රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳ දමන්න

තවත් සුන්දර වස්සානයක් උදාවෙලා මේ ගෙවී යන්නේ හතරවැනි සතිය. භික්ෂුව වැඩසිටින ප‍්‍රදේශයට මේ දවස්වල වැස්ස නැති වුණත්, සුළඟ නම් හරිම සැරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ සමතුලිතභාවය, පිංවත් මනුෂ්‍යයා විසින්ම පාරිසරික විනාශයන් තුළින් බිඳ දමනකොට, සතර මහා ධාතුව වෙන් වෙන්ව කිපීම්වලට ලක්වෙනවා. පරිසරයේ හමායන මේ අකීකරු සුළඟ, අපේම තෘෂ්ණාවෙන් සකස් වුණ ඵලයක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පරිසරය අපේම ජීවිතයේ කොටසක් බවට පත් කරනවා. ගසක අත්තක්, කොළයක් කැඩුවත්, ගලායන ජලයට කෙළ ටිකක් මුසුකළත්, මහපොළව හෑරුවත්, එය උපසම්පදා භික්ෂුවකට ඇවතක් වෙනවා. වර්තමානයේ නම් කුඹුරු හාන, වළවල් කපල කෙසෙල් ගස් සිටවන, පිංවත් ස්වාමින් වහන්සේලාත් අපි දකිනවා. අවිද්‍යාව තරම් වියරුවක්, අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාව තරම් වියරුවක්, මේ ලෝකධාතුව තුළ තවත් තිබෙන්න බැහැ. මේ ඇත්ත නිසාමයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, අනාගත සමාජයේ තෘෂ්ණාවේ වර්ධනයෙන්, පිංවත් මනුෂ්‍යයා සිදු කරන පාරිසරික විනාශයන්, යම් පමණකට හෝ සීමාකොට, පරිසරයත් සමඟ බැඳුණ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂ, යම් පමණකට හෝ දීර්ඝ කිරීමටයි, ගෞරවණීය සංඝ සමාජය පරිසරයේම කොටසක් බවට පත්කරන්නේ. ගහකොළ, සතාසිව්පාවා, ඇළදොළ රැකුනොත් තමයි උතුම් ශාසනික අර්ථයන් ආරක්ෂා වෙන්නේ. අනාගතයේ බිහිවෙන කොන්ක‍්‍රීට් වනාන්තරවල සද්ධර්මයේ අරටුව නැති මතුපිටින් මල් ඵල දරන, ගස්කොළන් වැවෙන්න පුළුවන්. කොතෙක් මල් ඵල දැරුවත්, එම ගස්වල අරටුව නැතිනම්, සතර මහා ධාතුවේ කිපීම්වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා අකාලයේ කඩා වැටෙනවා.

භික්ෂුව වැඩසිටින කුටිය පාමුල දිය පාරෙන් කඩා වැටෙන ජල පීල්ල, තොරතෝංචියක් නැතිව ශබ්ද නගනවා. සුළඟත් සමඟ සුරතල්වෙන මහා ගහකොළ එහාට මෙහාට ඔංචිලි පදින්නේ, පුංචි දරුවෝ වගේ. මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත්, පරිසරයේ බාහිර සතර මහා ධාතුවත් එකක් කොට දකිනවා. පරිසරයේ හමා යන සුළඟත්, භික්ෂුවගේ උදරයේ එහා මෙහා දුව පනින වාතයත් එකම ස්වභාවයේ වායෝ ධාතුවක් ලෙස නුවණින් දකිනවා. දිය පීල්ලෙන් කඩාහැලෙන ජල පහරත්, භික්ෂුවගේ අධ්‍යාත්මික ආපෝ ධාතුවත් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් ලෙස නුවණින් දකිනවා. පරිසරයේ ගස් වැල්, ගල් පර, මහපොළව ආදී වූ පඨවි ධාතුවත් එකම ස්වභාවයේ පඨවි ධාතුවක් ලෙස නුවණින් දකිනවා. සුළඟට තෙරපී උණුසුම දෙන බාහිර තේජෝ ධාතුවත්, භික්ෂුවගේ අධ්‍යාත්මික සම්, මස් ආදී වූ පඨවි ධාතුවත්, භික්ෂුවගේ ශරීරයේ අධ්‍යාත්මික තේජෝ ධාතුවත් එකම ස්වභාවයේ තේජෝ ධාතුවක් ලෙස නුවණින් දකිනවා. භික්ෂුවගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත්, පරිසරයේ බාහිර සතර මහා ධාතුවත්, එකක් වෙලා. භික්ෂුවගේ ජීවිතය පරිසරයේම කොටසක් වෙලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳදැමුවොත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට නැවත බැසගැනීමට ඇති නිවස, ගෘහය ඔබ විනාශකොට දැමුවාය කියලා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ පෝෂණයට අවශ්‍ය ආහාර අහිමි කළාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට, සමාධිමත් සිතක් සකස්කොට දෙන්න, කැලෑ පරිසරය ගුරුවරයෙක් වෙනවා. බුදුරාජාණන් වහන්සේ සංඝ සමාජයේ අපිට විනය පනවන්නේ, ගසක අත්තක් සිඳින්න එපා, කොළයක් කඩන්න එපා, මහ පොළව හාරන්න එපා, දිය පහරකට කෙළ ගසන්න එපා යැයි කියලා නොඉඳුල් පරිසරය සමාධියට උපකාරක ධර්මයක්, පරිසරය විදර්ශනා නුවණට කමටහනක් නිසාමයි. අපි ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් නොතකා, සංඝ සමාජයේ අපි කුඹුරු හාන්න, පොල්, කෙසෙල් සිටවන්න, කැලෑ විනාශකොට කොන්ක‍්‍රීට් වනාන්තර ඉදිකරන්න ගියොත්, අපිට උරුමවෙන්නේ, සමාධිය වඳ බැහැපු පංචනීවරණයෝ පමණක්මයි. පිංවත අපි අපේ ජීවිත දෙස හොඳින් බලමු, අපි ධර්මයෙන් හුඟාක් ඈත්වෙලා වගේ නේද. අපි අධ්‍යාත්මික සතර මහා ධාතුවත්, බාහිර සතර මහා ධාතුවත් මම යැයි, මගේ යැයි, මගේම ආත්මය යැයි දකිනවා. සතර මහා ධාතුව නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි වශයෙන්ම දකිනවා. ආයුෂයත්, උණුසුමත් ඇසුරේම පෝෂණය වෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට අපි, පංචනීවරණ වගා සංග‍්‍රාමයන් ආරම්භ කොට, අතිරික්ත ආහාර තොග ද රැස්කොට දෙමින් සිටිනවා. භික්ෂුව වැඩසිටින කුටිය පාමුලින් ශබ්දයක් ඇසෙනවා. ඒ කවුරුවත් සිනාසෙනවා නම් නොවේ, දොළ පාරේ වතුර පීල්ල කළුගල් තලාවට වැටෙන හඬයි ඒ ඇසෙන්නේ. දවස පුරාවට කොතෙක් වතුර වැටුණත්, ඒ කළුගල් තලාවට දැනීමක් නැහැ. අපේ ජීවිතත් ඒ කළුගල් තලාව වගේමයි, බුදුරජාණන් වහන්සේ අපිට කොතෙක් මහා කරුණාවෙන් සංසාර භය ගැන ධර්මාවවාදයන් ලබාදී තිබුණද, අපේ ජීවිතවලට ඒ උතුම් අවවාදයන් ගැන දැනීමක් නැහැ. පංචනීවරණ ගොල්ලේ අපි පෙම්බස් දොඩන්නේ, අවිද්‍යාවේ පෙම්වතිය තව තවත් තුරුළුකොට ගෙනමයි. දැන් නම් හොඳටෝම අඳුර වැටිලා. කඳු මුදුනේ ගෝනෙක් කෑගහනවා ඇසෙනවා. ඒ ගෝනා හරිම අනුවණ ගෝනෙක්, එයාම කෑගහල දඩයම්කරුවන්ට පාර පෙන්වනවා. රූපය සතුටින්ම පිළිගන්න අපි, විඳීම් සතුටින්ම පිළිගන්න අපි, සංස්කාර මාරයාට අපේ ජීවිත කොටුකර දෙන්නේ, දඩයම්කරුවන්ට පාර පෙන්වන අහිංසක ගෝනා වගේමයි.

පිංවත ජීවිතයට ඉඩදෙන්න, නිදහසේ ගලාගෙන යන්න. දැක්කා, ඇසුනා, දැනුනා කියන ඔබේ ඵස්සය, තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා. පිංවත් ඔබේ ජීවිතයට ඉඩදෙන්න, නිදහසේ, නිවීම දෙසටම ගලාගෙන යන්න. පාට පාට සිහින හරිම ලස්සනයි. ඒත් නින්දෙන් අවදිවෙද්දී ඒ සිහින බොඳවෙලා යනවා. පිංවත තවදුරටත් බොඳ වී යන සිහින අතර තනිවෙන්න එපා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්, අපේ ජීවිත පසුපස හඹා එනවා. පිංවත, අප‍්‍රමාදීව ඒක විහාරී ජීවිතයක, තෘෂ්ණාවෙන් නොකැලැල් ඵස්සයේ පූජාසනය මත, විදර්ශනාවේ සුදු පිරුවට අතුරා, ලෝකයට හදවතින්ම සපථ කළ, සත්‍යයේම ඇත්තක් වෙන්න. ලෝකය තිබෙන්නට හැර, ඔබ ලෝකයෙන් නිවීයන්න, ආයෙත් හමුනොවෙන්නම.

පිංවත් තරුණයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස මගේ පෙම්වතිය විදේශ රටක අධ්‍යාපනය ලබනවා. මම ඇය එනතෙක් බලාසිටින්නේ නොඉවසිල්ලෙන්ය කියලා. බලන්නකෝ, දෙහදක් බැඳුන ආදරයක තිබෙන නොඉවසිල්ල. භික්ෂුව එම තරුණ පෙම්වතාට දැනුම් දුන්නේ, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, රසයෙන් මත්වූ ”තෘෂ්ණාව”, ඔබ ඔය නොඉවසිල්ලෙන් බලාසිටින්නේ, ඔබේ පෙම්වතිය එනතෙක් නොවේ, ඇයගෙන් සොයනා විඳීම් එනතෙක්ය කියලා. පිංවත් ඔබ, සිතට එකඟව සිතලා බලන්න.

පිංවත් ඔබත්, මෙය සටහන් තබන භික්ෂුව, මුණගැසීමට බලාපොරොත්තුව සිටින කෙනෙක් නම්, පිංවත් ඔබ, ඒ බලාසිටින්නේ, මා එනතෙක් නොවේ, මගෙන් සොයනා විඳීම් එනතෙක්ය. ඉහත ධර්මය පිංවත් ඔබගේ සැමියාට, බිරිඳට, දරුවාට, මිතුරාට, දෙමාපියන්ට ගලපා බලන්න. කවදාකවත් නොසන්සිඳෙන්නා වූ විඳීම්, අපි ඇතිකොටගන්නේ, රූපය කායානුපස්සනාවෙන් නොදකින නිසාමය. මේ සියල්ලම ධම්මානුපස්සනාවෙන් නොදකින නිසාමය. විඳීම්, වේදනානුපස්සනාවෙන් නොදකින නිසාමය, සිතුවිලි චිත්තානුපස්සනාවෙන් නොදකින නිසාමය. භික්ෂුව ඉහතින් විඳීම් වශයෙන් සටහන් කළේ සැප, දුක් සහ උපේක්ෂාවන්ය. පිංවත් ඔබ භික්ෂුව මුණගැසෙන තෙක්, ධර්මයේ උපේක්ෂාවෙන් බලාසිටින්න. සියලූ සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධර්මයේ උපේක්ෂාවෙන්. එවිට ඔබට භික්ෂුවගේ දෙතිස්කුණුපය මුණනොගැසුනත්, උතුම් ධර්මය මුණගැසුණා වෙනවා. තවත් දවසකට හිරු උදාවෙලා, අතු පතරින් වැලි මළුවට වැටෙන නැවුම් හිරුකිරණ, වැලි මළුවේ එකිනෙකට වෙනස් රටා දමලා, සුළඟට ගස්වල අතු එහා මෙහා යනකොට රටා වෙනස්වෙලා යනවා. අස්ථිර ලෝකයක අපි තාමත් ස්ථිරත්වයක් සොයනවා. භික්ෂුවගේ ජීවිතයත් දැන් සතර මහා ධාතුවේ කිපීම්වලට ඔරොත්තු දෙනවා අඩුයි. ජරා, ව්‍යාධි, මරණ පෝලිමේ එනවා. කුමක් නම් කරන්නද, රූපය තිබෙන තාක්කල් ජරා, ව්‍යාධි, මරණ එතන තිබෙනවා. අපි ජරා, ව්‍යාධි මරණයන්ට අකමැති නම්, කළ යුත්තේ, රූපය නිරෝධය කිරීමයි. රූපය නිරෝධය කිරීමේ මාර්ගය වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

උතුම් සංඝ සමාජයයි ලෝකයට ආයුෂ වර්ණය, සැපය, බලය ලබාදෙන්නේ. ඒ නිසාමයි සංඝයා පුණ්‍ය කෙතක්ය කියලා කියන්නේ. මේ පුණ්‍ය කෙත සරුසාර වෙන්නේ, අපේ සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන් සහ සාමීචිපටිපන්න ගුණයෙන්, මේ උතුම් ගුණයන්ගෙන් අපි දුර්වල වුණොත්, අපිම පව් කෙතක් වෙන්නත් පුළුවන්. මේ උදා වූ සුන්දර වස්සානය, ඔබ ඉක්මනට ගෙවීයන්න එපා. මේ උතුම් පුණ්‍යකෙතේ අස්වනු වැඩිකොටගන්න විවේකීව ගෙවී යන්න. විවේකීව ගෙවීයන්න කියලා භික්ෂුව සටහන් තැබුවේ, පිංවත් අපේ ඵස්සය, ඇලීම් සහ ගැටීම් වේගයන්ට යා නොදී, උපේක්ෂාවේ සන්සිඳීම ජීවිතවලට ළංකොටගන්න කියන කාරණයයි. ඵස්සය හේතුවෙන් සකස්වෙන ඇලීම් සහ ගැටීම් අපේ ලෝකය චංචල කරනවා, අපේ ලෝකය යුද්ධයක් කරනවා. ප‍්‍රඥාවේ විදසුන් සිත ප‍්‍රතික්ෂේප කොට, සක්කාය දිට්ඨියේ කටු ඔටුන්න රැකගන්න, චංචල වෙන අපි, විද්‍යාව සමග, අවිද්‍යාවේ අවිවලින් යුද්ධ කරන අපි, උපේක්ෂාවට තහනම් නියෝග දමා, මාර පාක්ෂික ලෝභ, ද්වේශ, මෝහයන්ම සරණ යන්නේ පුදුමාකාර ආශ්වාදයකින්.

පිංවත අපි හැමෝගේම සිත්, අවිද්‍යාවේ පිහිටෙන් පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් චංචල වෙලා. පිංවත මෙම සටහනෙන් දෑස් ඉවත්කොට, මොහොතක් දෑස් පියාගන්න. භවාත‍්‍රයේ සියලූම සත්වයෝ, ඒ කියන්නේ සියලූ සතර අපායේ සත්වයෝ, සියලූම මනුෂ්‍යයෝ, සියලූම දෙවියෝ, සියලූම බ‍්‍රහ්මයෝ, කයේ දුක් දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, යැයි භවාත‍්‍රයේ සියලූම සත්වයින්ට මෙත් සිත පතුරවන්න. සියලූම සත්වයෝ වෙත මෙත්සිත පතුරවන්න. බාහිර සිතුවිලිවලට සිත ආක‍්‍රමණය කරන්න දෙන්න එපා. සියලූ සත්වයෝ සුවපත් වෙත්වා යැයිම සිතන්න. රාත‍්‍රී නින්දට යද්දී අතීත, වර්තමාන, අනාගත පංචඋපාදානස්කන්ධයන් ගැන තෘෂ්ණාවේ සිහින දැකීම මොහොතකට නවතා දමා සියලූ සත්වයෝම සුවපත් වෙත්වා යැයිම දකින්න. හිංසාවෙන්, ව්‍යාපාදයෙන් අසංවර වූ, මිච්චා සංකප්පයන්ගෙන් ජරාජීර්ණවූ, අපේ ලෝකයට, මේ නිමේෂයේදී මෛත‍්‍රියේ හිරු කැන්දගෙන එන්න. ඇය දෝතපුරා දෑවැදි එකොළහක් අරගෙනයි, පිංවත් ඔබ ළඟට එන්නේ. මෛත‍්‍රියේ ආනිශංස එකොළහක් තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුසලයෙන් බංකොලොත්ව, කුසලය යැයි සිතා ලෝභ, ද්වේශ, මෝහ අකුසල්ම ගිනි පොලියට ගන්නා අපි, ගිවිසුම්වලින් තොරව මාරයාට අපේ ජීවිත අයිති කොට දෙද්දී, ගෞරවණීය පිංවත, මෛත‍්‍රී චිත්තයෙන් ලබනා ආනිශංස එකොළහ, ඔබට ලොකු ශක්තියක් වේවි, බංකොලොත් වූ කුසල් සංචිත ශක්තිමත් කොටගෙන, ධර්මයේ දෙපයින් නැඟී සිටීමට. විවේකීව සිටින සෑම මොහොතකම සියලූම සත්වයෝ සුවපත් වේවා යැයි මෙත් සිතින්ම, ඔබේ ලෝකයට, ඔබ, ආශිර්වාද කොටගන්න.