පිංවත අපේ රටේ දේශපාලනය කියන්නේ සම්මා ආජීවයක් ද එසේත් නැතිනම් මිච්චා ආජීවයක් ද? පිංවත, අපේ රටේ දේශපාලනය සම්මා ආජීවයක් නම් අපේ පිංවත් දේශපාලන පිංවතුන්ලාට සම්මා සතියක් සහ සම්මා සමාධියක් තිබෙන්නට ඕනේ. සත්‍යකින් ම අපේ රටේ දේශපාලනය මිච්චා ආජීවයක්. දේශපාලනය මිච්චා ආජීවයක් වූ කල්හි අපේ උරුමය වෙන්නේ මිච්චා සතියෙන් පෝෂණය වෙන පංචනීවරණ ධර්මයෝමයි. මේ උමතු පංචනීවරණයෝ පෙරළා පෝෂණය කරන්නේ දුකේ වියරු වන අවිද්‍යාවමයි. පිංවත සමාජය පෙළගස්වන්නේ අවිද්‍යාව දිශාවට නම් අවිද්‍යාවේ ගමනාන්තය ජාති, ජරා, ව්‍යාධි, මරණ ම බව, අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පිංවත අපේ මිච්චා සතිය මුල්වී පංචනීවරණයෝ රජකරවීමේ විපාකයන් හදවතින්ම අපි භුක්ති විඳිනවා. පිංවත සප්තබොජ්ජංගයෝ රජකරවන්න. දුකට එකම හේතුව අවිද්‍යාව යැයි දන්නා සති සම්බොජ්ජංගය පමණක්මයි අපේ රටේ තෘෂ්ණාවෙන් උමතු දේශපාලනයට වැටෙන මල් වැස්සක් වෙන්නේ. සිතුවිල්ලෙන්, සිතුවිල්ලට, අකුසලයේ අකල් වැසිම කඩාහැළෙන අපේ රටේ දේශපාලනයට පිංවත් ඔබ සතිසම්බොජ්ජංගයේ මල් වැස්සක් ම වෙන්න. අකුසලයේ අකල් වැසිවලට කොටුවී පණ අදින ධම්ම විජය බොජ්ජංගය අපේ රටේ දේශපාලනය තුළ යළි ජීවත්කරවන්න. උතුම් ධම්මවිජය බොජ්ජංගයමයි, ජාතිය යළි වීර්යය බොජ්ජංගයෙන් නැඟී සිටුවන්නේ.
පිංවත අපි ජීවත්වෙන සමාජය තුළ සත්පුරුෂ ධර්මයන්, කෘතවේදී ධර්මයන් හුඟාක් අඩුයි. අපි මේ දේවල් සමාජයෙන් බලාපොරොත්තු වුණොත් අපිට ඉතිරිවෙන්නේ ඇලීම් හෝ ගැටීම් පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුව, තම භික්ෂු ජීවිතයේ දී සමාජයෙන් කිසිවක්ම බලාපොරොත්තු වුණේ නැහැ. භික්ෂුව විශ්වාස කළේ භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සහ වර්තමාන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය පමණක්මයි. ලෝකය අවිද්‍යාවට ම භාරදීලා, අවිද්‍යාව හේතුවෙන්ම සකස්වෙන කුසල් සංස්කාරයන්ගෙන් අපේ ම අකුසල් සංස්කාර ලෝකය ජය ගන්න අපි දක්ෂවෙන්න ඕනේ. පිංවත අපි මේ සැප සහ දුක් වේදනාවන් සමග කරන්නේ තරගයක්. මේ තරගයේ නිර්මාණකරුවා, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ අපේම කුසල් සහ අකුසල් සංස්කාරයි. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නැමති මායාකරුවා මගේම අතීත කුසල් සහ අකුසල් සමග මාව සටනට යොමුකරනවා. පිංවත සත්පුරුෂ ධර්මයෝ, කෘතවේදී ධර්මයෝ සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. පිංවත් ඔබ දිවිහිමියෙන් සත්පුරුෂවෙන්න, කෘතවේදී වෙන්න, එතැනයි පෙරළා ඔබට සත්පුරුෂ ධර්මයෝ සහ කෘතවේදී ධර්මයෝ ලැබීමේ මාර්ගය වෙන්නේ. පිංවත ඔබේ අතීත අසත්පුරුෂ ධර්මයෝ සහ අකෘතවේදී ධර්මයන්ට අදාළව අකුසල් වැඩිනම්, ඉහත මාර්ගය දුර්වල වෙන්න පුළුවන්. පිංවත කැඩපත ඉදිරියේ ඔබේම රූපයයි දර්ශනය වෙන්නේ. එම රූපය සුදු වුණත්, කළු වුණත්, නොඇලි සහ නොගැටී සතුටින් පිළිගන්න. පිංවත වර්තමාන ලෝකය ඔබට අසත්පුරුෂකම් කරනවා නම්, ඉන් අදහස් වෙන්නේ ඔබේ ම අතීත අසත්පුරුෂ ධර්මයන්ගේ අමිහිරි හේතුඵල ධර්මයන්මයි.
අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලක අට වසරේ අධ්‍යාපනය ලබන දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට කිව්වොත්, ලොකු පන්තිවල අයියලා මොනවදෝ බීලා අපිට ලිංගික හිංසාවන් කරන්න එනවාය කියලා, එය බෞද්ධ පාසලකට මොනතරම් නම් අගෞරවයක් ද? පිංවත මෙවන් කථාවන් අපිට දැන් ඕනෑවටත් වැඩියෙන් ඇසෙනවා. පිළිතුරක් නැති, විසඳුමක් නැති, මෙවන් කථා ඉදිරියේ සමාජය නිද්රාශීලීවයි හැසිරෙන්නේ. තමන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. සියලුම මුල් පුටු තෘෂ්ණාව විසින් ම බදු අරගෙනයි තිබෙන්නේ. මුල් පුටු තෘෂ්ණාව විසින් බදු ගැනීමෙන් සමාජ ප්රතිලාභයන් බවට පත්වෙන්නේ ඇලීම සහ ගැටීමයි. පිංවත දුකට හේතුව රට කරවන රජයන් නොවේ. දුකට හේතුව තෘෂ්ණාවයි. ඔබේ ඉලක්කය විය යුත්තේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන වියරු තෘෂ්ණාවයි. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් හැටියට අපේ වගකීම විය යුත්තේ තෘෂ්ණාව සියුම් කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සමාජගත කිරීමයි. භික්ෂු සමාජයේ අපිත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජප කරමින්, තෘෂ්ණාව මුලට ගත්තොත් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කාගේ නම් ආරක්ෂාවක් ද? පිංවත අපි ජීවත්වෙන සමාජයට අලුත් වෙනසක් අත්‍යවශ්‍යයි. අපි ගොඩාක් අවිද්‍යාවෙන් පරණ වෙලා. අපේ ජීවිතවල අවිද්‍යාව පුස්කාලා. ලෞකික සැපය කියලා අපි අල්ලා ගන්නේ දුකමයි. ඇත්ත වෙනුවට බොරුවමයි රජකරන්නේ. අපේ ම වැරදි අපි සක්කායදිට්ඨියේ වැලිවලින් වසාගන්නේ, බළලෙක් තම අසූචි ගොඩ වැලිවලින් වසා දමනවා වගේමයි.
පිංවත වර්තමානයේ අපිට අත්‍යවශ්‍ය ද්වේශය, වෛරය, පළිගැනීම නොවේ. මේවා සියල්ල ම විනාශකාරී ධර්මයන්. නොසැලෙන තෘෂ්ණාවෙන් වියරු වැටුණ මාරධර්මයන් ඉදිරියේ වරද අවිද්‍යාවට භාරදෙන්න, වරදකරුවා සංස්කාරයන්ට භාරදෙන්න. එවිට අපේ දැනීම් අපිම කුසල් ධර්මයන්ට භාර කළා වෙනවා. පිංවත අපි අසත්‍යයට යටවී ජීවත් වුණත්, සත්‍යය අපි ඉදිරියේ තිබෙනවා. දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි, අපි නොදකින තාක්කල්, සැබෑ සත්‍යය අපි ම සඟවා ගෙනයි ජීවත්වෙන්නේ. පිංවත අපි සත්‍යය සඟවාගෙන ජීවත්වුණොත් බොරුකීමට අදාළ ශිල්පදය විසිහතර පැයේම අපෙන් ගිලිහීයනවා නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන සත්‍යය ඔබ ජීවිතයට ගත්තොත්, ඒ සත්‍යයේ ශක්තියෙන්ම පංචශීලයේ ම ආරක්ෂාව ඔබට හිමිවෙනවා.
පිංවත සංකිච්ච පුංචි අයුෂ්මතුන්, දබ්බමල්ලපුත්ත පුංචි අයුෂ්මතුන්, සෝපාක පුංචි අයුෂ්මතුන්, නිග්‍රෝධ පුංචි ආයුෂ්මතුන් කුඩා වයසේ දීමයි උතුම් පැවිදිභාවයට පත්වුණේ. අතීත සාංසාරික පටිච්චසමුප්පන්න පිනෙන් මොනවාට පෝෂණය වූ මේ පුංචි ආයුෂ්මතුන්ලා, පුංචි සාමනේර වයසේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගැනීමට දක්ෂ වෙනවා. පුංචි ආයුෂ්මතුන්ලාගේ පුංචිකම උතුම් පැවිද්දට හෝ පැවිදිභාවයේ සාර්ථකත්වයට බාධාවක් වුණේ නැහැ. අතීත පුණ්‍ය ශක්තිය නිසා ම මේ පුංචි ආයුෂ්මතුන්ලාට උතුම් රහතන් වහන්සේලාමයි උපාධ්‍යයන් වහන්සේලා වුණේ. උතුම් රහතන් වහන්සේලාගේ ගුරු ඇසුර නිසා ම එම පුංචි ආයුෂ්මතුන්ලාගේ උතුම් පැවිදි ජීවිත කිරිගහට ඇන්නා වගේ සාර්ථක වුණා. ඉන් අදහස් වෙන්නේ තම පැවිදි ගුරුවරයා, ගුරු ගෞරවය දරාගත් නායක හිමිනමක් නම්, ළමා වයස පැවිද්දර බාධාවක් නොවෙනවා කියන කාර්ණයයි. නමුත් වර්තමානයේ අපේ පැවිදි සමාජය තුළ කුමක්ද සිද්ධවෙන්නේ. ළමා වයසේ පැවිදිවෙන හුඟාක් පුංචි ආයුෂ්මතුන්ලා නොමඟට යොමුවෙනවා. එසේත් නැතිනම් සිවුරුහැර යනවා. පිංවත මීට වගකිව යුත්තේ පුංචි සාමනේර හිමිවරුන්ගේ පුංචි වයස නොවේ. ගෞරවණීය පැවිදි ගුරුවරයා සෑම විටම තම පැවිදි ශිෂ්‍යයාට මහා බ්‍රහ්මයෙක් විය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් තම කුඩා පැවිදි ශිෂ්‍යයා දෙස බැලිය යුතුයි. ගෞරවණීය පැවිදි ගුරුවරයා තුළ මහා බ්‍රහ්ම ගුණයන් තිබෙනවා නම්, තම පිංවන්ත පැවිදි ශිෂ්‍යයාට, තම පැවිදි ගුරුවරයා කුසල් ඉල්ලමක්ම වෙනවා. මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් ගෞරවණීය පැවිදි ගුරුවරයාට වන්දනා කරද්දී, උපස්ථානය කරද්දී, කීකරු වෙද්දී, පුංචි සාමනේර ආයුෂමතුන්ලාගේ පින, තව තවත් ශක්තිමත් වෙනවා. ඒ පිනමයි පැවිදිභාවයේ සාර්ථකත්වය උපකාරී වෙන්නේ. ගෞරවණීය පිංවත ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයේම ලෞකික ප්‍රඥාවේ අර්ථයන් දුර්වල වෙන සමාජයක මුලින්ම කණකොකා හඬන්නේ ශීලයටයි. ශීලයට කණකොකා හඬද්දී, සතිය, සමාධිය, විදර්ශනා ප්‍රඥාව කෞතුක ධර්මථාවයන් බවටයි පත්වෙන්නේ.
ගෞරවණීය පැවිදි ගුරුවරයා මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් ශක්තිමත් වුණොත් පමණක්මයි, තම පැවිදි ශිෂ්‍යයා අනාගතයේ දී ගුණාත්මක මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් පැවිදි ගුරුවරයෙක් බවට පත්කොට ගැනීමට හැකි වෙන්නේ. එක පරම්පරාවක් උපයෝගීකොට ගෙන අනාගතයේදී තව පරම්පරාවක් ගුණාත්මකභාවයට පත්කොට දීමේ මහා ශක්තියක් උතුම් බ්‍රහ්ම ගුණයන් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් තුළ තිබෙනවා. ගෞරවණීය වැඩිහිටි අපි අපේ පැවිදි ශිෂ්‍යයාට මහා බ්‍රහ්මයෙක් නොවී, අවම වශයෙන් මනුෂ්‍ය ධර්මයනුත් ගිලිහි ගිය අමනුෂ්‍ය ධර්මයන්ගෙන් සැලකුවොත්, වර්තමාන සහ අනාගත පැවිදි පරම්පරාවන් දෙකම අනතුර දිශාවටමයි ගමන් කරන්නේ. ගෞරවණීය උපසම්පදා ගුරුවරුන් වේවා පිංවත් සාමනේර හිමිවරුන් වේවා, දෙපාර්ශ්වෙයේ ම සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයයි, උතුම් සංඝ සමාජයම පුණ්‍ය කෙතක් බවට පත්කරන්නේ. අවුරුදු දහයට අඩු වයසේ දී පැවිදි වෙලා සුපේක්ෂල, ශික්ෂාකමී, පැවිදි උතුමන් බවට පත් වූ ඕනෑ තරම් ගෞරවණීය නායක ස්වාමින් වහන්සේලා අපි අතර වැඩසිටිනවා. මේ සාර්ථකත්වයට හේතුව එම ස්වාමින් වහන්සේලාගේ පෙර පුණ්‍ය ශක්තිය නිසා ම ලැබුණු මහා බ්‍රහ්ම ගුණයන් ගෙන් පෝෂණය වූ සත්පුරුෂ ගුරු ඇසුරමයි. අවිද්‍යාව ශක්තිමත් වෙද්දී මුලින් ම පිරිහීමට පත්වෙන්නේ ගුරුවරයායි. දෙවනුවයි ශිෂ්‍යයාගේ පිරිහීම ආරම්භවෙන්නේ. මේ සියලු පිරිහීම්වලට මුල්වෙන්නේ පිංවත් අධර්මිෂ්ඨ පාලක පිංවතුන්ලාගේ බළකාමී, තෘෂ්ණාධික වැරදි පූර්වාදර්ශයන්මයි. පිංවත සියලු ධර්මිෂ්ඨ ධර්මයන් පිරිහීයන සමාජයක ළමා පැවිද්ද ගැන සමාජය බොහෝම සිහිනුවණින් කටයුතු කරන්නට ඕනේ. සාංසාරික පුණ්‍යවන්ත උපාදානයන් ඔස්සේ උතුම් පැවිදි ජීවිත ලබන කුඩා සාමනේර ආයුෂ්මතුන්ලාගේ උතුම් පැවිදි සිහින, අකාලයේ මරා දැමීම අහස පොළොව නුහුල්ලන අපරාධයක්ම වෙනවා.
පිංවත ඔබ වැරදි නැහැ, ඔබව වරදට පොළඹවන්නේ අවිද්‍යාවයි. ඔබ ඔබ දෙස නොබලා, අවිද්‍යා දෙස බලන්න. එවිට ඔබට වැටහේවි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොතෙක් නම් දුරස්වෙලා ද කියලා. ආස්වාදයට අදාළ සියල්ල අපිට සමීපවෙද්දී, නිස්සරණයට අදාළ සියල්ල අපෙන් ගිලිහී යනවා. පිංවත ඔබ අසරණ නැහැ. ඔබට සරණක් තිබෙනවා. මිච්චා සතියට ඉඩනොදී සම්මා සතියෙන් නැඟී සිටින්න. අපරාජිත දහමක ආත්මගරුත්වය රැකදීමේ වගකීමක් ඔබේම සංස්කාර විසින් ඔබට පවරාදී තිබෙනවා. නොවටිනා ජීවිතයකට වටිනාකමක් දුන්න මේ උතුම් සම්බුදු ධර්මය, නොමළ ජීවිතවල මළ ධර්මයක් බවට පත්කරන්න එපා. පිංවත් ඔබේ ජීවිතය තුළින් ධර්මය ජීවත් කරන්න. පිනෙන් උපන් ඔබ, පවට ජීවිතය භාර දී පුණ්‍යවන්ත උපන් බිමට සමුදෙන්න එපා.