ධර්මයටම අපි හෙට දවස භාරකරමු

පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතුකොට ගන්නේ නැතිනම්, ඔහු දුකට පත්වේවි. ඒත් දුකට පත්වෙන ඔහුව දැකලා ඔබ සිනාසෙන්න එපා. පිංවත් ඔබ සිනාසුණොත්, ඉන් අදහස් වෙන්නේ ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවිතයට එකතුකොටගෙන නැති බවයි. පිංවත වර්තමාන සමාජයේ දුකට පත්වෙන පිරිසත්, එම අයට සිනාසෙන පිරිසත් දකිනකොට, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මොනතරම් නම් දුරස් වෙලා ද කියලයි, භික්ෂුවට නම් සිතෙන්නේ. පිංවත වචී සංස්කාර කියලා කියන්නේ විචාර, විතර්කයන්ට. අපේ ඵස්සයේ අවිද්‍යාව දෝරෙ ගලනකොට, විචාර, විතර්කයන් මිච්ඡා වාචාවන් බවටමයි පත්වෙන්නේ. වර්තමාන සමාජය මිච්ඡා වාචාවන්ගේ පාරාදීසයක්ම වෙලා. වර්තමාන සමාජයට මේ මොහොතේ විපාක දෙන අකුසල් සංස්කාරත්, බලවත් අකුසල් විපාක දෙද්දී, සමාජය අළුතෙන් රැස්කොට ගන්නා අකුසල් සංස්කාරත් දෙස දකිද්දී, අනාගතය කෙරෙහි බියජනක චිත්‍රයක්මයි ඇඳෙන්නේ. පිංවත, ඔබේ සතුරෙකුටවත් පටබඳින ලද නම් වලින් සහ අපහාසාත්මක නම් වලින් අමතන්න එපා. මිච්ඡා වාචාවන් අපිට පාර කියන්නේ, කුසලය සහ අකුසලය නොහඳුනන මිච්ඡා සතියටමයි.

පිංවත, ඔබේ මාතෘභූමිය හිඟමනට වැටෙනකොට, මාතෘභූමිය තුළින් අකුසලය ධනවත්වෙන අපූරුව ධර්මයේ ඒහිපස්සික ගුණයක්ම නේ ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අකුසල් විපාක දෙන්නේ තව තව අකුසල් සිද්ධකොට ගන්නය කියලා. මිච්ඡා වාචාවන්ගේ කුණු ආශ්වාදයට යට වූ අපි, කෙසේ නම් මෙවන් උතුම් ධර්මයක් තේරුම් ගන්න ද? පිංවත, අනුන් වැරදි පූර්වාදර්ශයන් දුන් පළියට, ඔබ ගිරා හෝඩියට අත්පොත් තබන්න එපා. චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ඔබ විචාරශීලී වන්න. ඔබත් කුසලයෙන් දුර්වල වුණොත් නැවත නැගී සිටින්න ජාතියට ශක්තියක් නැති වේවි. පිංවත, තෘෂ්ණාවේ රතු කට්ටේ වේගවත්භාවය නිසාම, දේශපාලනයේ ආශ්වාදය සහ ආදීනවය හොරා පොලිස් සෙල්ලමේ යෙදෙන මේ අවිද්‍යා ඝණාන්ධකාරයේ දී, අකුසලයෙන් තොරව ලෝකය ස්පර්ශ කරන්න නම්, පංචශීලය අත්‍යවශ්‍යම වෙනවා. තමා, තමාටත්, තමා අනුනටත් කායිකව සහ මානසිකව හිංසා කිරීම, දුර්වල පංචශීලයේ පළමුවෙනි පියවර වෙනවා. පිංවත, වර්තමාන සමාජයේ යටිගිරියෙන් කෑගසන අකුසලයට මූලිකම හේතුව වුණේ, දේශපාලන පිංවතුන්ලාගේ දුර්වල පංචශීලයම නේ ද? කියන දෙය නාහන දේශපාලනය නිසා, පිංවත් ඔබලාත්, පිංවත් ජනතාවත් සිදුකොට ගන්නා අකුසල් මෙපමණ යැයි සටහන් තබන්න නම් බැහැ. කරුණාකර දැන්වත් කල්‍යාණමිත්‍ර ආශ්‍රයන් ලබන්න. සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, අද ගැන නොව, හෙට ගැන සිතලා තීන්දු තීරණ ගන්න. වර්තමානය තුළ අවංක දක්ෂයා අනාගතයට බිය වෙන්නේ නැහැ. අනාගතයට බිය වෙන්නේ වර්තමානයේ වංක අදක්ෂයාමයි. පිංවත, මේවා ගැන ඔබේ හෘද සාක්ෂිය කතා නොකළාට ඔබලාට ධර්මය සඟවන්න බැහැ.

පිංවත, සමාජයෙන් ඔය ඇසෙන විකාර කිසිවක් අද මාතෘභූමියට අවශ්‍ය නැහැ. ඔය ඇසෙන සියල්ලම ඇත්ත සඟවා කෙරෙන ඇස්බැන්දුම්. අවිද්‍යාවේ ස්වභාවය ඇත්ත සඟවා, බොරුව පට්ට ගැසීමයි. ඔබේ මාතෘභූමියට අද අවශ්‍ය පංචශීලය සුරකින දේශපාලනයක්. හදවතින්ම සමාජයට පංචශීලයෙන් පූර්වාදර්ශ දෙන දේශපාලනයක්. මේ ඇත්ත සඟවා තබා, මොන බොරුව සමාජගත කළත්, අපි අයෙ ආයෙමත් රැවටෙනවාමයි. පිංවත, ජයග්‍රහණයේ රතිඤ්ඤා හඬට කියන්නේ දේශපාලනයේ ආශ්වාදය කියලා. ආවේගශිලීභාවයේ සටන්පාඨ වලට කියන්නේ දේශපාලනයේ ආදීනවය කියලා. පිංවත, දේශපාලනයේ නිස්සරණයකුත් තිබෙනවා. ඊට යොමුවෙන සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් තිබෙනවා. පිංවත, ඔබ අසරණ නැහැ. පංචශීලය මුල්කොටගත් සමාජයක් තුළින් “හරි මග” තෝරාගෙන, විශ්වාසයෙන් හෙට දවසට මුහුණ දෙන්න. ඔබේම හෘද සාක්ෂියට ඔබ හදවතින්ම සපථ වෙන්න. නිර්මාණශීලී හෙට දවසක් උදෙසා, අද දවසේ පටන් ඔබ පංචශීලය සුරකිනවාය කියලා. උතුම් පංචශීලය සුරැකීමෙන් පමණක්මයි, සම්මා සතියෙන් සහ සම්මා සමාධියෙන් පෝෂණය වූ සැබෑම නිර්මාණශීලී තාරුණ්‍යයක් සහ හෙට දවසක් බිහි වෙන්නේ. ගෞරවනීය පිංවත, ඔබ මිය යන්නට පෙර, ඉපදුන මවුබිමට සහ උරුම වූ දහමට ණයකරුවෙක් නොවී මැරෙන්න.

වර්තමාන තාරුණ්‍යය දේවත්වයෙන් දකින මාර ධර්මයක්ම වූ ඩිජිටල් තාක්ෂණය, ආශ්වාදය උදෙසා නොව, දැනුම සහ සංවර්ධනය උදෙසා අර්ථවත්ව යොදා ගැනීම සඳහා, පිංවත පංචශීලය සමග අදම පෙළගැසෙන්න. දුශ්ශීලභාවයෙන් උපන් මාතෘභූමියට දුක් දුන්නා හොඳටෝම ඇති. පිංවත, ඔබ මිය යන්නට පෙර උපන් බිමට සතුටක් දෙන්න. සමාජයේ අපි දියව්, වරෙව් කියන අකුසල් සංස්කෘතියෙන් බැහැර වී පංචශීලයේ ශක්තියෙන් සමාජයේ හැමෝම අවදි කරන්න. පිංවත, එය ඔබට උතුම් ධර්ම දානමය පිංකමක් ද වෙනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මයෝ ධර්මයෝම වඩත්ය කියලා. පිංවත් ඔබ පංචශීලයෙන් අවංක නම් ධර්මයෝ, ධර්මයෝම වඩත්ය කියන “ධර්මයටම” අපි හෙට දවස භාර කරමු. පිංවත, ඔය පංච නීවරණ දේශපාලන ඇස්බැන්දුම් වලට කොටු වෙන්නේ නැතිව, පිංවත් සිංහල බෞද්ධ ජනතාව සැප ලැබීමේ එකම මාර්ගය වෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. ඔබට ඇසෙන ඔය දේශපාලන සටන්පාඨවල මෙලොව සැපයත්, පරලොව සැපයත් යන දෙකම නැහැ. ඔය සටන්පාඨවල ඉලක්කය වෙන්නේ, ආශ්වාදයේ අනාගත සිහින දැකීම පමණක්මයි.

මේ නොසන්සුන් මොහොතේ ගෞරවනීය උත්තරීතර මහනායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ලොකු වගකීමක් තිබෙනවා. උතුම් සංඝ සමාජය මේ අභියෝගයන් ඉදිරියේ විනයානුකූලව කටයුතු කිරීමට යොමු කිරීම. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ අපිට දේශනාකොට තිබෙන්නේ, රටේ නීතියට, රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නය කියලා. එම නිසා ගෞරවනීය සංඝ සමාජය අනුශාසනා කළ යුත්තේ, රටේ කුමන දේශපාලන වෙනසක් සිදු වුව ද, එය ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව තුළින් සිදුවිය යුතුය කියන විනයානුකූල අර්ථයෙන්මයි. උතුම් සංඝ සමාජයේ අපිත් ආවේගශීලීව රටේ ව්‍යවස්ථාවෙන් බැහැර තීන්දු වලට සහයෝගය දුන්නොත් එය බරපතළ වැරදි පූර්වාදර්ශයක් වේවි. අනාගතයේ දී රටේ හමුදාවන් පවා, ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බලයෙන් පහකොට, බලය අල්ලා ගැනීමට උත්සාහ ගනීවි. රට අස්ථාවර වුණොත් ශාසන අර්ථයන් තව තවත් පිරිහේවි. අනාගත දේශපාලන සිතියමේ බලවත් විකෘතියක් උදෙසා පෙළගැසෙන වර්තමානයේ සංඝ සමාජයේ අපි උතුම් ධර්ම විනයයි අපේ ආරක්ෂකයා කොටගත යුත්තේ. තෘෂ්ණාවේ මෝල් ගස් ගිලපු දේශපාලන පංච උපාදානස්කන්ධ මාරයා, මේ උත්සාහ ගන්නේ, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ ශීල්පද දෙසිය විසි හතකින් හික්මවනු ලබන උතුම් සංඝ සමාජය, තවත් එක් පූජකතුමෙක් බවට පත්කිරීමටයි. ගෞරවනීය පිංවත, සෑම ආගමකම, සෑම ජාතියකම ගෞරවනීය පූජකතුමන්ලාට ද, පිංවත් ජනතාවට ද හදවතින්ම මෛත්‍රියේ දෑත් දිගු කරන අපි, අපේ ශාසන අර්ථයන්ගේ අනන්‍යතාවය ද දිවිහිමියෙන් ආරක්ෂා කළයුතු වෙනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අපි සැවොම පටිච්චසමුප්පන්න ඥාතීන්ය. අපේම අම්මලා, තාත්තලාය යැයි අපිට උගන්වන එකම ධර්මය වෙන්නේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්මයි. මේ උතුම් ධර්මයන් අවස්ථාවාදී දේශපාලනය විසින් සැකයක් බවට පත්කළාට, සිංහල බෞද්ධ හෘද සාක්ෂිය අදත් සියළුම ජාති සහ ආගම්වලට දිගු කරන්නේ මනුෂ්‍යත්වයේ දෑත්මයි.

පිංවත, ලෝකයට සහ ලෝකයාට වර්තමානයේ ආගම් එපා වුණාට සහ නිර්ආගමික වෙන්න හැදුවාට බෞද්ධ අපිට කරන්නට දෙයක් නැහැ. බුදු දහම කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝක දහමයි. අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා පටිච්චසමුප්පන්නව ගලාගෙන යන දහමටයි “බුදු දහම” කියන්නේ. බුදු දහම කියන්නේ තවත් ආගමක් නොවේ. බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළා වූ පටිච්චසමුප්පාද ලෝක දහමයි. යම් පිංවතෙක් නිර්ආගමිකභාවය වර්ණනා කරයි ද එයත් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේම ඵලයයි.

පිංවත, ලෝකය අකුරටම විග්‍රහ වෙන්නේ උතුම් පටිච්චසමුප්පාද දහමෙන් පමණක්මයි. පිංවත, දුකෙන් පිරුණු හෙට ලෝකයේ පුංචි හෝ සැපයක් උදෙසා, අද ආරක්ෂාකොට තැබිය යුතු උතුම්ම දහම බුදු දහමයි. එය එසේ වීමට නම්, උතුම් සංඝ සමාජයේ අපි ප්‍රාතිමෝක්ෂ ශීලයමයි අද අපේ එකම ආරක්ෂකයා කොටගත යුත්තේ.

පිංවත, පින්බර වෙසක් සතිය උදාවෙලා. උතුම් බුද්ධරත්නය, උතුම් ධර්මරත්නය ඉපදුණ සතිය, ජාති, ජරා, ව්‍යාධි, මරණ බියෙන් තැතිගත් භවාත්‍රයට අභය දුන් පින්බර සතිය. මේ පින්බර සතියේදීත් පිංවත් ඔබ කපුටු කාක්, කපුටු කාක් යැයි කිය කියා සිටින්න. ඔබ මරණාසන්න මොහොතේ කපුටු කාක් සිහිපත් වුණොත්, ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත සැබවින්ම කපුටෙක් වෙලා උපදින්න පුළුවන්. එවිට ඔබටත් පුළුවන් සැබවින්ම ජරාව කමින් පක්ෂි ලෝකයේ ජීවත් වෙන්න. පිංවත, මේ ගෞරවනීය වෙසක් සතියේදීවත් අනුනගේ පවු ඔබේ කරට ගන්න එපා. අනුනගේ පවු ඔබ කර්මය කර්මඵල විශ්වාසයට භාර දෙන්න. දූෂිත දේශපාලනයෙන් තොර සම්මා දිට්ඨියෙන් යුත් යහපත් සමාජයක් උදෙසා මේ වෙසක් සතියේ ශිල්වත්ව සත්‍යක්‍රියා කරන්න.