දෙවියන් – බ්‍රහ්මනයන් පවා කැමැති භික්ෂු ජීවිතය

ඉර අහස්කුසෙන් නොපෙනී යන්න, තවත් පියවර කිහිපයයි තිබෙන්නේ, වෙල්යාය අද්දර කුඹුක් ගසේ එල්ලී සිටින වවුලෝ, දවස පටන් ගන්න ඇඟමැලි කඩනවා. උදේ පටන් කිචි බිචි ගාමින් සිටි බටිති මලිති ?න, දවසේ අවසාන ආහාර වේලත් ගිල දමලා, ගස් අතු පතර රාත්‍රී නවාතැන් සොයනවා. තවත් හෝරා කිහිපයකින් නිදි දෙව්දුව, අපි හැමෝම සමග සුවසේ නින්දට යාවි. භික්ෂුවගේ ජීවිතේ හැමදාමත් මේ දේවල් මේ විදිහටම සිද්ධ වුණා. හරියටම කාලසටහනකට වගේ. ඇත්තටම ජීවිතය කියන්නේ, එකම දෙය නැවත නැවත සිදුවීමක්ද? එයම නේද මෙතෙක් සිදුවුණේ.

එකම දෙය නැවත නැවත සිදුවෙනවා නම්, ඇයි අපිට ඇතිවීමක් නැත්තේ. කවුද අපිව මේ පංචඋපාදානස්කන්ධ ලෝකයේ, ඉදිරියට තල්ලූ කරන්නේ. කවුද අපිට මේ පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස, නුවණින් බලන්න ඉඩ නොදෙන්නේ.

ජීවිතය කියලා අපිට ගොඩාක් දේවල් ලැබිලා නැහැ. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, ඔච්චරමයි අපිට ජීවිතය කියලා ලැබිලා තිබෙන්නේ. අපි අපිට ලැබුණු සළායතන උපයෝගී කොටගෙන, නැවත නැවත ජාති, ජරා, ව්‍යාධි, මරණයන් උපද්දවා ගන්නවා. සළායතන හේතුවෙන් සකස්වෙන ඵස්සය, තෘෂ්ණාවෙන් පෝෂණය කිරීම නිසාමයි. පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ දිශාවට තල්ලූවෙලා යන්නේ. ඵස්සය තුළ බැසගත්ත අවිද්‍යාව අපි කවදාද මුලිනුපුටා දමන්නේ.

අතීතයේ බාහියදාරුචිරිය කියන තරුණයා, බුදුරජාණන් වහන්සේ, මහ පාරක් අද්දර සිට දේශනා කළ ගාථා පද හතරක් නුවණින් මෙනෙහිකොට, තත්පර ගාණක් තුළදී, ඵස්සය තුළ බැස ගත්ත තෘෂ්ණාව මුලිනුපුටා දැම්මා. බාහියට එවන් භාග්‍යයක් තිබුණත්, උතුම් පැවිදි උපසම්පදාව ලබන්න, භාග්‍යයක් තිබුණේ නැහැ. අතීත භවයක ඵස්සය කෙරෙහි ඇතිකොටගත් තෘෂ්ණාව නිසාම, සිදුකොටගත් බලවත් අකුසල් විපාකයන්, විපාකයට පැමිණීම හේතුවෙන්, බාහිය ගොනෙකුගේ ප්‍රහාරයකට ලක්වී, ගිහි පිංවතෙක් හැටියටම පිරිනිවීමෙන් නිවී ගියා.

උතුම් ගිහි ජීවිතය තුළදීම, චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කොටගත් බාහිය උත්තමයා තුළ, මොනතරම් නම් චන්දයක් තිබෙන්නට ඇතිද, උතුම් පැවිදි උපසම්පදාවන් ලබන්නට. ඒත් ඒ තෘෂ්ණාව සිඳිගිය කැමැත්ත වෙනස්වෙලා ගියේ, බාහිය උත්තමයා අවබෝධකොටගත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය, සක්සුදක් සේ, ඒහිපස්සිකව, තමා තුළින්ම තම මරණය මංගල්‍යයක් බවටම පත්කරලයි.

බුදුරජාණන් වහන්සේ, යම් පිංවතෙක් දුකින් මිදීමමයි මංගල්‍යයක් ලෙසින් හඳුන්වන්නේ, නමුත් අපි තවත් දුකක් අයිතිකොට ගැනීමමයි මංගල්‍යයක් කොට දකින්නේ. ධර්මයත්, අපත් අතර අහසයි පොළවයි වගේ පරතරයක් තිබෙනවාය කියලා, භික්ෂුවට නම් සිතෙනවා. ඒ සිත භික්ෂුව චිත්තානුපස්සනාවටම භාරදෙනවා. ඵස්සයෙන් අවිද්‍යාව හිස්කරන්න, චිත්තානුපස්සනාවත් දිව්‍ය ඖෂධයක් වෙනවා.

පංචඋපාදානස්කන්ධ ලෝකය එපාමයි කියලා හේතුඵල ධර්මයන් දකිමින් සිතුවත්, ජීවිතය ඉදිරියටම යනවා. ඒ වර්තමාන තෘෂ්ණාව හේතුවෙන් නම් නොවේ. අතීතයේ තෘෂ්ණාව හේතුවෙන්ම සකස්කොටගත් සංස්කාරා නිසා, බුදුරජාණන් වහන්සේගේ අතීත ශ්‍රාවකයින් සුවසේ වැඩ සිටියේ උන්වහන්සේලාගේ සිත අල්පේච්ඡ වූ නිසාමයි. සිත අල්පේච්ඡයි කියලා කියන්නේ ඵස්සය අල්පේච්ඡයි කියන කාරණයයි. උන්වහන්සේලාගේ ඵස්සය තුළ ඇලීම් සහ ගැටීම් මුකුත්ම එල්ලිලා නැහැ. උන්වහන්සේලාගේ ඵස්සය උපේක්ෂාව තුළයි ස්ථනගතවෙලා තිබෙන්නේ. ඒ උපේක්ෂාව ඉදිරියේ ධම්මානුපස්සනාව සීරුවෙන් සිටිමින්, ඒ උපේක්ෂාවත් විදර්ශනාත්මක ධර්මයේ උපේක්ෂාවක් බවටම පත්කොට දෙනවා. විදර්ශනාත්මක උපේක්ෂාවෙන් පෝෂණය වෙන භික්ෂු ජීවිතය, හරිම සුන්දරයි, දෙවියන්, බ‍්‍රහ්මයන් පවා කැමතියි එවන් භික්ෂු ජීවිතවලට. උන්වහන්සේලා දෙපයින් ඇවිදින පුණ්‍ය කෙත් බවටමයි පත්වෙන්නේ. එවන් භික්ෂු ජීවිතවලට ලැබෙන සියලූ මනුෂ්‍ය, දිව්‍ය, බ‍්‍රහ්ම, පිනට කැමති අමනුෂ්‍ය, ගෞරවයන් අයිති උන්වහන්සේලාට නොවේ, බුදුරජාණන් වහන්සේටමයි, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, ආත්ම ගරුත්වය උදෙසාමයි. ලෝකයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගරුත්වය වර්ධනය උදෙසාමයි.

තමන්ගේ උත්තම භික්ෂු ජීවිත, ශාසනය වෙනුවෙන්, ශාසනයේ හෙට දවස වෙනුවෙන් කැප කරලා. ලෝකයාගේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය, අහස උසට ඔසවා තබලා, යම් දවසක උන්වහන්සේලා පිරිනිවී ගියේ, කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක අතීත පටිච්චසමුප්පන්න ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් නිදහස් වීමට, උපකාරී වූ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා තමන් තුළ පරිපූර්ණව තිබූ, ආර්ය ශ්‍රද්ධාව, ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය ඥාන දර්ශනයන්, ආර්ය විමුක්තිය, නික්ලේෂීව දන්දීලමයි, නික්ලේෂිව කැපකරලාමයි.

තමන් එක් පිණ්ඩපාත වේලකින් යැපිලා, ලෝකයාට දිව්‍ය භෝජන, රාජ භෝජන ලබන්නට; තමන් පාංශකූල චීවරයකින් යැපිලා, ගිහි පිංවතුන්ලාට දිව්‍ය සළු, රාජ සළුපිලි ලබන්නට; තමන් දෙපයින් වැඩම කරලා, ගිහි පිංවතුන්ලාට අජානීය අසුන් යෙදූ දිව්‍ය රථ ලබන්නට; තමන්ට පූජා කරන කෂාය කෝප්පයක් වලඳලා, එම පිංවතුන්ලාට ආයුෂ, වර්ණය, සැපය, නිරෝගීභාවය ලබන්නට; තම නික්ලේෂි භික්ෂු ජීවිත කැප කරලාමයි. ඒ විතරක් නොවේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංඝරත්නය, උන්වහන්සේලාගේ උතුම් ශ්‍රාවකත්වයේ ලේ, මස්, නහර බවට පත්කොටගත්, උන්වහන්සේලාගේ නික්ලේෂි හදවත ගැසෙන, කාය සංස්කාරයන් බවට පත්කොටගත්, තම සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණයෙන්, මොනවාට පෝෂණය වුණා වූ උතුම් සාමීචිපටිපන්න ගුණය, උන්වහන්සේලා පඬුරු නොගෙන කැපකළේ, කාලය, වෙහෙස, රෝගීභාවයන් නොතකා කැප කළේ, අසරණ අපේ භව, දුක මතුකොටදීම උදෙසාමය.

මෙය සටහන් තබන භික්ෂුව, මොහොතක් අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේව, යශෝධරා මහෝත්තමිය සිහියට නගා ගන්නවා. භික්ෂුවගේ ඵස්සය ඉදිරියේ හිස්තැනක් පමණක්මයි තිබෙන්නේ, ඒ හිස්තැනේ ධර්මානුකූල අර්ථය වෙන්නේ, අවිද්‍යා නිරෝධා ජාති, නිරෝධා කියන පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථය පමණක්මයි. මීට වඩා වචනයක්වත් සිතන්න දෙයක්, එම උත්තමයින් වහන්සේලා, උන්වහන්සේලාගේ ජීවිත තුළින් අපිට ඉතුරුකොට තබා නැහැ.

තෘෂ්ණාව නිරෝධය වූ ජීවිත මොනතරම් නම් අල්පේච්ඡ ද. ඵස්සය නමැති රෙදි වැලේ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ රෙදි මුකුත්ම එල්ලිලා නැහැ. එහෙත් අපේ ජීවිත, කිරි දරුවෙක් ඉන්න ගෙදරක පිළිකන්නේ තිබෙන රෙදි වැලක් වගේ, පුංචි දරුවෝ ඉන්න ගෙවල්වල රෙදි වැල හැමවෙලාවෙම සෝදපු රෙදි කැබලිවලින් පිරිලයි තිබෙන්නේ. අපේ ඵස්සයත් තෘෂ්ණාව නිසාම ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් පිරි ඉතිරිලා යන්නේ කුඩා දරුවෙක් සිටින ගෙදර රෙදි වැල වගේමයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට ලිපියක් යොමුකොට තිබුණා. එහි මෙහෙම සඳහන් වෙනවා. ස්වාමින් වහන්ස මම භාවනා කරනවා, මගේ භාවනා කටයුතු නිසා මගේ පවුල් ජීවිතය අසමඟියෙන් පිරිලා. බිරිඳ මට නිතරම චෝදනා කරනවා, ඔයා මගෙයි දරුවන් දෙදෙනාගෙයි, යුතුකම් ඉටුකරන්නේ නැහැ, භාවනාවයි මුල් තැනට ගන්නේ කියලා.

මෙය සටහන් තබන භික්ෂුව ප්‍රශ්නයක් දෙස බලන්නේ, සම්මා දිට්ඨියේ ඇසෙන්, සම්මා දිට්ඨියේ අර්ථයන්ගේ ඇසෙන් මේ ප්‍රශ්නය දෙස බලද්දී භික්ෂුවට කියන්න තිබෙන්නේ, පළමුවැනි තැන පවුල් ජීවිතයට දෙන්න කියලයි. පිංවත් ඔබ ඔබේ පවුල් ජීවිතයේ බිරිඳ, දරුවන්ගේ යුතුකම් නිවැරදිව ඉටුකළොත් පමණයි, ඔබ ධර්මයට මුල් තැන දුන්නා වෙන්නේ.

පිංවත් ඔබ බිරිඳ දරුවන්ගේ අවශ්‍යතාවයන් පැහැරහැරලා, තම විවාහ ජීවිතය අනතුරට ලක්කරගෙන භාවනා කරනවා නම්, පිංවත් ඔබේ භාවනාව සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වෙලා නැහැය කියලා භික්ෂුව කියනවා. උතුම් සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයන් තුළින් ලෞකික ප්‍රඥාව ඇතිකොටගත් පිංවතා දක්ෂයි, මල නොතලා රොන්ගන්න. ඔහු කවදාකවත් මලත්, රොනුත් දෙකම අහිමිකොට ගන්නේ නැහැ. අනාගාමී උග්‍ර ගෘහපතිවරයාත් තම බිරින්දෑවරු සහෝදරියන් වශයෙන් දකිමින් නිවසේම පෝෂණය කළා.

මෙම සටහන තබද්දී අපේ කාලයේ සිදුවෙච්ච නරක සිද්ධියක් භික්ෂුවගේ මතකයට පැමිණියා. එක් තරුණ ස්වාමින් වහන්සේ නමක් තරුණ බිරිඳකට කමටහනක් දෙනවලූ, විවාහ ජීවිතය ගතකරමින් සෝවාන්ඵලයට පත්වෙන්න බැහැ, පුළුවන් ඉක්මනින් මහත්මයාගෙන් දික්කසාද වෙන්නය කියලා. මේ තරුණ බිරිඳ පතිධර්මයන් ආරක්ෂා කරන බිරිඳක්, ඇය මේ කතාව මුලින්ම කියලා තිබෙන්නේ, තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාට. දෙපාර්ශ්වයේ ඇසුර සාමකාමීව එතැනින්ම නැවතිලා. ගිහි පිංවතුන්ලා පමණක් නොවේ, පැවිදි අපිත් අපේ භාවනාවත්, ලෞකික ප්‍රඥාවෙන් පෝෂණයකොට ගන්න ඕනේ, එසේ නොවුණොත් එම භාවනා කමටහන්, මාරයාටම අයිති කමටහන් වෙන්න පුළුවන්.

පිංවත් ඔබ තරාදියක් අරගෙන, එක පැත්තකට මාරයාටත්, අනෙක් පැත්තට, ඇලීම්, ගැටීම් සහිත තෘෂ්ණාවන් දැම්මොත්, පිංවත් ඔබ අනිවාර්යෙන්ම කියාවි, මාරයාගේ පැත්ත බර වැඩිය කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. මාරයාගේ පැත්තත්, තෘෂ්ණාවේ පැත්තත් සමබරවයි තිබෙන්නේ. අපි තෘෂ්ණාවේ නාමයෙන් පෝෂණය කරන්නේ මාරයමයි. භික්ෂු සමාජයේ ජීවත්වෙන අපි, අධ්‍යාත්මික සහ බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සකස්වෙනකොට ඒ තෘෂ්ණාව තුළින්, මාරයාවමයි දකින්න ඕනේ. විඳීම්, හඳුනාගැනීම්, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව, කැමැත්ත සකස්වෙනකොට එම තෘෂ්ණාව, මාරයා හැටියටමයි දකින්න ඕනේ.

අපි මහා පංචඋපාදානස්කන්ධ යුද්ධයක් මැද, යුද්ධ නොකරන්නෙක් බවට පත්වෙන්නයි, භාවනා කරන්නේ. අපි ඇලීම් සහ ගැටීම් සංස්කාර අවි දරාගත් ලෝකයක් මැද, නිරායුධ වෙන්නයි භාවනා කරන්නේ. ඵස්සය ඉදිරියේ නිරතුරුවම ඇලීම් සහ ගැටීම් යුද ගිනි ඇවිලෙද්දී, උපේක්ෂාව ජීවිතයෙන් පලායන්නේ සරණාගතයෙක් වගේමයි. උපේක්ෂාව පලාගිය ජීවිතයක සමාධියක්, ඵස්සද්ධියක්, ප්‍රීතියක්, වීර්යයක්, ධර්මයේ අර්ථයක්, සතියක් නැහැ. ඒ නිසාම සමහරක් පිංවතුන් මැසිවිලි නඟනවා, ස්වාමින් වහන්සෙ, සිත විසිරෙනවා, සිත කාමච්ඡන්දයන්ගෙන් වෙලාගන්නවාය කියලා. ගුරුවරයා සහ ශිෂ්‍යයා කියලා වෙනසක් නැහැ. උපේක්ෂාව දුර්වල තැන, අපි හැමෝම අසරණ වෙනවා. මේවා හේතුඵල ධර්මයන්, ඇඟිල්ල දිග්කරලා චෝදනා කරන්න අවශ්‍ය නැහැ, ඒත් අපි නිවැරදි විය යුතුයි.

අපිට අපි හැර වෙන කවුරුවත්ම නැහැ, අපි විනාශ වුණොත් පටිච්චසමුප්පන්න දුක අපිටමයි. අපි ආරක්ෂාවෙලයි ලෝකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. අපි අනාරක්ෂිත නම්, කෙසේ ලෝකයා ආරක්ෂා කරන්නද. බුදුරජාණන් වහන්සේ සංඝයා වන අපිට, දේශනා කරලා නැහැ, ලෝකයාට ආදරය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන්නේ, මේ කුරිරු සංස්කාරයන්ගේ ආදීන්වයන් දැකලා, ලෝකයාට කරුණාව දක්වන්න කියලා.