අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම්වන්න

පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාවෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත ඔබ වර්තමානයේ නොඅවධියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා, කාම්ච්චන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ, අපි සියල්ලෝම ප්‍රමාදිභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට, පිනේ අගුපිල් සොයනවා වගේම, වර්ණය, සැපය, බලයෙන් මොනවාට සපිරි පිනෙන් පමණක්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නොරැකෙන බවද, අපි සිහිනුවණින් තේරුම්ගත යුතුව තිබෙනවා. පිංවත කරුණාකර මහපොළව මත දෙපා තබාගෙන ජීවත්වෙන්න. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මහපොළව වෙන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයයි. පිංවත දුකට මුල අසීමිත තෘෂ්ණාවයි. පිංවත, දුකෙන් මිදීමට මුල, උතුම් මධ්‍යම ප්‍රතිපදාවයි. පිංවත් ඔබ අසිහියෙන් පංචකාම සැප සොයමින්, තෘෂ්ණාවේ පියගැටපෙල තරගයට නගින්නට යන්න එපා. අකුසලයෙන් පය ලිස්සා වැටුනොත්, ඔබ වැටෙන්නේ උතුම් ශාසන අර්ථයනුත් අහිමිකොටගෙනමයි. තෘෂ්ණාවේ පියගැටපෙලින් ලිස්සා වැටී, මෙලොව සහ පරලොව යන දෙකම අහිමිකොටගත්, ජීවත්වෙන මළකඳන්, කොතෙක් නම් අපේ සමාජයේ ජීවත්වෙනවාද. පිංවත ඔබේ ජීවිතය තුළින් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්කරවන්න. එවිටයි ඔබ ජීවත්වෙන මළකඳක් නොවී, සැබවින්ම ඔබ ජීවත්වෙන මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නේ.

පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, තමන්ගේම වීර්යයෙන් උපයාගත් පිරිසිදු ධනයෙනුයි ජීවත්වෙන්නේ. ඒ නිසාම එම ජීවිත උතුම් සම්මා ආජීවයක්ම වෙනවා. එම ජීවිතවල මspaචා ආජීවයේ කැත සහ කුණු මුකුත්ම තැවරිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ධනය බවට පත්වෙන්නේ, උන්වහන්සේම වීර්යයෙන් උපයාගත් ශ්‍රද්ධාවයි. ශීලයයි, සමාධියයි, ප්‍රඥාවයි, ඥානදර්ශනයි, විමුක්තියයි. අපි කවදාහරි දවසක මේ ආර්ය ධනයට හිමිකරුවෙක් වෙයිද, එදාට එම ශ්‍රාවකයා, දුප්පත් සහ පොහොසත් සම්මුති ලෝකයෙන් සදහටම නිදහස් වෙනවා. අනේ අපි කවදාද මේ සල්ලි කොළ ධන තෘෂ්ණාවෙන් මිදි, අනුනට ණය නැති, තමන්ට බියක් නැති, තෘෂ්ණාව සිඳුන තැන උපාදානයෝ සිඳෙන, උපාදානයෝ සිඳුන තැන, භවය, ජාති, ව්‍යාධි, මරණ, සිඳී යන මේ උතුම් ආර්ය ධනයේ හිමිකරුවෙක් වෙන්නේ.

ගෞරවනීය පිංවත මේ උතුම් ශාසනය කියන අර්ථයට, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිසම අයිතියි. තෙරුවන් සරණගිය බෞද්ධ ජනතාවට පංචනීවරණයෝ දෝරෙ ගලාගෙන යන, අකුසලය සහ පව දෙගොඩ තලා යන අරගලය, උද්ඝෝෂණය, විවේචනය කියන අර්ථයන් අයිති නැහැ. පංචනීවරණයන්ගෙන්, සප්තබොජ්ජංගයන් මතුකොට ගන්න බැහැ. අකුසල් ධර්මයන්ගෙන් පින සහ කුසලය මතුකොටගන්න බැහැ. පිංවත් ඔබට මතකද අරගලය සහ උද්ඝෝෂණය නාමයෙන් මුළු රටේම ජනතාව කොළඹ පැමිණි සිද්ධිය. එම අරගලය නිමාවුණේ හිටපු නායකයන් පවා බලයෙන් ඉවත්කරලයි. රජගෙදර, අගමැති නිල නිවස, රාජ්‍ය පාලනයේ මූලස්ථානය පවා අරගලකරුවන් අයිතිකොටගෙනයි සිටියේ. නමුත් අවසානයේ ලැබුණ ප්‍රතිඵලය අන්ත අසරණ ප්‍රතිඵලයක් නේද. පිංවත කරුණාවෙන් තේරුම් ගන්න පංචනීවරණයන්ගෙන්, අකුසලයෙන්, දුශ්ශීලභාවයෙන්, අපි ජීවත්වෙන සමාජයට පින සහ කුසලය මතුකොට දෙන්න බැහැ. ඔබගේ පිංවත් මාතෘභූමිය අසත්පුරුෂ ධර්මයන් විසින් මෙහෙයවන මේ විනාශයෙන් යම් පමණකට හෝ මුදාගන්න බැහැ. කරුණාකර ඔබ ඔබේ මාතෘ භූමියට අවංකව ආදරය කරන, කුසල් ධර්මයන්ට, පිනට ගරු කරන පිංවතෙක් නම්, මේ මොහොතේ පටන් පිංවත් ඔබ දසකුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ, පිනේ ශක්තියෙන් ඔබේ නිවසේ සිට, ඔබේ කාර්යාලයේ සිට, ඔබේ වැඩ බිමේ සිටි නිහඬ අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම් වෙන්න. පංචනීවරණයන් වැඩෙන දිශාවන්ගෙන් පිංවත් ඔබ ඉදිරියට ගියොත් අසත්පුරුෂ ධර්මයන්ටමයි අපි උපකාර කලා වෙන්නේ. මේ මොහොතේ මාතෘභූමියට අවශ්‍ය මේ විපාකදෙන බලවත් අකුසල් සංස්කාරයෝ යටපත්කොටගෙන නැඟීසිටීමට ජනතාවගේ ශීලයේ, මෛත්‍රියේ, ත්‍යාගයේ ශක්තියයි. පිංවත් රටවාසී, රටට ආදරය කරන, තමන් උපන් මාතෘභූමියේ ආත්මගරුත්වය ආරක්ෂාකොට ගැනීමට කැමති, මේ උතුම් ශාසන අර්ථයන් රැකගැනීමට කැමති, සියලුම පිංවත් ජනතාව අකුසලයෙන් පෝෂණය වූ පව, තව තවත් වැඩෙන පංචනීවරණ සටන් වලින් බැහැර වී, තමා තුළින් මතුකොටගන්නා ශ්‍රද්ධාවේ, ශීලයේ, මෛත්‍රියේ, ත්‍යාගයේ ශක්තියෙන් සැබෑ අධ්‍යාත්මික ව්‍යායමයකට සූදානම් වීමේ අවශ්‍යතාව අපි සියල්ලන් ඉදිරියේම තිබෙනවා.

පිංවත ද්වේශ කිරීම නවත්වා මෛත්‍රී කිරීමට සූදානම් වෙන්න. පිංවත දුශ්ශීලභාවය පිරිසිදු කොටගෙන ශිල්වත් වීමට උත්සුක වෙන්න. විවේචනයන් නවත්වා හේතුඵල ධර්මයන් දැකීමට පුහුණු වෙන්න. ලෝභ සිත් දුරුකොට එකිනෙකාට උපකාර කිරීමට තව තවත් යොමුවෙන්න.

පිංවත අපි විදර්ශනාව ගැන කතා කිරීමට පෙර, අපි සම්මා සමාධිමත් සිතක් ඇතිකොටගන්න ඕනේ. අපේ සමාජය තුළ මතුවී තිබෙන සමාජ අර්බුද හේතුවෙන් අහිංසක ජනතාව කෙසේ නම් සම්මා සමාධියක් ගැන සිතන්නද. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ ඔබේ දැනුමේ ආශ්වාදය උදෙසා නොවේ. භික්ෂුව මේ සටහන් තබන්නේ පිංවත් ඔබව සම්මා සමාධියක් දෙසට මෙහෙයවීම උදෙසාමයි. ඒත් මේ පවතින සමාජ අර්බුද ඉදිරියේ පිංවත් ජනතාව කෙසේ නම් සම්මා සමාධියක් ඇතිකොට ගන්නද. අවිද්‍යාවේ තීව්‍රභාවය නිසාම අපේ රටේ සෑම පාලක පිංවතුන්ලාම උත්සාහ ගන්නේ පිංවත් ජනතාව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන්ගෙන් බැහැරට ගන්න. ලෞකික ප්‍රඥාව මරාගෙන, මspaචා ප්‍රඥාව ජීවත්කරවනවා. ගෞරවනීය අතීත, වර්තමාන, දේශපාලන බලධාරි පිංවතුනි, පිංවත් අහිංසක ජනතාව උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් බැහැර කිරීමේ බලවත් අකුසල් විපාකයන් පිංවත් ඔබලා දිට්ඨධම්ම වේදනීයම මේ නිමේෂයේදිත් අත්විඳිනවා. පිංවත් ඔබලා මේ සිදුකොටගන්නා අකුසල් කන්දරාවන් නිසා, මේ උතුම් ශාසන අර්ථයන් නොසලකා හැරීම නිසා, මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික නායක පූජකතුමන්ලාට ගරු නොකිරීම නිසා, මේ පදංග වශයෙන් ශක්තිමත් වෙන බලවත් අකුසල් හේතුවෙන් ඔබලා සියල්ලෝම දැන් උමතුවෙන් කටයුතු කරන්නේ. පිංවත් ඔබලාට කළයුත්ත සහ නොකළ යුත්ත තේරුම් ගන්න බැහැ. හොඳ සහ නරක තේරුම් ගන්න බැහැ. ධර්මය සහ අධර්මය තේරුම් ගන්න බැහැ. පව සහ පින තේරුම් ගන්න බැහැ. සුගතිය සහ දුගතිය තේරුම් ගන්න බැහැ. ඉහත ලක්ෂණයන්මයි අකුසලයෙන් උමතුවෙනවා යැයි ධර්මයේ සඳහන් වෙන්නේ. පිංවත් ඔබලා මේ විනාශකොට දමන්නේ උතුම් තෙරුවන් කියන උත්තම අර්ථයයි. බුදුරජාණන් වහන්සේගේ අයෝමය දශ පාරමී ශක්තියේ මහා ප්‍රාතිහාර්යයි. ගෞරවනීය පිංවත, තම තමන් විසින් සිදුකොටගන්නා වූ ඉහත අකුසල් කන්දරාවන් නිසා, ධර්මයේ සඳහන් උමතුභාවයන්ට පත් වූ දේශපාලන පිංවතුන්ලාගෙන් කෙසේ ශාසන සුරක්ෂිතභාවයක් බලාපොරොත්තු වෙන්නද.

පිංවත අපේ රටේ බොහෝම වටිනා පිනැති ළමා පරපුරක් සිටිනවා. තෙරුවන්ම ප්‍රියකරන, ගරු කරන කුඩා දරුවන් අපිට පිණ්ඩපාත මඩුවලදී අප්‍රමාණවත්ව මුණගැසෙනවා. මේ පිනැති දරුවන් කියන්නේ පෙර පටspaචසමුප්පන්න ජීවිතයේදි හොඳින් පිං කරලා මියගිය සිංහල බෞද්ධයන්ගේම නැවත උපතයි. අතීත ජීවිතයේ පුහුණු කිරීම්වලට අදාළව, වර්තමාන ජීවිතයේදි එම පිංවත් දරුවන්ට දැනීම් සකස්වෙනවා පිනැති සිතුවිලි සකස්කොට ගන්න. මේ වර්තමාන දරු පරම්පරාවට කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඔවුන් වටිනා ගුණාත්මක අනාගත වැඩිහිටි පරපුරක් වෙනවා. නමුත් මේ කර්මය කර්මඵල විශ්වාස නොකරන අසත්පුරුෂ දේශපාලනය නිසා, එම පිනැති දරු පරම්පරාව වැඩිහිටි ළමා වියේදීම දුරාචාරයෙන් විනාශකොට දමනවා. වර්තමානයේ සෑම දහම් පාසලකම අටවැනි ශ්‍රේණියෙන් ඉහළ පංති වල දරුවන්ගේ පැමිණීම ඉතාමත්ම දුර්වල යැයි, ස්වාමින්වහන්සේලා භික්ෂුවට මතක් කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. රාජ්‍ය අධ්‍යාපනය මරාගෙන පැතිරෙන පෞද්ගලික උපකාරක පංති නිසාම, අසරණ දරුවා පන්සලට යොමුවෙන, දහම් අධ්‍යාපනයට යොමුවෙන, ඉරිදා උදේ වරුවත් දරු පරපුරෙන් උදුරාගෙන තිබෙනවා. පිංවත තමාගේම කයත්, සිතුවිලිත්, වචනයත්, තමාවම ප්‍රමාදිභාවයට පත්කොට දමනවා නම්, මේ මෝහයේ අවනඩු අපි කාට නම් කියන්නද. ගෞරවනීය වැඩිහිටි පිංවතුනි වර්තමාන පිනැති දරු පරපුරේ අනාගත යහපත උදෙසා, කර්මය කර්මඵල විශ්වාසයෙන් අප්‍රමාදි වෙන්න. මේ පිනැති දරු පරපුර අසත්පුරුෂ දේශපාලනයට විනාශකොට දමන්න දෙන්න එපා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකයන් කෝටියක් දල්වා කරන පූජාවකට වඩා, බුදුරජාණන් වහන්සේට සුවඳ මල් කෝටියක් පූජාකොට සිදු කරන පිංකමකට වඩා උත්කෘෂ්ඨ පිනක්, මේ පිනැති ළමා පරපුරට සදාචාරාත්මකව, සුරක්ෂිත හෙට දවසක් බිහිකොට දීමෙන් ලැබෙන බව, ධර්මානුකූලව තේරුම් ගන්න. මේ පිනැති දරු පරම්පරාව අකුසලයෙන්, පවෙන් විනාශකොට දැමුවොත්, අනාගතයේ වැඩිහිටි ඔබට පිං කරන්න මානසික සංසිඳීමවත් නැතිවෙලා යන්න පුළුවන්.

ගෞරවනීය පිංවත, පරම්පරාගත දේශපාලන විශ්වාසයන්ගෙන් මිදී, පවුල්වාදී දේශපාලන මතවාදයන්ගෙන් මිදී, අප්‍රමාදිභාවය මුල්කොටගත් ලෞකික ප්‍රඥාවට, බුද්ධියට, දැනුමට, මුල්තැන දෙන දේශපාලන දැක්මක් වහ වහා ඇතිකොටගන්න දක්ෂවෙන්න. පිංවත ජ්‍යෙෂ්ඨයන් නොව, දක්ෂයන් සොයාගෙන පෙරට යන්න. අද ඔබේ මාතෘභූමිය ඉල්ලන්නේ අසත්පුරුෂයන්ගෙන් තොර, සත්පුරුෂ හෙට දවසක් බව, සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත් ඔබව උතුම් තෙරුවන්ගේ සරණ, දෙවියන්ගේ ආශ්වාදය ලැබෙනවා. ඉහත අරමුණ උදෙසා ශිල්වත්භාවයෙන් පෙළගැසෙන්න.