සංසාර බිය නොදකින සිත සංසාර දුක දකින්නේ නැත

පිංවත් ඔබගෙන් භික්ෂුව ඇසුවොත් තෘෂ්ණාවට කියන තවත් නමක් කියන්න කියලා සමහරවිට ඔබ කියාවි, සැපය යැයි කියලා. මොකද අපි හැමෝම ජීවිත කාලය පුරාම, තෘෂ්ණාවෙන් සොයන්නේ සැපයම නිසා, පිංවත් ඔබ තෘෂ්ණාවෙන් මොහොතක් මිදිලා, තෘෂ්ණාවේ මිත‍්‍රද්‍රෝහීභාවය ධර්මානුකූලව නුවණින් දකින්න. එවිට ඔබට වැටහේවි තෘෂ්ණාව කියලා කියන්නේ, දුකට කියන, අඳුරට කියන, කෙටි ආශ්වාදය පසුපස තිබෙන දීර්ඝ ආදීනවයටය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබට ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක සකස් කොටදෙන සතුරා ඔබ ළඟමයි සිටින්නේ කියලා. අධ්‍යාත්මික රූපයට සහ බාහිර රූපයට මුවාවී සිටියත්, විඤ්ඤාණයට මුවාවී සිටියත්, ඵස්සයට මුවාවී සිටියත්, මේ සැබෑ සතුරා තෘෂ්ණාවමයි. පිංවත් ඔබට සැපත්, දුකත්, උපේක්ෂාවත් තුළින් නොමසුරුව සංග‍්‍රහ කරන තෘෂ්ණාව. ඔබ ඔබම කොටගත් තෘෂ්ණාව, ඵස්සය ඉදිරියේ ඇති කුණු කූඩයට දැමීමට, අපිට තාමත් හැකියාවක් ලැබී නැත්තේ, තෘෂ්ණාවේ විෂබීජය ධර්මානුකූලව හඳුනාගැනීමට අවශ්‍ය චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි නිවැරදි දැක්මෙන්, අපි ප‍්‍රමාදීභාවයට පත්වීමයි.

පිංවත් ඔබ දන්නවාද, අපිව චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි ප‍්‍රමාදීභාවයට පත්කරන්නේ කවුද කියලා. කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය තුළින් අපිට ඇසෙන ශ්‍රී සද්ධර්මය, නුවණින් මෙනෙහි කිරීමට අපි තුළ ඇති දුර්වලභාවයයි. අපේ ජීවිතවලට සද්ධර්මයේ ආලෝකය පායන්නේ හිරුගෙන් නම් නොවේ, චක්ඛුපාල මහෝත්තමයන් වහන්සේගේ උතුම් ජීවිතයේ දෑස් අන්ධවී තිබුණත්, එම නික්ලේශී ජීවිතය ප‍්‍රඥාවේ ආලෝකයෙන් ආලෝකවත් වෙලයි තිබුණේ. අපේ ජීවිතවලට ප‍්‍රඥාවේ ආලෝකය මතු කොටගැනීමට නම්, ඵස්සය හේතුවෙන් සකස්වෙන තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් වැහි වලාවන් පහවගොස් උපේක්ෂාවේ නිල් අහස හොඳින් මතුවෙලා තිබෙන්නට ඕනේ. එම නිල් අහස් කුසෙන් මතුවී එන සති, ධම්මවිජය, විර්යය, ප‍්‍රීති, ඵස්සද්ධි, සමාධි, උපේක්ෂාවේ සුදු වලාවන් ප‍්‍රඥාවට පාර පෙන්වන ධර්මානුකූල මිතුරන් වෙනවා.

සංසාර බිය නොදකින සිත, සංසාර දුර දකින්නේ නැහැ. මේ ජීවිතයෙන්, ඊළඟ ජීවිතයෙන් එහාට ලෝකය ගැන සිතන්නේ නැහැ. තමන් විසින්ම භවගමන කෙටිකරගෙන, භවයේ දුර ගමනක් යන්න සංස්කාර රැස්කොටගන්නවා. පිංවත් ඔබට සිතෙන්නේ නැතිද, ඔබ කාත්කවුරුවත් නැති පටිච්චසමුප්පන්න භවරස්තියාදුවකයි, මේ යන්නේ කියලා.

මෙය සටහන් තබන භික්ෂුව, මේ ආසනය මත වාඩිවෙලා නුවණින් දකිනවා. භික්ෂුවට යැයි කියලා අයිති දෙයක් තිබෙනවාද කියලා. දෙමාපියන්, ඥාතීන්, දායක පිංවතුන්, ප‍්‍රතිචාර මේ සියල්ලක්ම මිරිඟුවක් නේද. ”මම’’ යැයි ”මගේ’’ යැයි ගත් මේ මිරිඟුව පසුපස, සැඟවී සිටින අවිද්‍යා පච්චයා සංඛාර, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයන් හැර වෙන කිසිම ධර්මතාවයක් භික්ෂුවට මුණගැසෙන්නේ නැහැ. මේ වියරු ධර්මතාවයන්මයි අපිට පටිච්චසමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණ උරුමකොට දෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්මා සම්බුද්ධ ඥානයෙන්, දුක නමැති මහා සාගරය සිඳවන්න, චතුරාර්ය සත්‍යය නමැති දිය බිංදු හතර ගැන, අපට මහා කරුණාවෙන් කියලා දුන්නත්, අපි තවමත් ආදරය කරන්නේ, දුක නමැති මහා සාගරයටමයි.

පසුගිය දවස්වල උදේට පිණ්ඩපාතය බෙදන්න, ගමෙන් බැහැර හුඟදෙනෙක් ඇවිත් සිටියා, මේ එන සමහර පිංවතුන් අවංකව නොවේ පැමිණෙන්නේ. සැකය සිතේ දරාගෙන පැමිණෙන පිංවතුන් සිටිනවා. එවැනි පිංවතුන්ට අවශ්‍යයි භික්ෂුව පරීක්ෂා කරන්න. එවැනි පිංවතුන් එපා කියන දෙය නැවත නැවත කරනවා. මෙවැනි දේවල් වලින් එම පිංවතුන් උත්සාහ ගන්නේ, භික්ෂුව ගැටෙනවාද සහ ඇලෙනවාද කියලා දැනගන්න. අවිද්‍යාවේ කුණු කසළ ඵස්සය ආහාරයට ගන්නා තාක්කල් අහිංසක මනුෂ්‍යයා, අසම්මත විඳීම් සොයාගෙන යනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්, දිව සහ පුරුෂ ලිංගය කෙරෙහි සැක ඇතිකොටගෙන, විසිරුණු සිතින්, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හැසිරුණු තරුණ බමුණෙක් අතීතයේත් සිටියා. අසරණ අපි ගැන මොනවා නම් කතා කරන්නද. අතීත සංස්කාරයන් අපිව සැකකරනවා. ලෝකයෙන් නිදහස්වී යෑම හැර වෙනත් විකල්පයක් සත්පුරුෂ ඔබ නම් දකින්න එපා.

අපි හුඟාක් වෙලාවට කතා කරන්නේ, සමාධිය, ප‍්‍රඥාව, විදර්ශනාව ගැන නමුත් ඈත ගම්මාන වලට වැඩියහම අපිට පෙනෙනවා, අපි කතා කළ යුත්තේ පංචශීලය ගැනය කියලා. පවුල්වල හුඟාක් කුඩා දරුවෝ අතරමං වෙලා සිටිනවා, අම්මා හෝ තාත්තා රාගය නිසාම වෙනත් සම්බන්ධතාවන් සොයායෑම නිසා, තාත්තාගේ බීමත්භාවය නිසා, අසරණ වුන පවුල් නිතර අපිට පෙනෙනවා. සත්වයා ආශ්වාදය පසුපස හඹායන්නේ, පළඟැටියා පහන් දැල්ලට හඹාගොස් විනාශ වී යන්නා සේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙච්ච සමාජයකට, ජීවිතය විස්තර කරදෙන්න හරිම අමාරුයි. ගම්මානවල සමහරු සද්ධර්මය ශ‍්‍රවණය කරන්නේ නැහැ. ජීවිතයට රසාස්වාදය ගෙනෙන දේවල් බලන්න, අහන්න තමයි කැමති. අවසානයේ මේ දේවල් වලට වන්දි ගෙවන්නේ, අහිංසක දරුවෝ. භික්ෂුව පිණ්ඩපාතයේ වැඩිය නිවසක පාසල් වයසේ කුඩා දරුවන් දෙදෙනෙක් සිටියා. මුහුණේ සිනාවක්වත් තිබුණේ නැහැ. එ් මළානික දෑස්, අම්මාගේ ආදරය බලාපොරොත්තුවෙනුයි සිටියේ. එ් තරුණ අම්මා, රාගය හේතුවෙන් දරු පවුල හැර දමා ගිහිල්ලා.

එ් අහිංසක පොඩි දරුවෝ දෙදෙනා තම නිවසට වැඩිය භික්ෂුව දෙස නොවේ බලාසිටියේ, නිවස ඉදිරිපිට තිබූ කඩුල්ල දෙසයි. එ් තමන් හැර ගිය අම්මා බලාපොරොත්තුවෙන්. එ් අම්මා නැවත කොහේ එන්නද. රාගයට දෑස් නැහැ. රාගයට තිබෙන්නේ නොසෑහීම පමණක්මයි. අහිංසක පුංචි දරුවන් දෙදෙනෙක්, තම අම්මා හැරදමා යාමේ දුක කෙසේ නම් දරාගන්නද. මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ වයස අවුරුදු දහයේදී පමණ, මගේ අම්මාගේ උදරයේ සැත්කමක් කිරීම සඳහා දින පහක් පමණ, අම්මා කාසල් රෝහලේ නැවතී සිටියා. කුඩා අපිව රෝහලට අම්මා බලන්න එක්කරගෙන යන්නේ නැහැ. අම්මා රෝහල්ගතව සිටි දින කිහිපයේදි, මම පුදුමාකාර බයකින් සිටියේ. මම සිතුවේම අම්මා මැරෙයිද දන්නේ නැහැ කියලා. එ් තරම් බියක්, තනිකමක්, අසරණ භාවයක්, මගේ ජීවිතයේ මට කවදාකවත්ම දැනිලා නැහැ. පුංචි දරුවන්ට තම අම්මා, තාත්තා හැර වෙන කාගෙ සරණක්ද.

අම්මාගේ, තාත්තාගේ ආදරය සමග මොනතරම් දේවල් අපේ ජීවිතවලට ලැබුණාද. අම්මා, තාත්තාගේ වචන සමග ආදරය, සෙනෙහස සමග ගලාගෙන පැමිණි, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් මොනතරම් නම් පුංචි අපට රැුකවරණයක් වුණාද. මගේ චූටියා, මගේ පැටියා කියලා, අපිව තොරතෝංචියක් නැතිව සිපගන්නකොට, අපිට දැනුණේ අම්මා, තාත්තා, පුංචි අපේ ලෝකයමයි කියලා. එදා පුංචි අපි දැනගෙන සිටියේ නැහැ, ලෝකය කියන්නේ දුකක්ය කියලා. නමුත් භික්ෂුව අද හොඳාකාරව දන්නවා, අම්ම සහ තාත්තා කියන අර්ථය වගේම, දරුවා කියන අර්ථයත් දුකක්ය කියලා. මේ සියල්ලම අයිති ලෝකයටමයි කියලා.

අම්මා හැරගිය කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිත, සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ විසිරුවා දකිද්දී, මේ කුඩා දරුවන් දෙදෙනා පෙර ජීවිතයක තාත්තලා හැටියට, තමන්ගේ අහිංසක කුඩා දුව, පුතා හැරදමා, රාගයේ නාමයෙන් අසම්මත සම්බන්ධතාවයන් සොයාගිය, තාත්තලා දෙදෙනෙක්මයි. මේ දරුවන්ගේ අතීත අකුසල් සංස්කාරයන් නිසාම, මේ ජීවිතයේ දී තම තරුණ අම්මාට දැනීම් සකස්වෙනවා, දරුවන් හැරදමා වෙනත් දීගයක යන්න. මේ ජීවිතයේදී අහිංසක දරුවන් දෙදෙනා හැර ගිය අම්මා යම් දවසක මියගොස්, පටිච්චසමුප්පන්නව නැවත කුඩා දියණියක්ව ඉපදුණොත්, එ් දියණියගේ අම්මාට දැනීම් සකස්වෙනවා, කුඩා දියණිය තනිකොට දමා, රාගය උදෙසා වෙනත් සැමියෙක් කරායන්න. සංස්කාරයෝ දැනීම් හෙවත් විඤ්ඤාණය උපයෝගි කොටගෙන, පංචඋපාදානස්කන්ධ ලෝකය, සිත්සේ නිවැරදිව පාලනය කරනවා. කාටවත් චෝදනා කරන්න, කාටවත් වැරදි කියන්න බැහැ. කෙනෙක්ට අකුසලයක් විපාකදෙද්දී, තවත් පිංවතෙක් කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය නොලබන නිසාම, අකුසලයක් රැස්කොට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ, කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයේම අර්ථයයි කියලා.

අපේ අම්මලා, තාත්තාලා තරුණ දරුවෝ කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ලබනවා නම්, කළ්‍යාණ ධර්මයන් ශ‍්‍රවණය කරනවා නම්, එ් හේතුඵල ධර්මයන් මොනවට පෙන්වා දෙන ධර්මය නුවණින් මෙනෙහි කොට ජීවිතයට දරාගන්නවා නම්, දෙමාපියන්ට පුළුවන් අතීත සංස්කාර මතුකොටදෙන මේ අසම්මත සිතුවිලි පරාජය කොට නැගීසිටින්න. එ්ත් දරුවන්ගේ අකුසල් බලවත් නම්, දෙමාපියන්ට කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ලබන්න සිත නොදෙන්න පුළුවන්. මෙය සටහන් තබන භික්ෂුවගේ දෙමාපියන්ට, පුංචි මාව තනිකොට දමා යන්නට සිත සකස් නොවූයේ, මම අතීත සංසාරයේ මගේ ලෙයින් උපන් පුතාලා, දුවලා හැර දමා ගිය අකුසල් මා පසුපස නොතිබුණ නිසාමයි. ඇත්ත දැනගෙන සිටියොත්, අපි කවදාකවත් බොරුවට රැවටෙන්නේ නැහැ. ඇත්ත දැනගෙන සිටියොත් අපි කවදාකවත් බොරුවට කම්පා වෙන්නෙත් නැහැ. පිංවත් ඔබ හැම මොහොතකම සිතන්න දක්ෂවෙන්න ඕනේ, පිංවත් ඔබට ලැබුණ සැමියා හෝ බිරිඳ, ඔබේ සංස්කාරයන්ට ගැළපෙන සංස්කාරයක්ය කියලා. එ් සංස්කාරය ඔබට රස නැතිවෙන්න පුළුවන්, එ්ත් එ් නීරසට ඔබමයි වගකිවයුත්තේ. පිංවත් ඔබේ විවාහ ජීවිතයේ ඔබ සතුටක් ලබන්නේ නැතිනම්, කරුණාකර, දරුවන්, බිරිඳ, ඥාතීන් සතුටු කරන්න. එවිට ඔබට සතුට ලැබේවි. ඔබේ ජීවිතයට බිරිඳ, දරුවන්, ඥාතීන් ආදරය කරන්නේ නැතිනම්, පිංවත් ඔබ බිරිඳ, දරුවන්ට, ඥාතීන්ට ආදරය කරන්න. එවිට ඔබට එ් අය ආදරය කරාවි.

පිංවත් ඔබලාගේ ජීවිත ඉදිරියේ ප‍්‍රශ්න ගොඩාක් දිගහැරී තිබෙන්න පුළුවන්. එ් ප‍්‍රශ්න, එම ප‍්‍රශ්නවල සැබෑම හිමිකරු වන අතීත සංස්කාරයන්ට භාරදෙන්න. අතීත අකුසල්, ඔබ ”මම’’ හෝ ”මගේ’’ කොටගන්න එපා. ඔබට අයිති නැති, හිමිකරුවෙක් නැති භාණ්ඩ, ඔබේ ඵස්සය අසල බිමින් තබන්න. චතුරාර්යසත්‍යය ධර්මයන්ට අදාළව ඔබ ජීවිතය දකිද්දී, දුකට හේතුව තෘෂ්ණාව යැයි දකිද්දී, ඔබ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙද්දී, ඔබ ඵස්සය අසල බිමින් තැබූ, අයිතිකරුවෙක් නැති භාණ්ඩ, එ්වායේ අප‍්‍රකට හිමිකරු වන අවිද්‍යාව විසින් රැුගෙනයාවි. අනුන්ගේ දේවල් අයිතිකොටගෙන, ඔබේ සුන්දර ධර්මයේ නිදහස අහිමිකොට ගන්න එපා.

භික්ෂුව, මේ සටහන තබන්නේ දරුවන් උදෙසා නොවේ, මේ නිමේෂයේදීත්, තමන්ගේ අහිංසක දරු පැටවුන් ගැන නොසිතා, රාගයේ නාමයෙන් අසම්මත බැඳීම් සොයාගෙන යන්න, ඵස්සය ඉදිරියේ හොරගල් අහුලන දෙමාපියන්ටයි. පිංවත් ඔබලා වැරදි නැහැ. එකම වරද කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය නොලැබීමයි. සංස්කාරයන්ට අදාළව ජීවිතය නොදැකීමයි.

මේ සටහන කියවන ඔබ දෙමාපියන් නිසා අසරණභාවයට පත්වූ දරුවෙක් නම්, ඔබ පත් වූ එම අසරණභාවය නිසා, දෙමාපියන්ට චෝදනා කරන්න එපා. අතීත සංස්කාරයන්ට අදාළව ඔබේ වරද මතුකොට දකින්න. අතීත සංස්කාර මාරයාට ඔබේ අනාගතය විනාශකරන්න දෙන්න එපා. මෛත‍්‍රියෙන් උපදින සංස්කාරයන්ට පුළුවන්, ඔබේ දයාබර දෙමාපියන්, මහා බ‍්‍රහ්මයා කියන අර්ථයට ඔසවා තබන්න. එ් වගේමයි, රාගයේ වියරු සංස්කාරයන්ට පුළුවන්, ඔබේ දෙමාපියන් සතු, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ‍්‍රහ්ම ගුණයන් සියල්ලක්ම මරා දමන්න. පිංවත් දරුවනේ එ් ඔබගේ අහිංසක දෙමාපියන්ගේ වරද නොවේ. උතුම් කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය, සද්ධර්ම ශ‍්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, දුර්වල වීමෙන් සකස්වෙන වියරු අකුසල් සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන්මයි.

පිංවත ලෝකය මිරිඟුවක්. ඔබත්, මමත් තාමත් එ් මිරිඟුව පසුපස දුවනවා. දිව ගිලෙන්නත් හොඳටෝම ළඟයි. කරුණාකර, චතුරාර්ය සත්‍යය ධර්මයන් අසල නවතින්න. එ් කළ්‍යාණ ධර්මය කෙරෙහි විශ්වාසය තබන්න. පංචනීවරණයන් දුර්වලකොට දැමූ තැන, ඔබ ගමන් කරන්නේ සප්ත බොජ්ජංගයන්ගේ දිශාවටමයි. එ් දිශාවේ, ප‍්‍රීතියත්, ඵස්සධියත් නොඅඩුවම තිබෙනවා. විශ්වාසයෙන්ම ඉදිරියට එන්න, සමාධිය තුළින් ධර්මයේ උපේක්ෂාව නොවරදවාම ඔබට හමුවෙනවාමයි.