පරාජිත මානසිකත්වයක් ඇයි?

පිංවත අපි වැටෙන්නේ නිදාගන්න නොවේ, යළි පුරුෂ ධෛර්යයෙන් යුතුව නැඟීසිටීමටයි. පිංවත අපිව වැට්ටුව බව ඇත්ත, දැන් ඉතිං අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යළි නැඟීසිටින්න. පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ පූජණීය බිම්කඩක. මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර වන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්යසත්‍යය ධර්මයෝ, උතුම් විදර්ශනාමය ඥානයන් සහ කෘතවේදීභාවය, මේ නිමේෂයේදිත්, මේ පූජණීය මාතෘභූමිය තුළ ජීවමානව තිබෙනවා. පිංවත ඔබ අසරණ නැහැ. ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් කවුරු ඔබව අවිද්‍යාවෙන් අසරණ කිරීමට උත්සහ කළත්, උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය මේ පිංවත් මාතෘභූමියට තවමත් තිබෙනවා. පිංවත දකුණු ආසියාවේ දුප්පත්ම රටක් වෙච්ච මුස්ලිම් ආගම අදහන, බංගලාදේශයට නැඟීසිටින්න පුළුවන් වුණානම්, උතුම් තෙරුවන් වැඩසිටින මේ පුණ්‍යවන්ත මාතෘභූමියට, දහස් වතාවක් නැඟීසිටින්න පුළුවන්. පිංවත ද්වේශයට, ව්‍යාපාදයට, පළිගැනීමට, ආවේගශීලීභාවයට, ඔබේ ජීවිතය තුළින් ඉඩනොදි, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, සතිමත් වෙන්න. පිංවත් ඔබේ දෑස් පියවෙන්නට පෙරාතුව, ඔබ උපන් මේ පුණ්‍යවන්ත මාතෘභූමිය තුළ මොහොතකට හෝ ශ්‍රද්ධාව සහ ශීලය රජකරවන්න.

පිංවත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවේ උමතුව රජගෙදරත්, පාර්ලිමේන්තුවත්, මහපාරත්, එකසේම ආක්‍රමණය කොට තිබෙනවා. පිංවත විනයගරුක ජයග්‍රහණයක් ඔබට අවශ්‍ය නම්, විනයගරුක සටනකටයි ඔබ අවතීර්ණ වෙන්න ඕනේ. කරුණාකර පිංවත් ඔබ සතිමත් වෙන්න. පිංවත ධර්මය සන්දිට්ඨිකයි. මේ ජීවිතයේදීම ඔබට ධර්මයේ අර්ථයන් දකින්න පුළුවන්. පිංවත අපිට අවශ්‍ය තවදුරටත් අශ්‍රද්ධාවේ, ද්වේශයේ, දුශ්ශීලභාවයේ, අසිහියේ, ආදීනවයන් සමාජගත කිරීමට නොවේ. පිංවත කරුණාකර ආවේගශීලී නොවී සිහි එළවා ගන්න. මේ මොහොතේ ඔබේ මන්දෝත්සාහිභාවය ඔබේම අනාගත දුකේ නියමුවා බව තේරුම් ගන්න. පිංවත ආත්මාර්ථකාමීභාවයේ පටු වාදභේද අතහැරලා, මේ පුණ්‍යවන්ත මාතෘභූමිය අශ්‍රද්ධාවේ දුශ්ශීල දේශපාලනයෙන් මුදා ගන්න. මනුෂ්‍ය ධර්මයන්ට ගරුකරන ශිල්වත් ඔබ තවදුරටත් මාතෘභූමිය මගහරින්න එපා. අපි සියල්ලෝම අවිද්‍යාවෙන් උපන් බව ඇත්ත. නමුත් අපේ ශරීරය පණ ගැහෙන, ජීව රුධිරය අපිට දුන්නේ මේ පුණ්‍යවන්ත මාතෘභූමියයි. හෙට දවසේ අපේ අවිද්‍යාවේ නිරෝධය උදෙසා අපිට සෙවන දෙන්නේ මේ පුණ්‍යවන්ත මාතෘභූමියයි. පිංවත තෘෂ්ණාවෙන් වියරු සමාජගත දේශපාලනයට අසත්පුරුෂභාවයෙන් තවදුරටත් මේ උතුම් පුණ්‍යභූමිය “ජාත්‍යන්තර” මිත්‍යාදෘෂ්ඨියේ සාපයක් බවට පත් කරන්න එපා. උතුම් මනුෂ්‍ය ධර්මයන්ම ගරුකරන ශිල්වත් ඔබ, ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශිල්වත් දේශපාලනයක් උදෙසා, පිංවත් ජනතාව දැනුවත් කරන, මාධ්‍යයක් බවට පත්වෙන්න. පිංවත දුශ්ශීලභාවය අයිති පරාජයටයි. ඇයි පිංවත් ඔබ තවදුරටත් දුශ්ශීලභාවයන්ගේ ජයග්‍රහණය උදෙසා පෙනී සිටින්නේ. පිංවත පරාජය අයිති අදක්ෂයාටයි. ඒත් පිංවත් ඔබ තවමත් උතුම් ශ්‍රද්ධාවෙන් සහ ශීලයෙන්, මෛත්‍රියෙන්, අපරාජිතවයි ජීවත්වෙන්නේ. නමුත් ඔබේ ආත්මවිශ්වාසයට මොකද වුණේ, පිංවත පුරුෂ ධෛර්යයෙන් යුතුව නැඟීසිටින්න. උතුම් තෙරුවන් වැඩසිටින මේ උතුම් මාතෘභූමිය අයිතිවිය යුත්තේ දුශ්ශීලභාවයට නොවේ, මනුෂ්‍යත්වයෙන් පෝෂණයවූ ශිල්වත්භාවයටමයි.

පිංවත මේ උතුම් පුණ්‍යභූමිය, තාවකාලිකව මේ දුකෙන් යම් පමණකට හෝ මුදා ගැනීමට පිංවත් ඔබට පුණ්‍ය ශක්තිය තිබෙනවා. විශ්වාසයෙන් විනයගරුකව නැගී සිටින්න, පෙළගැසෙන්න. පිංවත් ඔබලා සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් විසිරෙන්න පුළුවන් විනයක්, ඉවසීමත් ඇති පිරිසක් බවට පත්වෙන්න. පිංවත බිය කියන්නේ පංචනීවරණයක්. පංචනීවරණයක් යම් තැනකද එතැන තිබෙන්නේ අකුසලයක්. පිංවත සතිමත්භාවය ඇතිකොටගන්න. ඔබේ පිංවන්ත මාතෘභූමිය සියල්ලටම වඩා උත්තරීතරයි. මෙය උතුම් තෙරුවන් වැඩසිටින මාතෘභූමිය. සමස්ත ලෝකයාටම මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සමාධිය දායාද කරපු මාතෘභූමිය. සත්පුරුෂ දෙවියන් සහ බ්‍රහ්මයින් වන්දනා කරන පිනැති මාතෘභූමිය. තව්තිසාවේ සුදම් සභාවට, අසුර බලය පැරදවීම උදෙසා, පිනැති දෙවියන් ඕපපාතිකව උපද්දවා දෙන, පින නිදන්ගත වූ මාතෘභූමිය. ස්වභාවික පරිසරය පවා සැමට මෙත් වඩන පුණ්‍යවන්ත මාතෘභූමිය. පිංවත මෙවන් පුණ්‍ය බිමක ඉපදුන ඔබ මිත්‍යාදෘෂ්ඨිකයෙක්, අසත්පුරුෂයෙක්, අසරණයෙක්, නිවටයෙක් නොවේ. පිංවත් ඔබ කණ කැස්බෑවෙක් විය සිදුරින් අහස දකිනවා වගේ දුර්ලභ උපතක්, සාක්ෂාත්කොටගත් පුණ්‍යවන්ත මනුෂ්‍යයෙක්. පිංවත මේ උතුම් මාතෘභූමියේ පුණ්‍යවන්තභාවය සිහිපත් වෙද්දී, ඔබට ප්‍රීතියක් සහ ඵස්සද්ධියක් නේද ඇතිවෙන්නේ. පිංවත බියෙන්, සැකයෙන්, මිදුන ප්‍රීතිය ඵස්සද්ධිය යනු සමාධියට සහ උපේක්ෂාවට මාර්ගයයි. පිංවත විඳීම් අසංවර කොට නොගෙන උපේක්ෂාවෙන් සමාජගත හැසිරීම් සහ ප්‍රශ්න දෙස බලන්න. අපේ මාතෘභූමියේ දේශපාලනය නාමයෙන් ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවේ දෙස් සහ විදෙස් විඤ්ඤාණයේ මායාකරුවන්ගේ මැජික් සංදර්ශනයන්ම නේද. පිංවත මනුෂ්‍ය ජීවිතවල තෘෂ්ණාව ඉහවහා යද්දී, අවිද්‍යාව ඇලීම් සහ ගැටීම් පොලු උපයෝගීකොටගෙන සද්ධර්මයෙන් පාළු ගෙවල්වල වළං බිඳිනවා.

පිංවත ලොව්තුරා ධර්මයට පිංසිදුවෙන්නට අපේ මව්බිමේ ගොඩාක් පුණ්‍යවන්ත ළමා පරපුරක් සිටිනවා. මේ ළමා පරපුරේ හෙට දවස අපි ආරක්ෂාකොට දිය යුතුයි. මෙම දරුවන් අනාගතයේ ගුණාත්මක මහාබ්‍රහ්මයින් බවට පත්කළ යුතුයි. අනේ දෙවියනේ උතුම් සම්මා දිට්ඨිය වළපල්ලට ගිය සමාජයක, මේවා කාට නම් කියන්නද. පිංවත අපේ දුක එකිනෙකාට කියමින් සිටියාට ඵලක් නැහැ. දුකෙන් මිදීමේ මාර්ගයට අපි ක්‍රියාත්මකව අවතීර්ණ වෙමු. දුකෙන් මිදෙන මාර්ගය ආවේගශීලීභාවය නොවේ, සතිමත්භාවයයි. පිංවත ශ්‍රද්ධාව තුළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, තුළ පරාජයක් කියලා දෙයක් නැහැ. ඇයි අපි තවමත් පරාජිත මානසිකත්වයකින් සිටින්නේ. පිංවත තවදුරටත් වෙන දෙයක් වෙත්දෙන් කියලා ඔබ අහක බලාගෙන ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී මාර තර්ජනයන් ඉදිරියේ, වෙන දෙයක් වෙත්දෙන් යැයි මාරයාට ඉඩදුන්නා නම්, අද උතුම් ධර්ම විනයක් නැහැ. වසවර්ති මාරයා ජය
ශ්‍රී මහා බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නම යැයි බලකරද්දී, බුදුරජාණන් වහන්සේ සිංහ නාදයක් කරනවා, මේ උතුම් ධර්ම විනය ශක්තිමත්ව ස්ථානගත කරන තුරු පිරිනිවන් පාන්නේ නැහැ කියලා. පිංවත ඔබ ඉදිරියේ, සහ අපි ඉදිරියේ, වර්තමානයේදිත් ඒ අභියෝගය තිබෙනවා. පිංවත මේ රටේ දේශපාලනය මිත්‍යාදෘෂ්ඨියට යටත් වෙන්න දෙන්න එපා. මේ රටේ දේශපාලනය මිත්‍යාදෘෂ්ඨියට යටත් වුණොත් අනාගතයේ බලවත් ආගමික අසමගිකම් ඇතිවීමෙන් සමාජය සිවිල් යුදමය තත්වයන්ට පත්වෙන්න පුළුවන්. පිංවත අසත්පුරුෂ ජාත්‍යන්තරය මේ උත්සාහ ගන්නේ, බුදුදහමට පල නොකියා පළා බෙදන දේශපාලන කණ්ඩායම් වලට බලය ලබාදීමටයි. එහි අවසාන ඵලය ආගමික ගැටුම් නිර්මාණය වී සමාජය අරාජිකවීමයි. මේ අරාජිකභාවයමයි අපිව මානසිකව යටත්කොට ගැනීමේ තුරුම්පුව බවට පත්වෙන්නේ. පිංවත මේ ලෝක ධාතුවේ බලයට අධිපති වෙන්නේ වසවර්ති මාරයායි. බුදුරජාණන් වහන්සේ අධිපතිත්වය දරන්නේ ආර්ය විමුක්තියටයි. ඒ නිසාම මාරයාගේ බලය ඉදිරියේ අපි දක්ෂවිය යුතුයි, අපේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, බලයක් බවට පත්කොටගන්න. පිංවත එවිටයි මාර බලයට එරෙහිව අපිට කුසල් ධර්මයන්ගෙන්ම අභියෝගය ජය ගැනීමට යම් පමණකට හෝ හැකි වෙන්නේ.

පිංවත ඔබේ මාතෘභූමිය උතුම් සම්මා දිට්ඨිය නොහඳුනන පාලක පිංවතුන්ලා නිසා, අවිහිංසාව, අව්‍යාපාදය, නෙක්ඛම්මය, දුර්වල පාලක පිංවතුන්ලා නිසා අසරණභාවයේ පතුලටම කිඳාබසිමින් පවතිනවා. අධාර්මිෂ්ඨ දේශපාලනයේ දුර්වල ශීලයේ අභියෝගයන් ඉදිරියේ, මාතෘභූමියේ ආත්මවිශ්වාසය සහ ආත්මගරුත්වය, තුන්කුදුභාවයටම පත්කොට තිබෙනවා. පිංවත ඔබේ මාතෘභූමිය තුළ වර්තමානයේ මිච්චා කළ්‍යාණමිත්‍රභාවයේ වේශයෙන් ජාත්‍යන්තර මාර මෙහෙයුම් කිහිපයක්ම සක්‍රියව පවතිනවා. පිංවත ආවේගශීලීව මහ පාරට බසින ජනතාව ලවා එක පාලකයෙක් මරාදමා ඊට වඩා දුර්වල රූකඩ පාලකයෙක් බලයට පත්කිරීමේ මෙහෙයුම් සහ තෙරුවන්ට ගරු නොකරන අශ්‍රද්ධාවැති කණ්ඩායම් වලට බලය ලබාදී, බුදු දහම නොසලකා හැර, එහි ඵලයෙන් බලවත් ආගමික ගැටුම් ඇතිකිරීමේ මෙහෙයුම්. එක ජාතියකට වැඩි බලතල ලබාදී ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ මෙහෙයුම්. පිංවත මේ සියලු මෙහෙයුම් මාතෘභූමිය මත උපක්‍රමශීලී මිච්චා සිනාමුසු වේශයෙන්, සත්පුරුෂ ගලවාගැනීමේ වේශයෙන්, සක්‍රියවයි පවතින්නේ. මෙවන් බලවත් අසත්පුරුෂ මෙහෙයුම් හඳුනාගන්න තරම් මානසික විවේකයක්, තෘෂ්ණාව ඔඩුදුවපු අපේ අධාර්මිෂ්ඨ පාලක පිංවතුන්ලාට නැහැ. එම පිංවතුන්ලා අවිද්‍යාවේ මහා ගිනි රස්නය මැද, තව තවත් අකුසලයේම පුළුන් කොට්ට වලින් ආරක්ෂාව සොයනවා.

පිංවත අවිද්‍යාව වැඩිවෙද්දී තෘෂ්ණාව වැඩිවෙනවා. තෘෂ්ණාව වැඩිවෙද්දී දුක වැඩිවෙනවා. දුක වැඩිවෙද්දී සක්‍රීයවෙන අකුසල් හේතුවෙන්ම අනාගත මෘග සංඥාවට කාලය ළං වෙනවා. අවුරුදු පහළොවක පමණ ගැහැනු දරුවෙක්, තම අත දරුවා වඩාගෙන බසයක් බලාපොරොත්තුවෙන්, බස් නැවතුමක සිටිනවා භික්ෂුව දැක්කා. පාසල් වයසේ ගැහැනු දරුවන් කාමයන් උදෙසා විකිණෙන අපූරුව භික්ෂුව අසා තිබෙනවා. පිංවත අපේ මිත්‍යාදෘෂ්ඨිකභාවයන් ඉදිරියේ මෘග සංඥාව අපේ ගෙදර වැට ළඟටම ඇවිත් තිබෙනවා. පිංවත මේ සියලු අවිද්‍යාවේ මෙහෙයුම් වලට යටත් නොවී, පිංවත් ඔබේ සත්පුරුෂභාවයේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. තමන් උපන් මාතෘභූමියට ගරු කරන, ආදරය කරන, සියලු ජාතීන්ගේ දෑත්, එක මිටට විශ්වාසයෙන් බැඳී ගොඩනැගෙන අවංක, ශිල්වත්, මනුෂ්‍යත්වය හඳුනන, රාජය දේශපාලනයක් තුළින් යහපත් සියලු ධර්මයෝ යම් පමණකට හෝ ආරක්ෂාකොට ගැනීමේ මෙහෙයුමට ධර්මයේ විශ්වාසයෙන් පෙරට එන්න.