මේ සංසාරය අවබෝධයට හොඳම කාලයයි

වර්තමානයේ අවිද්‍යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත්, ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා, මේ සියල්ලේම ජවයෙන් අපේ පංචඋපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නැමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්; අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවාගන්න විවේකයක් නැහැ. රූපයන් කෙරෙහි තෘෂ්ණාව, විඳීම්, හඳුනාගැනීම්, සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව සහ ලෝකය කෙරෙහි ඇති කොටගත් නිත්‍ය, සැප, සුභ, ආත්මීය සංඥාවන් ඵස්සය ඉදිරියේ සුරතල් වෙන්නේ, සද්ධර්මයේ හයක් හතරක් නොතේරෙන දරු පැටවුන් වගේමයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසනවා, ස්වාමින් වහන්ස, සද්ධර්මයේ ශක්තියක් නැහැ නේද කියලා. අවිද්‍යාවෙන් දෑස් අන්ධ ඒ මහත්මයාට නොපෙනුනාට, උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණයයි, අපේ දෑස් පනාපිට මේ විවෘතව බබලන්නේ; මීට වඩා සද්ධර්මයේ කුමන නම් ශක්තියක් දකින්නද. උතුම් සම්මා දිට්ඨියට අදාළව, කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව කොරෝනාව තුළින් මේ විපාක දෙන්නේ, අපිම අවිද්‍යාව හේතුවෙන් සකස්කොටගත් සංස්කාරයන්ගේ සුන්දර ධර්මයේ අර්ථයන්මයි. මේ මොහොතේත් ජීවමානව වැඩ සිටින උතුම් ධර්ම විනය නැමති ගෞරවණීය ශාස්තෘන්වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූ දඹදිව්තලයේ, මේ වෙසක් මාසයේදීම සුන්දර ධර්මදේශනාවක් පවත්වනවා. සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාදෙමින්, මහණෙනි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ ඇස්බැන්දුමක්. ලෝක බලවතුන් පවා තුට්ටුදෙකට ඇද දමන, ලෝක බලවතුන්ගේ පම්පෝරි කථාවත් මොහොතක් ගොළුකරන, සංස්කාරයන්ගේ වියරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය උතුම් සද්ධර්මයේ ස්වක්ඛාත ගුණයේම අර්ථය නොවේද මේ අපි සරලව දකින්නේ.

පිංවත් නායකයින්, අපේ රටේ පළමුවැනි කොරෝනා රැල්ල ජයගත්තේ ලෝකයාගේම පැසසුම් ලබමින්, නමුත් ඒ සියලූ පැසසුම් තුන්වැනි කොරෝනා රැල්ලේදී වෙනස්වෙලා ගියේ, සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නැමති මැජික්කරුවාගේ, තෘෂ්ණාවෙත් සටකපට මැජික් සංදර්ශනයන් නිසාමය.

අපේ සතිය සිහිය දුර්වලවුන තැනදි, අපි ධර්මයට අදාළව සිතන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව යැයි සිතන්නේ නැහැ. දුකේ නැති කිරීම තමා තුළින්මයි සිදුකොටගත යුත්තේ කියලා සිතන්නේ නැහැ. තෘෂ්ණාව නිවන් මාර්ගය වන ආර්ය අශ්ටාංගික මාර්ගය හඳුනන්නේ නැහැ. ජරා, ව්‍යාධි, මරණ, දුක මතම තව තවත් ඇලීම් සහ ගැටීම් තුළින් තෘෂ්ණාවෙම බර වැඩිකොට ගන්නවා. කොරෝනා අකුසලය සමස්ත මනුෂ්‍ය ප්‍රජාවටම මදි නොකියන්න අකුසල් විපාකයන් ජීවිතගතකරන මේ අවස්ථවෙදීම, ඇමෙරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව තුළින්ම කොරෝනාව මර්දනයට එන්නත් සොයා ගැනෙන්නේද, ලෝක ජනතාවගේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණයවූ පිනේ ශක්තිය නිසාමය. පිංවත් ඔබට පෙනෙනවා නේද, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ප්‍රෝඩාවක ඇස්බැන්දුමක තිබෙන වංචාකාරී ස්වභාවය. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ, විනාශයේත්, නැවත් ගොඩනැඟීමෙත් යන අර්ථයන් දෙකේම පරම හිමිකරුවා වෙන්වා. සත්ව ප්‍රජාව අත්විඳින දුක සහ සැප යන අර්ථයන් දෙකේම පරම හිමිකරුවා වෙනවා.

අකුසලය විසින්ම කොරෝනා රෝගය වියරුවෙන් සමාජගත කරද්දී, ජනතාවගේම පින හේතුවෙන්, කොරෝනා මර්ධනයට අවශ්‍ය එන්නත්ද නිපදවා ගැනීමට අවශ්‍ය දැනීම් සකස් කොටදෙනවා. අපිම රැස්කොට ගන්නා කුසල් සහ අකුසල් සංස්කාරයෝ, අපිම රැස්කොටගන්නා පින සහ පව, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නැමති මැජික්කරුවාගේ, දැනීම් ඔස්සේ අපිව ලෝකය තුළම කරකවා අතහැර දමා තිබෙනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමින් වහන්ස එකම මොහොතේ රෝගීභාවයේ වර්ධනයත්, එන්නත් දෙකම සමාජගතවුනේ කොහොමද කියලා. පිංවත් ඔබ ඊයේ දවස ගන්නකෝ, ඊයේ දවසේ ඔබ මොනතරම් කුසල් සිත් ඇතිකොට ගත්තාද. ඊයේ දවසේ ඔබ මොනතරම් නම් අකුසල් සිත් ඇතිකොට ගත්තාද එකම දවසේ අපි කුසල්, අකුසල් යන දෙයාකාරයේම කර්මයන් සිදුකොටගන්නවා වගේම, එම අතීත කර්මයන් විපාකයට එනකොට, කොරෝනාව වියරුවෙන් සමාජගත වෙත්දි, ජනතාව කොරෝනාවෙන් මාරාන්තික පීඩාවන් අත්විඳිද්දී, විපාකයට පැමිණෙන කුසල් සංස්කාරයෝ නිරෝගීභාවය අදාළ එන්නතද නිපදවා ගැනීමට අදාළව දැනීම් සකස්කොට දෙනවා.

මේ ලිපිය සටහන් තබන මොහොතේ, රටේ පිංවත් ජනතාව, කොරෝනා මර්දන එන්නත ලබාගන්න පෝලිම්වල නොඉවසිල්ලෙන් පසුවෙන්වා. ගෞරවණීය පිංවත, මොහොතක් ඔබ සතිය සිහිය ඇතිකොට ගන්න. ඔබ මේ ලබාගන්නා කොරෝනා එන්නත යනු, පිංවත් ඔබේම පිනේ, සහ කුසල් ධර්මයන්ගේ ඵලයක්. කරුණාකර ධර්මයට ගරුකරන්න. පිංවත් ඔබ කොරෝනා එන්නත විදගනිද්දී උතුම් කුසල් ධර්මයන්ගෙන් උපන් පිනේ ශක්තියට, කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව ඒ උතුම් ධර්මයන් දේශනාකොට වදාළ උතුම් තෙරුවන්ට සහ අන්‍යාගමික පිංවතුන්ලා තම තමන්ගේ ආගමික ගුරුවරුන්ට හදවතින්ම වන්දනා කරන්න. ඔබේම පිනේ ශක්තියමයි එන්නතේ ප්‍රතිශක්තිය හැටියට ඔබේ ශරීරගත වෙන්නේ. පිංවත් ඔබේ පිනේ ශක්තිය, චීනයේ, ඉන්දියාවේ, රුසියාවේ එන්නත් නිපදවන සමාගමකට පවරා දෙන්න එපා. අපේ දුකේත්, අපේ සැපයේත් එකම වගකිවයුත්තා අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන් බවම නුවණින් දකින්න. කොරෝනා එන්නත තුළිනුත් ධර්මයක් ජීවිතයට එකතුකොට ගන්න.

කොරෝනා එන්නතේ නාමයෙන්, ඔබේම අතීත පිනේ ඵලයක් ලබගන්නා පිංවත් ඔබ, එන්නත් විදින සෞඛ්‍ය කාර්යාලවලට ගිහින්, ඇතිවෙන ප්‍රමාදයන්හිදී, අපහසුතාවයන් ඉදිරියේදී, එන්නත නොලැබීම ඉදිරියේ, කරුණාකර අසංවරව විනය විරෝධීව, කේන්තියෙන් හැසිරෙන්න එපා. සංස්කාරයන්ගේ ඉහත වියරුව නුවණින් දැකලා විනයගරුක වෙන්න. ඉවසීම පුහුණුකරන්න. ලද දෙයින් සතුටු වෙන්න. ඔබේම පිනක් විපාක දෙද්දී ආයෙමත් අකුසල්වලින් ජීවිත පුරවාගන්න එපා. කොරෝනා අකුසලය මැඩගෙන, මේ විපාකදෙන ඔබේම ”කුසල් විපාකයට’’ අසත්පුරුෂ වෙන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව, මේ දක්වා කොරෝනාව සඳහා කිසිම එන්නතක් විදගෙන නැහැ. භික්ෂුව කවදාහරි කොරෝනා එන්නත විදගන්නේ, රටේ සියලූම ජනතාවට කොරෝනා එන්නත විද්දාට පසුවයි. එතෙක් භික්ෂුවගේ ජීවිතයට තිබෙන කොරෝනා මර්දන ප්‍රතිශක්තිය තමයි, පිංවත් කොරෝනා එන්නත් ලබාගන්නා සියලූම පිංවතුන්ලාටත්, කොරෝනා මර්දනය උදෙසා අවංකභාවයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙන සියලූම පිංවතුන්ලාටත්, සුවපත් වේවා, කයේ දුක් දුරුවී, සිතේ දුක් දුරුවී, නිරෝගීවේවා යැයි, මෙත් වැඞීමෙන් ඇතිකොටගන්නා වූ කුසල් ශක්තිය. මෙවැනි ධර්මානුකූල ප්‍රතිශක්තියකුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තිබෙනවා. නමුත් පිංවත් ඔබ, ඔබට ලැබෙන මුල් අවස්ථවේදීම එම එන්නත විනයගරුකව ලබාගන්න දක්ෂ වෙන්න.

පිංවත් ඔබ කොරෝනා එන්නත ලබාගැනීමේදී ඇතිවෙන ප්‍රමාදය, හේතුවෙන් සිතෙන්, කයෙන්, වචනයෙන්, අකුසල් සිදුකොට ගනිමින් නම්, එම එන්නත ලබාගන්නේ නියමිත නීතිරීති වලින් බැහැරව, වංචාකාරීව සහ හිතවත්කම්වලට නම් එම එන්නත ලබාගන්නේ, එන්නතෙන් ඔබ ලබනා ප්‍රතිශක්තිය, ඔබට නැවත අකුසලයේ පාරාවළල්ලක් විය හැකි යැයි ධර්මානුකූලව සටහන් තබනවා. මේ ගැන සිහිනුවණින් සිතන්න.

මනුෂ්‍ය සමාජයට වෛරස් සහ මාරන්තික විෂබීජ සමාජගත වෙන්නේ, මනුෂ්‍යයාගේම දුශ්ශීලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිය නිසාමයි. ලෝභකම සහ ද්වේශය වෛරසයට හොඳ පෝෂණීය ආහාරයක්. වෛද්‍ය විද්‍යාව මොනතරම් උසස් ඖෂධ එන්නත් නිපදවුවත්, ජනතාවගේ අකුසල් මූලයන් වැඩිවෙන්වා නම්, එම එන්නත්වලට ඔරොත්තු නොදෙන බලවත් වෛරස් ප්‍රභේදයන් වර්ධනය වෙනවා. එම නිසා විසඳුම කොරෝනා එන්නත පමනක් නොවේ. මේ මොහොතේ කොරෝනා එන්නතෙන් ඔබ ලබනා නිරෝගීභාවය, ඔබ තුළින් කුසල් මූලයන්, වැඞීම උදෙසා සහ ශීලයේ ශක්තිය උදෙසා යොදාගැනීමයි. එය එසේ නොවී පිංවත් ඔබ සුපුරුදු දශ අකුසල් දෙසටම ගියොත් මීට වඩා මරාන්තික වෛරසයක් සමාජගත වේවි.

අපි නිරතුරුවම අකුසල් සහ කුසල් දෙයාකාරයේම සංස්කාරයෝ ජීවිතයෙන් රැස්කොට ගන්නවා. ඒ නිසාම අකුසලය කොරෝනා වෛරසයට හේතු සකස්කොට දෙද්දී, ඔබේම කුසලය නිරෝගීභාවය උදෙසා එන්නත් බිහිවීමට දැනීම් සකස්කොට දෙනවා. මෙන්න මේ සංස්කාරයන්ගේ දෙබිඩි හැසිරීමටයි, සංස්කාරයන්ගේ ඇස්බැන්දුමටයි, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ යැයි ධර්මයේ සඳහන් වෙන්නේ. මෙවැනි බලවත් අකුසල් සංස්කාරයන් විපාක දෙනකොට, අපේ වෘත්තීය මමත්වයේ දැඩිභාවය ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. සමගියෙන්, සාකච්ඡාවෙන්, සාමූහිකව තීන්දු තීරණගන්න අපි දක්ෂවෙන්න ඕනේ. කොරෝනා වසංගතය හේතුවෙන් සකස්වෙන කිසිදු පීඩාවකදී අපි කාටවත්ම චෝදනා කළ යුතු නැහැ. සත්වයා කර්මය දායාදකොට උපදි, සත්වයා කර්මය කැඩපතකොටගෙන උපදි යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසා චෝදනා, විවේචන, ම`ගහැරයෑම් නොවේ අපේ යුතුකම විය යුත්තේ, සමඟියෙන්, අවංකභාවයෙන්, අකුසලයේ හැඩරුව දකිමින්, මාර ධර්මයන්ට යට නොවී අපේ වගකීම මෙත් සිතින් ඉටුකොට අපි කුසලයෙන් ශක්තිමත් වීමයි. අපි අකුසලයට කොටු නොවීමයි.

පිංවත, මමත්වයේ දැඩිභාවය විවරකොට, ජීවිතයට ඉඩදෙන්න, ලෝකය නිවැරදිව විනිවිද දකින්න. ලෝකය මතුපිටින්, නිත්‍යයි, සැපයි, සුභයි, මම යැයි දැක්කා දැන් හොඳටෝම ඇති. කොරෝනා අකුසලයෙන් සලිතවූ, මනුෂ්‍යයන් අතරින්, කොරෝනා අකුසලය මුල් කරගෙන, තව තවත් අකුසල්ම ජීවිතයට එකතුකොට ගන්නා පිංවත් මනුෂ්‍යයන් අතරින්, ඔබ අදම මිදෙන්න. මිරිඟුවක්ම වූ අකුසලයක්, මායාවක්ම වූ කුසලයත්, භව බන්ධනාගාරයේ ඔබව සිරිගත කරන අධිකරණ තීන්දුවක් බවම නුවණින් දකින්න. පිංවත ඔබ මේ කොරෝනාවේ නාමයෙන්, කළමනාකරණය කරන්නෙ අකුසලයයි. කරුණාකර අවංක වෙන්න, වංක වුනොත් අකුසලය ඔබව වෙලාගනීවි.