අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනගෙන අපේ ජීවිත

උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, වර්ණය, සැපය, බලය ශක්තිමත් කරන සුන්දර වස්සානයේ තුන්වැනි සතියයි මේ ගෙවීයන්නේ. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාතයට වැඞීමට කුටියෙන් එළියට බැසීමට පෙරාතුව, මොහොතක් සිහිපත් කළා. මේ උදෑසන මා විසින් සමාදන් වූ වස් ශීලය නැවත, නැවතත් ආවර්ජනය කරමියි කියලා. ”අවිද්‍යාව” පංචනීවරණ රසමසවුල්වලින් පෝෂණය වෙනකොට, ”තෘෂ්ණාව” ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් තිරිහන් වෙනකොට හොඳ දේවල් සහ යහපත් දේවල් අපිට අමතක වෙලා යන්න තිබෙන ඉඩකඩ වැඩියි. ගොඩාක් යහපත් දේවල් අවිද්‍යාව අපෙන් උදුරගෙන. තවත් උදුරගන්න ඉතිරිවෙලා තිබෙන්නේ බොහොම ටිකයි. අවිද්‍යාව අපෙන් අනාගතයේදී සතර පාරාජිකාවන්ගේ අර්ථයන් උදුරාගත්තොත්, එදාට විද්‍යාව ලෝකයෙන් අතුරුදන්වෙලා යනවා. මේ විද්‍යාව අතුරුදන්වීම සිද්ධ කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුව නම් නොවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චතුරාර්ය සත්‍යය නමැති විද්‍යාව, උතුම් සතර පාරාජිකාවන්ගේ අර්ථයන්, ගෙල සිරකොට මරාදමා, අවිද්‍යාවේ මාරයාට ලෝකයේ ආධිපත්‍යය භාරදෙන්නේ, අපේ පැවිදි සමාජයේම සාමාජිකයෙක් විසින්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් ඉක්මවා ගියාවූ මේ මොහොතේ අපි සමාදන්ව සිටින උතුම් වස් ශීලය ගැන සතිය සිහිය හොඳින් අපි ඇතිකොටගත යුතුයි. උපසම්පදා භික්ෂූන් වන අපේ, භික්ෂු ජීවිතවලින්, එක ශිල්පදය, ශිල්පදය දුර්වල වුණොත් අපේ පෞද්ගලික සැපය, බලය වැඩිවී උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂයට කණකොකා හඬාවි. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංචඋපාදානස්කන්ධයට සිත යොමුකොට දකිනවා, පටිච්චසමුප්පන්නව මම, පැවිදි උපසම්පදාවන් ලබලා, අතීත සම්මා සම්බුද්ධ ශාසන කීයක් නම් අතුරුදන් කොට දමන්නට දායකවෙන්න ඇතිද කියලා. මෙවන් ශාසන විනාශයන් නිසා සතර අපා දුක් කොතෙක් නම් විඳින්නට ඇතිද කියලා. භික්ෂුවට එ් අතීත දුකේ තරම හිතාගන්න බැහැ. මහාමේරු පර්වතය තරම්ම දුක් ගොඩක් විඳලා, එ් මහාමේරුව කල්ප විනාශයකදී අළු දූවිලි වෙලා යන්නා සේ, මගේ පටිච්චසමුප්පන්න ජීවිත මොනතරම් නම් දුක් ගින්නක් වෙන්න ඇතිද. අතීත පංචඋපාදානස්කන්ධ දුක නුවණින් මෙනෙහි කිරීමෙන්, වර්තමාන පංචඋපාදානස්කන්ධය කෙරෙහි සතිය සිහිය ධර්මානුකූලව ශක්තිමත්කොට දෙනවා. අතීතයෙන් පාඩම් නොඉගෙන ගන්නා වර්තමානයත් අවිද්‍යාවටම භාරදීලා පංචනීවරණ තුරුලේ හුරතල් වෙන්නේ, මධුසමයේ මධුසයනයට ගොඩ වූ, නෑඹුල් යුවතිපති දෙපලක් වගේමයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයන් පනවා වදාළේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් චිරාත් කාලයක් ජීවමානව වැඩසිටීමටයි. උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අධිකරණයන් හතක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ අධිකරණයන් පනවලා තිබෙන්නේ යම් භික්ෂුවක් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට අකීකරු වෙනවා නම්, උතුම් තෙරුවන්ට අකීකරු වෙනවා නම්, උතුම් ධර්ම විනය විකෘති කරනවා නම්, එවැනි භික්ෂූන්ට විනයානුකූලව දඬුවම් කිරීමටයි. අපේ උතුම් සංඝ සමාජය නිකාය වශයෙන් බෙදීම නිසාම, දේශපාලන වශයෙන් බෙදීම නිසාම, ධනවත්, මධ්‍යම, දුප්පත් වශයෙන් බෙදීම නිසාම, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අධිකරණයන්, අසරණවෙලා ගිහිල්ලා. අපි හැමෝගේම කිල්ලෝටවල හුණු ටික, ටික හෝ තිබෙන නිසාදෝ වර්තමානයේ ස්වාධීන අධිකරණයක් කියන අර්ථය දුර්වල වෙලා තිබෙනවා. අවිද්‍යාව ලෝකයේ බලය තව තව තහවුරු කොට ගනිද්දී, අපිට සිද්ධවෙලා තිබෙනවා, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ අධිකරණයන්ගෙන් පසුබසින්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේ කවදාකවත්, භික්ෂු සමාජයේ ඇති වූ අධිකරණයන් විසඳන්න, කොසොල් රජතුමාගේ හෝ බිම්බිසාර රජතුමාගේ අධිකරණයේ පිහිට පැතුවේ නැහැ.

අවිද්‍යාවේ ඕජාවෙන් ගොඩනැගෙන අපේ ජීවිත, තෘෂ්ණාවෙන් තිරිහන්වෙනකොට, අවිද්‍යාව නිරෝධය කළ බුදුරජාණන් වහන්සේගේ පැනවීම්වලට අපි අත තියන්න නරකයි. අවිද්‍යාව නිරෝධය කළ උත්තමයෙක්ගේ පැනවීම්වලට අපි අත තැබුවොත් අපි තව තවත් අවිද්‍යාවේම ගොදුරක් වේවි. වසර දෙදහස් හයසියයක් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ජීවය දුන්න, උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලය, ඔබ අවංකයි; ඔබ අහිංසකයි. අවිද්‍යාවෙන් ජවය ලබන වියරු තෘෂ්ණාවන් සමඟ ඔබ කෙසේ නම්, හෙට දින ආරක්ෂා වෙන්නද. සියලූ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, අපේ ලෞකික ප‍්‍රඥාවේ ඇස අන්ධකරලා. උතුම් සංඝ සමාජයේ වගකීම්, අපිම පිංවත් ගිහි සමාජයට පැවරුවොත්, අපි අපේම සුපටිපන්න ගුණයට, උජුපටිපන්න ගුණයට, ඥායපටිපන්න ගුණයට, සාමීචිපටිපන්න ගුණයට අභියෝග කරලා නේදැයි, මෙය සටහන් තබන භික්ෂුව තුළ සැකයක් ඇතිවෙනවා. අනේ ඉහත සටහනේ වරදක් තිබෙනවා නම්, නොතේරෙන මම දහස්වාරයක් සමාව අයදිනවා, හදවතිනම දෙපා නමදිනවා උතුම් සංඝරත්නයෙන්.

උතුම් සද්ධර්මයක් විකෘති කරන භික්ෂුවකට, දඬුවම් කරන්න, අපි මහාධිකරණයට ගියොත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර පැනවීම්වලට අපි අකීකරුවෙලා නේද කියලා භික්ෂුවට සිතෙනවා. අකුසල් සංස්කාර මාරයා ලෝකය පටලවලයි තිබෙන්නේ. අපිම වැරදි කරමින්, එම වැරදි හේතුවෙන් සකස්වෙන අකුසල් විපාකයට එනකොට, වරද තුළ තවදුරටත් සිටිමින්ම, අපි වරද නිවැරදි කරන්න හදනවා.

ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධාවන පථයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ජය කණු සොයාගෙන, අපි හැමෝම අශ්ව වේගයෙන් දුවනවා. තෘෂ්ණාවේ ඉබිගමනින් මොහොතක් සංසුන්වෙලා, උතුම් භික්ෂු විනය, විනයානුකූල ගලපාගන්න දක්ෂවෙන්න. ශාසනික අර්ථයන් දුර්වල කොටදමා අපි රැකෙන්න යන අනුවණ ගමන්වලින්, අපි වැළකෙන්න ඕනේ. පිංවත් ඔබ සිතන්නකෝ, යම් භික්ෂුවක් දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ශ්‍රී ලංකාවේ කියලා. එම ධර්මය බලවත් විකෘතියක්. මෙවැනි විකෘති ධර්මයක් දේශනා කරන භික්ෂුවකට දඬුවම් කරන්න, එම භික්ෂුව නිවැරදිභාවයට පත්කොට ගන්න, අවශ්‍ය අධිකරණයන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ එවැනි දඬුවමක් විනයානුකූලව ක‍්‍රියාත්මක කොටගැනීමට අවශ්‍ය, පෞර්ෂත්වය සහ සමගිය සංඝ සමාජයේ අපි අතර නොමැති වීමයි. වැරදි සඟවාගෙන ජීවත්වීමට අපේ ඇති කැමැත්තත්, මේ දුර්වලතාවයන්ට හොඳ පොහොරක් වෙන්න පුළුවන් යැයි භික්ෂුවට සිතෙනවා.

භික්ෂු සමාජය විසින් යම් අධර්මවාදී, අවිනයවාදී භික්ෂුවකට විනයානුකූලව දඬුවමක් පැනවීමේදී සමාජය තුළ ක‍්‍රියාත්මක වන මානව හිමිකම් නමැති මාරධර්මය, අදාළ දඬුවමට ලක්වූ භික්ෂුව වෙනුවෙන් පෙනීසිටීමේ මාර පාක්ෂික ක‍්‍රියාවන් සමාජය තුළ සිදුවෙන්න පුළුවන්. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික මානව හිමිකම් අසත්පුරුෂ කණ්ඩායම්වලින්, සංඝ සමාජය යම් අධර්මවාදී, අවිනයවාදී භික්ෂුවකට පනවන අධිකරණයන්ට ඇඟිලි ගැසීමට නොහැකි ආකාරයෙන්, රජය ලවා අදාළ නීතිරීති සකස්කොට ගැනීමටයි, අපි උත්සුක විය යුත්තේ.

බහුතරයක් බෞද්ධ ජනතාව බොහෝම ගෞරවයෙන් පිංවත් ශාසන බලධාරී උතුමන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ප‍්‍රධාන නිකායන් හතර නියෝජනය වෙන ආකාරයෙන් ශීලයෙන් පිරිසිදු ස්වාමින් වහන්සේලාගෙන් යුත් සංඝාධිකරණයක්