නිරෝධය යනු ඔබේ ලෝකයයි

පිංවත ආදරයට සීමා මායිම් තිබෙන්නම බැහැ. ආදරය සීමා මායිම් වලින් කොටු වලින් කොටු කර ගත්තොත් ආදරය ආත්මාර්ථකාමී වෙනවා. ආදරය පෞද්ගලීකරණය වෙනවා. ආදරයට නිදහසේ ගලාගෙන යන්න ඉඩදෙන්න. එවිටයි අපි ජීවත්වෙන ලෝකය ආදරයෙන් ලස්සන වෙන්නේ අද ලෝකය තුළ ආදරය තිබුණත්, ආදරයෙන් ලෝකය ලස්සන වෙන්නේ නැහැ. ආදරය අපි, මගේ කමට පමණක් සීමාකරගෙන. පිංවත ඔබේ ආදරයට ලෝකය දෙසට නිදහසේ පියඹා යන්න ඉඩදෙන්න. පිංවත ඔබේ ගෞරවනීය අම්මා සහ තාත්තා ඔබේ අම්මා තාත්තා බව ඇත්ත, නමුත් ඔබ සමාජයේ ජීවත්වෙන සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම, ඔබේම දෙමව්පියන් හැටියට දකින්න. එතැනයි ආදරය තිබෙන්නේ. ඔබේ දරුවා ඔබේම බව ඇත්ත, නමුත් ඔබ සමාජයේ ජීවත්වෙන සෑම දරුවෙක්ම, ඔබේම දරුවෙක් ලෙස දකින්න. එතැනයි සීමා මායිම් වලින් තොර ආදරය තිබෙන්නේ. පිංවත ඔබේම සහෝදරයා සහ සහෝදරිය ඔබේම බව ඇත්ත, නමුත් ඔබ සමාජයේ ජීවත්වෙන සෑම සහෝදරයෙක් සහෝදරියක්ම ඔබේම සහෝදර, සහෝදරියන් හැටියට දකින්න. එතැනයි මනුෂ්‍යත්වයේ ආදරය තිබෙන්නේ. ඒ මනුෂ්‍යත්වයේ ආදරයමයි අනාගතයේ යම් දවසක පිංවත් ඔබට ආදරයේ නිරෝධය ගැන කියලා දෙන්නේ. පිංවත ඔබ මුළු මනුෂ්‍ය සමාජයම ඔබේ දෙමාපියන් හැටියට, දරුවන් හැටියට, සහෝදර සහෝදරියන් හැටියට ආදරයෙන් දැක්කොත්, ලෝකයම ඔබට එකම පවුලක් වෙනවා. එවිට විවිධ වූ සංකීර්ණ වූ ලෝකය මුල්කොටගෙන, ඔබේ සිත විසිරෙන්නේ නැහැ. පිංවත ආදරයේ සැබෑ අර්ථය වෙන්නේ ඇලීම් හෝ ගැටීම් නොවේ. ආදරයේ සැබෑ අර්ථය පටිච්චමුප්පාදය හේතුඵල ධර්මයන් නුවණින් දකින, ධර්මයේ උපේක්ෂාවයි.

පිංවත ඔබ ආදරයට ආදරය කරන්න. හැබැයි ඉතින් ආදරය ආත්මාර්ථකාමීව ගන්න එපා. එවිට ඔබ ආදරයට අසාධාරණයක් කළා වෙනවා. ලෝකය සතුටු වෙද්දී ඔබයි සතුටු වෙන්නේ කියලා දකින්න. ලෝකය සිනාසෙද්දී ඔබයි සිනාසෙන්නේ කියලා දකින්න. ලෝකය සාදුකාර දෙද්දී ඔබයි සාදුකාර දෙන්නේ කියලා දකින්න. එවිට ලෝකය ඔබට එකම පවුලක් වෙනවා. පිංවත ඔබ දක්ෂ විය යුතුයි සංකීර්ණ වූ අවිද්‍යාවේ ලෝකය, ඔබ තුළ වැඩෙන ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ගෙන් පෝෂණය වූ ආදරය තුළින්, එකම සම්මා සංකප්පයක් බවට පත්කොටගන්න. පිංවත සැබෑ මනුෂ්‍යත්වයේ ආදරය කියන්නේ පෝරුවකට නැගලා නීත්‍යනුකූලව කෙනෙක්ව අයිතිකොට ගැනීම නොවේ. එයට කියන්නේ ආදරයේ ආත්මාර්ථකාමීභාවය කියලා. අපේ ආත්මාර්ථකාමී ආදරය අපිව මිච්ඡා සංකප්පයන්ගේ සිරකරුවෙක් බවට පත්කරවන්න පුළුවන්. පිංවත මිච්ඡා සංකප්පයෝ කවදාකවත් අපිට සම්මා සමාධිමත් සිතකට පාර කියන්නේ නැහැ. සම්මා සමාධියකින් තොර සිත කෙසේ නම් අපේම අතීත, වර්තමාන, අනාගත, පංචඋපාදානස්කන්ධ ලෝකයේ දුර සහ ගැඹුර දකින්නද. අපි අපේ පුංචි පවුල ලෝකය හැටියටම දකිනවා. පිංවත ලෝකය, ලෝකය සේම දකින්න. එවිටයි අපි අතීත භවගමනේ ආත්මාර්ථකාමී ආදරයේ නාමයෙන් අපි වින්දා වූ දුක දකින්නේ. පිංවත ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ මනුෂ්‍යත්වයේ ආදරය ලෝකයට මුදාහරින්න. එවිට ඔබේ ජීවිතය පිනෙන් පිරී ඉතිරී යනවා. ඔබේ ආදරය පුංචි පවුලට පමණක් සීමාකොටගත්තොත් ඔබේ ජීවිතය පිරීයන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන්ගෙන්මයි. පිංවත සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාව හේතුවෙන් බැඳුන ඔබේ පුංචි පවුල ශිල්වත්භාවයෙන් පුරවාගෙන, මුළු ලෝකයම එකම පවුලක් බවට දකින්න. එවිට ඔබට පුළුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් ඔබේම අතීත ඥාතියෙක් යැයි දකින්න. යශෝදරා උත්තමාවියත් ඔබේම අතීත ඥාතියෙක් යැයි දකින්න. එවිට අපේ නිවන කෙරෙහි ඡන්දය ගොඩාක් ශක්තිමත් වෙනවා. ලෝකයේ ජීවත්වෙන සෑම ජාති, ආගම්, කුලවල මනුෂ්‍යයෝ, ඔබේම එකම පවුලේ සාමාජිකයන් යැයි දකිද්දී, සංස්කාරයන්ගේ විවිධ වූ සංකීර්ණ ලෝකය නිසා, ඔබේ සිත විසිරෙන්නේ නැහැ. එවිට සංකීර්ණ වූ ලෝකයම පුංචි පවුලක් බවට පත්වෙනවා. එම දැක්ම නිවෙන සිතකට, තව නිවෙන්නට, හොඳ අවබෝධයේ සිසිලසක්ම වෙනවා. පිංවත අවිද්‍යාවෙන් ඉපදුන ඔබේ ලෝකය, යළි ලෝකයේ පැවැත්ම උදෙසා යොදාගන්න එපා. ඔබේ ලෝකය, ලෝකයේ නිරෝධය උදෙසාම යොදාගන්න. ආත්මාර්ථකාමී ආදරය කියන්නේ භවයෙන් භවය එකිනෙකට වෙනස්, ආදරවන්තයින් සහ ආදරවන්තියන් සොයා දෙන මිරිඟුවක් පමණක්මයි. පිංවත සංස්කාර විසින් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් සොයාදෙනවා, ඔබ ආදරය කරනවා, ආදරයේ නාමයෙන් යළි සංස්කාරයෝ රැස්කරගන්නවා පටිච්චසමුප්පන්නව ආය ආයෙමත් ඔබ අලුත් අලුත් ආදරවන්තයන්ට ආදරය කරනවා. පිංවත් ඔබ මේ ජීවිතයේදී ශිල්වත්ව ඔබේ පවුල් ජීවිතය ගත කළත්, ඔබේ පිංවත් සැමියාගෙන් සහ බිරිඳගෙන් පමණක් සෑහීමකට පත්වුණත්, අපි තවමත් භව සදාචාරය ඇති කොටගෙන නැහැ. භවයෙන්, භවය කුළුඳුලේ නාමයෙන් අලුත් අලුත් බැඳීම් වලට බැඳීයනවා. පිංවත භව සදාචාරය ඇතිකොට ගන්න. පිංවත ඔබ භව සදාචාරාත්මකභාවය ඇතිකොටගන්න නම් කාම, රාග, පටිඝයෝ නිරෝධය වූ උතුම් අනාගාමිඵල අවබෝධය ලබන්නම ඕනේ. පිංවත දෑස් පියාගෙන ඔබේ ඵස්සයේ තෘෂ්ණාව තාවකාලිකව නිවාදමන්න. එවිට ලෝකයම මොහොතකට නිවීයාවි. පිංවත අවිද්‍යාවට ආදරය කරන්න එපා, ඔබ තවදුරටත් අවිද්‍යාවට ආදරේ කළොත්, අවිද්‍යාව පෙරළා ඔබට ආදරය කරාවි.

පිංවත යමෙක් තෘෂ්ණාවෙන් සැප සොයයිද, ඔහු අවිද්‍යාවට ආදරය කරන්නෙක් වෙනවා. අපි හැමෝම තෘෂ්ණාවෙන් සැප සොයනවා නේද. ඉන් අදහස් වෙන්නේ චතුරාර්ය සත්‍යය නොදන්නාභාවයට අපි තවමත් ආදරය කරනවාය කියන කාරණයයි.

පිංවත මනුෂ්‍යයාගේ අවිද්‍යාව වැඩිවෙනකොට ලෝභ, ද්වේෂ, මෝහ සංස්කාරයෝ, අලුත් අලුත් විඤ්ඤාණයේ මැජික් සංදර්ශන සමාජගත කරනවා. පිංවත විඤ්ඤාණය නමැති මැජික්කරුවන්ගේ සංදර්ශන ඉදිරියේ පිංවත් ඔබ සම්මා සම්බුද්ධ ශාසනය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. පිංවත සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ උතුම් චතුරාර්යසත්‍යය ධර්මයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අපිට කියලා දෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. පිංවත ශාසනයේ නාමයෙන් තෘෂ්ණාව ප්‍රවර්ධනය කරන්න එපා. ශාසනයේ නාමයෙන් තෘෂ්ණාව ප්‍රවර්ධනය කළොත්, අපි ප්‍රවර්ධනය කරන්නේ දුකයි. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ එළවළු කොටුවක් නොවේ, ශාසනය කියන්නේ ධනය උපයන මාර්ගයක් නොවේ. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයයි. මේ මාර්ගය තුළින් උපදින විදර්ශනා ප්‍රඥාව ඥාන දර්ශන සහ විමුක්තියයි. පිංවත භික්ෂුව ඔබට බොහෝම කරුණාවෙන් දැනුම් දෙනවා, උතුම් සද්ධර්මය විකෘතිකොට අධර්මදානය සමාජයට දෙන්න එපා. උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන්ට පටහැනිව යම් ධර්මයක් අපි සමාජගත කරනවා නම්, එය අධර්මදානයක් බවටයි පත්වෙන්න. ප්‍රාතිමෝක්ෂ ශීලයට ගරු නොකරන පිංවතුනි, පන්සල්වල, ආරණ්‍යවල වැඩසිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලාට වගා කරන්න, කර්මාන්ත කරන්න, සත්ව පාලනය කරන්න, පන්සල ඉදිරිපිට වෙළෙඳ සලක් හදලා පන්සලේ නිෂ්පාදන විකුණන්න පුරුදු කරන්න එපා. එවැනි ක්‍රියාවන් උතුම් සුපටිපන්න ගුණයෙන් යුත් සංඝ සමාජයේ ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වලවෙන ක්‍රියාවන්. ක්‍රිස්තියානි පල්ලිවල පූජකතුමන්ලා පල්ලිවල තිබෙන ඉඩකඩම් වල වගා කළාට, සත්ව පාලනය සිදු කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රිස්තියානි පූජකතුමන්ලාට ක්‍රිස්තුස් වහන්සේ ප්‍රාතිමෝක්ෂය ශීලයක් පනවලා නැහැ. අන්‍ය ආගමික ගෞරවනීය පූජකතුමන්ලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් ගැන දන්නේ නැහැ. පිංවත මහා සංඝරත්නය කියන්නේ මේ ලෝකධාතුවේ සිටින ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක්, සංඝයා කියන්නේ සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයින්ගෙන් වන්දනා ලබන කෙනෙක්, සංඝයා කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙතයි. දෙවියන්ට, මනුෂ්‍යයින්ට පින උපද්දවාදෙන පුණ්‍ය කෙතයි. පිංවත දෙවියන්ගෙන් සහ බ්‍රාහ්මයින්ගෙන් වැදුම් ලබන පුණ්‍යකෙත, හුදු ගොවියෙක්, කර්මාන්තකරුවෙක් කරන්න එපා. තෘෂ්ණාවේ දුක් ගඳ ගසන සිවුරු දරාගන්න ගිහි පිංවතෙක් කරන්න එපා. පිංවත ශාසන විරෝධී වචනයක් කතා කරන මොහොතක් පාසා, එවැනි ශාසන විරෝධී, විනය විරෝධී කටයුතු වලට අනුබල දෙන මොහොතක් පාසා, අපි අසත්පුරුෂ අධර්මදානයක්මයි සමාජයට පූර්වාදර්ශ දෙන්නේ. ප්‍රාතිමෝක්ෂ ශීලයේ ශිල්පද මකාදමන්න අවිද්‍යාව හරිම කැමතියි. නමුත් අවිද්‍යාවට එක දෙයක් ගැන සිහිකල්පනාව නැහැ. අවිද්‍යාව සිහිකල්පනාව ඇතිකොටගන්න ඕනේ, ප්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථය දුර්වල කළොත්, අනාගත භවගමනේ ලේ වමනයෙන් ඊට වන්දිගෙවිය යුතුයි කියලා.

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මයන්ට පටහැනි දෙයක් ඔබ සමාජයට කියන්න එපා. එවැනි මුසාවාද අධර්මදානයන් බවටමයි පත්වෙන්නේ. වර්තමානය බුදුරජාණන් වහන්සේගේ වචනය ඉක්මවා යෑම නිසාම, උමතුභාවයට පත්වූ පිංවතුන් සමාජයට අධර්මදානයන්ගෙන් සංග්‍රහ කරනවා වැඩියි. පිංවත කරුණාකරලා තවත් කෙනෙකුට අධර්මදානයක් නම් දෙන්න එපා, ඔබ අධර්මදානයක් දුන්නොත්, කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ඔබට නොලැබී යාවි, ඔබව මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වේවි. පිංවත අවිද්‍යාවෙන් උමතු සමාජය, අවිද්‍යාවේ උමතුව වේගයෙන් සමාජගත කරනවා. රටක පාලකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, රටේ පූජක පක්ෂය අවිද්‍යාවේ සෙල්ලම්බඩු වෙන්න පුළුවන්. නමුත් සිහිබුද්ධියක් තිබෙන කිසිවෙක්, සම්මාසම්බුද්ධ ශාසනය සෙල්ලම් බඩුවක් බවට පත්කොට ගන්න නරකයි. නිරයන් එකසිය තිස්දෙකක් ශාසනය විකෘති කරන්නන්, දුකෙන් සහ ගින්දරෙන් පිළිගන්න පටිච්චසමුප්පන්නව බලා සිටින බව, අප තේරුම් ගත යුතුයි.

පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව රුධිරයෙන් සහ ශරීර මාංශයෙන්, පිරූ දශපාරමී ශක්තියේ ඵලයයි. සය වසරක් පුරාවට සිදුකළ මහා දුෂ්කරක්‍රියාවේ ඵලයයි. හතළිස් පස් වසරක මහා කරුණාගුණයේ ඵලයයි. එවන් උත්තරීතර කැපවීමක්, අපේ තුට්ටුදෙකේ කාමච්ඡන්දයන්ට බිලිගන්න දෙන්න එපා. අපේ කෙළෙස් පව්කාරකම් වලට යටවෙන්න දෙන්න එපා. පිංවත අපි තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වෙනකොට, අප තුළින් කර්මය කර්මඵල විශ්වාසය නැතිවෙලා යනවා. එවිට අපි ශීලය දුර්වල කරගන්නවා. ඒ නිසාම අපේ සිත විසිරෙනවා. කාමච්ඡන්දයෝ අපේ සිත ඩැහැගන්නවා. එවිට අපි විවේකයට, හුදකලාවට කැමති නැහැ. භාවනාවකට සිත නැමෙන්නේ නැහැ. ඒ නිසාම අපි සළායතනයෝ කාමච්ඡන්දයන්ගෙන් පිනවමින්, මිච්ඡා වාචාවන් කථා කරමින්, මිච්ඡා කම්මන්තයන් සිදුකරමින්, අපේ ජීවිත මිච්ඡා ආජීවයක් බවට පත්කොට ගන්නවා.