‍යාදෘෂ්ටීන්ට, මෙත් සිතින් ධර්මානුකූලව පිළිතුරු දෙන්න. හැබැයි මේ සියල්ල ඉදිරියේ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න අමතක කරන්න එපා. අද දවසේ ජාතියට අවශ්‍ය ඇලීම් හෝ ගැටීම් නොවේ. හේතුඵල ධර්මයන් නුවණින් දකින ධර්මයේ උපේක්ෂාවයි. පිංවත අවබෝධයෙන් නැගී සිටින්න, තවමත් නොමළ දහමක වර්ණය, සැපය, බලය, ප්‍රඥාව උදෙසා සති සම්බොජ්ඣංගයෙන් යුතුව නැගී සිටින්න.

පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත 2024 නව වසරේදි උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අර්ථවත්ව ඇතිකොට ගන්න. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තමා තුළින්ම දැකලා, දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින්ම දැකලා, දුක නිරෝධය කරන්න නම් තමා තුළින්ම තෘෂ්ණාව නිරෝධය කළයුතුය කියන කාරණය දැකලා, තෘෂ්ණාව නිරෝධ කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථවත්ව ගමන් කරන පිංවතායි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකොටගත් පිංවතා වෙන්නේ. ඔහුගේ එකම ඉලක්කය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් භව නිරෝධයයි. පිංවත උතුම් ධර්ම රත්නය කෙරෙහි අර්ථවත් ශ්‍රද්ධාව යැයි කියන්නේ, සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය, සන්දිට්ඨික ගුණය අර්ථවත් කරමින්, මේ ජීවිතයේදිම උතුම් සෝවාන්ඵල ආදී වූ විදර්ශනාමය ඥානයන් ලැබිය හැකිය කියන නියත විශ්වාසයයි. පිංවත සංඝ රත්නය කෙරෙහි අර්ථවත් ශ්‍රද්ධාව යැයි කියන්නේ උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් තුළින් මහා සංඝ රත්නය දැකීමයි. පිංවත් ඔබ ශිල්වත් ස්වාමීන් වහන්සේට ඇලී, ශීලයෙන් දුර්වල ස්වාමීන් වහන්සේලාට ගැටෙනවා නම්, ඔබ කැමති ස්වාමීන් වහන්සේලාට ඇලී, ඔබ අකැමැති ස්වාමීන් වහන්සේලාට ගැටෙනවා නම්, අපි සංඝ රත්නය මුල්කොටගෙන ඇලීම් සහ ගැටීම් තුළයි ජීවත් වෙන්නේ. ඇලීම් සහ ගැටීම් යැයි කියන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකයි. අපි මහා සංඝ රත්නය උපයෝගි කොටගත යුත්තේ දුක උදෙසා නොව, ඇලීම් සහ ගැටීම් වලින් තොර සම්මා සමාධිය උදෙසාමයි. පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත නව වසරේදි ඇලීම් සහ ගැටීම් වලින් තොරව ගෞරවනීය මහා සංඝ රත්නය, පිංවත් ගිහි ඔබගේ සම්මා සමාධිමත් සිත උදෙසාම ප්‍රයෝජනයට ගන්න. පැවිදි සමාජයේ අපි, පිංවත් ගිහි පිංවතුන්ලාව ප්‍රයෝජනයට ගන්නේ අපේ සම්මා සමාධිය උදෙසාමයි.

පිංවත් ගිහි මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, වැරදි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙරෙහි තමන් පවතින්නේ කෙසේද කියලා. පිංවත වැරදි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින සිත, අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න. පිංවත වැරදි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සිතෙන සිත, චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. වැරදි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා ඇතිවෙන දුක් වේදනාවෝ, වේදනානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. වැරදි කරන ස්වාමීන් වහන්සේගේ රූපය සිහිපත් වෙත්දි එම රූපය, කායානුපස්සනාවෙන්ම දකින්න. පිංවත වැරදි කරන ස්වාමීන් වහන්සේ උපයෝගීකොටගෙන ඔබ ලෝකයෙන් නිදහස් වෙන්න. පිංවත දුකට තෝතැන්නක් වූ ලෝකය සිහිනුවණ ඇත්තන්ට “නිවනට” කමටහන් පාරාදීසයක්. පිංවත සිහිනුවණ දුර්වල පිංවතා, දේවදත්ත හාමුදුරුවෝ තුළිනුත් භවයමයි දිගේලි කොටගන්නේ. පිංවත හරි හෝ වැරදි වේවා ලෝකය, ලෝකය තුළම තියලා, කරුණාකර ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පාංශුකූල, මතක බණ, මතක දාන අවශ්‍ය නැති මරණයක හිමිකරුවෙක් වෙන්න.

පිංවත ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටියත්, අපි හැමෝම එකම අම්මාගේ දරුවෝ. අපි හැමෝගේම සැඟවුණ අම්මා තමයි අවිද්‍යාව. අවිද්‍යාවේ අම්මා සංස්කාර මවුකිරෙනුයි අපිව පෝෂණය කරන්නේ. අවිද්‍යාවේ අම්මාගේ දරුවන් වන අපි හැමෝම දවසින් දවස ලොකු මහත්වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණයන්ගෙන්මයි. පිංවත දැක්මෙන් අසීමිත, සංකීර්ණ, බෙදී, භේදභින්න වූ ලෝකයක, ධර්මයේ ස්වාක්ඛාත අර්ථයයි භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ. පිංවත ස්වාක්ඛාත වූ ධර්මය, කෙලෙස් මල ඉදිරියේ බොහෝම ගැඹුරුයි. පිංවත මාරයාගේ මධුසමය යැයි කියන්නේ අධාර්මිෂ්ඨ පාලනයන්ටමයි. මේ වනවිටත් මාරයා තම 2024 අලුත් අවුරුදු සුබපැතුම ලෝකයාට ප්‍රකාශ කරලයි තිබෙන්නේ. මාරයාගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය වෙන්නේ තව තවත් අධාර්මිෂ්ඨ පාලකයෝ, නායකයෝ පහළ වේවා යැයි කියන ප්‍රාර්ථනයයි. පිංවත 2024 වර්ෂය මැතිවරණ වර්ෂයක් යැයි ඉඟිකරන අපේ මාතෘභූමියෙන්, මාරයාගේ පවිටු අලුත් අවුරුදු ප්‍රාර්ථනය ඉටුවෙන්න නම් දෙන්න එපා. මාරයාගේ මේ පවිටු අලුත් අවුරුදු ප්‍රාර්ථනාව ඉටු නොවේවා යන්නමයි, භික්ෂුව සමස්ත ජාතියටම මෙත් සිතින් සිදුකරන අලුත් අවුරුදු ප්‍රාර්ථනය වෙන්නේ. පිංවත අභියෝගයන් ජයග්‍රහණය කොටදෙන ශීලයේ ශක්තියෙන්ම 2024 නව වසර පිළිගන්න.