මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා

භික්ෂුව වැඩසිටින ගමේ පොදු සුසාන භූමියේ, ඊයේ සවස මරණයක් මිහිදන් කරලා. සුසාන භූමියේ ගේට්ටුවේ එල්ලෙන මලානික වූ ගොක්කොළ සැරසිල්ල, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ, පාළු කනත්ත ඉදිරියේ බලා සිටිනවා. ඊයේ සවස මිහිදන් කළ දේහයත්, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේම, මහපොළව යට කුණුවෙලා යනවා ඇති. අපේම රූපය අනාගතයේ කවදාහරි දවසක, මහපොළොව යට කුණුවෙලා යද්දි, දර සෑයක අළුවෙලා යද්දී, අපි තවමත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, අවිද්‍යා අඩඅඳුරේ බිම වැටුණු නිත්‍ය, සැප, සුභ ඉඳිකටු සොයනවා. නොලැබෙන දෙයක් සෙවීම නිසාම, අපි හැමෝම වෙහෙසට පත්වෙලා. කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී පංචනීවරණ දහදිය, ඵස්සයෙන් රූටා වැටෙන්නේ ඇලීම් සහ ගැටීම්, ඇඳුම් පැළඳුම්, සංස්කාර දහදියෙන් හොඳටම තෙතබරිත කරලා.

පංචනීවරණ දහදියෙන් තෙතබරිත වෙච්ච ජීවිත, මරණය ගැන කතා කරන්න හුඟාක්ම බයයි. මරණය යනු අසුභ දෙයක්, සෘණාත්මක දෙයක් හැටියටයි මේ පිංවතුන් දකින්නේ. පිංවත් ඔබ මරණය සිහිපත් කරන්න බියවෙන්න එපා. මරණය කියන්නේ අවසාන චුති සිත, අනිත්‍යභාවයට පත්වෙලා, පටිච්චසමුප්පන්නව සකස්වෙන ප්‍රතිසන්ධි චිත්තයත් අතර තිබෙන, සිතුවිලි දෙකක් අතර පුංචි නිමේෂයට පමණක්මයි. යම් පිංවතෙක් මැරෙන මොහොතේම පටිච්චසමුප්පන්නව ඔහු නැවත උපදිනවා. මරණය නමැති මේ පුංචි නිමේෂයට අපි මොනතරම් බයද. මරණයට බිය පිංවතා මරණයත් සමඟම එළඹෙන ඊළඟ උපත අවාසනාවන්ත ලෙස අනතුරට පත්කොටගන්නවා. මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් දෑස් පියාගෙන, මේ මරණයේ මොහොත යැයි දකිනවා. එවිට භික්ෂුවට බියක් හෝ සතුටක් ඇතිවෙන්නේ නැහැ. ඵස්සය ධම්මානුපස්සනාවෙන් සේදීයද්දී, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට රැඳෙන්න බිම්කඩක් ඉතිරි වෙන්නේ නැහැ.

පිංවත් තරුණ ස්වාමීන්වහන්සේනමක් භික්ෂුවට කියනවා, ස්වාමීන්වහන්ස, ශීලයට වටිනාකමක් දියයුතු නැහැ. සමාධියයි අත්‍යවශ්‍ය වෙන්නේ කියලා. භික්ෂුවගේ පිළිතුර වුණේ, ආයුෂ්මතුන්, ඉහත අදහස් දරනවා නම් ආයුෂ්මතුන් තවමත් සම්මා දිට්ඨිය ජීවිතයට එකතුකොටගෙන නැහැය කියලා. සම්මා දිට්ඨියෙන් තොර සමාධිය, මිච්ඡා සමාධියක්ම වෙනවා. මිච්ඡා සමාධිය ඔබව අරගෙන යන්නේ, මිච්ඡා විමුක්තිය දිශාවටමයි. වර්තමාන සමාජයේ මිච්ඡා විමුක්තීන් ජීවිතයට එකතුකොටගත් අප්‍රමාණ ගිහි සහ පැවිදි පිංවතුන් සිටින්නට පුළුවන්. මෙවැනි දුර්වලතාවයන් සකස්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව, ජීවිතයට එකතු කර නොගැනීම නිසාමයි.

පටිච්චසමුප්පන්නව අපේ ජීවිතවල නිධන්ගතව ඇති පංචනීවරණයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙරහන්කඩ හතකින් පෙරා, අපිට ලැබෙන පංචනීවරණ රොඩු සහ කුණු යටපත්වූ උපේක්ෂාවේ සිතයි සම්මා සමාධිය කියන්නේ. ලෞකික ප්‍රඥාවට අයත් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් කියන මුල් පෙරහන් කඩෙන් පිරිසිදු වී, දෙවැනිව ශීලයට අයත් සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන පෙරහන්කඩ තුනකින් පිරිසිදුකොට, තවත් සියුම් පෙරහන්කඩ දෙකක් වන සම්මා වායාමෝ සහ සම්මා සති පෙරහන්කඩවලින් මොනවට පෙරුණු, පැහැදිලි දියක්සේ, පංචනීවරණයන්ගෙන් නොකැළඹුණු, එහෙත් එම නොකැළඹුණු දියේ, පංචනීවරණ මණ්ඩි ලෙස තැන්පත් වූ සිතයි, සම්මා සමාධිය කියලා කියන්නේ.

අපි ශීලයට වටිනාකමක් නොදී, ශීලය වර්ණනා නොකර, සමාධිය ගැන කතා කරනවා නම් එයින් අදහස් වෙන්නේ, අපේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අතිශය දුර්වලභාවයමයි. ලෞකික ප්‍රඥාවට අයත් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගෙන් තොරව පිංවත් ඔබ තුළ ශීල විශුද්ධියක් ඇතිවෙන්න බැහැ. ශීල විශුද්ධියක් නැති තැන, චිත්ත විශුද්ධිය සිහිනයක්ම වෙනවා. එවිට අපේ දැක්ම සක්කායදිට්ඨියෙන්මයි පෝෂණය වෙන්නේ. එවිට එම පිංවතා, සමාධිය තුළ මම දකිනවා. මා තුළ සමාධිය දකිනවා. වේදනාවේ ආශ්වාදය ස්ථිර, නොවෙනස්වන දෙයක් හැටියට දකිනවා.

වර්තමාන සමාජය චතුරාර්ය සත්‍යය ධර්මයන් ගැන කතා කරනවා හුඟාක් අඩුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සිතනවා හුඟාක් අඩුයි. නමුත් භාවනාව ගැන බොහෝම ඉහළින් කතා කරනවා. අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ, පැය කීයක් එරමිණියා ගොතාගෙන භාවනා කරන්න පුළුවන්ද කියන කාරණයයි. අපි පරිස්සම් වෙන්න ඕනේ, අපේ ඉලක්කගත කාලය, දුකට හේතුවෙන තෘෂ්ණාවම පෝෂණය කරන්න පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධකොට ගැනීමට පෙරාතුව දඹදිව මිච්ඡා ශාස්තෘවරුන්, තම මිච්ඡා ශ්‍රාවකයින්ට ඉගැන්වූවේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොවූ සමාධි භාවනාවයි. මේ සමාධි භාවනාවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන දක්වාම පෝෂණය වෙලා තිබුණා. වේදනාවේ ආශ්වාදය පිළිබඳව, වේදනාවේ ආදීනවයන් පිළිබඳව, අබමල් රේණුවකවත් දැනුමක් නොතිබුණු අදාළ මිච්ඡා ශාස්තෘවරු, මිච්ඡා සමාධියෙන් ලැබුවේ, මිච්ඡා විමුක්තියක් පමණක්මයි. වර්තමානයේ අපි උතුම් නිවන් මාර්ගය වන, තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ට වටිනාකමක් නොදී, සම්මා සමාධියක් සොයන්නේ නම් අපිද අතීතයේ ජීවත්වූ මිච්ඡා ශාස්තෘවරුන්ගේ මිච්ඡා ධර්මයන් සරණ ගියා වෙන්න පුළුවන්. පිංවත් ඔබ පරිස්සම් වෙන්න, මිච්ඡා සමාධියට යටපත්වී, ඵස්සය පතුලේ තැන්පත්වී ඇති අවිද්‍යාවේ ඇලීම් සහ ගැටීම් උපේක්ෂාව තල්ලූකොට දමා තෘෂ්ණාව යළිත් තිරිහන්වෙන්න පුළුවන්.

අපි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි බැහැර වුණොත් මුලින්ම අපිට අහිමිවෙන්නේ තෙරුවන් සරණයි. නිවන් මාර්ගයේදී අපේ ශාස්තෲන්වහන්සේ වෙන්නේ බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් අපි අකුරට පිළිපදින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න ඕනේ, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින්න ඕනේ, දුක නැති කිරීමට නම් තමා තුළින් තෘෂ්ණාව නැති කළයුතු බව දකින්න ඕනේ. තෘෂ්ණාව නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දකින්න ඕනේ. මේ දැක්මෙනුයි පිංවත් ඔබ, බුදුරජාණන් වහන්සේ සරණකොට ගත්තා වෙන්නේ, පිහිටකොට ගත්තා වෙන්නේ.

දෙවැනිව පැවිදි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ට අදාළව මාර්ගය පෝෂණය කොට ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. සූත්‍රගත ධර්මයේ අර්ථයන් මුල්කොටගෙනයි අපේ මාර්ගය පෝෂණය විය යුත්තේ. අපි ධර්මරත්නයේ අර්ථයන්ගෙන් බැහැරවෙන මොහොතක් පාසා, අපි ධර්මරත්නයේ සරණ අහිමිකොටගත්තා වෙනවා. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ට අදාළ, ලෞකික ප්‍රඥාවෙන් ඔබගේ ශීලය පෝෂණය කොටගෙන, ශීලයේ ශක්තියෙන් සමාධිය පෝෂණය කොටගෙන, උතුම් සම්මා සමාධියෙන්, සතරසතිපට්ඨාන ධර්මයන් මතුකොටගෙන, විදර්ශනාමය ප්‍රඥාව ජීවිතයට එකතුකොට ගන්න. එතැනයි උතුම් ධර්මරත්නයේ සැබෑ සරණ අපි ලැබුවා වෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල යම් පිංවතෙක් කියනවා නම් ශීලයෙන් තොරව සමාධියක්, ප්‍රඥාවක් ලබන්න පුළුවන්ය කියලා, එම අසරණ පිංවතා, සද්ධර්මය කෙළෙසමින් සද්ධර්මය කතා කරන කෙනෙක් වෙනවා.

ධර්ම මාර්ගයේ ගමන් ගන්නා පැවිදි අපි, තෙවනුව අතීතයේ වැඩ සිටියා වූ ආර්ය මහා සංඝරත්නය දිවිහිමියෙන් ආරක්ෂා කළ උතුම් ප්‍රතිපදාවන් අපේ ජීවිතවලට සමීපකොටගත යුතුව තිබෙනවා. අතීත සංඝ සමාජයෙන් අපිට උරුම වූ ප්‍රාතිමෝක්ෂ ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍යවෙක්ෂා ශීලය, සම්මා ආජීව ශීලය, අතීත සංඝ සමාජයෙන් අපිට ලැබුණු මේ සුන්දර පරම්පරා දායාදයන් වර්තමාන අපේ භික්ෂු ජීවිතවල කැඩපත වෙන්න ඕනේ. එතැනයි උතුම් සංඝරත්නයේ සැබෑ සරණ අපි ලැබුවා වෙන්නේ. අපේ භික්ෂු ජීවිත මහාසංඝරත්නය නමැති සමූහයට ඇමුණුවා වෙන්නේ.

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ යැයි සිහිපත්වෙද්දී, මහා කාශ්‍යප මහෝත්තමයන් වහන්සේ යැයි සිහිපත්වෙද්දී, වර්තමානයේ අපි තුළ ඉතිරිවෙලා තිබෙන්නේ අනිත්‍යයි කියන සංඥාව පමණක්මයි. ඒත් ඒ අනිත්‍යයි කියන සංඥාව අපි තුළ මෝදුකොටදෙන්න උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොටගත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, අපේ ළදරු පැවිදි ජීවිත වලට මොනතරම් නම් ජවයක්ද. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරුභාවය, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි කීකරුභාවය, උන්වහන්සේලාගේ වන්දනීය භික්ෂු ජීවිත ආලෝකවත් කරපු පහන් ටැඹක්මයි. උන්වහන්සේලා අතීතයේ පිරිනිවී ගියේ වර්තමානයේ අපිට පිරිනිවී යෑමට මාර්ගය ආරක්ෂාකොට තබලා. සත්පුරුෂභාවයේ උත්තමපුරුෂයෝ.

ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් පිරී ලෝකයෙන් දුක නිවාදමන, තෙරුවන්ගේ අනන්තවූ ගුණයන් සිහිපත් කරද්දී, පංචඋපාදානස්කන්ධ ලෝකයන් පමණක් නොවේ, උපාදානයන් නිරෝධය කළාවූ පංචස්කන්ධයන් පවා, විදර්ශනාත්මක උපේක්ෂාවෙන් කම්පිත වෙනවා. මෙවන් අසිරිමත් සරණක් ලෝකයට අහිමි වුණොත්, සැපය ලෝකයට අහිමි වුණා වෙනවා. එදාට දුක නොහඳුනන, දුකට හේතුව තෘෂ්ණාව නොහඳුනන, දුක සහ සැප දෙවියන්ගේම කැමැත්ත වන, මිච්ඡා ලෝකයේ අපි කොටස්කරුවන් වෙනවා.

පිංවත් ඔබ ධර්ම මාර්ගය අධර්මයෙන් පෝෂණය කරන්න එපා. උතුම් තෙරුවන්ට කීකරුවෙන්න. උතුම් තෙරුවන්ට අකීකරුවීමේ විපාකයන්, අනාගතයේ මෘග සංඥාව සහ අති දීර්ඝ අවුරුදු ලක්ෂ පනහකට වැඩි අබුද්ධෝත්පාද කාලයකින් විපාකයට එනවා. මේ අතිශය කටුක දීර්ඝ අකුසල් විපාකයන් සහ මනුෂ්‍යයා මුර්ගයෙක් සේ එකිනෙකා මරාගෙන කන විපාකයන්, අනාගතයේ සමාජගත වෙන්නේ, උතුම් තෙරුවන්ගේ ගුණයන් පිළිබඳ අයෝමය ශක්තිය සක්සුදක්සේ ලෝකයට ප්‍රකට කරලාමයි. තෙරුවන් කෙරෙහි කීකරුභාවයට පුළුවන් මේ ලෝකය පුණ්‍ය කෙතක් බවට පත්කරන්න. දෙවියන් බ්‍රහ්මයින් වන්දනා කරන බිමක් බවට පත්කරන්න. තෙරුවන් කෙරෙහි අකීකරුභාවයට පුළුවන් මේ ලෝකය මිනීමරු මෘග සංඥාවක් බවට පත්කරන්න. තෙරුවන් කෙරෙහි කීකරුභාවයත්, තෙරුවන් කෙරෙහි අකීකරුභාවයත් අතර පරතරය නුවණින් දකින්න.

උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවමානව තිබෙන තාක්කල් මේ සුන්දර ධර්මය ඒහිපස්සිකයි. සද්ධර්මයේ අර්ථයන් සක්සුදක්සේ විවෘතව බබලනවා. සත්පුරුෂ මනුෂ්‍යයින් සේම, දෙවියන්, බ්‍රහ්මයින් මේ මොහොතේ මහා සංඝරත්නයට වන්දනා කරනවා. තවමත් සංඝ සමාජය මුඩුබිමක් බවට පත්වෙලා නැහැ. පිංවත් ගිහි පිංවතුන් වපුරන සිවුපසය, ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් සුන්දරව පූදිනවා. සංඝයා නමැති පුණ්‍ය කෙත, මිච්ඡා ධර්මයන් නමැති ලවණ ජලයෙන්, දුශ්ශීලභාවය නමැති වල් පැළෑටිවලින්, තෘෂ්ණාව නමැති රසායනික පොහොරවලින් අපි දිවිහිමියෙන් ආරක්ෂා කොටගන්න ඕනේ.

සංඝයා නමැති මේ උතුම් පුණ්‍ය කෙත, ක්‍රමානුකූලව සශ්‍රීකභාවයෙන් දුර්වල වුණොත්, පිංවත් ගිහි පැවිදි අපි හැමෝගේම ආයුෂ, වර්ණය, සැපය, බලය ඉතාම වේගයෙන් පරමායුෂ අවුරුදු දහය දිශාවට ගමන් කරාවි. උතුම් තෙරුවන් කෙරෙහි කීකරුභාවය පංචඋපාදානස්කන්ධ ලෝකය ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් විකසිත කරනවා සේම තෙරුවන් කෙරෙහි අකීකරුභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය විකෘතියක් කොට දමනවා. පිංවත තෘෂ්ණාවේ ඉක්මන්භාවයෙන් මිදී කරුණාකර ජීවිතය අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන්ට භාරදෙන්න. ඵස්සය ළඟ තෘෂ්ණාව කඩි ගුලක් වගේ ඇවිස්සිලා, සිහිනුවණින් කටයුතු කරන්න.