හෙට දවසට මනුෂ්‍යත්වයෙන් පණදෙන්න

පිංවත ලෝකයේ යම් රටක යහපත්, අවංක, දේශපාලන ක්‍රියාකාරකම් තිබෙනවා නම්, එය එම රටේ ජනතාවගේ පිනේ ඵලයක්මයි. තම රටේ ක්‍රියාත්මක වෙන දේශපාලනය නිසා, දේශපාලන නායකයින් නිසා; පවතින පාලන ක්‍රමයන් නිසා, එම රටවල ජනතාව ලබන්නේ සතුටක්මයි. හෙට දවස ගැන බලාපොරොත්තුවක්මයි. පිංවත අපේ රටේ දේශපාලනය නම් පවෙන්ම පිරිලා. දැකලා සතුටුවෙන්න, අහල සතුටු වෙන්න, හිතලා සතුටු වෙන්න, පුංචි හෝ හොඳක් අපේ රටේ දේශපාලනය තුළ නැහැ. අපේ රටේ දේශපාලනය පක්ෂ සහ විපක්ෂ හවුල් ව්‍යාපාරයක්. කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන හවුල් ව්‍යාපාරයක්. පක්ෂ සහ විපක්ෂය හැටියට පිංවත් ජනතාව බෙදි සිටියත්, දේශපාලන නායකයෝ සියලු ජාතික සම්පත් සූරාගෙන කන එකම කණ්ඩායමක්. පිංවත ඔබේ මාතෘභූමිය ලෝකයා ඉදිරියේ බිංදුවට වැටිලා, සම්මා සම්බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. පිංවත මේ දෙසිය විසිපහේ බොරුව තවදුරටත් විශ්වාස කරන්න එපා. මැති ඇමැතිකම් අරගන්න මේ පිරිස මාතෘභූමිය බිංදුවට දැම්මත්, මේ වියරු විනාශයේ වගකීම භාරගන්න කිසිවෙක්ම නැහැ. පිංවත මේ සම්ප්‍රදායික දේශපාලන කැත කුණු වලින් සහමුලින්ම බැහැරවී, උතුම් තෙරුවන්ට කීකරු, සත්‍යවාදි, සිල්වත්, අවංක, බුද්ධිමත් පිරිසක් පිංවත් ජනතාව අතරින් ඉදිරියට එන්න.

පිංවත තවදුරටත් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලලා වැඩක් නැහැ. පිංවත ඔබත් කර්මය, කර්මඵල විශ්වාසයට ගරු කරන අවංක, උගත්, සිල්වත් පිංවතෙක්ද. කරුණාකර ඔබගේ සත්‍යගරුක ජීවිතය ඔබ උපන් මාතෘභූමිය උදෙසා ආයෝජනය කරන්න. මනුෂ්‍ය හිංසනයෙන්, බොරුවෙන්, වංචාවෙන්, මතින්, දුරාචාරයෙන් සහ කළුකඩ දේශපාලන මුදලාලිලාගේ සූරාකෑමෙන් හෙම්බත්ව සිටින ඔබේ මාතෘභූමියට, පිංවත් ඔබේ සත්පුරුෂ කැපවීම පමණක්මයි පුංචි හෝ සැනසිල්ලක් වෙන්නේ. අවිද්‍යාවේ උච්චභාවය නිසාම අකුසල් සංස්කාරයෝ වේගයෙන් සක්‍රියවෙන මේ මාරයාගේ හෝරාවේ, පිංවත් ඔබේ සත්පුරුෂභාවයේ මල් කැකුළු, තමා උපන් මාතෘභූමිය මත, විකසිත නොකර, මැලවී යන්න දෙන්න එපා. පිංවත් ඔබේ ශීලයෙන් පෝෂණය වූ අවංකභාවය තුළින්, මලානිකව පණගැහෙන හෙට දවසට යළි මනුෂ්‍යත්වයෙන් පණදෙන්න. පිංවත ඔබේ මව්බිම කියන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය නොතකන සංඝ සමාජයට අකීකරු, පින සහ පව නොතේරෙන, දේශපාලන සොර සතුරන්ගේ පරම්පරාගත නින්දගමක් නොවේ. සත්‍යවාදී ජාති සහ ආගම්වල අපි සියල්ලන්ගේම මනුෂ්‍යත්වයේ පිංකෙතයි. මේ පිංකෙත කවුරුන් දූෂණය කළත්, ඔවුන් දූෂණය කරන්නේ සමස්ත ජාතියේම අනාගතයයි.

පිංවත දුශ්ශීලභාවයට පත්කළ සමාජයක්, යම් පමණකට හෝ යළි සිල්වත්භාවයකට පත්කරන්නට නම් ලෞකික ප්‍රඥාවයි මුල්වෙන්න ඕනේ. ගෞරවනීය පිංවත ඔබට පුළුවන්ද ඔබේ මව්බිම වෙනුවෙන් මෙවැනි සිංහනාදයක් කරන්න. ඔබේ පිංවත් මව්බිම යළි ගොඩනැගෙන තෙක්, තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍ර අපිට එපා. පාර්ලිමේන්තු ඔසුසලෙන් නොමිලේ ඖෂධ අපිට එපා. පාර්ලිමේන්තු ආපනශාලාවෙන් සහනාධාර මිලට ආහාර අපිට එපා. රාජ්‍ය දූෂණය, රාජ්‍ය වංචාව අපිට එපා. පිංවත හෙට මව්බිමට අවශ්‍ය මෙවන් සිංහනාදයක් කරන්න පුළුවන් අවංක පිරිසක්. පිංවත භික්ෂුව මේ තබන්නේ තවත් දේශපාලන සටහනක් නොවේ. අසත්පුරුෂ දේශපාලනය විසින් අකුසලයෙන්ම විනාශ කළ ඔබේ මාතෘභූමියට, යළි මනුෂ්‍යත්වයේ පණදෙන පිංකමක් පිළිබඳව සටහනක්. පිංවත රාජ්‍ය දූෂණයෙන් ලෝක කුසලානය දිනාගෙන ඇති ඔබේ මාතෘභූමියට, යළි යම් පමණකට හෝ නැඟීසිටීමට නම් ඉහත සිංහනාදය අවංකව කළ හැකි ගිහි නායකයින් පිරිසකගේ අවශ්‍යතාවය සමස්ත ජාතිය ඉදිරියේ තිබෙනවා.

පිංවත රාජ්‍යය අධාර්මික වුණොත්, මුලින්ම දුර්වලවෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. රාජ්‍ය අනුග්‍රහයන් නොලැබීම නිසාම, සංඝ සමාජය මිච්චා ආජීවයන් දෙසට නැඹුරු වෙලා, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වලකොට ගන්නවා. ලෞකික ප්‍රඥාවට ගරු නොකළ අධාර්මික පාලකයින් නිසා, අතීතයේත් උතුම් උපසම්පදාව පවා අපිට අහිමිවී තිබෙනවා. පිංවත් ඔබ මෙය සටහන් තබන භික්ෂුවගෙන් ඇසුවොත්, ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට වැඩියන්ම වටින්නේ උපන් රටද, එසේත් නැතිනම් උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයද කියලා, භික්ෂුව දෙවරක් නොසිතා පිළිතුරු දෙන්නේ, භික්ෂුවට වඩාත්ම වටින්නේ ප්‍රාතිමෝක්ෂ ශීලය කියලා. පිංවත භික්ෂු සමාජය ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වුණොත් අපේ පැවිදි ජීවිතයත්, රටත්, ශාසනයත් යන අර්ථයන් තුනම විනාශවෙලා යනවා. සංඝ සමාජයට විනයානුකූලව, දේශපාලනය කිරීම. සහ ඡන්දය ඉල්ලීමට යෑම කැප නැහැ. නමුත් සංඝ සමාජයේ අපිට පුළුවන් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා, කළයුත්ත සහ නොකළයුත්ත ගැන ධර්මානුකූලව ජනතාවට අනුශාසනා කරන්නට. සමාජය අස්ථාවර වී ශාසන අර්ථයන්ට අභියෝගයන් එල්ලවෙන අවස්ථාවක, එය සංඝ සමාජයේ වගකීමක් වෙනවා. භික්ෂුව මේ තැබූ සටහනට සමාජයේ විවේචන තිබෙන්නට පුළුවන්; මේ මොහොතේ විවේචනයන්ට බියවුණොත්, හෙට දවසේ සියලු යහපත් ධර්මයෝ පරාජය වී, අධර්මයම රජවේවි. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංඝ සමාජය ගිහි පිංවතුන්ලාට දේශනා කළයුත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ය කියලා. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ, ලෞකික ප්‍රඥාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් පෝෂණය වෙන තෘෂ්ණාව අඩු ශාසනය ආරක්ෂා වෙන මාර්ගයයි.

පිංවත ඔබ, ඔබේ කාලය, ශ්‍රමය සහ ධනය, අවංකවම ඔබේ මාතෘභූමිය වෙනුවෙන් කැපකරන්න කැමති නම්, මාතෘභූමියෙන් යමක් බලාපොරොත්තු නොවී, ඔබෙන් යමක් මාතෘභූමියට දෙන්න ඔබ කැමති නම්, කරුණාකර ඔබේ මව්බිමට යළි ශීලයෙන්, අවංකභාවයෙන්, පණදෙන මේ පිංකමට ඔබත් සම්බන්ධ වෙන්න. අපේ ගෞරවනීය සංඝ සමාජය ඉදිරියේදී ඔබලාට අනුශාසනාවෙන් මාර්ගය කියල දේවි. අනේ කරුණාකර ස්වාමින් වහන්සේලා නම් ඡන්දෙ ඉල්ලන්න යන්න එපා. එහෙම වුණොත් උතුම් ශාසන අර්ථයන් තව තවත් විකෘතිවෙලා යාවි. භික්ෂුන්ගේ වැරදි දැක, ගිහි පාලකයෝ තව තවත් වැරදි කරන දිශාවටම යාවි. පිංවත පැවිදි සමාජය වැරදි කළොත්, ගිහි සමාජය වරදට බියවෙන්නේ නැහැ. ඔවුන් උඩ පැන පැන වැරදි කරනවා.

පිංවත ඔබ උපන් මාතෘභූමියට යළි සිල්වත්භාවයෙන් පණදෙන මේ උතුම් පිංකමේදි, පිංවත් ඔබේ සටන්පාඨය විය යුත්තේ ජයවේවා හෝ භංගවේවා යන්න නොවේ. ජයවේවා යැයි කියද්දි ඔබට සතුරන්මයි ඇතිවෙන්නේ. භංගවේවා යැයි කියද්දී ඔබට පළිගැනීම, වෛරයමයි ඇතිවෙන්නේ. පිංවත මේ පිංකමේදී ඔබේ සටන්පාඨය වියයුත්තේ “සුවපත් වේවා” යන්නයි. ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමෙන් අපිට දිනාගත හැකි යහපත් ජයග්‍රහණයක් නැහැ. අධර්මයෝ, අධර්මයන්මයි යළි යළිත් පෝෂණය කොටදෙන්නේ. පිංවත ඔබේ මව්බිමට මේ වියරු විනාශයන් සිදුකළ වගකිව යුත්තන්ට වෛර කරන්න එපා. එම වගකිව යුත්තන් සියල්ලෝම අවිද්‍යාවේ පතුලෙයි ජීවත්වෙන්නේ. මනුෂ්‍ය සමාජයේ ජීවත්වෙන අකුසලයෙන් අසරණම පිරිසක්. පිංවත වරදකරුවා අවිද්‍යාව හැටියටම දකින්න. එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ වරදකරුවා තුළිනුත්, ඔබේ නිවැරදිභාවය උදෙසා අවශ්‍ය මෛත්‍රියේ ආනිශංස එකොළහක් ඔබේ ජීවිතයට එකතුකොට ගන්න. පිංවත අසත්පුරුෂ දේශපාලනය විසින් මෙතෙක් සමාජගත කළ, අකුසලයේ වැරදි පූර්වාදර්ශයන්ගේ ගැඹුර, නුවණින් තේරුම්ගෙන, ධර්මානුකූලව උපක්‍රමශීලී වෙන්න. ඔබේ මව්බිමට වර්තමානයේ අත්‍යවශ්‍ය ජයග්‍රහණයක්, හෝ පරාජයක් නොව, අවංක නිවැරදිභාවයයි. පිංවත් ඔබේ අවංක නිවැරදිභාවය තුළින්, වැරදි කළ සහ වැරදි නොකළ සෑම මනුෂ්‍යයකුටම, අකුසලය අවමකොටගෙන ජීවත් විය හැකි හෙටක් ලබාදෙන්න.

පිංවත සියලුම කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. අවිධිමත් වූ අවිද්‍යාව කුසලයට ශක්තිමත් වෙන්න දෙන්නේ නැහැ. වර්තමානයේ පිංවත් මාතෘභූමියට අත්‍යවශ්‍ය වී ඇත්තේ, අකුසලය යටපත්කොට ගෙන නැඟී සිටීමට කුසලයේ ශක්තියයි. භික්ෂුව මේ සටහන් තබන්නේ සම්ප්‍රදායික කැත, කුණු අකුසලයේ දේශපාලනයෙන් මිදී, යහපතට කැමති ජනතාවගේ පින සහ කුසලය වැඩෙන, පවතින අරාජිකභාවයෙන් මිදීමට මාර්ගයක්. පිංවත කරුණාකර ඔබගේ මෙලොව සහ පරලොව යන දෙකම සුරක්ෂිත කොටදෙන ලෞකික ප්‍රඥාව කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. ඔබේ මව්බිමට යළි ලෝකය ඉදිරියේ ජනප්‍රියභාවය, සහ අභියෝග ජයගැනීමේ ශක්තිය ලබාදෙන ආජීව අට්ඨමක ශීලය කෙරෙහි, පිංවත් මව්බිමට යළි වර්ණය, සැපය, බලය ලබාදෙන දානයේ ශක්තිය පිළිබඳව පූර්ණ විශ්වාසය ඇතිකොට ගන්න. මේ පවතින දේශපාලන අවිද්‍යා ඝනාන්ධකාරයට පුංචි හෝ විද්‍යාවේ ආලෝකයක් ලබාදෙන්න නම්, ද්වේශය, වෛරය, පළිගැනීම සිතෙන් බැහැරකොට, සියලු සත්වයෝ සුවපත් වේවා! යන චිත්තයම ඇතිකොටගන්න.

පිංවත ඔබ තෙරුවන්ට අවංකවම කීකරු පිංවතෙක් නම්, සියලු ජාති ආගම්වලට ගරු කරන අයෙක් නම්, පවතින ව්‍යාපාරික දේශපාලනය එකහෙළා ප්‍රතික්ෂේප කරන අයෙක් නම්, දේශීයත්වයෙන් පෝෂණය වූ, උගත්, නුවණැත්තෙක් නම්, කරුණාකර ඔබේ මව්බිමට යළි මිනිසත්කම ලබාදීමේ පිංකමට අවංකභාවයෙන් යුතුව ඉදිරිපත් වෙන්න.

පිංවත ඔබ උපන් මාතෘභූමිය කියන්නේ, පිංවත් ඔබේ දෙවැනි අම්මායි. පිංවත් ඔබේ දෙවැනි අම්මාව මාතෘ ගුණයන් නොහඳුනන මිථ්‍යා දෘෂ්ටිකභාවයන් විසින් අසරණකොට දැමූ කල්හි, පිංවත් ඇයව හැරදමා යන්න එපා. දුකට එකම හේතුව තෘෂ්ණාව යන ධර්මාවවාදය නුවණින් දකිමින්, මේ අභියෝගයට ධර්මානුකූලව පිළිතුරක් සොයන්න ඉදිරිපත් වෙන්න. භික්ෂුව මේ ව්‍යායාමයේදී පිංවත් ඔබට විනයානුකූලව “අප්‍රකටව” අනුශාසනාවෙන් ශක්තිය දෙනවා පමණක්මයි. පිංවත් සත්පුරුෂ ඔබයි නායකත්වය ගතයුත්තේ. කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවස උදෙසා, සිල්වත් ඔබේ අද දවස, ආයෝජනය කරන්න. පිංවත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ඉහත සංස්කාරයන් තෘෂ්ණා සැඩපහරේ අකුසලය දිශාවටම ගසාගෙන ගියොත්, එයත් ධර්මයේ උපේක්ෂාවෙන්ම දකින්න ඔබ දක්ෂවෙන්න ඕනේ. සංඝ සමාජයේ අපිට සිව්පසය පූජාකරන ඔබට, භික්ෂුවගේ යුතුකමයි භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ. සියල්ල සංස්කාරයෝ විසින් තීරණය කරාවි.