අවිද්‍යාවෙන් නිදහස් වූ දින කොරෝනාවෙන් නිදහස්

පිංවතුන්ලා නිදහසට ගොඩාක් කැමතියි. නිදහසේ ගමන් බිමන් යන්න, නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ සතුටුවෙන්න, නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න, අපි දක්වන්නේ ලොකු කැමැත්තක්. වර්තමානයේ අපේ නිදහසට මොකද වෙලා තිබෙන්නේ. අපේ නිදහස කොරෝනා අකුසලය විසින් උදුරාගෙන. අකුසලයකට පුළුවන් නම්, අපේ නිදහස උදුරාගන්න, සැබවින්ම අපි මෙතෙක් අත්වින්දාවූ නිදහස සැබෑ නිදහසක් ද. නිදහසේ නාමයෙන් බන්ධනාගාරගතවීමක්ද. පිංවත් ඔබේ ජීවිතය දෙස, ඔබේ අසල්වැසියාගේ ජීවිත දෙස ආපසු හැරී බලන්න. කුසලය සහ අකුසලය යම් තැනක තිබෙනවා නම්, සැප සහ දුක යම් තැනක තිබෙනවා නම්, එතැන අනිවාර්යෙන්ම අවිද්‍යාව තිබෙනවා. එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, තිබෙනවා. මේවා සුවසේ අස්වද්දන තෘෂ්ණාව තිබෙනවා. දුකේ සහකරුවන අවිද්‍යාව තුළින්, අපි බලාපොරොත්තුවන නිදහස වර්තමානයේ මිරිඟුවක් බවට පත්වෙලා තිබෙන්නේ. අපි හැමෝගේම ලෞකික බලාපොරොත්තු සූනු විසුනුකොට දමලා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා, ස්වාමින් වහන්ස ලෝකය කොරෝනාවෙන් නිදහස් වෙන්නේ කවදාද කියලා. භික්ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කලේ කොරෝනාව ඔබේ ලෝකයෙන් නිදහස් වෙන්නේ, පිංවත් ඔබ අවිද්‍යාවෙන් නිදහස් වුණ දවසටය කියලා. කොරෝනාවෙන් නිදහස් වෙන්න නම්, ඔබ රූපයෙන් නිදහස් වෙන්න ඕනේ. ගෞරවණීය පිංවත, ඔබ මේ සංස්කාරයන්ගේ ඇස්බැන්දුම් ලෝකය කෙරෙහි දශමයක් විශ්වාසය තබන්න එපා. ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් ඔබ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන, රූපය කෙරෙහි ඇති කරගතහොත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට එම රූපය සුන්දර ගෘහයක්ම වෙනවා. සුන්දර ආහාරයක්ම වෙනවා. විඤ්ඤාණයට හේතුව වන පටිච්චසමුප්පන්න සංස්කාරයෝ වර්තමාන අව්කාෂ්ඨකයේ ඈතින් පෙනෙන මිරිඟුවක්සේම, ඔබටත් මටත් අසාධාරණයක්ම වෙත්දි, ප‍්‍රශ්නාර්ථයක් වූ හෙට දවසක්ම වෙත්දි පිංවත, කාට නම් ලෝකයේ ආදරය කරන්නද. රූපයට ආදරය කරන්නද, වේදනාවට, සංඥාවට, සංස්කාරයන්ට, දැනීම් වලට, ආදරය කරන්නද. පිංවත් ඔබට වර්තමානයේ දෑස් පනාපිටම පේනවා මේ සියලූ ධර්මතාවයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ, උගුලේ සිරවී සිටින අවිද්‍යාවේ ප‍්‍රාණ ඇපකරුවන්මය කියලා. ඔබ තවමත් ඔබටවත් ආදරය නොකරද්දී, අපි කාගෙන් තවත් ආදරයක් බලාපොරොත්තු වෙන්නද. ජීවිතය කියන්නේ මායාවක්, මිරිඟුවක් කවදාකවත් ඉටු නොවන බලාපොරොත්තුවක්.

බොරුවෙන් පිරිච්ච ලෝකය, වංචාවෙන්, හිංසනයෙන්, පිරිච්ච ලෝකය, පටිච්චසමුප්පන්නව තට්ටු මාරු ක‍්‍රමයට සූරාකන්නා කියන අර්ථයත්, සූරාකෑමට ලක්වෙන්නා කියන අර්ථයත් යන දෙක අතර අපිව දෝළනය කරනවා. නැවතීමක් නැති අකුසල් කඳුවල ගොදුරු බවට අපි පත්වෙලා. පසුගිය දවසක හුදෙකලා කරපු ගම්මානයක මහත්මයෙක් භික්ෂුවට කියනවා, ඔහුගේ රුපියල් පන්දාහෙ බඩුමල්ල ගසා කෑවාය කියලා. එක් වංචාකාරි පුද්ගලයෙක් තවත් කෙනෙකුගේ අයිතියක් ගසාකත්දී, අසාධාරණයට ලක්වෙන පුද්ගලයා ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ද්වේශයෙන්මයි. කොරෝනා එන්නත ලබාගන්න අදාළ මධ්‍යස්ථානයට පැමිණෙන පිංවතා, ඇතිවෙන ප‍්‍රමාදයේදී, ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ද්වේශයෙන්මයි. භික්ෂූන් වන අපි, අවිද්‍යාවට තවදුරටත් කෙලෙසක නම් හරි වැරැද්ද කියලා දෙන්නද. සාධාරණය හෝ අසාධරණය ගැන කියලා දෙන්නද. අවිද්‍යාව කියන්නේ දුකයි, අවිද්‍යාව කියන්නේ තෘෂ්ණාවයි. අවිද්‍යාව කියන්නේ උපාදානයයි. අවිද්‍යාව කියන්නේ භවයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණයි. පිංවත ලෝකයට දුක සමග ඉන්නට හැර ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න.

මෙය සටහන් තබන භික්ෂුව, පසුගිය දිනක දායක මහත්මයෙක්ගේ නිවසකට වැඩියා. එම නිවසේ සිටි වයෝවෘධ අම්මාගේ කන් ඇසීම හුඟාක් දුර්වලයි. භික්ෂුව එම අම්මාගේ පුතණුවන්ගෙන් ඇසුව, ඇයි අම්මාට ශ‍්‍රවණාධාර උපකරණයක් ලබා නොදෙන්නේ කියලා. ඒ ඉහල වෘත්තීයවේදී පිංවත් පුතා කියනවා, මම අම්මාට ශ‍්‍රවණාධාර උපකරණ අරන් නොදෙන්නේ, අම්මාගේ කන් ඇසුනොත් වටපිටාවෙන් ඇසෙන දේවල් නිසා අම්මා අකුසල් මූලයන්මයි ජීවිතයට එකතුකොට ගන්නේ කියලා. තම මවට ධර්මානුකූලව ආදරය කරන, ඒ පුතාගේ කථාව මොනතරම් සත්‍යයක්ද. ඉහත කාරණයේදී පිංවත් ඔබට ප‍්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, තම කන් නොඇසෙන අම්මාට සද්ධර්මයක්වත් ශ‍්‍රවණය කිරීමට, අදාළ ශ‍්‍රවණාධාර උපකරණ ලබාදීම දරුවෙකුගේ යුතුකමක් නේද කියලා. වර්තමානයේ ගෞරවණීය දේශකයන් වහන්සේලා දහනමකගේ ධර්මදේශනා ඇසුවොත්, ඒ වයෝවෘධ අම්මා සද්ධර්මයන් පටලවා ගන්න පුළුවන් යැයි කියලා එම පුතා සිතනවා. සත්‍යකින්ම වර්තමානයේ සමාජයෙන් ඇසෙන, දකින, දේවල් සිහියට නැගෙද්දී, සද්ධර්මයේ සතිය සිහියෙන් හික්මවා නොගත්, ඇසේ ඵස්සය, කනේ ඵස්සය, මනසේ ඵස්සය කොරෝනා අකුසලයට වඩා අති භයානක සංස්කාරයන් අපේ ජීවිතවලට එකතුකොට දෙනවා. අපි නිහතමානීව තේරුම් ගන්න ඕනේ, අකුසලයන් විපාකයට එන්නේ, අදක්ෂයාට තව තවත් අකුසල් සිදුකොට දෙන්නටය කියලා. කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය නොලබන අදක්ෂයා අකුසලය කළමනාකරණය කරන්නේ, අකුසල් වැඩෙන දිශාවටමයි. අපි අකුසලයක් විපාකදෙන මොහොතේ, ඖෂධ වලින්, එන්නත් වලින්, වෛද්‍ය උපකරණ වලින් ගසාකෑවොත් පීඩිතයාගේ සහන මල්ලෙන්, ගංවතුර ආධාරයෙන් ගසා කෑවොත්, ද්වේශයෙන් යහපත් දේ විවේචනය කළොත්, මෙවැනි අතීත අකුසල්වල විපාකයන් තමයි වර්තමානයේ ඉන්දියාවේ අහිංසක ජනතාව අත්විඳින්නේ තමන් උපන් රටේම මහපාරක මැරිලා, මළමිනිය ගංගානම් ගඟට ඇද දමලා, ඉදිමිලා, කුණුවෙලා යනවා. මළකඳටවත් ගෞරවයක් ලැබෙන්නේ නැහැ. පිංවත් අපි මේ දකින්නේ සංස්කාර මාරයාගේ සක‍්‍රිය ක‍්‍රියාන්විතයයි. අසාධාරණයක්, වරදක් කොතනකවත් නැහැ. අතීතයේ කළ දේ වර්තමානයේ අපිට ලැබෙනවා. පිංවතුන් ලෝකය විහිළුවට ගන්න එපා, සංස්කාරයෝ අශ්ව වේගයෙන් අකුසල් දැනීම් සකස්කොට දෙනවා. පිංවත් ඔබේ රාජකාරී වගකීම් සහ යුතුකම්, මෙත් සිතින් අකුරට ඉටුකරන්න. කොරෝනාවට බියෙන් ඔබ රාජකාරි වගකීම් පැහැර හැරියොත්, අනුනගේ රාජකාරීන්ට බාධා කළොත් අනාගතයේදී සංස්කාර මාරයා ඔබව ග‍්‍රහණයට ගනීවි. කරුණාකර ඔබ ලබනා වැටුපට ණයකාරයෙක් වෙන්න එපා. ඒ ණය සංසාරයේ බර ඇදලා හෝ ගෙවන්න වෙනවාමයි.

පිංවත ඔබටත් මටත් ගැලවීමක් නැහැ. අවිද්‍යාව රූපයෙනුත්, විඳීම්, හඳුනාගැනීම්, සංස්කාර, දැනීම් සියල්ලෙන්ම අපිට පහරදෙනවා. ඔබ ඔබේම අවිද්‍යා ලෝකයට පෙරලා පහර දෙන්නෙක් වෙන්න එපා. ඔබේ රාජකාරි වගකීම් අකුරට ඉටුකොට, ඔබ දකින, ඔබට ඇසෙන, ඔබට දැනෙන සෑම දෙයක්ම අවිද්‍යාවට භාරදෙන්න. මෙය සටහන් තබන භික්ෂුව මේ දිනවල ඇසෙන, දකින, දැනෙන, සෑම දෙයක්ම එහි සැබෑ හිමිකරුවන අවිද්‍යාවටම භාරදෙනවා. එවිට භික්ෂුවට අකුසලයෙන් ගිනි ගන්නා බාහිර ලෝකය ධර්මයක් බවටම පත්වෙනවා. එවිට ජීවිතය හරිම නිදහස් ඒ නිදහස තුළත් අතීත සංස්කාර ගොන්නක් පමණක්මයි ඉතිරිවෙලා තිබෙන්නේ. ඒ අතීත පටිච්චසමුප්පන්න සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන දැනීම් හෙවත් විඤ්ඤාණයෝ, ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ පෙරහන්කඩින් හොඳින් පෙරාගනිත්දී, භික්ෂුවගේ විදර්ශනාත්මක සාමීචිපටිපන්න ගුණයමයි, තව තවත් ශක්තිමත් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබලාගේ ජීවිතවලට වගකියන්නේ, ඔබලා මා දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණයවූ සතරසතිපට්ඨාන ධර්මයන් තුළ ජීවත් වුණොත් පමණක්මය කියලා. පිංවත් ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන එම වගකීමේ සහතිකය, ඔබ ඔබේ ජීවිතයට අරගෙනද තිබෙන්නේ කියලා. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානය නැමති ගොදුරුබිමේද ජීවත් වෙන්නේ, කියලා. බුදුරජාණන් වහන්සේ අපි හැමෝගේම ජීවිතවලට වගකියන්නේ නැහැ. ඔබ ජීවත්වෙන්නේ වෘත්තීය මමත්වයේ දැඩිභාවය තුළ නම්, ද්වේශය, මෝහය තුළ නම්, බුදුරජාණන් වහන්සේ ඔබලාගේ ජීවිතවලට වගකියන්නේ නැහැ. කරුණාකර, මේ විපාක දෙන්නේ අකුසල් සංස්කාරයන්ය කියන සතිය සිහිය ඇතිකොට ගන්න. අකුසලය යටපත්කොට දැමිය හැක්කේ කුසල් ධර්මයන් තුළින් පමණක්ම යැයි, ධර්මානුකූලව විශ්වාසය ඇතිකොට ගන්න. අකුසල් මාරයාට තවදුරටත් ඔබ තුළින් නැඟී සිටින්න ඉඩ දෙන්න එපා. මාරයාගේ ස්වයංපෝෂිත දුකේ ගොදුරුබිමෙන් බැහැරවී, සතර සතිපට්ඨානය නැමති දුක නිවන, ගොදුරුබිමට එන්න. විපාකදෙන කොරෝනා අකුසලය සංස්කාරයන්ගේ ඇත්ත විනිවිද දකින, සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇතිකොට ගන්න රූපය කෙරෙහි, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි, සිහිය නිවැරදිව පවත්වාගෙන යන්න දක්ෂවෙන්න. මෙවන් ධර්මානුකූල ක‍්‍රියාන්විතයකින් ඔබ තුළ මෝදුවෙන විදර්ශනාමය අවබෝධය වගේම මේ මොහොතේ සමාජයට අත්‍යවශ්‍ය වෙන්නේ, ඔබ තුළින් මතුවෙන විදර්ශනාමය කුසලයේ ශක්තියයි. පිංවත් ඔබයි මමයි දෙපාර්ශවයම ගැලවෙන දිශාවයි, භික්ෂුව මේ සටහන් තැබුවේ.

මේ නිමේෂයෙදි සංස්කාර මාරයා ධර්මානුකූලව හඳුනාගැනීමට අපිට සිහිය දුර්වල වුණොත්, සංස්කාර මාරයාගේ ගොදුරුබිම වන, පංචනීවරණ සහ සක්කායදිට්ඨිය, අපි සිත් සේ පෝෂණය කොටගන්නවා. ප‍්‍රශ්නය විසඳෙන දිශාවට නොව, ප‍්‍රශ්නය අවුල්වෙන දිශාවට කුසල් ධර්මයන් දුර්වලවෙන දිශාවටයි, අදහස් ප‍්‍රකාශ වෙන්නේ. මේ පංචඋපාදනස්කන්ධ ලෝකය නිත්‍ය, සැප, සුභ, ආත්මීය ස්වභාවයන්ට පත්කිරීමට සමත් ජගතෙක්, මේ ලෝකධාතුව තුළ නැහැ. අපි පුළුවන් කියලා හිතනවා නම් ඊට කියන්නේ සක්කායදිට්ඨිය කියලයි. පිංවත, සංස්කාර මාරයා ඉදිරියේ අපි වේගවත්වීමත්, එසේත් නැතිනම් අපි මගහැරයාමවත් නොවේ කළ යුත්තේ. අපේ වගකීම් අපේ හැසිරීම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණයවූ සම්මා වා්‍යාමයන් බවට පත්කොට ගැනීමයි. එතැනයි සංස්කාර මාරයාගේ දෑස් අන්ධ කිරීමට සමත් සම්මා සතියෙන් පෝෂණය වූ සම්මා සමාධිය අපි තුළ උපදින්නේ.

මාරයාගේ දෑස් අන්ධ කිරීමට සමත් එකම ධර්මානුකූල ”අවිය’’ සම්මා සමාධියයි. චීනයෙන් බිහිවුණ කොරෝනා වෛරස් අවිය, උපක‍්‍රමශීලීව චීනය සුරක්ෂිත කොට චීනයට එරෙහි ලෝකයම ආර්ථික අතින් දුර්වලකොට දමා තිබෙනවා. ආත්ම විශ්වාසය දුර්වලකොට දමා තිබෙනවා. මෙවන් වෛරස් තුළ දේශපාලනය සැඟවී තිබෙන්නට පුළුවන්. එක අතකින් කොරෝනාව දී, අනෙක් අතින් මානුෂික ආධාරදීම අනාගත දේශපාලනය, අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ඔද්දල්වූ දේශපාලන උන්මාදයක් වෙන්න පුළුවන්. අපේ රටත් පරිස්සම් වෙන්න, එක කණ්ඩායමක් අප‍්‍රසාදයට පත්කරන්න, තවත් කණ්ඩායමක් කොරෝනා වෛරසය බෝකිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නත් පුළුවන්. භික්ෂුව මේ සටහන් තබන්නේ අවිද්‍යාවෙන් පෝෂණය වූ තෘෂ්ණාවේ වියරුවයි.